2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ඩොලර් මිටි ගණන් උපයන විලාසිතා ලෝකයේ සිඟිති රැජන

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

මිලී ඩයමන්ඩ් කියන්නේ තවමත් වයස අවුරුදු හතරක් පිරුණු පුංචි දැරිවියක්. ඈ තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවෙයි. හැබැයි වයසෙන් පුංචි වුණත් හැඩකාර දඟකාර මිලී කියන්නේ අද වෙද්දි ගොඩක් ජනප්‍රිය තරුවක්. විශේෂයෙන්ම ඉන්ස්ටර්ග්‍රෑම් හරහා තමන් වටා රසිකයන් ගොඩාක් එකතු කරගත්තු පුංචි තාරකාවක්. 

මිලී කියන්නේ අද ලෝකයේ ඉන්න ධනවත්ම දැරියක් කිව්වත් වැරදි නැහැ. ඇය ඇත්තටම පුංචි විලාසිතා රුජනක්. Balmain, Gucci, Fendi, D and G වගේ නමගිය විලාසිතා සන්නාම රැසක් වෙනුවෙන් ඇය කටයුතු කරනවා. ලෝකය පුරා ඇවිදිමින් විවිධ විලාසිතාවන්ගේ ඇඳුම් ආයිත්තම් පළඳමින් ඒවා අන්තර්ජාලයට මුදා හරින එක තමයි පුංචි මිලීට කරන්න තියෙන වැඩේ. ඒ වෙනුවෙන් ඈට ඩොලර් දහස් ගාණක් වගේම ලස්සන ඇඳුම් ආයිත්තම් රැසකුත් හිමිවෙනවා. 

“හැබැයි මිලී ඇත්තටම ඒ ඇඳුම් ගොඩක් ඒවට කැමති නැහැ. සමහර ඇඳුම් එයා ඇන්දට පස්සෙ ඉරා දාන අවස්ථාවනුත් තියෙනවා. එයා සන්නාමවල ඇඳුම්වලට වඩා සාමාන්‍ය වෙළෙඳසැලකින් ගන්න සාමාන්‍ය ඇඳුම්වලට තමයි ගොඩක්ම ආසා” මිලීගේ අම්මා කියන්නේ එහෙමයි. 

මිලීට මේ විදිහට විලාසිතා රැජනක් වෙන්න අවස්ථාව ලැබුණේ වතාවක් එයාගේ අම්මත් එක්ක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණාට පස්සෙයි. රූපවාහිනී වැඩසටහන බලපු විලාසිතා නිර්මාණ ශිල්පීන් වගයක් මිලීව හොයාගෙන එයාගෙ ගෙදරට ඇවිත් ඈට පුංචි විලාසිතා නිරූපිකාවක් වෙන්න පුළුවන්ද කියලා අහලා. එතැනින් තමයි මිලී ජනප්‍රිය තරුවක් වෙන්න පටන්ගත්තෙ. 

කොහොම වුණත් මිලීට ලැබෙන ලෝක සවාරි නිසා එයාගේ අම්මටයි තාත්තටයිත් ලෝකෙ පුරා යන්න අවස්ථාව ලැබිලා. මෑතකදී ඉන්දුනීසියාවේ බාලි දූපතේ ඡායාරූපගත කිරීමකට මිලී සහභාගි වුණා. ඉතින් මිලීත් එක්ක බාලි යන්න එකතු වුණු එයාගේ මව්පියෝත් නවාතැන් ගත්තේ එහේ තියෙන මිල අධිකම හෝටලේකයි. 

“මිලී ලබන අවුරුද්දෙන් පස්සේ පාසල් යාම පටන් ගන්නවා. ඊටපස්සේ මේ වගේ දේවල්වලට එයාට තියෙන කාලෙ ගොඩක් අඩුවේවි. එයාව බලෙන් මේ වගේ දේවල්වලට යොමුකරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ. එයා කැමති නම් විතරක් ඉදිරියටත් මේ දේවල් කරාවි” එයාගේ අම්මා කියනවා. 

දැනට පවා නොයෙකුත් විලාසිතා සමාගම්වලින් විවිධ ආකාරයේ ඡායාරූපගත කිරීම් සඳහා මිලීට ආරාධනා ලැබුණත් එයාගේ මව්පියන් තෝරාබේරාගැනීමකින් යුතුව තමයි මිලීව ඒවාට සහභාගි කරවන්නෙ.
මිලී ආසා හිතෙන විදිහේ වැඩක් කියලා හිතුණොත් විතරයි අපි ඒවා භාරගන්නෙ. 

මිලී ඒ විදිහට යම් සමාගමක ඇඳුමක් ඇඳගෙන ඉන්ස්ටර්ග්‍රෑම් එකට දාන එක පින්තූරයකට ඩොලර් 250ක් හිමිවෙනවා. ඒ වගේම තමන්ගේම නමින් යුත් MBD නම් ඇඳුම් සන්නාමයකුත් මිලීට හිමියි. ඒ නිසා කිසිම සැකයක් නැතිව මිලී තමයි විලාසිතා ලෝකයේ පුංචි රැජන. 

 

Text — Suranga