2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

දැහැන

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ඔයා බලලා තියෙනවද Majid Majidi කියන සිනමාවේදියා නිර්මාණය කළ children of heaven. කියන film එක. Film එකේ කතාව යන්නෙ සපත්තු දෙකක් එක්ක. ඒ සපත්තු දෙක කියන්නේ දුප්පත්කම ගැන සංකේතයක්. නැති බැරිකම ගැන සංකේතයක්. දරිද්‍රතාවය හා ධනේශ්වර පන්තිය අතර වෙනස්කම ගැන සමාජීය ප්‍රකාශනයක්. මට මතක් වෙනවා මීට අවුරුදු ගණනකට ඉස්සර මතකයක්.

රේල්පාරක් දිගේ ඇවිදගෙන එද්දී මගෙ සපත්තුවක පටිය ගැලවුණා. අඩි හතරක් පහක් ඉස්සරහින් ඇවිදගෙන ගියේ අපි පොදුවේ කියන්නේ මුඩුක්කු මිනිස්සු කියලා. අන්න ඒ විදිහේ දුප්පත් පෙනුමක් තියෙන මිනිස්සු දෙන්නෙක්. මම සපත්තුවේ පටිය කැඩිලා කරගන්න දෙයක් නැතුව නතර වෙද්දී ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා බලලා ළඟට ඇවිත් සපත්තුව ඉල්ලුවා. කුණු දූවිලි පිරුණු අඩිය අල්ලෙ ගෑ වුණත් ඒ මනුස්සයාට ඒකෙ කිලිටක් තිබුණෙ නෑ. මට තාම මතකයි රේල් පාරේ බිම ඉඳගෙන ඒ මනුස්සයාගේ මල්ලට අත දාලා කම්බි කෑල්ලක් හොයාගෙන, ඒ මනුස්සයා එදාට දාගෙන යන්න පුළුවන් විදිහට මට මගේ සපත්තුව හදලා දුන්නා. හදපු සපත්තුව වෙනුවෙන් මම රුපියල් විස්සක් දික්කරද්දී ඒ මනුස්සයා කීවේ එපා තියාගන්න කියලා. ඒ මනුස්සකමට අදත්, මම ස්තූතියි කියනවා මගේ හදවතින්ම. සඳලුතලවලදී ඇස නොගැටුණු මනුස්සකම් මට මුඩුක්කු කාණුපල්ලෙ වීදි දිගේ ජීවිතේ හොයාගෙන යද්දී මුණගැහිලා තියෙනවා. හායි; හලෝ කොහොමද? ආදරෙයි ඩාලිං. කියන හිතවත්කම් අස්සේ නැති හිතවත්කම් මනුස්සකම් සංවේදීකම් වරෙන් බං ඉඳගනින් උඹ කාලද? ඇයි බං ප්‍රශ්නයක්ද? අවුලක්ද? කියපන් පණ හරි දෙන්නම් කියලා කියන මචංකම් අස්සේ මට හමුවෙලා තියෙනවා. මම විඳලා තියෙනවා. මේ ළඟදී මම මගේ සපත්තු දෙකේ අඩිය ගැලවුණු වෙලාවේ ගියා වීදියක් කොණක සපත්තු මහන්නෙක් ළඟට. සපත්තු දෙක මහලා දීලා ඒ මනුස්සයා මට කීවේ වෙලාවක ගෙනාවොත් අඩියක් ගහලා දෙන්නම්. එතකොට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. අඩි ගහලා, මහලා කැඩුණු සපත්තු දාන පන්තියේ අපි සහ දැන් මේක දැම්මා ඇති ෆැෂන් එක ඉවරයි කියලා සපත්තු අහකට දාන, ඇඳුමට හරියන සපත්තු ගලපන්න තරම් සපත්තු හුඟක් තමන්ට තියෙන පන්තියේ උන් අතර වෙනස මම හඳුනගෙන හුඟක් කල්.

මට හිතුණා මේ වතාවේ මගේ කැඩුණු සපත්තු දෙක මට ජීවිතය ගැන ලොකු කතාවක් කියලා දුන්නා කියලා.  ගුස්ටාව් ප්ලෝබෙයර්ගේ එමා බෝවාරී නවකතාවේ එමාට එයාගැන කියන්න කවදාවත් කවුරුත් හිටියේ නෑ. ඒත් එමා පිරිමියෙකු වෙනුවෙන් ගැහැනියකට දෙන්න පුළුවන් සියල්ල දන්දීලා මුළු ජීවිත කාලයේදීම හෙව්වේ එයාව අහන්න එයා ළඟ ඉන්න පිරිමියෙක්. එමාට ඕනවුණේ මගේම කරගන්න පිරිමියෙක් නෙවෙයි. ඒත් මගේම විදිහට දැනෙන පිරිමියෙක්. මගේම වෙච්ච ආදරයක් ජීවිතයට දෙන පිරිමියෙක්. ඒත් එමා ජීවිතයට ආයුබෝවන් කීවේ එහෙම පිරිමි හොයන්න එපා කියලා ගෑනුන්ට කියලා දෙන ගමන්. තමන්ගේ සනුහරේම පැත්තකට දාලා තමන්ගේ ගර්භාෂය තමන් ආදරය කරන පිරිමියෙක්ගේ ලේ වලට පැලවෙන්න දන්දීපු කුවේණිට විජය අන්තිමට කීවේ දැන් ඉතින් මගේ මාලිගාවෙන් එළියට බැහැපන් කියලා. තමන්ගේ ලේ වලට පැලවෙන්න ගර්භාෂය දුන්න පමණින් ගැහැනියක් පිරිමියෙක් බලාපොරොත්තු වෙන ආදරණීය බිරිඳවත් දරුවන් හොයන ආදරණීය අම්මවත් නොවෙන්න පුළුවන්. එක අතකින් ගර්භාෂය පිරිමි ලේ වෙනුවෙන් දන්දීම ගැහැනියකගේ යුතුකමක් වගේම වගකීමක්. ගැහැනියක් මේ ලෝකය මහ පොළොව වෙනුවෙන් දරන වගකීමක්.

ලෝකය කියන්නේ යාත්‍රාවක්. ඒ යාත්‍රාවේ රැහැන් ඇදී තිබෙන්නේ යුතුකම් වගකීම් සහ ආදරයත් එක්ක කියලා මට හිතෙනවා. ඒත් ලෝකය ගමන් කරන්නේ රේල් පීලි දෙකක. ධනය හා බලය කියන රේල් පීලි දෙක මත ලෝකය දුවන කෝච්චියක්. හැම කෙනෙක්ම Try කරන්නේ ඒ කෝච්චියේ පා පුවරැවේ හරි එල්ලිලා යන්න. වැටිලා හුස්ම ගියත් ඒ හුස්ම ටික යනකම් හරි එල්ලිලා ඉන්න. අපි පය ගහලා ඉන්නේ ආදරයත් එක්ක හුස්මක් ඉල්ලන ලෝකෙක නෙවෙයි. තාක්ෂණය ආත්මය කරගෙන සල්ලිත් එක්ක හුස්මක් ඉල්ලන ලෝකෙක. තමන්ට ආදරය කරන ගෑනියක් පිරිමියෙක් වෙනුවෙන් ආදරයෙන් කතා කරන්න ජීවිතය විඳින්න විනාඩියක තරම්වත් ඉඩක් වෙන්කරන්න අකමැති මිනිස් යන්ත්‍ර, මිනිස් රොබෝවරු වැහි වැහැපු ලෝකෙක. ජීවිතය වෙනුවෙන් හොඳ ආර්ථික කළමනාකරණයක් තියෙන්න ඕන. යහපත් ආර්ථිකයකට පවුරු පදනම් ඉදිකරගන්න ඕන. ඔයා ඒ දරන මහන්සිය වෙනුවෙන් ඔයාගේ ආදරණීයන් ආදරයෙන් කැපකිරීම් කරන්න ඕන. ඒත් අපි සියල්ල අවසානයේ ඉල්ලන්නේ ජීවිත සතුට. ජීවිතය වෙනුවෙන් සල්ලි කඳු ගොඩගැහෙද්දී සතුට ආදරය සහ මඟහැරීම් නැවත දෑත් දිගු කළ නොහැකි මානයකට පලා ගිහින් තියෙන්න පුළුවන්. ජීවිතය දිනන්න නම් ජීවිතය භෞතික අතින් වගේම අධ්‍යාත්මික අතිනුත් අංගසම්පූර්ණ නොවුණත් පිරෙන්න ඕන. නැත්නම් ඔයා කොච්චර පොහොසත් වුණත් ජීවිතයක් හිමි මිනිස්සු ළඟදී ඔයා හරි දුප්පත්. ඒ දුප්පත්කම ජීවිතයේ මරණයට පෙර එක තත්ත්පරයක් හරි ඔයා රිදවයි... ඔයාගේ හෘද සාක්ෂිය හමුවේ ඔයා වැරදිකාරයෙක් කරයි. මුළු ලෝකයම ඔයා වැරදිකාරයෙක් කළත් සැලෙන්න එපා. ඒත් ඔයාගේ හෘද සාක්ෂිය ළඟ ඔයා වැරදිකාරයෙක් වෙච්ච දවසට ඔයා ඔයාට සමාව දෙන්නත් එපා. ඔයාගේ ජීවිතයට ඔයාටත් වඩා ආදරය කරන කෙනා ඔයා එක වතාවට සිය දහස් වතාවක් Really sorry කීවත් එදාට එයා ඔයාට සමාව දෙන එකකුත් නෑ.