ඔබ විසින් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටය පසුගියදා ජාත්‍යන්තර සම්මාන උළෙලක් නියෝජනය කළා...?
ඔව්. මීට පෙර පාංශු එකම එක වතාවක් ලංකාවේ තිරගත වුණා. නමුත් මේක තමයි මෙය ප්‍රථම වතාවට ජාත්‍යන්තර සිනමා උළෙලක ප්‍රදර්ශනය කරපු අවස්ථාව වෙන්නෙ. ඒකෙ නම Montreal world film festival. අපි මේ චිත්‍රපටය තරගකාරී අංශයට ඉදිරිපත් කළේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. Montreal කියන්නෙ කැනඩාවේ ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රාන්තයක්. ඒ නිසා එම තරගකාරී අංශයට චිත්‍රපටය ඉදිරිපත් කරනවානම් ප්‍රංශ උපසිරස යෙදිය යුතු වෙනවා. ඒ නිසා තරගකාරී අංශයට අපි ඉදිරිපත් කළේ නැහැ. තරගකාරී නොවන අංශය අපි නියෝජනය කළත් ඒ අවස්ථාව අපිට විශාල අත්දැකීමක් වුණා. ලෝකය පුරා සිනමා උළෙලවල් කොපමණ තිබුණත් මෙය ලෝකයම පිළිගත්ත හොඳම සිනමා උළෙලවල් දොළහෙන් එක් උළෙලක් වෙනවා. චිත්‍රපටයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මේ චිත්‍රපටය බලන්න ඇවිත් හිටියා. මේ චිත්‍රපටයේ බොහොම හැඟීම්බර සිදුවීම් කිහිපයක්ම තිබුණා. ඒ වගේ වෙලාවට ප්‍රේක්ෂකාගාරයේ හිටපු බොහෝ ශ්‍රී ලාංකිකයන් හැඟීම්බර වුණා. ඇතැමුන්ට මේ සිදුවීම් පවා හොඳම හුරුපුරුදුයි. මතකයි. එවැනි ශ්‍රී ලාංකිකයන් මෙම නිර්මාණය පිළිබඳව බොහෝ සතුටට පත්වුණා.
පාංශු නිර්මාණය වුණේ කොයි කාලයෙදිද..?
පාංශු රූපගත කළේ ගිය අවුරුද්දේ ජූලි මාසයේදී. මේ වසරේ ජනවාරි වනවිට සම්පූර්ණයෙන්ම එම නිර්මාණය කරලා අවසන් කළා. පාංශු කියන්නෙ ලංකාවේ 1988/ 1989 කාලවලදී සිදුවුණු භීෂණ වාතාවරණය අළලා කෙරුණු චිත්‍රපටයක්. ඒ කාලේ පැහැරගෙන ගිහින් අතුරුදන් වුණු තම පුතාව හොය හොයා යන අම්මා කෙනෙකුගේ කතාවක් තමයි පාංශු තුළින් ඉදිරිපත් කරන්නෙ. ඒ කාලේ මම උසස් පෙළ හදාරනවා. මම හිටියේ කොළඹ සහ හොරණ කියන ප්‍රදේශවලයි. ඉතින් ඒ කාලෙදී මේ රට තුළ වන බොහෝ දේවල් මටත් දකින්න ලැබුණා. තරැණයන්ව මරලා දාලා තියෙන හැටි, මළසිරුරු තැන් තැන්වල ප්‍රදර්ශනය කරලා තියෙන හැටි, අම්මලා තාත්තලා ආදරවන්තයෝ හඬා වැළපෙන හැටි මට මතකයි. අද වෙද්දී ඒ සිදුවීම් බොහෝ දෙනෙකුට මතක නැහැ වගේම අලුතින් එන පරම්පරාව එවැනි කාලයක් පිළිබඳව දන්නෙ නැහැ. ඉතින් මම මේ චිත්‍රපටය කළේ ඒ වගේ දේවල් නැවත ඇතිනොවන්නනම් අපි මොනවද කරන්න ඕනෙ කියන කතිකාවට යන්නයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වුණේ නීටා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර සහ ජගත් මනුවර්ණයි. කොහොමද මේ චරිතවලට මොවුන්ව තෝරාගත්තෙ...?
මේ වගේ චරිතයක් කරන්න ඉතාමත් ගැලපෙන, මුහුණේ හැඟීම් තියෙන, චරිතාංග ලක්ෂණ පෙන්නුම් කරන අය මේ සඳහා යොදාගන්න අපිට ඕන වුණා. ඒ චරිත ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණේ ඔවුන්ටයි. ඒ නිසයි මම ඒ අයව තෝරාගත්තෙ. නදී හුඟ කාලෙක ඉඳන් මගේ පරණ යාළුවෙක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලේ ඉඳලම මම දන්න මගේ යෙහෙළියක්. නීටා ප්‍රනාන්දු මහත්මියවනම් මම ඇත්තටම පෞද්ගලිකව දැනගෙන හිටියෙ නැහැ. හැබැයි ඇයගේ රංගන හැකියාව පිළිබඳව මම දැනගෙන හිටියා. නමුත් මේ වගේ වැඩකට ඇය සම්බන්ධ වෙයිද කියලත් මගේ ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. මම අලුත් අධ්‍යක්ෂකවරයෙක්නෙ. මම එක චිත්‍රපටයක් විතරයි අධ්‍යක්ෂණය කරලා තිබුණේ. නමුත් නීටා ප්‍රනාන්දු මහත්මිය ඉතාම සතුටින් මේකට කැමතිවෙලා ලොකු සහයෝගයක් දුන්නා. ජගත් එක්කත් මගේ පුංචි හැඳුනුම්කමක් තිබුණා. මම ලියපු නාට්‍යයක මීට කලින් ජගත් රඟපාලා තිබුණා. මේ තුන්දෙනා තමයි මේ චරිතවලට හොඳින්ම ගැලපෙන්නෙ කියලා මම දැනගෙන හිටියා. අවසානයේදී කිසිදු පැකිලීමකින් තොරව ගොඩක් මහන්සිවෙලා මේ චිත්‍රපටයට ඒ අය දායක වුණා.
පාංශු රූපගත කළේ කොහේද...?
ප්‍රධාන වශයෙන් ගල්ගමුව ප්‍රදේශයේ තමයි රූපගත කිරීම් කළේ. ඊට අමතරව කොළඹ තැන් කිහිපයකත් රූපගත කිරීම් කළා. 1988 සහ 1989 කාලවකවානුව ආශ්‍රයෙන් තමයි අපි රූපගත කිරීම් කළේ. නමුත් අදටත් ඒ ප්‍රදේශයේ මිනිස්සු ඉතාම දුෂ්කර විදිහට තමයි ජීවත් වෙන්නෙ. කොළඹ ආශ්‍රිතව අද වෙද්දී විශාල සංවර්ධනයක් සිද්ධවුණත් තවමත් ඒ පැතිවල ජීවත් වෙන්නෙ ඉතාමත් දුෂ්කර ජීවිත ගතකරන මිනිස්සු.
විසාකේසගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණු සයපෙති කුසුම (Frangipani) බොහෝ සම්මානවලට නිර්දේශ වුණු සම්මාන ලැබූ සිනමාපටයක් වුණා නේද...?
ඔව්... සයපෙති කුසුම (Frangipani) කියන්නෙ ලංකාවේ සාමාන්‍යයෙන් කතා නොකරන තේමාවක් අළලා නිර්මාණය වුණු සිනමාපටයක්. සාමකාමී ආදරයක් සම්බන්ධව කෙරුණු චිත්‍රපටයක්. ඒ වගේ චිත්‍රපටයක් ලංකාවේ තිරගත නොවුණු නිසා ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. මේ වගේ මාතෘකාවක් අළලා මම 2004 දී කටුයහන නමින් වේදිකා නාට්‍යයක් කළා. ඒ නාට්‍ය තමයි කලාත්මක නිර්මාණයක් තුළින් මේ වගේ විෂයක් සම්බන්ධව කෙරුණු මුල්ම නාට්‍යයත් වුණේ. ඊට අවුරුදු දහයකට පස්සෙවත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධව කිසිදු නිර්මාණයක් කරලා තිබුණේ නැහැ. ලංකාවේ තියෙන නීතිය සහ යම් යම් ආකාරයේ සමාජ වාරණ නිසා ඉතාමත් දුෂ්කර තත්ත්වයට පත්වුණු පිරිසක් විදිහට සාමකාමී සහ සංක්‍රාන්තික ප්‍රජාව මම හඳුන්වනවා. ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මම සයපෙති කුසුම චිත්‍රපටය කළා. හැබැයි අපි මේ චිත්‍රපටය කළේ DVD සහ you tube හරහා පමණක් ප්‍රදර්ශනය කරන්න වුණත් අවසානයේදී ඒ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්න අවසරය ලැබුණා. ඒ ගැන සතුටුයි.
පාංශු කවදා විතර අප රටේ සිනමාලෝලීන්ට දැකබලාගන්නට පුළුවන් වෙයිද...?
ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න දැන් හරිම දුෂ්කරයි. ඉතින් කොයිවගේ කාලයක් ගතවෙයිද කියන්න බැහැ. ලබන අවුරුද්දෙ තිරගත කරන්නට ලොකු උත්සාහයක් ගන්නවා. මම පූර්ණකාලීනව සිනමාවේදියෙක් නෙමේ, ලංකාවේ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කළා. පිටරටක රාජ්‍ය සේවයක උපදේශකවරයෙක් විදිහට කටයුතු කළා . මේ වන විට රාජ්‍ය නොවන අංශයේ උපදේශකයෙක් ලෙස සේවය කරනවා. ඒ වගේ රැකියාවක් කරද්දී හැමදාම නිර්මාණකරණය කරන්න අමාරුයි. අනෙක එහෙම ලොකු වුවමනාවකුත් මට නැහැ. කතා කරන්න අත්‍යවශ්‍යම දේවල් කතා කරන්න තමයි මම සිනමා කර්මාන්තයේ සහ අනෙක් නිර්මාණවල යෙදෙන්නෙ.
► Text — Dishani / Pic - Internet