2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

මොන්ටෝ මෙහේ සොෆියා එහේ

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137
 
කාලය 1946 අවුරුද්දේ ඉන්දියාවේ බොම්බායේ සිදුවීමක්. මේ කාලේ ඉන්දියාව පුරාම නිදහස් සටන් පවතින කාලයක්. අන්න ඒ කාලේ බොම්බාය නගරයේ සිනමා පිටපත් රචකයෙක් වුණු සාදත් හසන් මන්ටෝ ලස්සන ලස්සන කුඩා කතාන්දර ලියන්නෙක් විදියට තමයි රාජකාරි කළේ. මොන්ටෝ රයිඅර් ඇසෝසියේශන් එකේත් ජනප‍්‍රිය සාමාජිකයෙක්. සිනමා කර්මාන්තයේ ඒ කාලේ ජනප‍්‍රිය වෙලා හිටිය සිනමා නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් වුණු අශෝක් කුමාර්, සහ ශ්‍යාම් චඩ්ඩා ඔහුගේ සමකාලීන මිතුරන් වුණා. මොන්ටෝට ලියන්න ශක්තියත් වගේම ඔහුගේ සෙවණැල්ලත් වුණේ ඔහුගේ ප‍්‍රිය බිරිය සොෆියා. ඔන්න 1947 අගෝස්තු 15 වැනිදා ඉර උදාවෙන්නේ ඉන්දියාවට නිදහස ලබාදෙමින්. ඒත් එදාම තමයි අලුත් රටක් වුණු පකිස්තානය බිහිවුණෙත්. ඒ සිද්ධියත් එක්කම සොෆියා පාකිස්තානයේ ලාහෝර්වල ජීවත් වන ඇයගේ අක්කා ගාවට විවාහ උත්සවයකට සහභාගීවෙන්න හිතාගෙන යනවා. ඒත් ඒ දවස්වලම හින්දු සහ මුස්ලිම් අය ගහමරාගන්න පටන් ගන්නවා. මොන්ටෝ ඉන්දියාවේ ජීවත් වෙද්දී ඔහුගේ බිරිය පාකිස්තානයේ ජීවත් වෙනවා. ඒත් දවසක් මොන්ටෝගේ මිත‍්‍රයා ශ්‍යාම්ගේ පවුලේ උදවිය මුස්ලිම් අයගේ බෝම්බ ප‍්‍රහාරයකට ලක්වෙනවා. 
 
එදා ශ්‍යාම්ගේ කටින් පිටවුණු තියුණු අවි වගේ වචන හින්දා මොන්ටෝ බොම්බාය අත්හැරලා 1948 දී පාකිස්තානයේ ලාහෝර්වලට යන්නේ ලක්ෂ ගාණක් අනාථ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් විදියට. ඔහු එහිදී සොෆියාගේ කීම කනකටවත් ගන්නේ නැතුව බීමට ඇබ්බැහිවෙලා බේබද්දෙක් වෙනවා. මොන්ටෝගේ ජීවිත කතාව ගොඩක් රස කරන්න පුළුවන් කතාවක් නේද? කතාවේ ඉතුරු ටිකත් කියන්න පුළුවන්. ඒත් කතාව අහනවට වැඩිය ඔහුගේ කතාව ඔයාට බලන්නම පුළුවන්. 2018 මැයි 13 වැනිදා කැන්ස් සිනමා උළෙල නියෝජනය කළ මොන්ටෝ හින්දී සිනමාපටය ඉන්දියාව ඇතුළු ලොව රටවල්වල 2018 සැප්තැම්බර් 21 වැනිදා පටන් තිරගත වෙනවා. විනාඩි 116ක ධාවන කාලයකින් සමන්විත මොන්ටෝ හින්දී සිනමාපටය නිෂ්පාදනය කරන්න දායකවෙලා තියෙන්නෙ වික‍්‍රාන්ත් බත‍්‍රා, අජිත් ආන්ද්‍රේ, නම‍්‍රතා ගෝයල් සහ නන්දිතා දාස්. පසුබිම සප්ත ස්වරයෙන් හැඩගන්වලා තියෙන්නෙ සකීර් හුසේන් වන අතර මේ සිනමාපටයේ තියෙන ගීත හැඩකරන්න, ඒවා සප්ත ස්වරයෙන් පණපොවලා තියෙන්නෙ ස්නේහා ඛාන් වෝල්කර් සහ රෆ්තාර්. මොන්ටෝ කියන මේ සුන්දර මිනිසාගේ කතාව ලියා මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හින්දී සිනමාපට නරඹන ඔබ අපි දන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපට ඔබත් රසවිඳ තියෙනවනම් ඔබට මේ කියන්න හදන කෙනා, නැත්නම් මේ සිනමාපටයේ අධ්‍යක්ෂ ගැන දැනගන්න පුළුවන්.
 
Fire (1996), Earth (1998), Bawandar (2000), Kannathil Muthamittal (2002), Azhagi (2002), Kamli (2006), Before The Rains (2007). Firaaq (2008)
 
 
1969 නොවැම්බර් 07 වැනිදා ඉපදිලා තියෙන ඇය ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රවල මුම්බයිවල ජීවත් වන නිළියක් වගේම අධ්‍යක්ෂවරියක් සහ නිෂ්පාදිකාවක්ද වන අතර 1989, 1996 වගේ කාලයේදී තමයි සිනමාවට සම්බන්ධවෙලා තියෙන්නෙ. ලොව පුරා රට රටවලින් සිනමා සම්මාන තමන්ගේ නමට ලියාගන්න සමත්වෙලා තියෙන ඇය මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති. 2002 දී සෞම්‍ය සෙන් එක්ක විවාහවෙලා 2007 දී ඔහුගෙන් දික්කසාද වුණු ඇය 2010 ජනවාරි 02 වැනිදා මුම්බායිහි ව්‍යාපාරිකයෙක් වන සොබෝධ් මාස්කාර එක්ක විවාහ වුණා. ඔවුන්ට විහාන් නමින් පුතෙක්ද සිටින අතර ඇය කලාකරුවෙක් වන ජතින් දාස් සහ රචිකාවක් වන වර්ෂා දාස්ගේ දියණිය නන්දිතා දාස් වෙනවා. මොන්ටෝ හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු ලොව පුරා විවිධ රටවලින් සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට ලියාගත් නන්දිතා දාස් විසින්. දැන් ඔබට කියන්න හදන්නෙ මොන්ටෝගේ චරිතයට පණපොවන ඔහු ගැනයි. මෙන්න මේ සිනමාපටවල ඔහු දක්ෂ විදියට චරිතවලට පණ දුන්න කෙනෙක්. 
 
1999 Sarfarosh, Shool (1999), Jungle (2000); Munnabhai MBBS (2003). 2009, Dev D, New York (2009). The Kite (2012) ,Kahaani (2012), Gangs of Wasseypur. 2013, Aatma, Talash- 2014, Black Friday (2007), The Lunchbox
 
1974 මැයි 19 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි බුධානාවල ඉපදුනු ඔහු ජාතික නාට්‍ය පාසලින් රංගනය පිළිබඳව හදාරලා ගුරුකුල් කන්ග‍්‍රි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබනවා. 1999 දී සිනමා නළුවෙක් විදියට ඉන්දියානු සිනමාවට සම්බන්ධවෙන ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙක්. අන්ජලී සිද්දීකීගේ ස්වාමිපුරුෂයා වන නවසුද්දීන් සිද්දීකී තමයි මොන්ටෝගේ චරිතය යස අගේට ජීවමාන කරන්න හැඩට පණපොවලා  තියෙන්නෙ. සෆියාගේ චරිතයට පණපොවන්නෙ 1985 ජනවාරි 17 වැනිදා ඉන්දියාවේ ජාර්කන්ඩ්වල ජම්ශෙල්පූර්වලදී ඉපදී දැනට මුම්බායිවල ජීවත්වන 2007 පටන් හින්දී සිනමාවට සම්බන්ධව සිටින ඇයයි. ඇය මුකුල් චඩ්ඩා සමඟින් විවාහ වී සිටින අතර ඇය නමින් රසිකා චඩ්ඩා වන අතර මෙන්න මේ සිනමාපටවලත් ඇය විවිධ චරිතයන්ට පණ දීලා තියෙනවා
 
 
Anwar- 2007, No Smoking- 2007, Hijack- 2008 , Tahaan- 2008, Agyaat-2009
 
ඒ දෙන්නට අමතරව ගොඩක් අය මේ සිනමාපටයේ විවිධ චරිත හැඩකරන්න නන්දිතා දාස් මේ සිනමාපටයට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ අතරින් ශ්‍යාම්ගේ චරිතය තහීර් රාජ් භාසිනුත්, නර්ගීස්ගේ චරිතයට ෆෙර්ය්නා වෂීරුත්, අබීද් අලි අබීද්ගේ චරිතයට ගීත පදමාලා රචකයෙක් සහ තිරපිටපත් රචකයෙක් වන ෆර්හාන් අක්තර්ගේ පියා ජාවේද් අක්තරුත්, අහ්මද් නදීම් කාස්මීගේ චරිතයට චන්දන් රෝයි සන්යාලූත්, භිස්දාන් සිංගේ චරිතයට විනෝද් නාග්පාලූත්, සිනමාපට නිෂ්පාදකගේ චරිතයට රිෂී කපූරුත්, හමීද්ගේ චරිතයට ඉනාමුල්හාක් සහ ඊශා සිංගේ චරිතයට රන්වීර් ශෝරේයිට අමතරව ආජ්ශ්‍රී දේෂ්පාන්ඩේ, ඉල්ල අරැන්, දිව්‍යා දත්තා, පරේශ් රාවල්, තිල්ලොතමා ශෝමේ, ශශාන්ක් අරෝරා, ගුර්දාන් මාන්, දනිෂ් හුසේන්, සහා භානූ උදය යන නළු නිළියන් මොන්ටෝ සිනමාපටයේ විවිධ චරිතවලට පණ දීලා තියෙනවා. මොන්ටෝ හින්දී සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පදමාලාවන් දිබාකර් බැනර්ජී, ස්නේහා ඛාන්වෝල්කර්, සිමාබ් අක්බරබාදී, මීරාජී, ෆායීස් අහ්මද් ෆායීස් සහ රෆ්තාර් විසින් සිදුකරලා තියෙනවා. ඒවාට තමන්ගේ හඬ මුසුකරලා ඒ ගී පදයන්ට පණපොවලා තියෙන්නෙ රේඛා භර්ද්වාජ්, ශුභා ජෝෂී, ශන්කර් මහදේවන්, රශීද් ඛාන් සහ විද්‍යා ශාහ් විසින්. සත්‍ය කතාවල රහ බලන්න කැමති ඔබට රමණීය කතාන්දරයක රහ බලන්න සම්මානයෙන් පිදුම් ලෑබූ මොන්ටෝ හින්දී සිනමාපටයෙන් ඔන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
 
► Translation — Chandana Waravitage