2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ඒ කාලෙ රඟේ

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

දැන් රඟපාන්නෙ නැති නමුත් ඒ කාලෙ හොඳට රඟපාපු එක්තරා කෙනෙක් ඉන්නවලු. දැන් වයස්ගත නිසා මතකයත් ටිකක් අඩුයිලු.

එයාට මොනවහරි කතාවක් කිව්වොත් ඒකට උත්තර දෙන්නෙ ඒ කාලෙ මම ජනප්‍රියවෙලා හිටිය දවස්වල කියලා පටන් අරගෙනලු.
අද වහියි වගේ නේද?

ඒ කාලෙ, ඒ කියන්නෙ මම ජනප්‍රිය නළුවෙක් වෙලා හිටිය දවස්වල අපට අව්ව, වැස්ස කියලා භේදයක් තිබුණෙ නැහැ. අව්වටත් කුඩ පාවිච්චි කළා, වැස්සටත් කුඩ ගෙනිච්චා.
අර ලෝක ප්‍රසිද්ධ නළුවා මැරිලලු නේද?
ඒ කාලෙ, මම ජනප්‍රිය නළුවෙක් වෙලා හිටිය කාලෙ, අපට මොනතරම් ප්‍රශ්න, දුක් දොම්නස්, ලෙඩරෝග තිබුණත් අපි මැරුණෙ නෑනෙ බං

 

කියපු බොරු කැමරාවෙන් මාට්ටු

පහුගිය දවසක පැවැත්වුණු එක්තරා කලා ලොවේ උත්සවයකට ප්‍රවීණ ශිල්පියෙකුට ආරාධනා කරලා නැහැ. හරියටම පහුවදා පවත්වපු තවත් උත්සවයකදී අර කලින් දවසෙ පැවැත්වුණු උත්සවයෙ ප්‍රධාන සංවිධායක මුණගැසුණලු.
අපට නොකියා ඊයෙ වැඩක් කළා නේද?

නෑ අයියෙ මම ගෙදරටම ආරාධනා පත්‍රයක් යැව්වනෙ ගෝලයෙක් අතේ.
අනේ බොරු කියන්න එපා මල්ලි

ඇත්තමයි අයියා
ඇත්ත ඒක නෙවෙයි. මම ඇත්තම කියන්නද? ඔයාගෙ උත්සවේ තිබුණෙ ඊයෙ හවස 4ට. කාඩ් එක අපේ ගෙදර ගේට්ටුවේ ලියුම් පෙට්ටියට දාලා තිබුණෙ රෑ 9ට. ඒත් ඔයාගෙ ගෝලයා නෙවෙයි, ඔයාමයි ඇවිත් දැම්මේ. අපේ ගෙදර හතර වටේටම CCTV කැමරා හයිකරලා තියෙනවා මල්ලි. වරදක් වුණානම් ඒක පිළිගන්න. නැත්තම් එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා.

 

දැන් එන්ඩ කියපු කාලෙ ගියා 

පහුගිය දවසක ප්‍රවීණ කලා ශිල්පියකු වෛද්‍ය පරීක්ෂණ වගයක් කරන්න පෞද්ගලික රෝහලකට ගියාලු. එහෙම ගියාම ඉතින් අපට තියෙන ආදරේ වැඩිකමට නානාවිධ පරීක්ෂණවලට ලක් කරනවනෙ. ඉතින් මේ ශිල්පියාටත් අලුත්ම වර්ගයේ පරීක්ෂණයක් කරන්න සිද්ධ වුණාලු.

වෙනම කාමරේකලු ඒක සිදුකරන්නෙ. කාමරේ සියලුම දේවල් ලෑස්ති කළාට පස්සෙ තමයි එළියෙ වාඩිවෙලා ඉන්න ලෙඩාට ඇතුළට එන්න කියන්නෙ.
කිසිදේකට බයවෙන්න එපා. මේක හරිම සරල පරීක්ෂණයක්, හැබැයි ගැජට් ගොඩක් තියෙනවා. දැන් කාමරේ ඇතුළෙ පරීක්ෂණයට සියල්ල සූදානම්ලු.
දැන් එන්ඩ, වෛද්‍යවරයා අර ශිල්පියාට කතා කළාලු.

දැන් එන්ඩ කියපු ගමන් මට එකපාරටම මතක් වුණේ ඒ කාලෙ අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු රූපගත කරන්නට යන දර්ශනය සඳහා සියල්ල සූදානම් කරලා නළු නිළියන්ට කතා කරන විදිහ.
දැනුත් එහෙමද? වෛද්‍යවරයා ඇහුවලු.

දැන් ඉතින් හැමදේම කනපිට හැරිලනෙ. දැන් දර්ශන තලයෙ සූදානම් වුණාට පස්සෙ එන්න කිව්වට නළු නිළියො එතෙන්ට එන්නෙ නැහැ. ඒගොල්ලො ඒ පැත්ත පළාතකවත් හොයාගන්න නැහැ. කොහේ හරි මුල්ලකට වෙලා ෆෝන් එක කනේ ගහගෙන මල් කඩනවා. නැත්නම් කොට කොට ඉන්නවා. දැන් එන්ඩ කිව්වට ඇහෙන්නෙ නෑ. මෙහෙ වරෙන් යකෝ කියලයි ඉස්සරහට කියන්න වෙන්නෙ.
ඒ කතාබහ අතරතුර වෛද්‍යවරයා පරීක්ෂණයත් ඉවර කළාලු.

 

මාධ්‍ය දන්සල

සිනමාවේ පැවැත්මට නිෂ්පාදකවරු නැතිවම බැරි සාධකයක් බව කවුරුත් දන්නවා. ඒත් චිත්‍රපටය අවසන්වෙලා ප්‍රදර්ශනය වෙද්දී ප්‍රචාරක වැඩවලදී වැඩිපුරම කතාබහට ලක්වෙන්නෙ ඒකෙ ඉන්න නළුවා, නැත්නම් නිළිය. සමහරවිට අධ්‍යක්ෂකවරයා. මුළු ව්‍යාපෘතියටම විශාල අවදානමක් අරගෙන මුදල් යොදවපු නිෂ්පාදකවරයා ගැන අවධානය යොමුවෙන්නෙ බොහොම අඩුවෙන්. ඔහු හෝ ඇය ගැන කතා නොකරන තරම්.
ඒත් චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යයකට සම්බන්ධ උත්සව සඳහා නිෂ්පාදකවරුන්ගෙන් ගලවන්නෙ නැත්තෙ ඔවුන්ගෙ ඇටමිදුළු විතරයි.

මෙහෙම කිව්වෙ අලුත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන ප්‍රවීණ නිෂ්පාදකවරයෙක්.
කොටස් 150කට ලියැවුණු ටෙලිනාට්‍යයේ මුල්ම කොටස් 10 ඉවරවෙන්නත් කලින් ඒකෙ අධ්‍යක්ෂකවරයාට ඕනවුණාලු ඒ ගැන ලොකු සද්දයක් දාලා රටටම කියන්න. ඒකට බර වියදමකුත් යනවලු. නිෂ්පාදක කිව්වලු ඒක කිසි තේරුමක් නැති වැඩක් කියලා. ඒත් අධ්‍යක්ෂකගෙ බලවත් පෙරැත්තය නිසාම මාධ්‍ය දර්ශනයක් ලෑස්ති කළාලු. 25ක් 30ක් විතර එයි කිව්වට අන්තිමට 150ක් විතර ආවලු. නිෂ්පාදකට තරු පෙනුණලු.

ටෙලිනාට්‍ය කොටස් 10ක් විතර කරන්න පුළුවන් ගාණක් නිරපරාදෙ නාස්ති වුණා. ඒක මාධ්‍ය දර්ශනයක් නෙවෙයි, මාධ්‍ය දන්සලක්. ආවෙ කවුද? ගියේ කවුද? කියලවත් කවුරුත් දන්නෙ නැහැ, ඔහු කිව්වලු.

 

► Text - Mithra