2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කෑව කෑමට නැග්ග හැටි දුන්න ගේමට බැස්ස හැටි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

මගේ නරක ආහාර පුරුදු තමයි සේරටම මුල වුණේ. කොයිම වෙලාවකවත් ගෙදරදී කෑම ටිකක් හදාගෙන කන්න පුරුද්දක් මට තිබුණේ නෑ. 

රින්ගෝ කියන ආකාරයට ඔහු බොහෝ වෙලාවට දවල් කෑමට ගොඩවුණේ සුපිරි අවන්හලක් වෙතය. එහි ඇති ෆැමිලි මීල් එකක් මිලට ගන්නා ඔහු එය තනියම බුදින්නේය. මේ ෆැමිලි මීල් එකකට බිග් මැක් බර්ගර්ස් දෙකක්, ලොකු ප්‍රමාණයේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් දෙකක්, ලොකු කොකාකෝලා කෝප්ප දෙකක් වගේම චිකන් නගෙට්ස් 20ක් අයත්ය. 

ගොඩක් වෙලාවට රෑ කෑමට කළෙත් පිට්සා ඕඩර් කරන එකයි ඔහු අද ඒ ගැන පසුවන්නේ මහත් කනගාටුවෙනි. 
එක්සත් ජනපදයේ ටෙනෙසි ප්‍රාන්ත වැසියකු වන ස්ටීවන් රින්ගෝ මීට මාස ගණනකට පෙර අධි බර මිනිසෙක්. ඔහු කොච්චර බරයි ද මහතයි ද කියනවා නම් ඔහුගේ බර කිලෝ 184ක්. එයාගේ උස අඩි පහයි අඟල් හතක් වෙද්දි ඉණේ මට්ටමත් අඩි පහක් වුණා. ඒ කියන්නේ අඟල් 60ක ඉණක් එයාට තිබුණා. 

බර වැඩිවෙනවා කියන එක මුලදී රින්ගෝට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් විදිහට තමයි එයා සැලකුවේ. අනික එයාගේ රැකියාව තමයි මෘදුකාංග වැඩිදියුණු කිරීම. ඒ කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඉතින් උදේට කම්පියුටරේ ඉස්සරහ වාඩිවුණාම ආපහු එතනින් නැගිට්ටේ වැසිකිළියට යන්නයි දවල් කෑමට යන්නයි විතරයි. ඉතින් ව්‍යායාම නැති ජීවිතයයි අයහපත් ආහාර පුරුදුයි නිසා ඔහු අධික විදිහට මහත් වුණා. 

වතාවක් මම වයිෆ් එක්ක  නිව් යෝර්ක් නුවරට ගියා.  නිව් යෝර්ක් කියන්නේ සෑහෙන ඇවිදින්න සිද්ධ වෙන නගරයක්. සෙන්ට්‍රල් පාක් එකේ විනාඩි දහයක් ඇවිද්දට පස්සෙ හති අරින්න පැය භාගයක් විතර බංකුවක වාඩි වෙලා ඉන්න මට සිද්ධ වුණා. මම හිතන්නේ මගේ වයිෆ්ට ඔය වෙද්දිත් එපා වෙන්න පටන් අරන්.

රින්ගෝ හිතුවා හරිය. ඔහුගේ බිරිඳට තම සැමියාගේ අධික බර මහත් හිසරදයක් වී තිබුණා. පවුල් ජීවිතයේ සතුටක් නැති තැන බිරිඳ කළේ රින්ගෝ හැරදා යාමයි. 
මට වෙච්ච දේ ගැන පුදුම දුකක් තියෙන්නෙ. මම බඩජාරිකමට කෑමට පුරුදු වෙලා හිටියා. බිරිඳ මගෙන් ඈත් වෙනවා මට දැනුණෙ නෑ.

එහෙත් 2016 ඔක්තෝබර් මාසයේදී ඔහු ජිම් එකකට එකතු වුණේ බිරිඳගේ ඈත්වීම තම ජීවිතයේ ලද ලොකුම පාඩම බවට පෙරළා ගනිමිනුයි. ඔහුට තමන්ගේ අවලස්සන ශරීරය ගැනම අපුලක් ඇතිවෙන්න පටන් ගත්තා. ව්‍යායාමවලට අමතරව කෑම පාලනය කරන්නත් ඔහු පෙළඹුණා. උදේ ඉඳන් නිරාහාරව සිටින රින්ගෝ හවස 5යි 9යි අතර විතරයි කෑම කෑවේ. අන්තිමේදී අඟල් 60කට තිබුණු ඉණ අඟල් 32ක් දක්වා අඩු කරගන්න ඔහුගේ කැපවීම නිසා පුළුවන් වුණා.  

කාලෙකට කලින් දෙකට නැමිලා මේස් කකුලට දාගන්නත් මට අමාරුයි. හැබැයි අද වෙද්දි බය නැතුව ගෑනු ළමයෙක් ළඟට ගිහින් රෑ කෑමකට යන්න ආරාධනා කරන්නත් මට ආත්ම විශ්වාසය ගොඩනැඟිලා. ඔහු එහෙම කියනවා.

 

► Text — Suranga