2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

සල්ලි නැතිකමට දොර ළඟ කරක් ගගහා හිටියා..

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

Art එකේ කැරට්ටුව..

Rodni සමඟ Danushka 

පයින් ඇවිදගෙන ඇවිල්ලා මම නතර වුණේ සුදර්ශියේ ගේට්ටුව ඉස්සරහා..... දෙපාරක් නොසිතා මම සුදර්ශියේ ගේට්ටුවෙන් ඇතුළු වුණේ විශේෂ කෙනෙක් මුණගැහෙන්න හිතාගෙන.....
රංචුවක් විදියට අහසට ආපු කුරුල්ලන් ළා රත්පැහැති වලාකුළු අතරින් කොළඹ අහසින් ඈතට පියාඹන වෙලාවක හම්බවෙන්න ආපු සුන්දර මනුස්සයා මම එනකම් රංගපීඨයේ කෙළවරක. 
ඈත තියාම මම දැක්ක විදිහට ඔහුගේ දෙනෙත් යොමුවෙලා තිබුණේ, රංගපීඨයේ නාට්‍යයක් පුහුණුවෙමින් ඉන්න පුංචි පැටවු කීපදෙනෙක් දිහාවට...  ඔහුගේ නෙත් දැහැන මම මොහොතකට පොඩ්ඩක් පළුදු කළා. ඒ සහෘද ඔබ වෙනුවෙන්...

ආයුබෝවන්... 
ආයුබෝවන්...

කටින් එකක් හිනාව මුළු මුහුණ පුරාම...  
අද අපේ කැරුට්ටුව රටක් ආදරය කරන රංගන ශිල්පියෙක්....
විශේෂ ආලවට්ටම් නැතුවම මම හඳුන්වා දෙන්නම්කො එයාව... 
රොඩ්නි වර්ණකුල ඒ තමයි එයා...

රොඩ්නි කියන්නෙ දක්ෂතා ගොඩක එකතුවක්. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ලොකු හැකියාවක් ඔහු සතුයි... බෝඩිමෙන් ප්‍රේක්ෂක හදවත්වලට එබිකම් කරපු ඔහු ඉස්සර වගේම තාමත් ඒ හදවත්වලම පැලපදියම් වෙලයි ඉන්නෙ... වේදිකාවෙන් පටන් අරන් ටෙලිනාට්‍ය, චිත්‍රපටවලටත් දැන් ඔහු නැතුවම බැරි රංගන ශිල්පියෙක් බවට පත්වෙලා... ඒ හැමදේකටම වඩා එයා පොළොවේ පයගහලා ජීවත්වන ආදරණීය මනුස්සයෙක්.. ඒ තමයි අපි රොඩ්නි ගැන අහලා දැකලා තියෙන විදිහ...

අනං මනං වැල්වටාරම් නැතුව ලේසි තැනකින් අපි අදත් පටන් ගමු. ඒ රොඩ්නිගේ ජීවිතයෙන්ම... කියමුද මේ දවස්වල වත ගොත ටිකක්... 
ජීවිතය පැත්තෙන් ගත්තාම ටිකක් කාර්ය බහුලයි... මගේ ප්‍රථම නාට්‍ය නිර්මාණය වන සාරංගා නැවෙන් ඇවිත් නාට්‍ය අවුරුදු අටකට පස්සේ අලුත් නිෂ්පාදනයක් විදියට වේදිකාවට ගේනවා... ඔක්තෝබර් දෙවැනිදා මංගල දර්ශන තියන්න තමයි හිතාගෙන ඉන්නෙ... බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය තමයි තැන. ඒකෙ වැඩයි, මගේ ත්‍රීෆේස් කොන්සට් කිහිපයක් ඉදිරියේදී තැන් කිහිපයක පවත්වන්න තියෙනවා... ඒවත් එක්ක තමා ජීවිතය ගෙවෙන්නේ. 
කෙටියෙන් දුන්න උත්තරයෙන් සෑහීමකට පත්වෙලා... දැන් ආපු වැඩේට බහිමු... 

මෙහෙමයි ඔයාගේ ජීවිතය වෙනස්කරපු නිර්මාණයක් ගැන කතා කරමුද? 
රොඩ්නි රඟපාපුවා අපි ඕනතරම් බලලා තියෙනවනේ... ඒව ගැන නෙමේ... 

හරි මෙහෙම කියමුකෝ... 
ඔබේ නොවන, ඔබේම කරගන්න හිතුණ නිර්මාණයක් ගැන කතාකරමු කියලා කිව්වොත්... ඔබ තෝරගන්නෙ මොකක්ද? හැබැයි සින්දු බෑ... 
මෙච්චර වෙලා වරින්වර වේදිකාවට ගිය දෙනෙත් එක එල්ලේ මගේ දිහාවට යොමුවුණා...

එවැනි නිර්මාණ ගොඩක් මට තියෙනවා... මම ආසා, මට දැනුණු ඒවා... ඒත් මගේ ජීවිතය වෙනස් කරපු විශේෂ නිර්මාණයක් තියෙනවා.. මම ඒක ගැන කියන්නම්...
ඒක වේදිකා නාට්‍යයක්... මේ වේදිකා නාට්‍ය විශේෂ වෙන්න පුංචි සිද්ධියකුත් තියෙනවා... 1974 මම පළවෙනි වතාවට සයිමන් නවගත්තේගම මහත්තයා නිෂ්පාදනය කරපු සුබ සහ යස කියන නාට්‍ය නැරඹුවා... ඒකත් අහම්බෙන් තමයි බලන්න හම්බවුණේ.. ලොකු සංවිධානයකින් තමා අපේ ඉස්කෝලෙට ඒක ගෙනාවෙ. අපේ ඉස්කොලේ නම තමා බෝපිටියේ පමුණුගම මහා විද්‍යාලය  ජයන්ති රංග ශාලාවේ තමයි මේක පෙන්නුවේ. එතකොට මම හිටියේ හත්වෙනි පන්තියේ. මට හරිම ආසයි දැන් මේ නාට්‍යය බලන්න... ඒත් මගේ අතේ සල්ලි නෑ... තුනයි තිහේ දර්ශනය පටන් ගන්නකොට හෝල් එකේ දොරක් ළඟට වෙලා මම ඔහේ බලාගෙන හිටියා... බොහෝම පින්සෙන්ඩු විදියට... ඔන්න එතකොට නියෝජ්‍ය විදුහල්පතිතුමා එතනට ආවා... එයා ඇවිල්ලා මගෙන් ඇහුවා මොකද උඹ ඔතන හිටගෙන කියලා... ඔහු දන්නවා මම ගොඩක් නාට්‍යවල ළැදිකමක් දක්වනවා කියලා... මොකද මම එතකොටත් පාසලේ නාට්‍ය විෂය හදාරමින් හිටියේ... මම කිව්වා මට සුබ යස නාට්‍ය බලන්න ඕනෙ කියලා... ඔහු එකපාරටම කිව්වා.. දැන්නම් සෙනඟත් පිරිලා ඇති... ඉඩ තියෙන තැනකින් ඉඳගෙන බලහන් කියලා... මම ඇතුළට යනකොට සෙනඟ පිරිලා... ලයිටුත් වහලා... ඉඳගන්න පුටුවක් තිබුණෙත් නෑ... මම වේදිකාව ළඟම බිම ඉඳගෙන බෙල්ලත් අංශක එකසිය අසූවට විතර දිග්කරගෙන තමයි නාට්‍ය බැලුවේ... ඒක බලලා ඉක්මනට ගෙදර ගිහින් අම්මට කිව්වා... මට ඉක්මනට තේ එකක් දෙන්න බඩගිනියි... මට නාට්‍යයක් බලන්න යන්න තියෙනවා කියලා.. එයා දන්නෙ නෑ මම 3.30 බැලුවා කියලා... තේ එකත් බීලා ආයි මම හෝල්එක ගාවට ගිහින් අර වගේම දොර ළඟ හිටගෙන ඉන්නවා... අර සර්ම ආයෙත් මගෙන් අහනවා... මොකද උඹ ආයෙත් මෙතෙනට වෙලා කරන්නෙ කියලා... මම ඉතින් බයාදු විදියට හිනාවුණා... සර්ට තේරුණා මට ආයෙත් බලන්න ඕනවෙලා කියලා.. හරි හරි ගිහින් බලපන් කියලා මට කිව්වා... ඒත් අර ගියපාර වගේමයි... හෝල් එක ඇතුළට යනකොට මිනිස්සු පිරිලා ඉඳගන්නවත් පුටුවක් නෑ... ගියපාර වගේම වේදිකාව ඉස්සරහට ගිහින් බිම ඉඳගෙනම නාට්‍ය බැලුවා...

මම මුල්ම වතාවට තමයි ජනප්‍රිය නළු නිළියන්ව සජීවීව දැක්කෙ.. නළු නිළියන් කියන්නෙ මොන වගේ අයද, මේ අය මොනවද කරන්නෙ, ඒ අයට මේකප් දාන විදිය එහෙම මම කොටුදැල් ගහලා තියෙන ජනේලක එල්ලිලා බලාගෙන හිටියා...  සයිමන් නවගත්තේගම බොහෝම නිදහසේ මේසයක් ළඟ වාඩිවෙලා හිටියා... විජය නන්දසිරිත් එතන හිටියා... මම හරිම ආසාවෙන් තමයි ඒ දේවල් දිහා බලන් හිටියේ.... ඒ වෙලා මටත් හිතුණා අනේ මට මෙහෙම වෙන්න පුළුවන් නම් කියලා. දෛවයේ වාසනාව කියන්නෙ මම රඟපාපු ප්‍රථම ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය තමයි තාරාවෝ ඉගිලෙති. ඒකෙ විජය නන්දසිරිත් එක්ක එකට රඟපාන්න අවස්ථාව හම්බවුණා.
මම සුබ සහ යස හත්වෙනි පන්තියේ ඉඳන් බලනකොට විශ්වකර්ම වැඩක් විදියට තමයි ඒක දැනුණේ. මොකද සයිමන් නවගත්තේගම මදුබඳුන අතේ තියන් දාසියට කතාකරනවා, එයාගේ මුහුණේ හැඩතල, එයාලා කියන ඩයලොග් මුළු ප්‍රේක්ෂකාගාරයටම ඇහෙනවා... විජය නන්දසිරි ඇතුළු අනෙක් නළු නිළියන්ගේ රංගනයට මාව වශී වුණා... අදටත් මම සුබ යස අදහන නාට්‍යයක්.

ඔබ ඔච්චරම වර්ණනාත්මකව කතා කරන සුබ යස නාට්‍යයේ ඇතුළාන්තය මොන වගේද?
මේක අපේ ඉතිහාස කතාවක්.. යස කියන්නේ යසලාලක තිස්ස රජතුමා.. සුබ කියන්නේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා.. මොවුන් දෙදෙනාගේ ස්වරූප ගොඩක්දුරට එක සමානයි.. පුංචි විහිළුවක් කරන්න හිතාගෙන මොවුන් දෙදෙනාගේ චරිත දෙක මාරුකරගන්නවා. රජතුමා සුබට කියනවා උඹ සිංහාසනයේ ඉඳගනින් කියලා රජතුමා ආරක්ෂක භටයා වෙනවා.. සුබ ඒක අවස්ථාවක් කරගන්නවා ඇත්තටම රජවෙන්න.. ඒ ඉතිහාස කතාව තමා නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කරලා සුබ සහ යස වේදිකාවට ගේන්නෙ.

සුබ සහ යස නාට්‍යයේ ඔබ කැමති චරිත තොරන්න කිව්වොත් ඔබ තෝරන්නෙ කාගෙ චරිතයද?
මම ගොඩක් කැමතියි යසලාලක තිස්ස රජ්ජුරුවන්ගේ චරිතයට. සයිමන් නවගත්තේගම තමයි රජ්ජුරුවන්ට රඟපාන්නෙ. සයින්මන් නවගත්තේගම හරිම අපූරුවට ඒ චරිතය රඟ දක්වනවා.. මම තාමත් හිතනවා කොහොමද ඒම රිලැක්ස්ව රඟපාන්නේ කියලා. අනිත් සෑම චරිතයකටමත් මම ගොඩක් කැමතියි. 

ඔබට ඒ චරිතය රඟපාන්න හම්බවුණා නම්? 
මට කොහොමත් එහෙම රඟපාන්න බෑ.. මොකද මගේ ස්වරෑපය ඒකට ගැලපෙන්නේ නෑ. චරිතයක් රඟපානකොට රංග ලක්ෂණ වගේම අංග ලක්ෂණත් සෑහෙන්න වැදගත්. ඒ චරිතය මට මහා විශ්මිත චරිතයක් ඒ චරිතයට මාව ගැලපෙන්නේ නෑ.. 

මේ නාට්‍යය කී වතාවක් බැලුවද?
දැනට මම තුන් වතාවක් බලලා තියෙනවා.. 

රොඩ්නි හිතන විදියට මේ නිර්මාණයෙන් සමාජයට ගන්න තියෙන්නෙ මොන වගේ හරයක්ද?
සුබ යස තුළින් දුන්න සමාජ විවරණය එදාට වඩා අදට තමයි ගැලපෙන්නෙ. අද ඉන්න දේශපාලකයෝ අනිවාර්යයෙන්ම මේ නාට්‍යය බලන්න ඕනෙ. ඒත් ඉතින් ඒ අය නාට්‍ය බලන අය නෙමේනෙ. ගැඹුරක් නැති දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ගැඹුර දැනගන්න පුළුවන් මේක බලලා.
රොඩ්නි කතාව නැවැත්තුවේ එහෙමයි.

 

► Pic - Sumudu