2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ෂූටින් කරද්දී ෆෝන් එක පැත්තට දාන නියම එකෙක් අද එහෙම උන් නෑනේ

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

ධනුෂ්ක... ඔයයි හර්ෂයි මුලින්ම මුණගැහුණේ කොයි කාලේදීද...?
මමයි හර්ෂයි මුලින්ම මුණගැහුණේ ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ “අහස් ගව්ව කියන ටෙලිනාට්‍යය හරහායි. එතනදී තමයි අපි දෙන්නාට යාළුවෝ විදිහට ඇසුරු කරන්න ඉඩ ලැබුණේ.

ධනුෂ්ක අධ්‍යක්ෂණය කරන “වෙස් නාට්‍යයට හර්ෂව සම්බන්ධ කරගැනීමේ යෝජනාවත් ධනුෂ්කගේද...?
මෙහෙමයි... නිෂ්පාදන කණ්ඩායමයි, නාලිකාවයි, මමයි, එකතුවෙලා මේ නිර්මාණයට නළු නිළියන් තෝරාගනිද්දී තමයි අපි හැමෝගේම කැමැත්ත වුණේ මේ චරිතයට හර්ෂ එකතුකරගමු කියලා. හර්ෂ කියන්නේ වේදිකා නාට්‍යවල දක්ෂ රංගන ශිල්පියෙක්. ඒවගේම හොඳ ටෙලිනාට්‍ය නළුවෙක්. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා තමයි හර්ෂව මේ චරිතයට තෝරා ගත්තේ.

හිතපු තරම් හර්ෂ ඒ චරිතයට සාධාරණයක් කරනවාද...?
හිතනවාටත් වඩා ලොකු සාධාරණයක් හර්ෂගෙන් අපට ලැබෙනවා. ඒ චරිතයට අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒක අපිට හොඳටම තේරෙනවා. හර්ෂ දුෂ්ඨයාගේ චරිතය කළත් අද ඒ චරිතයට අනුකම්පාවක් ප්‍රේක්ෂකයින්ගෙන් දිනාගෙන තියෙන බවයි දැන් අපිට දැනෙන්නේ.

හර්ෂ කියන්නේ මොනවගේ චරිතයක්ද...?
හර්ෂ කියන්නේ හරිම අවංක යාළුවෙක්. එයා වැඩිය ලොකුවට එයා ගැන කතා කරන්න කැමැති නැහැ. මාධ්‍යයට වුණත් හර්ෂ ලොකුවට පෙනී ඉන්න කැමති නැහැ. රෑපවාහිනි වැඩසටහන්වලට වුණත් හර්ෂ ලොකුවට සම්බන්ධ වෙන්න යන්නෙත් නැහැ. ඒ දේවල්වලින් කැපීපෙනීමේ ආසාවක් හර්ෂගේ නැහැ. හැබැයි හර්ෂට හැම වෙලේම අවශ්‍ය වෙන්නේ රංගන ශිල්පියෙක් විදිහට එයාට ලැබෙන චරිතය හරියට කරලා ඉවරවෙලා මඟතොටේදී හම්බවෙන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර භුක්ති විඳලා ඉන්න විතරයි. හර්ෂට ලැබෙන නිර්මාණවලදී එයා උපරිමයෙන්ම ඒ දායකත්වය ලබලා දෙනවා.

හර්ෂ ආඩම්බරකාරයෙක්ද...?
නැහැ... FB එකේ ෆොටෝ එකක් දාලා ඒකට කෙමන්ට් කරද්දී හරි මැසේජ් එකකට උත්තරයක් නොලැබෙද්දී සමහරු ආඩම්බරයි කියලා කියනවාත් ඇති. ඇත්තටම හර්ෂ කියන්නේ ආඩම්බරකාරයෙක් නෙවේ. මඟතොටේදී හර්ෂව දකින, හම්බවෙන කෙනෙක් එක්ක හර්ෂ දක්වන ප්‍රතිචාර දකිද්දී නම් කාටවත් එයා ආඩම්බරකාරයෙක් කියලා කියන්න බැහැ. ෂූටින් කරද්දී වුණත් හර්ෂ ළඟට ඇවිත් කතාබහ කරන ප්‍රේක්ෂක පිරිස හරිම වැඩියි. 

නිර්මාණ කටයුත්තකදී නර්තනයෙන් ලැබෙන සහයෝගය කොහොමද...?
හර්ෂ හරි වෙලාවට වැඩකරන කෙනෙක්. දිනයක් දුන්නොත් ඒ දිනයට එයා හරියටම වැඩ කරනවා. එයා හරි වෙලාවට ලොකේෂන් එකට එනවා. හර්ෂ කියන්නේ ෂූටිං කරන වෙලාවල්වලදී ෆෝන් පාවිච්චි නොකරන කලාකරැවෙක්. අද බොහෝ දෙනා ඉන්නේ ෆෝන් එකේමයි. ඒත් හර්ෂ එහෙම නැහැ. කොටසක් රූගත කරන්න යද්දී හර්ෂ එයාගේ උපරිමයෙන්ම සහයෝගය දෙනවා. අධ්‍යක්ෂකවරයා ඉල්ලන දේට වඩා වැඩි දෙයක් හැමවෙලේම දෙන කලාකරුවෙක් විදිහට තමයි මම හර්ෂව දකින්නේ.

හර්ෂ කියන්නේ විනෝදකාමි චරිතයක්ද...?
ඔව්... හර්ෂ හරිම සැහැල්ලුවෙන් හැමවෙලේම අපිත් එක්ක හරිම විනෝදයෙන්, විහිළු තහළු කරගෙන තමයි ඉන්නෙ. ඒ අතරේ එයාත් චරිතයත් හරියටම කරනවා. ඒ වගේම අනිත් අයට උදව් කරන්නත් හර්ෂ හරි කැමතියි.

හර්ෂගේ විලාසිතා ගැන ධනුෂ්ක මොකද හිතන්නේ...?
මම දන්න තරමින් හර්ෂ එහෙම විලාසිතා පස්සේ යන යාළුවෙක් නම් නෙමේ. හර්ෂ ඔය අතට අහුවෙන එකක් ඇඳගෙන තමයි එන්නේ. පාරේ යද්දී වුණත් හර්ෂ “මම නළුවෙක්* කියලා රඟපාන්නේ නැහැ. සැබෑ ජීවිතේදී හර්ෂ නළුවෙක් නෙමේ. හර්ෂ කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන හරිම සරල කොල්ලෙක්.

ඔය පොළොවෙ පය ගහලා ඉන්න කොල්ලට කේන්ති යනවාද...?
කේන්ති යනවා. සමහර වෙලාවට උපරිමයෙන් කේන්ති යනවා. හර්ෂගේ මුණ දැක්කහම ඒ කේන්තිය අපිට දැනගන්න පුළුවන්.

යාළුවෙක් විදිහට හර්ෂ ජීවිතේ බොහෝ දේවල් කියන කෙනෙක්ද...?
ඔව්... අපි දෙන්නම අපේ බොහෝ දේවල් කතාබහ කරනවා. සතුට විතරක් නොවේ. දුකත් අපි බෙදා ගන්නවා. අපි දෙන්නාගේම ප්‍රශ්න අපි කතාබහ කරනවා. ඒවගේම හර්ෂ හොඳ ඇහුම්කන් දෙන්නෙක්. කාගේවත් දෙයක් කාටවත් කියන්නේ නැති හොඳ විශ්වාසවත්තම යාළුවෙක්.

හර්ෂට සින්දු කියන්න පුළුවන්ද...?
හර්ෂට ගායන හැකියාවක් තියෙනවාද කියලා නම් මම දන්නේ නැහැ. ඌ සින්දුවක් කියනවා මම දැකලා නැහැ. අහලත් නැහැ. සමහර විට ඒ හැකියාවත් ඇති. හැබැයි හර්ෂ කියන්නේ හොඳ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ හැකියාව වෙස් නාට්‍යයට ගොඩක් උදව් වුණා.

ඔන්න ඉතින් හර්ෂ ගැන ධනුෂ්කගෙන් අහපු එකේ අපි හර්ෂගෙනුත් ධනුෂ්ක ගැන අහමු නේද...?

මතකද මුලින්ම ධනුෂ්කව යාළුවෙක් විදිහට මුණගැහුණ කාලය...?
ඔව්... හොඳට මතකයි... ඒ ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ ටෙලිනාට්‍යයකින්. හැබැයි ඒ වෙද්දී මම ධනුෂ්කව නළුවෙක් විදිහට දැනගෙන හිටියා. ධනුෂ්ක ටෙලිනාට්‍යවල රඟපාද්දී මම වේදිකා නාට්‍යවලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. හැබැයි අපි දෙන්නා මුණගැහුණ පළමුවෙනි නාට්‍ය තමයි “අහස් ගව්ව.

ධනුෂ්ක කියන්නේ මොනවගේ චරිතයක්ද...?
බැලූ බැල්මට එළියට පෙන්නේ ධනුෂ්ක කියන්නේ හරිම සංසුන් චරිතයක්. හැබැයි ධනුෂ්ක එහෙම සංසුන් නැහැ. එයා හැමතිස්සෙම වැඩකරමින් එයාගේ සිත ඇතුළෙන් අලුත් නිර්මාණවලට අවශ්‍ය වටපිටාව ගොඩනගමින් අලුත් විදිහට දකින්න උත්සහා කරන චරිතයක්. ධනුෂ්ක කියන්නේ හොඳ දෙයක් කරන්න හැමවෙලේම උත්සාහ කරන කෙනෙක්.

ධනුෂ්ක අධ්‍යක්ෂණය කරන “වෙස් නිර්මාණයට කතා කරද්දී මොකද හිතුණේ...?
ධනුෂ්ක කරපු පළමු අධ්‍යක්ෂණයටත් මට කතා කළා. හැබැයි ඒකේදී මට දින සම්බන්ධ ගැටලුවක් තමයි ඇතිවුණේ. මම හැමවෙලේම හිතුවේ මගේ දින පටලවගෙන මම මගේ යාළුවෙක්ව අමාරුවේ දාන්නේ නැහැ කියලයි. “වෙස් නාට්‍යයේ තේමාව ගැන කතා කරද්දී ඉඳන්ම මම ඔවුන් එක්ක හිටියා. පිටපත හරියටම හදන්න කළින් ඉඳන්ම මම ඒ අය එක්ක හිටියා.

අධ්‍යක්ෂවරයෙක් විදිහට ධනුෂ්ක මොන වගේ චරිතයක්ද...?
ධනුෂ්කට තමන් කරන්නේ මොකක්ද කියලා හොඳ තාක්ෂණික ඥානයක් තියෙනවා. ඒවගේම එයා ලොකේෂන් එකේදී කවදාවත් කාටවත් කෑ ගහන්නේ නැහැ. ගොඩාක් නවක අධ්‍යක්ෂකවරු තමන්ට දෙයක් කරන්න බැරි නිසා එයාලා බොරුවට සෙට්වල කෑ ගහනවා මම දැකලා තියෙනවා. ඒ අය සෙට්වලදී තම ආධිපත්‍ය පතුරුවන්නේ වැඩවලින් නෙමේ බොරුවට කෑ ගහලයි. හැබැයි ධනුෂ්ක එහෙම නැහැ. එයා බොරුවට සෙට්වල සද්දෙ දාන්නේ නැහැ. ඒත් ඉවසීමේ සීමාව පැන්නුනාට පස්සේ ධනුෂ්ක පොඩ්ඩක් හෙමීට කියනවා. ඒ හෙමින් කියන දෙයින් ධනුෂ්කගේ සීමාව පැනලා කියලා අපි කට්ටිය දැනගන්නවා. ධනුෂ්ක කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. “වෙස් අපි කට්ටියම දැන් හොඳ යාළුවෝ බවට පත්වෙලා ඉන්නවා. ඉතින් ලොකේෂන් එකේදීත් අපි විහිළු තහළු කරමින් තමයි කාලය ගෙවෙන්නේ.

ජීවිතේ ඇතැම් පෞද්ගලික දේවල් පවා ඔය දෙන්නා කතාබහ කරගන්නවා නේද...?
ඔව්... ඒක ඇත්ත... පොඩි කාලේ ඉඳන් මට මහ යාළුවෝ පිරිසක් හිටපු සහ අදටත් ඉන්න මනුස්සයෙක්. හැබැයි කොහොමත් ක්ෂේත්‍රයේ මම බොහෝ පිරිසක් විශ්වාස කළේ නැහැ. මම මේ ක්ෂේත්‍රයට ඉතා අහම්බෙන් කඩන් වැටිලා ඒක ඇතුළේ වෙන ගමනක් යන්න හදන මනුස්සයෙක්. ඒ නිසා මේක ඇතුළේදී මට ලොකු හීනයක් නැහැ. ඒක ඇතුලේදී “මිනිස්සු කියලා හම්බවුණු කීපදෙනාගේත් විශේෂ තැනක් ධනුෂ්කට ලැබෙනවා. යාළුවෝ විදිහට බෙදාහදාගන්න පුළුවන් මිනිස්සු ක්ෂේත්‍රයේ හිටියට ඒ අය හැමවෙලේම අපේ විශ්වාස බිඳිනවා. ඒ වගේම ඒ අයගේ තැනට අපිව ඇඳලා ගන්න උත්සාහ කරනවා. මම ඒකට කැමති නැහැ. හැබැයි ධනුෂ්ක එහෙම නැහැ. මම, එරංග ජීවන්ත සහ ධනුෂ්ක එක කාලයක ගොඩාක් ළඟ යාළුවෝ වෙලා හිටියා. ඒ වෙලාවේදී ධනුෂ්ක අපිට තාත්තා කෙනෙක් වගේ හැමවෙලේම උපදෙස් දුන්නා. මම සහ එරා හැමවෙලේම පොඩි කොල්ලෝ දෙන්නෙක් වගේ හැසිරෙද්දී ධනුෂ්ක හැමවෙලේම “ඔහොම කරන්න එපා මචං... මෙහෙම කරපං කියලා අපිට ජීවිතේ කියලා දුන්නා.

ඒ කාලේදී හර්ෂ වේදිකා නාට්‍යවලට නේද සම්බන්ධවෙලා හිටියේ...?
ඔව්... මම වේදිකාවේ රඟපාද්දී ධනුෂ්ක ටෙලිවිෂන්එකේ රඟපානවා. එරා ඒ වෙද්දී ෆිල්ම් පස්සේ යනවා. හැබැයි හැමවෙලේම ධනුෂ්ක අපිව පරිස්සම් කළා. කාලයකට පස්සේ අපි අතහැරෙද්දී අපි තුන්දෙනා අපේ ගමන ගියා. ඊටත් ටික කාලයකට පස්සේ ආයෙත් ධනුෂ්ක හා මම මුණගැහෙද්දී ධනුෂ්ක දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙලා තියෙනවා. ඔහු තුළ හොඳ විනායානුකූල ගතිපැවතුම් තියෙනවා. ඒ ඔස්සේ මේ යාළුවා කවදාවත් මාව පාවා දෙන්නේ නැහැ කියලා මම දන්නවා.   

 

► Text — Dishani  /  Pic - Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00