2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

දැහැන

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

රාත්‍රිය අතීත ප්‍රේම කතාවකට ද්වාරය හැර දැම්මා... ඒ සුවඳ... ඔව් ඒ සුවඳ ඒ සුවඳමයි... අනේ මන්දා අපි විතරද අහන් උන්නේ... දියවරේ රැලි සසැලෙද්දී හිතත් පොඩ්ඩක් ගැස්සුණාද මන්දා... තාරුකා ඇස් වසන සීතල මැදියමේත් ඒ නුවර ඇහැරගෙන... සිරැරත් හදවතත් උණුසුම් කරන ආදරණීය පැහැසරක මන්දහාස බුබුළු අයිස් කැට එක්ක එකතුවෙලා නිදහස් සුවිසැරියක හිත පා කරද්දී අහගෙන උන්නා මම... ආදරය හැරෙන්න අධ්‍යාත්මික ඉසුරක් ලෝකෙ තවත් තියෙනවද? ආදරය හැම තැනකින්ම ජීවිතයේ හිස්තැන් ඉතුරු නොකර හමුවුණු කෙනෙක්ගෙන් නෙවෙයි කල්ප කාලාන්තරයකට පස්සෙ මට මගේමයි හැඟෙන ප්‍රේමයක් භුක්තියට මුණගැසුණු කෙනෙක්ගෙන් ඔයා ඒ ප්‍රශ්නය අහන්න... උත්තරය ඔව්... ආදරය තරම් හිත සුවපත් කරන... ගත සනසන තවත් දෙයක් ලෝකෙ නෑ.

ඒ එදා... ඇය මොහොතක් ලොකු ඇස් බිමට හරවාගෙන බලාගෙන උන්නලු... අතේ තිබුණු සුදු පාට පසුබිමේ දම් පාට මල් කිණිති ඉහිරිච්ච ලේන්සුව පොඩි කර කර ඇය බලාගෙන උන්නලු... හයියෙන් වැටෙන හුස්මකට පපුව ගැහෙද්දී ඇය බලා උන්නලු. හිත් පොළොවේ පැලවෙච්ච ආදරයේ ළදල්ලක් දෙකක් තියෙන්නත් ඇති... ඒත් මහ වැහි තියා එක පින්නක්වත් නොවැටුණු පොළොවක ඒ ළදල්ල සාරෙට පොළොව බදාගෙන මුල් ඇද්දෙ නෑ... එක මොහොතකදී... ඒ මොහොත එච්චරමයි... දම් පාට මල් වැටුණු ලේන්සුවත් අත්ලට ගුලි කරගෙන ඇය යන්න ගියා. 

ඇය යන්න ගියා මැකිලා...

ඒ එදා..

වෙන්වෙවී හමුවෙන හමුවෙවී වෙන්වෙන අමුතු ඉරණමක් ඇයත් ඔහුත් ලියාගෙන ඇවිත්... දෙවියන් වහන්සේගේ කැමැත්ත මහා ආශ්චර්යක්. 

බයිබලයේ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා ප්‍රේමය ගැන. 

ප්‍රේමය ඉවසිලිවන්තය
ප්‍රේමය උත්තරීතරය  
ප්‍රේමය පාරට්ටු කරන්නේ නැත 
ප්‍රේමය දිව්‍යමය 
ප්‍රේමය දෙවියන් වහන්සේය...

ප්‍රේමයේ විශ්වාසය දෙවියන් වහන්සේය 
ප්‍රේමයේ ගැඹුර දෙවියන් වහන්සේය 

ගීතිකා ගැයෙද්දී බයිබලයේ දෑත් තබා දෙවියන් වහන්සේ වෙත ජීවිතය පුරා බැඳී ඉන්නට පොරොන්දුව දෙද්දී මෙසේ කියයි.

දෙවියන් වහන්සේ විසින් එක් කළ හදවත් මිනිසුන් විසින් වෙන් නොකෙරේවා...

ඒත් ප්‍රේමය නිමාවක් නැති ගඟක්.. අවසානයක් මුණගැහුණට කෙළවරක් නැති ගඟක්.
හැම ප්‍රේමයකටම තියෙන්නේ අවසානයක් විතරයි. කෙළවරක් නෑ..

මිටියාවත හිඳ මුදුනත විනිවිද 
බැලුවෙමි නුඹ කොතැනකද කියා 
හැම නෙත් මඟහැර නුඹ නෙත් සෙව්වෙමි 
ජීවිතයේ ගිම් නිවන නිසා 

ආ දුර කොතෙක්ද නොදනිමි කියන්න 
සංසාරේ මහ දුරක් නිසා....

ඉතුරු පද මම නෙවෙයි ඇයත් ඔහුත් ලියපුදෙන්...

ඔන්න ඒත් එකෝමත් එක දවසක.. ඒ ටියුෂන් කාලය... පය ලෑ පාවහන් යුග්මයෙන් නිදහස් වෙච්ච පාදයට ස්පර්ශයක පළමු හාදුව ලැබුණලු.. ආදරය කතා කරන්නේ වචනවලින් නෙවෙයි. 

දන්නවද? විශ්වාස කරනවද? ආදරය කතා කරන්නේ වචනවලින් නෙවෙයි. 

ආදරයේ ගැඹුර දැනෙන අන්තිම මොහොතේදී වචන තහනම්... ඒක විසම්මුතිකවම බැඳෙන පොරොන්දුවක් වගේ. එක දවසක් ඇගේ මහපට ඇඟිල්ල ඔහුගේ යටි පතුලේ සියුම් ඉරි දෙකක් ඇන්දලු එක මොහොතකට. ඒ තමයි පළමු කිතිය.. පළමු ස්පර්ශය. පළමු සංවේදනාව.. යටි පතුලේ හැම නිලයක්ම මොහොතකට ඇවිලෙන්න ඇති. දැවෙන්න ඇති. ඒ නිලය දල්වපු ගින්දර පපුවේ හරි මැද කොනිත්තන්න ඇති...

දෙතැනක.. දෙදෙනෙක් ළඟ..

ඒත් යටි පතුලෙ ඇන්ද ඒ ඉරි දෙක අදටත් ජීවිතයේ එක නිලයක් ස්පර්ශ කරනවා.

ඒ නිලය තමයි ප්‍රේමය. 

හැර ගියත් හැර නොයන ප්‍රේමය. 

විඳින්න දුන් සඳ විඳවන ප්‍රේමය. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00