2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

යාළුවෝ ත්‍රිපලක්! මාර මීටරයක්!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

එස්.කේ, නෝටී සහ ත‍්‍රිපාතී කියන්නේ පුංචි කාලේ ඉඳලා යාළුවෝ. එස්.කේ. කියන්නේ කෛරාටිකයෙක්. ඔහු අධිකරණයෙන් පිටස්තරව ඉඳන් එක එක ප‍්‍රශ්න විසඳලා මුදල් හම්බ කරන කොල්ලෙක්. නෝටි හිතාගෙන ඉන්නේ තමන් ෆැෂන් ලෝකයේ ඉන්න හොඳම ඩිසයිනර් කියලයි. මේ දෙන්නටම වැඩිය ත‍්‍රිපාතී වෙනස් කෙනෙක්. ඔහු කුඩා නගරයක මුද්‍රණාලයක (ප‍්‍රින්ටින් ප්‍රෙස්) එකක් පටන් ගන්නවා. මාසයක් ගියා විතරයි ඔහුගේ ආයතනයට ලක්ෂ එක හමාරක ලයිට් බිල් එකක් එනවා. මාස කිහිපයක් අතරතුර ලක්ෂ 54ක් ගෙවන්න කියලා ඔහුට අදාළ ආයතනයකින් දැනුම් දෙනවා. ඔහු කරගන්නම දෙයක් නැති තැන සියදිවි හානි කරගන්නවා. ත‍්‍රිපාතීගේ මරණයත් එක්ක එස්.කේ. සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහු තමන්ගේ යාළුවා වෙනුවෙන් කුඩා කාලයේ ඉඳන් දන්නා හඳුනන නෝටිත් එක්ක එකතුවෙලා මොනවද කරන්නේ? ඒ ගැන දැනගන්න නම් 2018 සැප්තැම්බර් 21 වැනිදා සිට තිරගත වන බට්ටී ගුල් මීටර් චාලූ කියන හින්දි සිනමාපටය නරඹන්නට ඔබටත් සිදුවෙනවා. බට්ටි ගුල් මීටර් චාලූ කියන සිනමාපටයේ නමේ තේරුම වෙන්නේ විදුලිය විසන්ධි කරලත් මීටර් එක ක‍්‍රියාත්මකයි කියන තේරුමයි. 

විනාඩි එකසිය හැට එකක කතා කාලයකින් සමන්විත මේ සිනමාපටය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 49ක් වියදම් කරලා තියෙන අතර මේ ‍ෙවනකොටත් ඒ සිනමාපටය ප‍්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 39.48ක ආදායමක් උපයාගෙන අලෙවි වාර්තාවලටත් ඇතුළත් වෙන්න සමත්වෙලා තියෙනවා. බට්ටි ගුල් මීටර් චාලූ හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, නිතින් චන්ද්‍රචූද් ශ්‍රී නාරායන් සිං, කුසුම් අරෝරා සහ නිශාන්ත් පිට්ටි විසින් වන අතර මේ සිනමාපටය අධ්‍යක්ෂණය ක‍රලා තියෙන්නේ ශ්‍රී නාරායන් සිං විසිනුයි. මේ සිනමාපටයේ කතාව විපුල් කේ. රාවල් විසින් ලියලා තියෙන අතර කතාවස්තු බීජයට හිමිකම් කියන්නේ සිද්ධාර්ත් සිං විසින් වන අතර තිරයට ගැලපෙන පරිදි එය රචනා කරලා තියෙන්නේත් සිද්ධාර්ත් සිං. බට්ටි ගුල් මීටර් චාලූ හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩගන්වලා තියෙන්නේ අනූ මලික්, රොචක් කොහ්ලි සහ සචේත් පරම්පරා. මේ සුන්දර සිනමාපටය ජීවමාන කරන්න එහි ඇති චරිතවලට පණ දීලා තියෙන්නේ කවුද කියලා කියන්නයි දැන් සූදානම.

 

එස්.කේ. ඔහුගේ කෙටි නාමය වුණත් ඔහුගේ නම සුශිල් කුමාර්. ඔබ ආදරය කරන ගොඩාක් දක්ෂ කොල්ලෙක් තමයි එස්.කේ. ගේ චරිතයට පණ පොවන්නේ. මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඔබට ඔහු අමතක වෙන්නනම් කොහෙත්ම ඉඩක් නැහැ.
2003 Ishq Vishk, Vivah (2006) Jab We Met (2007) Kaminey (2009) R. Rajkumar (2013) Haider (2014) Udta Punjab (2016) Fida (2004) Kismat Konnection (2008), Teri Meri Kahaani in 2012, Mausam (2011)

1981 පෙබරවාරි 25 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී ඉපදිලා තියෙන මොහු 2003 වර්ෂයේ පටන් බොලිවුඩ්වලට සම්බන්ධවෙලා වැඩකරන කෙනෙක්. ඔහු මේ වනවිටත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් සම්මාන රාශියක් තමන්ගේ නමට ලියාගන්න සමත්කම් දක්වලා තියෙන මොහුගේ නමත් එක්ක ප‍්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන් ඇතුළු නිළියන් කිහිප දෙනෙක්ගෙම නම් ඈඳිලා සිනමා සඟරා ඇතුළු බොහෝ මාධ්‍යවලත් ඒවා ප‍්‍රචාරය වුණා. මොහු නළුවෙක් වගේම දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට ඔබ අප දැකලා තියෙන කෙනෙක්. මේ කියන පුද්ගලයා හින්දි සිනමාවේ නළුවෙක් වුණු පන්කජ් කපූර් සහ නීලිමා අසීම්ගේ පුතා වන අතර තමන්ගේ මව්පියන් එකිනෙකාගෙන් වෙන් වෙනකොට මේ කියන කෙනාට වයස අවුරුදු තුනයි. ඊටපස්සේ එයා තමන්ගේ අම්මා ගාව හැදී වැඩුණු අතර අවුරුදු 10දී මුම්බායිවලට ඇවිල්ලා ඔහු ශයිමක් ඩවාර්ස් නර්තන ඇකඩමියට ඇතුළු වෙනවා. ඊට පස්සේ මියුසික් විඩියෝවලට සහ වෙළඳ දැන්වීම්වලට මුලින්ම සම්බන්ධ වෙලා හින්දි සිනමා තාරකාවක් වුණු ඔහු 2015 දී මීරා රාජ්පුත් සමඟින් විවාහවෙලා තියෙනවා. මේ වනවිට දරුවන් දෙන්නෙක් ඉන්න ඔහු නමින් ශහීද් කපූර්. ඔව් ශහීද් කපූර් තමයි මේ සිනමාපටයේ එස්.කේ.ගේ චරිතයට පණ පොවන්නේ. ඊට පස්සේ ඔබට අපි කියන්න හදන්නේ නෝටිගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. මෙන්න මේ සිනමාපට ඔබ නරඹලා තියෙනව නම් ඇයව ඔබට අමතක වෙන්න විදියක් නැහැ.

2010 Teen Patti, Luv Ka The End (2011) Aashiqui 2 (2013) Haider (2014), Ek Villain (2014), ABCD 2 (2015) Baaghi (2016), Stree (2018)

1987 මාර්තු 03 වැනිදා ඉන්දියාවේ මාහාරාෂ්ට‍්‍රවල මුම්බයි නගරයේදී ඉපැදුනු ඇය නිළියක් වගේම ගායිකාවක්. 2010 අවුරුද්දේ පටන් හින්දි සිනමා නිළියක් විදියට බොලිවුඩ් සිනමාවට සම්බන්ධවෙලා ඉන්න ඇය මන්ගේෂ්කර් සහ බර්මන් පවුල් දෙකටම ඥතීන් වෙනවා.  ෆිලම්ෆෙයාර් සමාන උළෙල ඇතුළු සිනමා සමාන උළෙල රාශියකින්ම සම්මානයන් තමන්ගේ නමට ලියා ගන්නට සමත්කම් දක්වලා තියෙන ඇය හරි ලස්සන එක පාරක් දැක්කම් ආපහු හැරිලා බලන්න තරම ලස්සන හුරැබුහුටි කෙල්ලෙක්.  මේ වනවිටත් නෝටි කවුද කියලා ඔබ දන්නව ඇති. ඒ වෙන කවුරුවත් නෙවෙයි හින්දි සිනමා නළුවෙක් වන ශක්ති කපූර්ගේ දියණිය ශාර්දා කපූර් තමයි මේ සිනමා පටයේ නෝටිගේ චරිතයට පණ පොවන්නේ.

ශහීද් කපූර් සහ ශාරදා කපූර්ට අමතරව මේ සිනමාපටයේ ෆරීදා ජලාල්, දිව්යේන්ද්‍ර ශර්මා, යමී ගෞතම්, සුෂ්මිතා මුඛර්ජී, සමීර් සෝනී, රාජේන්ද්‍ර චාව්ලා, සුඛ්වින්දර් චාහල්, සුදීර් පාන්ඩේ, සුප‍්‍රියා පිල්ගෝන්කර්, අතුල් ශ්‍රී වාස්තව්, අනුෂ්කා රන්ජන් , බ්‍රිජේන්ද්‍ර කාලා, බදෘල් ඉස්ලාම්, ශරීබ් හෂ්මී, මුකේෂ් එස්. භාත්, අන්න අන්ඩෝර් කියන කට්ටියත් චරිතවලට පණ පොවනවා. බට්ටී ගුල් මීටර් චාලූ හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල සුන්දර පද අමුණලා තියෙන්නේ සිද්ධාර්ත් - ගරීමා සහ මනෝජ් මුන්තෂීර් විසිනුයි. ඒ පදවැල් හැඩ කරන්න සප්ත ස්වරයෙන් වැඩදාලා තියෙන්නේ අනූ මලික්, රෝචක් කොහ්ලි සහ සචේත් පරම්පාරා විසින් වන අතර ඒවාට පණ දෙන්න ත්ජමන්ගේ මනබඳින හඬ මුසුකරලා ඒවාට පණ දීලා තියෙන්නේ රහත් ෆතේහ් අලි ඛාන්, අර්ජිත් සිං, අතීෆ් අස්ලාම්, මිකා සිං, නකෂ් අසීස්, ප‍්‍රාක‍්‍රිතී කක්කර් සහ ස්වචේත් තන්ඩන් විසින් වන අතර මේ සිනමාපටායේ ගීත 2018 සැප්තැම්බර් 08 වැනිදා තමයි අපිට ඔබට රසවිඳින්න ටී සීරීස් කියන ආයතනය විසින් නිකුත් කරලා තියෙන්නේ.

► Translation — Chandana Waravitage