"‛ මගේ උපන් ගම කුරුණෑගල. පිරිමි දරුවන් තුන් දෙනකුගෙන් යුතු පවුලේ මම තමයි බාලයා. මගේ පොඩි අයියත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම රූප රචනා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි මටත් මේ ක්ෂේත්‍රයට එන්න අත දුන්නේ. මගේ ලොකු අයියා කෘෂිකර්ම නිලධාරියෙක්.
ඔබ සංගීත ක්ෂේත්‍රයට සම්බන් වුණේ කොහොමද?
මම කුඩා කල සිටම සංගීතයට ආස කළා. පොඩි අයියා සංගීතය හදාරන විට මමත් එයත් එක්ක සංගීතය ඉගෙනගත්තා. ඇත්තටම කිව්වොත් පොඩි අයියට තමයි මාව මේ ක්ෂේත්‍රයට ගේන්න ලොකුවම ආසාවක් තිබ්බේ. මම උසස් පෙළට සංගීතය විෂයක් ලෙස හැදෑරුවා. මගේ ජීවිතේ මම අදටත් පසුතැවෙන දෙයක් තමයි මට විශ්ව විද්‍යාල ප්‍රවේශයට ප්‍රමාණවත් ලකුණුත් තිබිලා අදාළ කාල සීමාව තුළ අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න තිබුණු අවස්ථාව මඟහැරී යාම. එයින් සංගීතය මදක් මඟහැරුණු නිසා මම නිවේදන ක්ෂේත්‍රයට යොමු වුණා. පසුව මම නාට්‍ය හා රංග කලාවත් හැදෑරැවා.
ඔබ මේ දිනවල ගීතයක් නිසා මිනිසුන් අතර කතාවට ලක්වෙලා තියෙනවා. ඒ ගීතය ගැන කතා කළොත්?
ඒ ප්ලාස්ටික් මලක් ගීතයයි. මගේ අවු. 3ක මහන්සියෙන් තමයි මේ ගීතය එළිදක්වන්න පුළුවන් වුණේ. මම විවිධ අත්හදාබැලීම් කළා මෙම ගීතය නිර්මාණය කරද්දී. බට නලාවෙනුත් එක පාරක් මම උත්සාහ කළා. අවසානයේ මම තීරණය කළා සරල ආරයට මෙම ගීතය නිර්මාණය කරන්න. මෙහි පද රචනය හා සංගීත අධ්‍යක්ෂණය කළෙත් මම.
මේ ගිතයෙන් කියවෙන ප්ලාස්ටික් මල කවුද?
ප්ලාස්ටික් මලක් අපි හැමෝටම ජීවිතේ මුණගැහිලා ඇති. මේ ගීතය ඇතුළේ තියෙන කතාව තමයි කොළඹට ඇවිත් බෝඩිමක ජීවත් වුණු, තනිවුණ තරැණයෙක්ගේ කතාව. ජීවිතේට ඇවිත්, තව කෙනෙක් ළඟට ගිය කෙනෙක් ගැන තියෙන මතකයන් පිළිබඳ ලියවුණු ගීතයක්. මේ ගීතයේ මුල් පද කිහිපය මුලින්ම කෙනෙක් අහද්දි සිනාවක් නැගුණත් ගීතය ඇතුළේ තියෙන්නේ වෙනමම කතාවක්. මම මෙහි ප්ලාස්ටික් මලක් කියලා භාවිත කළේ ප්ලාස්ටික් කියන්නේ ලස්සන වුණත් ඉක්මනින් කැඩිලා යන වැඩි පැවැත්මක් නැති දෙයක්. ඒත්එක්කම ගෑස්ටික් ලොවක් කිව්වේ අවංකව ආදරය කරලා හිත බිඳුණු කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගෑස්ටික් තියෙනවා. ගෑස්ටික් ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි මානසික ආතතිය.
මේ ගීතය ඔබේ පෞද්ගලික අත්දැකීමක්ද?
මේ මගේ අත්දැකීමක් විතරක් නෙවෙයි. අත්දැකීම් ගොඩක එකතුවක්. මේ වගේ ජීවත් වන චරිතයක් ගැන මට මගේ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ඔහු කලකට පෙර ඔහුගේ ජීවිතේට ළං වෙලා වෙන කෙනෙක් ළඟට ගිය කෙනෙක්ගේ විවිධ සිහිවටන මෙන්ම ඇය වගේ අනුරුවකට ඇඳුම් අන්දවා තියාගෙන ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ පොහොසත් චරිතයක්. ඉතින් ඒ චරිතයත් මගේ ප්ලාස්ටික් මලේ අදහසත් එක්ක තමයි මේ නිර්මාණය බිහිවුණේ. මෙහි පද රචනාව මෙන්ම රූප රචනාවත් නාට්‍යමය පැත්තෙනුත් පොහොසත් නිර්මාණයක් ලෙස රසවිඳපු අය ගොඩ දෙනෙක් මට කිව්වා.
රූප රචනාව ගැන සඳහන් කරපු නිසා කියමුද ඔබ මෙහි රූප රචනාව සිදු වුණේ කොහොමද කියලා?
මේ වීඩියෝ එකේ සංකල්පය සමන් ගාමිණී සර්ගේ. ඔහු මගේ නාට්‍ය ගුරුවරයා. සර්ට මම මේ ගීතය ගැන කිව්වම සර්ට තමයි මේක බරපතළ විදිහට හිතට දැනුණේ. මගේ ගුරුවරයාගෙන් ඒ ලැබුණ ප්‍රතිචාරය මට සම්මානයක් ලැබුණා වගේ. මට මේ රෑප රචනාවෙන් පෙන්වන්න ඕන වුණේ අපිට ඇත්තටම පේන මල්, මල්මද කියලා. අපි දකින ලෝකයද ඒ මල් ඇතුළේ තියෙන්නේ කියලා. වීඩියෝ එකේ තියෙන චිත්‍ර මට කරලා දුන්නේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ තරුෂ ලක්ෂිත මල්ලි ඇතුළු පිරිස. සෙට් එක ඩිසයින් කළෙත් ඒ මල්ලි. මේ රූප රචනාවේදී මට පර්සියන් පූසෙක් යොදාගන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒ සඳහා අපි සූදානම් කරගත් පර්සියන් පූසා හරිම අහංකාර සතෙක්. අපි වීඩියෝ එක කරන්න පැයකට විතර කලින් ඒ පූසා පැනලා ගිහින් අපිට හොයාගන්න බැරි වුණා. සතෙක් එක්ක වීඩියෝ එකක් කරනවා කියන්නේ හරිම අමාරැ කාර්යයක්. ඒ නිසා අපිට ඌව මේ වැඩේට යොදාගන්න බැරි වුණා. එහෙත් අපේ වාසනාවකට අසල නිවසක හිටපු සුදු පූස් පැටියෙක් මේ වැඩේට යොදාගන්න පුළුවන් වුණා. ඒක හරිම රසවත් අත්දැකීමක්.
ඔබේ මේ නිර්මාණයට උදව් වුණු පිරිස ගැන මතක් කළොත්?
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මගේ බිරිඳ සවනි මදූකාට. මම ඉගෙනගත්ත කුරුණෑගල බෝමිනාගල ඉසිපතන විද්‍යාලයේ මගේ පන්ති භාර ගුරුතුමිය කුමාරිහාමි මහත්මිය තමයි මාව මුලින්ම නාට්‍යයකට යොදාගත්තෙත්, මාව නිවේදනයට යොමු කළෙත්. ඒ වගේම සමන් ගාමිණී සර්, ප්‍රගීත් අයියා, රොෂාන්, ලක්මාල් ඇතුළු මට මේ කාර්ය සඳහා උදව් කරපු සියලුම දෙනාට මගේ ස්තූතිය පුද කරනවා.
► Text - Pic - Channa Kassapa Koralearachchi