2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ආසාව වැඩිවුණේ අමරදේව සර්ගේ දේශනයෙන්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

Art එකේ කැරට්ටුව..

Dileepa සමඟ Danushka 

ඉර ගිනියමින් කොළඹ නගරය රත්වෙන්න තව පැයක් දෙකක් විතර තියෙද්දී මම රිංගුවේ මහජන පුස්තකාලය ඇතුළට.. ඒ විශේෂ කෙනෙක් හම්බවෙන්න...
ආයුබෝවන්.... මම එයාව ඈත තියලම අඳුනගත්තා...

එයා කවුද කියන්න ඉස්සර මෙහෙම කියන්නද?
ඕනම දෙයක් දිහා ප්‍රායෝගිකව වෙනස් විදියකට දකින්න අහන්න ලියන්න ගොඩක් කැමති කෙනෙක්. ඔහු වැඩිදෙනා අතරත් කතාබහට ලක්වුණේ... ඉන්දියාවේ ප්‍රසිද්ධ ලේඛක චේතන් බගත්ගේ පොත් සිංහලට පරිවර්තනය කරපු ලේඛකයා විදියට. සරලව කිව්වොත් චේතන් බගත්ව ශ්‍රී ලංකා පාඨකයාට හඳුන්වා දුන්නෙ ඔහු කිව්වත් වරදක් නෑ. ඒ විතරක්ම නෙමේ ඔහුගේ අතින් ලියවෙච්ච තවත් පොත් බොහෝමයි... 
දිලීප ජයකොඩි ඒ තමයි අපේ කැරැට්ටුව... 

අව්ව ටිකක් වැඩි නිසා... කැන්ටිම ඇතුළට ගිහින් ප්ලේන්ටියක් බොනගමන්ම කතාවට පටන් ගමුයි මම දිලීපට යෝජනා කළා... 
දිලීපට පබ්ලික් ලයිබ්රි කැන්ටිම කියන්නෙ නුපුරුදු තැනක් නෙමේ... 

පොත්පත් එක්ක හිරවෙලා, අකුරු එක්ක ඔට්ටුවෙන දිලීපට මොහොතක් නිදහසේ හිතන්න දීලා... ආගිය කතාවකින් කතාවට එන්ටර් වුණා...
අපේ ජීවිත බොහෝම හොඳට ගලාගෙන යනවා... මගේ දරුවන් දෙදෙනාම විවාහවෙලා නිසා ලොකු බරක් නැහැ. මමයි බිරිඳයි නිදහසේ ඉන්නවා ඉතින්. කාලෙකට විතරක් පොත් ලියන කෙනෙක් නෙමේ මම. අවස්ථාවක් හම්බවෙච්ච හැමවෙලාවකම පොත් ලියන එක තමයි කරන්නෙ. පොත් කිහිපයක්ම ඉදිරියේදී පාඨකයාට තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.
එහෙම තමයි දිලීපගේ ජීවිතය....

දිලීප අපේ වැඩේ ටිකක් වෙනස්නෙ... දිලීප ඒක දැනටමත් දන්නවනේ.
හරි මම මෙහෙම ඇහුවොත්, ඔබව ප්‍රකම්පනය කළ, ජීවිතයට ගොඩක් ළඟ විශේෂ නිර්මාණයක් තෝරන්න කිව්වොත් දිලීප මොකක්ද තෝරගන්නෙ...?

ඔව්. මම තෝරගන්නෙ නාට්‍යයක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ සිංහබාහු කියන සුවිශේෂ නිර්මාණය. මට මතක විදියට එතුමා මේක නිෂ්පාදනය කරලා වේදිකා ගතකළේ එක්දහස් නමසිය පනහේ දශකයේ... දැන් ඒ නිර්මාණයට අවුරැදු හැටකට කිට්ටු වෙන්නත් එනවා.. තාමත් මගේ හදවතේ රැඳුණු විශිෂ්ඨ නිර්මාණයක්. මගේ විතරක් නෙමේ. බොහෝ දෙනෙක්ගේ හදවතට ගොඩක් සමීපයි මේක. 

වේදිකා නාට්‍ය විශාල සංඛාවක් අතීතයේ ඉඳලා දැන් වෙනකම්ම වේදිකා ගතවුණානෙ. ඇයි මේ එක්දහස් නමසිය පනහේ දශකයේ නිෂ්පාදන වුණ වේදිනාට්‍යයක හිත නැවතුණේ....?
ඔව් ඒක ඇත්ත... ලංකාවේ වේදිකා නාට්‍ය පරාසය එන්නම වැඩිවෙලා තියෙනවා... ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙනවා.. දැනුත් බිහිවෙමින් පවතිනවා... ඒ ගොඩක් නිර්මාණවලට ප්‍රස්තූත කරගෙන තියෙන්නෙ කාලීන තේමාවන්. විශේෂයෙන්ම දේශපාලනය. ඊටපස්සෙ සමාජයේ යම් යම් විශේෂ මාතෘකා. උදාහරණයක් විදියක් විදියට ගත්තොත් සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණවල පවා බොහෝදුරට තිබුණේ දේශපාලනය මුල් කරගත් කාලීන ප්‍රස්තූත. නමුත් සිංහබාහු නාට්‍යයේ තියෙන විශේෂත්වය තමා පිය පුතු ගැටුම තේමාකරගත් සදාකාලීක තේමාවක් යොදාගෙන තිබීම. මේ ලෝකයේ පියවරු සහ පුත්තු ඉන්න තාක්කල් මේ නාට්‍ය වලංගුයි. මේ නාට්‍ය අනිත් නාට්‍යත් එකක් කැපී පෙනෙන හේතුවත් ඒකමයි.. 

දිලීපගේ සිත්ගත් සිංහබාහු නාට්‍යයේ කැමතිම චරිතය කවුද?
මම කැමතිම චරිතය තමයි සිංහයාගේ චරිතය. ඒකෙන්නේ මූර්තිමත් වෙන්නෙ පිය පාර්ශ්වය. ලොකයේ ඕනම තැනක ඉන්න පියවරු තමයි සිංහයාගෙන් නියෝජනය වෙන්නෙ. ඔවුන් කොච්චර දරුවන්ට ආදරෙයිද දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරනවාද ඒ සියල්ල කරන්නෙ දරුවන්ගෙන් ආපසු පැසසුම් බලාපොරොත්තු වෙන්නෙ නැතුවනේ... සමස්තයක් විදියට සිංහබාහු නාට්‍යයේ හැම චරිතයකට මම ගොඩක් කැමතියි. විශේෂයෙන් සිංහයාට ගොඩක් ඇළුම් කරනවා පිය පරපුර නියෝජනය කරන නිසා.

සිංහබාහු කියන අති විශිෂ්ඨ නිර්මාණයක්නෙ.. ඒක මුලින්ම බලන්න ඕනෙ කියලා දිලීපට හිතෙන්නෙ ඇයි..? ඒ ආසාව ඇතිවෙන්නෙ කොහොමද?
මට මුලින්ම ඒ ආසාව ඇතිවෙන්නෙ මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවල ඉන්න කාලෙ, සාහිත්‍ය ගැන මුලින්ම ආශාව ඇතිවෙන්නෙ ඒ කාලවලදිනෙ... එතකොට රූපවාහිනී මාධ්‍ය තිබුණේ නෑ. තිබුණ එකම මාධ්‍ය තමයි ගුවන්විදුලිය එකෙත් චැනල් දෙකයි තිබුණේ. ස්වදේශීය සේවයයි වෙළඳ සේවයයි. ගුවන්විදුලි වැඩසටහනක් තිබුණා නාට්‍ය ගීතය කියලා... අපි ඉස්සර ඕක අහනවා. ඔය නාට්‍ය ගීතවල නිතරම යන ගීතයක් තමා ගල්ලෙන බිඳලා කියන ගීතය. ඒ ගීතය අහද්දි මට ලොකු ආසාවක් ආවා මේක බලන්න ඕනෙ කියලා. ඔහොම ඉන්නකොට මේ නාට්‍ය පිළිබඳ ලිපි පුවත්පත්වලින් කියවන්නත් ලැබුණා. මම පාසල් ගියේ නාලන්දා විදුහලට එකෙ තිබුණා සාහිත්‍ය  සමිතියක් මාසෙකට සැරයක් ලංකාවේ හිටපු විශේෂ විද්වතුන් ඇවිත් සාහිත්‍ය ගැන දේශන පවත්වනවා. එක දවසක් අමරදේව සර්රුත් ආවා මේ සමිතියට. එතුමා  කරපු දේශයට පාදක වුණේ සිංහබාහු නාට්‍ය. ඒ දේශනය අහලා මගේ තිබුණු ආසාව දෙගුණ තෙගුණ වුණා..  එහෙම වැඩිවෙච්ච ආසාව නිසා තමයි මම මේ නාට්‍ය බලන්න ගියේ. 

මේ නාට්‍ය බලනකොට දිලීපව වැඩියෙන්ම සංවේදී කරපු තැනක් එහෙම මතකද?
ඔව් මේ නාට්‍ය ගොඩක් තැන් සංවේදී තමයි. ඒ අතරින් එක තැන තියෙනවා සිංහයාගේ පවුලේ සියලුදෙනා ගල්ලෙන අතඇරලා ගියාට පස්සෙ සිංහයා ගල්ලෙනට එන අවස්ථාව. ඔහු වියරැවෙන් වගේ තමන්ගේ පවුලේ සියලු දෙනා සොයනවා... ගම් දනව්. පීරමින් එයාලව සොයනවා.. ඉස්සරහට හමුවෙන මිනිස්සුව මරණ තැනටම ඔහු වියරු වැටෙනවා..  එක්තරා තැනකදී මේ සිංහයාව මරන්න ඕනවෙනවා... රටේ රජතුමාගෙන් අවසර අරගෙන සිංහබාහු තමයි මේ සිංහයාව මරන්න ඉදිරිපත් වෙන්නෙ. එතකොට සිංහබාහු දන්නෙ නෑ තමන් මේ මරන්න යන්නෙ තමන්ගේ තාත්තා බව. නමුත් ඔහු පළමු ඊතලය විදිනවා. එතකොට සිංහයා කියනවා. මම මේ මෙච්චර ආදරයෙන් ඇතිදැඩි කරපු පුතාම නේද මට මේ ඊතලවලින් විදලා මරන්න සැරසෙන්න කියලා.... ඒ හැඟීම අපූරුවට නාට්‍යයේ තියෙන කවි වලින් ප්‍රකාශ කරනවා. කොහොම වුණත් සිංහබාහු ඊතල තුනක් විදිනවා. නාට්‍යයේ කියවෙන විදියට දෙකක්ම වදින්නෙ නෑ සිංහයාට. සිංහබාහු කෙරෙහි තිබ්බ මෛත්‍රීබලය නිසා. ඒත් තුන්වැනි ඊතල විදිනකොට සිංහයාට කේන්ති යනවා.. සිංහයාට ඒ ඊතලය වදිනවා. ඊට පස්සෙ සිංහයා මැරිලා වැටෙනවා. අන්න ඒ මොහොත මාව දැඩි සංවේගයකට පත්කළා.

මේ නිර්මාණය අවසානයේ ඔබේ හිත දැණුන දේ වචනවලට පෙරළමුද?
සමස්තයක් විදියට ගත්තාම නිර්මාණයෙන් කියැවෙන්නෙ මේ ලෝකෙ ගොඩක් තැන්වලට සිද්ධවෙන දෙයක්.. පිය පුතු ගැටුම.. මේක මේ ආකාරයෙන්ම නොවුණත් යම් යම් වෙනත් මුහුණුවර ඔස්සේ සිදුවෙන්න පුළුවන්. එක්කො පුතා තාත්තා එක්ක කතා නොකර තරහා ප්‍රකාශ කරන්න පුළුවන්, ගේ අතඇරලා යන්නන පුළුවන්, ඒත් පසුකාලීනව මේ පුතත් තාත්තා කෙනෙක් වුණාට පස්සෙ එයාටත් අර තාත්තා කරපු ආදරයම, ඒ හැඟීමම දැනෙන්න ගන්නවා. මේ චක්‍රයක් විදියට සිද්ධවෙන දෙයක්.. ලෝකෙ ඉන්න හැම පුතෙක්ම හැම තාත්තා කෙනෙක්ම එහෙම නොවෙන්න පුළුවන්... හැබැයි ගොඩක් තැන්වල එහෙම තමයි... මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නොවුණත් මට ගොඩක් මේ නිර්මාණ දැණුනා.

ඔබත් එක කාලෙක පුතෙකු වෙලා ඉඳලා දැන් පියෙක් බවට පත්වෙලා. ඒ අත්දැකීම දෙකම ඔබ විඳලා තියෙන කෙනෙක් විදියට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?
ඒක මෙහෙමයි මෙහෙම වෙන්න ඕනෙ කියලා කියන්න බෑ.. මොකද යම් යම් කාරණා අනුව ඒක වෙනස් වෙනවා.. තරුණ පුත්තුන්ගේ සිතුවිලි අලුත් අත්දැකීම් අඩුයි.. ආවේගශීලියි. නමුත් තාත්තා කෙනෙකුට තියෙන අත්දැකීම් වැඩියි. මොකද මේ තාත්තා යම් කාලෙක පුතෙකුගේ අත්දැකීම් එකතු කරගෙනයි ඉන්නෙ... එයාට පේන දුර වැඩියි.. ඉස්සරහාට මොකද වෙන්න කියලා හොඳ අවබෝධයක් තියෙනවා... ඒ දේවල් කොහොම වුණත් හැම පුතෙක්ම හිතන්න ඕනෙ කවදාහරි දවසක තමනුත් පියෙකු බවට පත්වෙන බව. 
එහෙම තමා දිලීප කතාව ඉවර කළේ.