බුදල්මි
සියොර ආමි සිහිගිරි
බැලීමි ගී
බොහෝ ජන ලිතුයෙන් නොලීමි
මෙය ලියූ මම බුදල් වෙමි. බොහෝ ජනයා සමඟ සීගිරිය බැලීමට පැමිණියෙමි. බොහෝ දෙනෙක් කවි ලියූ නිසා මම නොලියුවෙමි.
කැටපත් පවුරේ ඉඩ හසරක බුදල්ට කවක් ලියන්නට නොසිතුණේ ලියන්නට පෙර නොලියූ දෙයක් හිත් වැලිපිල්ලේ නොලියවුණු නිසාදැයි මට සිතේ. මහා පවුරක් මුදුනක පැන් පොකුණු දියවරින් වට විසල් රජ මාලිගාවක මහා රජ වූ කාශ්‍යපට, පපුවේ හරි මැද ගින්දරෙන් අවුලන, අනුරාගයෙන් කොනිත්තන තුරුණු ළය මඬලක සොඳුර විඳින්නට අවැසි වූයේලු... බිසෝවරුන් හා හසුන් ළමැදේ මුස කෙරූ තත්ත්පරයන් නොසෑහුනේලු.. ඉන්දියාවේ කාජුහාරෝ කැටයම් රාජ සයන හිඳ සජීවී කෙරූ හෝරාවනුත් නොසෑහුනේලු... විනිවිද දුහුල් සළු යටින් භාව හාව ලීලා ඔප කළ නාරි රූ පවුරු මස්තක මත සිත්තම් වුණේ ඒකලු... මට කාශ්‍යප රජු ගැන හිතෙන්නේම එහෙමය.. සීගිරි රූ මතින් නෙත් රැගෙන ගමේ ගෙපැලක කෙල්ලකගේ රුවට වහවැටුණු රාජ මනදොළ සංසිදුවන රිසින් මාලිගාවට කැටුව ගිය, බිසෝ වරම් ලද සීගිරි කෙල්ලකගේ තාත්තාගේ පපුවේ හද ගැස්මට කන තියන්නට සීගිරි ළඳුන්ගේ රුවට වහවැටුණු කාටවත්ම නොසිතුණේ ද මේතාක්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලටම ඇරෙන්නට... එහෙමත් මට හිතෙන්නේය. සමන් ලෙනින්ට අසන සවන් පතුලම ප්‍රකම්පනය කරමින් ගයන්නට සිතුණේත් ඒ නිසාමද? එහෙමත් මට සිතෙන්නේය.
අපේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා...
රජුන්ට ඇය තවත් එක බිසවක් පමණි. රට වැසියාට ඇය රජුගේ අන්තඃපුරයේ එක් බිසෝවුන් වහන්සේ කෙනෙක් පමණි. ඒත් අම්මා කිරෙන් ඇහැරවූ පොහොට්ටුව වැගිරෑ අපමණ දහදියෙන් ප්‍රමුදිත කළ තාත්තට ඇය හැමදාමත් අපේ කෙල්ලය. ලෝකයටම රැජනක් වුවත් තාත්තට ඇය අපේ කෙල්ලය. බිසව.. බිසවුන් වහන්ස.. මේ කිසිඳු ආමන්ත්‍රණයක නැති පපුව පලාගෙන එන මගේකමක් ස්නේහයක් තාත්තගේ කෙල්ල, ඒකි මේකි, දුවේ යන ආමන්ත්‍රණ විනිවිද මම සිපගනිමි. රාජ නීතිය දඩබ්බරය. තාත්තාගේ හද ගැහෙන රාවය ඒ රීතීයේ හයිය ළඟ වලංගු නැත. මගෙ කෙල්ල දෙන්න බෑ දේවයන් වහන්සයැයි කීවොත් රාජ උදහසට, හිස ගසා දැමුමකට ඒත් ඇතිය. ජාතක කළ පියා මැරූ කාශ්‍යප රජුට මම මොන කජ්ජක්දැයි ඒ කෙල්ලගේ තාත්තට හිතෙන්නට ඇත. රාජ මාලිගාවෙන් තුටු පඬුරු කරත්ත පිටින් එව්වත් අනේ රජ්ජුරුවනේ මගේ කෙල්ල ආපහු එව්වනම් මට ඒ ඇති කියන්නට තාත්තට බැරිය. රජුගේ කැමැත්ත ළඟ රටවැසියාගේ හදවත්හි සියලු කැක්කුම් දෙවැනි විය යුතුය. කඩමලු වෙනුවට දුහුල් සළුපිලි, ජීවිතය හා ඔට්ටු අල්ලද්දී දෙකොපුල් සිඹින දූවිලි වෙනුවට වත්සුණු, ජීවිතය සරිකරන්නට වැවේ මල් නෙලන්නට ගිය කෙල්ලට රජ පොකුණු තුළ සිහිල් දිය කෙළි භුක්තියට ලැබුණු වග තාත්තාටත් කනින් කොණින් ආරංචිය. ඒත් මොකටද දෙයි හාමුදුරුවනේ?
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා....
රාජ භෝජනයෙන් තෙල මේරූ රාජ කයේ පිපාසය තවත් පිරිමියකු වූ තාත්තා නොදන්නේ නැත. ඒ හැඩි දැඩි රාජ කයට සියුමැලි ගැහැනු සිරුර රජුට රිසි රිසි ලෙසින් හැරවෙද්දී යටවෙද්දී අනේ මගේ කෙල්ලට රිදේදැයි වචනවලින් නොකියතත් තාත්තට නොහිතෙන්නට හැටියක් නැත. දූට තාත්තා වුවත් ඒ තාත්තා ද පිරිමියෙකි. ඒ තාත්තාගේ සිරුරට ගැහැනු සිරුරක් යටවුණු මංගල රාත්‍රිය දුවක් දීගෙක යන දා හැම තාත්තා කෙනකුටම සිහිවෙතැයි මට සිතේ. නිල් කටරොලු මලක පළමු බිඳුමේ පළමු තත්ත්පරය කොතෙක් වේදනාවක්දැයි මලක සුව විඳි ඕනෑම පිරිමියකු දැන හඳුනාගත් රහසකි.
අන්න කෙල්ලගෙ රූපේ රජ්ජුරුවෝ ගලෙත් අන්දලලු... සියල්ල ඉවසන තාත්තාගේ පපුව වේදනාවෙන් පුපුරු ගසන්නේ ඒ ආරංචියෙනි. දූ මාලිගාවේ බිසවක් වුවත් මාමා බෑනාකම් ඒ රාජ බැඳීම්වලට වලංගු නැත. අනේ ඇයි දේවයන් වහන්ස මගේ කෙල්ලගේ හෙළුව ලෝකෙටම පෙන්නුවේ? කරන උලව්වක් ඕනැ මඟුලක් රජ්ජුරුවන්ගේ කාමරේ දොර වහගෙන කරගන්නෙ නැතුව..? තාත්තා වචන බවට නොපෙරළන්නේ ඒ සිතුවිල්ලය. ඒ යුගයේ තාත්තගේ හද ගැස්ම මට මේ යුගයේ තාත්තලා සිහි කරයි. අද ඇතැම් දියණිවරැ තාක්ෂණයේ නරුම බිලි බවට පත්වන්නේ වරෙක අනවබෝධය නිසාය. විවිධ සමාජ පෙළඹවීම් හා ස්ව කැමැත්ත හේතුවෙනි. තම දියණියගේ නිරැවත් වීඩියෝ, සේයා රූ සමාජ ජාල ඔස්සේ හෙළිදරව් වීම නිසා සියදිවි නසාගත් පියවරු ගැන, කොළඹ රුකියා සඳහා පැමිණ ගණිකාවන් වූ දියණියන් නිසා විඳවන පියවරුන් ගැන නානා මාදිලියේ කතා අපි අසන්නෙමු. එදා සීගිරි පවුරේ ඇඳි දියණියගේ සිත්තම එදා තාත්තට නිල් චිත්‍රපටයක දසුනක් සෙයින් දනුනාදැයි සිතුණත් තවත් වෙසෙකින් ගැහැනුන් උඩු කය නොවැසූ යුගයක් ද අපි පසු කළෙමු. එය සදාචාරයට හෝ සංස්කෘතිට හානියක් නොවූයේ ඒ යුගයේ සංස්කෘතිය එපරිද්දෙන් සැකසී තිබූ බැවිණි. එක්දහස් නමසිය දශකයේ මුල් භාගය වනතුරුම ගම්බද ගැහැනුන් උඩු කය නොවැසූ අතර, පිටස්තර පිරිමියකු අභිමුවට පැමිණෙද්දී පමණක් සළුවකින් උඩු කය වසා ගත්තාය. එහෙත් දුවගේ පෙනෙන නොපෙනෙන සළුවකින් වැසූ උඩුකය දහසක් නෙත් පිනවද්දී තාත්තාගේ හිත වේදනාවෙන් ඇවිලවූ බව ගීත රචකයා හඟවයි. ඒ පිටස්තර දහසක් නෙත් ඇගේ නිරුවත් ළමැද මත රැඳෙද්දී ඝනකම් සළුවකින් සිත්තම වසන්නට අවකාශයක් නැති හෙයිනි. ඒ වේදනාව මැද දූගේ රූ සිරි ද තාත්තා විඳ ගනියි.
කරඬුවක් වගෙ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා
පපුව ටික ටික මෙළෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා
දුවේ රජ සැප රාජ භෝජන සළු පිලි අභරණ යස ඉසුරු ලැබුණත් නුඹ රජුට අන්තඃපුරයේ තවත් එක ගැහැනියක් විතරයි... මොන ඉසුරු ලැබුණත් ගැහැනියක පිරිමියකුගෙන් ඉල්ලන මෘදු ළතෙත් පහස නුඹට හීනයක් විතරක්ම වෙයි... ඔය රන් තැඹිලි ලෙසින් දිදුලන පයෝධර යුග වැටකොළු කරල් සෙයින් එල්ලා වැටෙන විට නුඹට ආයෙත් එන්න හිතෙයි, දවස් තුන්සිය හට පහෙන් එක් දවසක්වත් රජු නුඹට වෙන් නොකරද්දී... දුවේ වරෙන් එදාට... පැදුර තාමත් මඟ බලගෙන ඉන්නවා... දොර හැමදාමත් ඇරලා තියෙනවා...
තත්තාලගේ පපු කුහර පුරා දෝර ගලන ආදරය එහෙමමය.
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නවා පේනවා
ඒ ඉසව්වෙන් යද්දී මං
පොඩි කෙල්ල හංගා ගන්නවා
මේ සීගිරි සිංහයා කාශ්‍යප රජුයැයි වරෙක සිතේ. ඒ සිංහයා අනිත් දියණියත් තම තුරැලෙන් සොරා ගනීයයි තාත්තා බිය වෙයි. ඊටත් ගැඹුරට එබෙද්දී මේ සිංහයා සංස්කෘතිය සදාචාරයට විකෘතියක් එක් කළ සිතුවිලි ප්‍රවාහයකි. ඒ සිතුවිලි ප්‍රවාහයට මහා සංස්කෘතියේ ධනාත්මක අගයන් බිලි වී හමාරය. ඉතුරු වූ සොච්චමවත් රැක ගත යුතුය. පොඩි කෙල්ල යනු ඒ ශේෂය සංකේතවත් කිරීමකි.
මේ ගීතයේ මා ප්‍රකම්පනය කළ ගී දෙපදය මෙයයි.
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුණා
කළු ගලක් සොලවන්නට චණ්ඩ මාරුතයකටවත් බැරි තරම්ය. සුනාමිය වැනි රුදුරු වූ සයුරු දියවරකට හැර කළු ගලක් මොහොතකටවත් සොලවන්නට කිසිවෙකුටවත් බැරි තරම්ය.
දුවේ මගේ හදවතේ ගැඹුරින්ම නැගෙන හුස්ම... හූල්ලද්දී නුඹ වෙනුවෙන් නැගෙන හුස්ම ඒ රුදු සුනාමියකටත් වඩා ඝනකම්ය, රළුය, ආවේගශීලීය. දුවේ නුඹේ රුව සීගිරි පවුර මත සිත්තම් වී ඇති හැටි දකිද්දී මගේ හදවතින් නැගෙන සුසුමේ බර සීගිරි පවුර සොලවන්නටත් ඇති. ඒ සුසුම් ඒ තරම් බරය. රළු පරළුය.
ඒ සුසුමේ බර වචන නැති පිය ස්නේහයේ අනන්ත ගැඹුර ගැන කතාවකි. වචන බවට පෙරළන්නට තරම් අවැසි වචන සමුදායක් කවර ශබ්ද කෝෂයකින්වත් අහුලාගන්නට බැරි තරමට අනන්ත පිය ස්නේහයක් ගැන කතාවකි.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර