2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

කවුරුත් බලන්න නාවට මම තරහා නෑ.....

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 357

කොහොමද දැන් සනීපද?
(ඇස් පුංචි කරගෙන හිනාවෙන ඒ අපූරු හිනාවත් එක්ක චිත්‍රා වාකිෂ්ඨ නම් ඒ ආදරණීය කලාකාරිය ඇගේ පුතනුවන්ගේ උදව්වන් අපි ඉදිරියේ වාඩි වුණා.)
ඉන්නවා පුතේ.. සනීපයක් කියලා කියන්නත් බැහැ. දැන් ටිකක් ඇවිදින්නත් අමාරුයි. ඒ අමාරුකම් එක්ක ඉතින් මේ දරුවන්ගේ ආදරයත් එක්ක ජීවිතේ ගෙනියනවා.

ළමා කාලය ගෙවුණේ කොහොමද?
මගේ ගම පුංචි බොරැල්ලේ ඉපදුණේ හැදුනේ හැමදේම වුණේ පුංචි බොරැල්ලේදී තමයි. මගේ පවුලේ නංගිලා පස්දෙනෙක් ඉන්නවා. අයියලා දෙන්නයි, මල්ලියි. මම තමයි අපේ පවුලේ ගෑනු ළමයින්ගෙන් වැඩිමලා. මගේ තාත්තා වැඩ කළේ මහ ඉස්පිරිතාලේ. අම්මා රස්සාවක් කළේ නෑ. එයා තමයි ඉතින් අපිව බලා හදාගත්තේ.

අවුරුදු දහඅටේ ගැහැනු ළමයා ළමා පිටියට එකතු වුණේ කොහොමද?
ඒකටත් ඉතින් අවස්ථාව ලැබුණේ ඉගෙනගන්න ඉස්කෝලෙන් තමයි. මම ඉගෙනගත්තේ පුංචි බොරැල්ලේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ. (වර්තමානයේ සංඝමිත්තා බාලිකා විදුහල වන්නේ එම පාසලයි) ඉතින් ඉස්සර ඉස්කෝලේ වේදිකාව මට හොඳට පුරුදුයි. හැම කලා කටයුත්තකදීම මාව තමයි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්නේ. මට  ඒ කාලෙත් හරි හරියට සින්දු කියන්න පුළුවන්. ඉතින් මගේ යාළුවෝ ඔය කලා කටයුතුවලදී ඉස්සර කරගන්නෙම මාව තමයි. ඉතින් ඔය දේවල්වලට සම්බන්ධ වෙච්ච මම කොහොමෙන් කොහොමහරි ළමා පිටියටත් සම්බන්ධ වුණා.

ඒ කාලේ ළමා පිටිය කොහොමද?
ඉස්සර ළමා පිටිය හරිම ෂෝක්. දැන් වගේ නෙවෙයි. අපිට හැකියාවල් පෙන්නන්න ඒ මා පිටිය හරි අපූරුවට අවස්ථාවල් දුන්නා. ඒ කාලේ මතක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.

එතකොට රුක්මනී දේවී එක්ක ඇසුරු කරන්න ලැබීමත් පුදුමාකාර සතුටක් වෙන්න ඇති?
අම්මෝ...ඔව්. රුක්මනී දේවිට ඩැනියෙල් කියලා සහෝදරයෙක් හිටියා. ඒ කාලේ රුක්මනී ඒ සහෝදරයා ළඟට ආවා. ඊට පස්සේ අපේ නාට්‍ය එහෙම බලන්නත් ආවා. ඒ ආපු වෙලාවක මාත් එක්ක හොඳට හිතවත් වුණා. එයාට මාව හොඳට හිතට ඇල්ලුවා. අපි දෙන්නා එකට රඟපාලත් තියෙනවා. රුක්මනී කියන්නේ හරිම හොඳ කලාකාරිනියක්. හරිම ගුණයහපත් මනුස්සයෙක්. එයාගේ හිතේ ඔය ලොකුකම් නැහැ.

සිරිසේන විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට සම්බන්ධ වුණ ඔභ බොහෝ චිත්‍රපටවලට දායක වුණානේ.. මතකද ඒ චිත්‍රපට එහෙම?
ඉස්සර තරම් දැන් මට හැමදෙයක්ම මතකනම් නැහැ. හැබැයි ඉතින් සැරෙන් සැරේට මට මතකයි. පොඩි පුතා, ගැහැනු ළමයි, කම්මුල් පහර, රන් තෝඩු, ඉරණම, ළඟින් ගියොත් ඇහැක් නෑ, නැංගුරම, සුහද පැතුම්, පාලම යට, ගොලු හදවත, පරසතු මල් වගේ චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා. කොහොමටත් මට හිතෙන විදිහට චිත්‍රපට එකසිය පනහක විතර මම රඟපාලා තියෙනවා. ඒ කාලේ අද වගේ ලොකු පහසුකම් තිබුණේ නැහැ. අදනම් ගොඩක් නළු නිළියන්ට තමන්ටම කියලා වාහනයක් තියෙනවනේ. ඉතින් ඒ අය එන්නේ ඒ වාහනවලින්. ඒ කාලේ එහෙම නෑ. හැමෝම රූගතකිරීම්වලට ගියේ එකම වාහනයකින්. අපිට රූගතකිරීම් කරන්න දවස් ඕන වුණාම ගෙදරට වාහනයක් එවනවා.

ඔබ රඟපෑමට එකතු වෙනවාට ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නෑ.. නෑ.. එහෙම අකමැත්තක් තිබුණෙ නැහැ. මම මුලින්ම ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වුණේ. ඊට පස්සේ වේදිකාවටත්, සිනමාවටත් සම්බන්ධ වුණා.
මුල්ම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නත් ඔබට හැකියාව ලැබුණා.

ඔව්.. ඒකත් මගේ ජීවිතයට අමතක නොවුණ සිදුවීමක් තමයි. රූපවාහිනියේ මුල්ම ටෙලි නාට්‍යය වුණ දිමුතු මුතු ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ දිමුතු මුතුගේ අම්මා විදිහට. දේවිකා මිහිරානි, කලංසූරිය එක්ක තමයි එදා මම රඟපෑවේ.
මොන චරිත රඟපෑවත් බොහෝ දෙනා ඔබව දන්නේ සොමි නෝනා විදිහට තමයි.

(ඇය හරි අපූරුවට හිනා වුණි. ඒ හිනාව තුළින් ඇයද සොමි නෝනාට තියෙන ආදරය මැනවින්ම වැටහුණි.)
ඔව්. ඔව්. ගුවන් විදුලියේ මම ළමා පිටියේ හිටියනේ. එතකොට තේමිස් ගුරුගේ මහත්තයානේ හිටියෙ. ඉතින් ඒ මහත්තයා තමයි මාව කෝපි කඩේට යෝජනා කළේ. මට මතක හැටියට අවුරුදු තිස් අටක් ඒකේ මම රඟපෑවා. සොමි නෝනට කවුද අකමැති නේද? දැනටත් මාව දැකලා මම ළඟට ඇවිත් සොමි නෝනා කියලා කතා කරන අය ඉන්නවා. අපිට මේ චරිත නිසා සලකනවා. කෝපි කඩේ සොමි නෝනට තාමත් කට්ටිය ආදරෙයි.

එහෙම හොඳට හිටිය සොමි නෝනට එකපාරටම මොකද වුණේ...?
මතකයේ හැටියට 2011 දී තමයි මම එකපාරටම අසනීප වුණේ. එහෙම අසනීප වෙලා මම කළුබෝවිල ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ගත්තා. ඒ ඉස්පිරිතාලෙන් තමයි මගේ රෝගය හඳුනාගෙන මාව මහරගම පිළිකා රෝහලට මාරු කළේ. ඒ ඉස්පිරිතාලේ මාස හයක් විතර මම ප්‍රතිකාර ගත්තා. විශාල සැත්කමක් පවා කළා. මොකක්දෝ කරපු පිනකට මගේ ජීවිතය බේරුණා. දැන් වුණත් පොඩි පොඩි අමාරුකම් තියෙනවා. ඒත් ඉතින් දැන් ඒවාට ප්‍රතිකාර ගන්න යන්නේ නැහැ. මගේ දරුවො නම් කියන්නෙම බෙහෙත් ගන්න යමු කියලයි. අනේ... දැන් මට එහෙම ඇවිදින්න අමාරුයි. ඒ දරුවන්ටත් කරදර කරන්න මම කැමති නැහැ.

කොහොමද දැන් දවස ගෙවෙන්නේ...?
දැන් ඉතින් වැඩිපුරම කරන්නේ ඉස්තෝප්පුවට වෙලා ටී.වී. එක බලන එකයි කාමරයට වෙලා ඇඳේ හාන්සිවෙලා ඉන්න එක තමයි. දැන් ඉස්සර වගේ ඇවිදින්න බැහැ. දැන් අමාරුයි. 2011 දී තමයි මම අන්තිමට රඟපෑවේ. ඊට පස්සේ ඒවාට සම්බන්ධ වුණෙත් නැහැ. දැන් අවුරුදු හතක් තිස්සේ මම කලාවට සම්බන්ධ නොවුණාට තාමත් මිනිස්සුන්ට මාව මතකයි. ඒ ගැන ඇත්තටම සතුටුයි.

කෝපි කඩේ රංගන ශිල්පි ශිල්පිනියන් වගේම ඔබේ ක්ෂේත්‍රයේ අය බලන්න එන්නේ නැද්ද?
මම අසනීප වුණු මුල් කාලේදී ඒ හැමෝම මාව බලන්න ආවා. මට පුළුවන් විදිහට උදව් කළා. දැන්නම් එහෙම එවෙන්නේ නැහැ. ඒ අයටත් දැන් වැඩ වැඩියිනේ. මාව බලන්න ආවේ නැහැ කියල මගේ තරහක් නැහැ. මොනතරම් වැඩ රාජකාරි ඒ හැමෝටම තියෙනවද? ඒ කාටවත් මම දොස් කියන්නේ නැහැ. මගේ ගොඩක් සම්මාන, පින්තූර ඒ කාලේ ඇතිවුණු ගංවතුරට මට නැතිවෙලා ගියා. අද මට බලන්න තියෙන්නෙත් සම්මාන කිහිපයකුයි, පින්තූර කිහිපයකුයි විතරයි. මොනව කරන්නද නේද...? ඒ හැමදේම නැතිවෙනව. දැන් මට කල්පනාව අඩුයි. සමහර දේවල් හරියට මතක නැහැ. මට දැන් වයස අවුරුදු අසූ තුනයි. හැබැයි විශ්වාස කරන්න තාමත් මගේ කටේ දත් දෙකක් විතරයි වැටිලා තියෙන්නේ. මට කණ්ණාඩි නැතිව වුණත් අකුරැ කියවන්න පුළුවන්. හැබැයි ළඟදී ඉඳන් ඇස් දෙක ටිකක් රිදෙනවා. වයසත් එක්කම හැමදේම දුර්වල වෙනවා. කාලගෝල නාඩගමේ දික්තලාගේ චරිතය රඟපෑවෙත් මමයි.

මතකද ලොයිඩ් වාකිෂ්ඨව මුණගැහුණු කාලය?
අනේ... නැහැනේ... ඒ කාලේ හරියටම මට මතක නැහැ. එතකොට මම ගුවන්විදුලියේ තමයි හිටියෙ. එයාත් ගුවන්විදුලිය මොකක්ද වැඩකට ඇවිත් තමයි මට මුණගැසුණේ. ඊට පස්සේ අපි දෙන්නා කසාද බැන්දා. අපිට දරුවන් පස්දෙනයි. මගේ එක පුතෙක් නැතිවුණා. මගේ එකම දුවට ඇවිදින්න බැහැ. අද ඉතින් මාව බලන්න දරුවෝ තුන්දෙනා තමයි. දෙවැනි පුතා ළඟ තමයි මම ඉන්නේ. පුතාලා තුන්දෙනාම මට හරි ආදරෙයි. දැන් මම මුණුපුරන් මිනිපිරියන් හත් දෙනෙක්ගේ ආච්චි කෙනෙක්. ඒ හැමෝම මට හරි ආදරෙයි.

තාමත් සින්දු කියන්න පුළුවන්ද?
ඔව්... තාමත් ඉතින් හෙමි හෙමීට සින්දු කියනවා. වෙන මොනවා කරන්නද? ඇඳට වෙලා මම ඉතින් සින්දුවක් මුමුණනවා. සමහරදාට රූට නින්ද යනකන්ම මම ඉන්නේ එහෙම තමයි. දැන් ඉතින් සින්දුවෙන්ම තමයි ඉන්නේ. සමහරදාට රෑට පුතාලාට නින්ද ගිහින්. මම ඉතින් සින්දු කිය කියා ඉන්නවා. ඒක දැන් මගේ තනිකමට හොඳට හුරුයි. ගොඩක් වෙලාවට පුතාලත් රෑ වෙනකන් ඇහැරිලා තමයි ඉන්නේ. අපේ ගෙදර වේලාසන නිදියනවා හරි අඩුයි. මාත් ඉතින් ඒ අයත් එක්ක ටී.වී. බලනවා. රෑ වෙලා කියව කියවා ඉන්නවා. තාමත් කෝපි කඩේ බලනවා. මේ ළඟදි ගැහැනු ළමයි චිත්‍රපටය ආයෙත් ටී.වී. එකේ පෙන්නුවානේ. ඒකත් බැලුවා. ළමා ජීවිතෙන් පටන් ගත්තු මගේ ජීවිතේ ආපු දුර ගැන අද මට සතුටුයි. කලාකාරියක් විදිහට අදටත් මගේ හිත දුක්වෙන, කලකිරෙන දේවල් තියෙනවා. ඒත් ඉතින්... ඒ හැමදේටම වඩා මගේ දරුවන්ගේ ආදරය නිසා අද මගේ හිතට දැනෙන්නේ සැනසීමක්. අද මට සලකන්නේ මගේ දරුවෝ.

Text - Dishani   /   Pic - Sumudu   

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00