2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

නර්ස් නෝනලට ලෙඩක්

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

ළඟදී දවසක අලුත් චිත්‍රපටයක කොටස් කීපයක් රූපගත කෙරුණෙ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක.
එදා රූපගත කළේ චිත්‍රපට කතාවට අදාළ රෝහල් දර්ශන කීපයක්. 

ලෙඩවුණු නළුවා හා නිළිය වගේම වෛද්‍යවරයාගෙ චරිතය හා හෙද චරිත රඟපාන නවක ශිල්පීන් කීපදෙනෙක්ද දවස පුරාම ඒ රෝහලේ කාර්යබහුල වුණා.
මේ නර්ස් නෝනලා දෙන්නා විවේකී වෙලාවක රෝහලේ වෙනත් මහලකට ගිහින් තියෙනවා වෙනත් වුවමනාවකට.

ඒ යන අතරතුර විදුලි සෝපානය තුළ ඒ දෙන්නට මැදි වයසේ යුවලක් මුණගැහිලා මේ දෙන්නගෙන් රෝහල් කාමර ගැන විස්තර, දොස්තරවරුන් ගැන විස්තර අහනවලු දිගට හරහට. මේ නර්ස් නෝනලා දෙන්නට තරු පෙනිලා. ඒත් රඟපාන්න ආපු බවක් කියලත් නැහැ. බැරිම තැන ඒ යුවල කිව්වලු කිසිම දෙයක් නොදන්න මේ සේවිකාවන් දෙන්නා ගැන රෝහල් බලධාරීන්ට පැමිණිලි කරනවා කියලා.

 

නින්දත් ගිහින් කොණ්ඩෙත් ගිහින්

ඔන්න ටෙලිනාට්‍යයක රඟපාන ශිල්පියෙක් සෙට් එකට උදේ පාන්දර ආවා විතරයි, ඩිරෙක්ටර්ට මළ පැනලලු.

අයිසෙ කෝ තමුසෙගෙ කොණ්ඩෙ? තමුසෙ හමුදාවට බැඳෙන්න යනවද මේ වගේ කොටට කොණ්ඩෙ කපලා. දැන් මේ කරන චරිතෙ ඔයාට හොඳට කොණ්ඩෙ තිබුණනෙ. දැන් කොහොමද මෙතනින් පස්සෙ ඔයා කොට කොණ්ඩයක් එක්ක මේ රෝල් එක කරන්නෙ? මේකෙ කන්ටිනියුටි ප්‍රශ්නයක් වෙනවා කියලා ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද? දැන් ඔයාගෙ කොණ්ඩෙ වැවෙනකම් අපි උඩ බලාගෙන ඉන්න ඕනෙද? ඩිරෙක්ටර් පුපුරනවලු.

අනේ නැහැ මහත්තයො මට සමාවෙන්න. මේකයි සිද්ධ වුණේ. ඊයෙ රෑ මම කොණ්ඩෙ කපන්න සැලොන් එකට ගියා යාන්තම් වටේ කොට කරගන්න. කපන මල්ලිට කිව්වා වෙනදා කපන විදිහට කපන්න කියලා. කරුමෙට මට නින්ද ගියානෙ. ඒ මල්ලිත් කොණ්ඩෙ හොඳටම කොටවෙන්න කපලා තමයි මාව ඇහැරවලා ඇහැව්වෙ කැපුවා ඇතිද කියලා, අර නළුවා අහිංසක විදිහට කිව්වලු.

 

හිච්කොක් එහෙනම් තාම වැඩ

පහුගිය දවසක ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් කතා කර කර හිටියලු අපේ චිත්‍රපට කලාව හා එහි නියුතු වර්තමාන පරපුරේ ඇතැම් රංගන ශිල්පීන් ගැන. 
මේ දෙන්නම විදෙස් චිත්‍රපට කාපර්ලා.

සමහර අය දොස් කියනවා, අපේ සිනමාවේදීන් වෙනත් ක්ෂේත්‍රවල ඉන්න අයව සිනමාවට ගෙනවිත් රංගන ශිල්පීන් බවට පත්කරන එක ගැන. ඒත් මම ඒකට විරුද්ධ නැහැ.
ඇයි විරුද්ධ වෙන්නෙ නැත්තෙ? ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති අය මේකට දාලා ඒගොල්ලො නානකොට අපේ ශ්‍රමය වගේම කාලයත් කොච්චර නාස්ති වෙනවද?
ඒ වුණාට ලෝ ප්‍රකට සිනමාවේදියෙක් වුණු ඇල්ෆ්‍රඩ් හිච්කොක් පාරෙ යන අයව ගෙනල්ලා චිත්‍රපටවල රඟපාන්න දැම්මෙ. බලන්නකො ඒ චිත්‍රපට කොච්චර ප්‍රබලද කියලා.
ඒක එදා සිද්ධවුණේ හිච්කොක්ගෙ රටේනෙ සහෝදරයා. එයා අපේ වගේ රටක පිටස්තරයෙක් දාලා එදා චිත්‍රපටයක් කළානම්, ඒක තාම කරනවා ඇති.

 

නිළියගෙ බාරය

පහුගිය දවසක කොටස් 100කට අධික ටෙලිනාට්‍යයක වැඩ පටන්ගත්තලු. ෂුටිං තිබුණෙ කොළඹ අවට දර්ශන තලවල. අලුත් වගේම ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මේකෙ රඟපානවා.
ඔන්න ෂූටිං පටන් අරන් තුන්වැනි දවසෙම ඒකෙ ප්‍රධාන චරිතයක් රඟපාන රංගන ශිල්පිනියක් අලුත් නළුවෙකුට අපූරැ ආරංචියක් ගෙනාවලු.

මම ඊයෙ රෑ හොඳ හාස්කම් තියෙන තැනකට ගිහින් හොඳ බාරයක් වුණා.
ඒ මොනවටද? නළුවා ඇහුවලු.
වෙන මොනවටද ඉතින්? ඔයාට ඩයලොග් ටික හොඳට මතක හිටින්න මිසක්. ඔයාගෙ ඩයලොග් අමතකවිල්ල නිසා අපි කන පරිප්පුව ඔයාට තේරෙන්නෙ නැහැනෙ.


► Text - Mithra