ළඟදීම තිරගත වීමට නියමිත උදුම්බරා සිනමා නිර්මාණයට හිරැණිකා සම්බන්ධ වෙලා තිබෙනවා...? කොහොමද ඒ අවස්ථාව ලැබුණේ...?
මේ අවස්ථාව මට ලැබුණේ අහම්බෙන් වගේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වුණු කේ.එස්. චමන්ත් රාජ් තමයි මේ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගන්න ඕනේ කියලා තිබුණේ. ඉතින් දවසක් මම රැළියකට සහභාගී වෙලා ඉඳිද්දී මෙහි නිෂ්පාදක කළමනාකරු වුණු සුරේන් චන්ද්‍ර මාව මුණගැහෙන්න ආවා. ඒ වෙලාව්දී “මැඩම් අපි හරි ආසාවෙන් ඉන්නේ ඔයාව ෆිල්ම් එකකට ගන්න. කියලා කිව්වා. හැබැයි ඉතින් ඒ වගේ දේවල් මට නිතරම ඔය එක එක්කෙනා කියන නිසා මාත් ඒක එච්චර හිතන්නේ නැතිව “ආ... හරි... හරි... මට කතා කරන්නකෝ... කියලා කිව්වා.
ඒ කියන්නේ ඒ වෙනකොටත් හිරුණිකාට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබිලද තිබුණේ...?
ඔව්... ආරාධනා කිහිපයක්ම ඒ කාලය තුළදී ලැබිලයි තිබුණේ. ඉතින් මම හිතුවේ මේකත් ඒවගේ දෙයක් වෙයි කියලා. ඒ නිසා ඒක මට අමතක වුණා. දවසක් සුරේන් මාව ආයෙමත් හොයාගෙන ඇවිත් මේ ෆිල්ම් එක ගැන කිව්වා. මම කරන දේශපාලන වැඩක් එක්ක මට පෙම්වතියකගේ චරිත, එහෙමත් නැත්නම් ඔය ටිකක් සීනි බෝල චරිත මට කරන්න අමාරුයි කියලා මම කියද්දී සුරේන් තමයි කිව්වේ මේක එහෙම කතාවක් නොවේ.
රට ගැන කියන ලස්සන ෆිල්ම් එකක් කියලා. මට පිටපතත් දුන්නා. ඒ පිටපත බලද්දී මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ.එස්. චමන්ත් රාජ්ව මුණගැහුණා. චමන්ත් රාජ් ලංකාවට එන යන දමිළ අධ්‍යක්ෂකවරයෙක්. මම රූපවාහිනි වැඩසටහනකම කළ කතාවක් දැකලා තමයි ඔහු මාව මේකට තෝරාගෙන තිබුණේ. ඉතින් ඒ අනුව තමයි චමන්ත් රාජ් මාව උදුම්බරා චිත්‍රපටයේ ක්‍රීඩා උපදේශිකාවගේ චරිතය තුළින් සිනමාවට හඳුන්වලා දුන්නේ. මේක සිරස මාධ්‍ය ජාලයෙන් කරන ෆිල්ම් එකක්. රට ගැන කියවන ෆිල්ම් එකක් නිසා හරිම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා.
හිරුණිකා රඟපානවාට අම්මා වගේම සැමියා කැමති වුණාද...? හිරාන් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මොකද කිව්වේ...?
අම්මාට මම මේක ගැන කියපු ගමන් අම්මා කැමැති වුණා. හිරාන්ට කීවාම එයා හිනාවෙලා “ආ... දැන් මගේ ජොබ් එකත් ගහලා යන වැඩක් ද කරන්න හදන්නේ. කියලා හිනාවෙලා කිව්වා. එයාත් ගොඩාක් කැමැති වුණා. මම මේ චිත්‍රපටයේ රඟපානවාට. ඉස්සර මම ඉස්කෝලේ යන කාලේදීත් පාසැල් වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ. ඉතින්... අම්මගෙයි, හිරාන්ගෙයි දෙන්නගේම කැමැත්තෙන් තමයි මම මේකට සම්බන්ධ වුණේ. අනික මේ චරිතයත් හොඳ නිසා මම මට උපරිමයෙන් හරිම ආසාවෙන් මේකේ රඟපෑවා.
හිරුණිකාට වැඩිපුරම රඟපාන්න තිබුණේ උදුම්බරා රඟපෑ නදීශානී එක්කයි. ඇයත් සිනමාවට අලුත් මුහුණක්...?
ඔව්... එකදිගට ගත්තොත් මම දින විස්සක් විතර උදුම්බරා වෙනුවෙන් වෙන් කළා. මගේ විවේකි දිනයි, ඒ අයගේ දිනයි එක්ක කතාබහ කරගෙන අපි දින ටික වෙන්කරගත්තා. අපි හැමෝම හරිම සහයෝගයෙන් මේ වැඩකටයුතු ටික කළා. මම වැඩිපුරම රඟපෑවේ නිදීශානි එක්කයි. නදීශානිත් මේ ක්ෂේත්‍රයට අලුතින් ආපු ළමයෙක් වුණත් ටිකක් කල්යද්දී මේක ගැන දැනුමක් ලබාගත්තා. ඒ ළමයා හරිම හොඳ ළමයෙක්. උනන්දුවෙන් වැඩ කළා. ඒ විතරක් නොවේ මුළු කණ්ඩායමම හරිම එකමුතුවෙන් උදුම්බරා එකේ වැඩ කළා. ඒ කාලය හරි අපූරුයි.
විශේෂයෙන් ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණයෙක් එක්ක වැඩ කරද්දී ලබපු අත්දැකීම් කොහොමද...?
ඇත්තටම ජැක්සන් ඇන්තනී කියන්නේ ප්‍රවීණ මහත්මයෙක්. මම රඟපාන්න එනකොටම එතුමා මට හැමදේම කියලා දුන්නා. අධ්‍යක්ෂකතුමා පවා මට කිව්වේ මුලින්ම “ඔයා ගිහින් ජැක්සන් ඇන්තනී මහත්තා එක්ක ඉඳගෙන ඔය ෆිල්ම් එක ගැන අයිඩියා එකක් ගන්න කියලා. ඉතින් ජැක්සන් ඇන්තනී මහත්තයා මට බොහෝ දේවල් කියලා දුන්නා. රංගනය පිළිබඳව බොහෝ දේ නොදැන හිටපු මට ඔහු බොහෝ දේ ඉගැන්නුවා. හැබැයි එතුමා මට හැමවෙලේම කිව්වේ නිර්මාණය ඇඟට ගන්නේ නැතිව එදිනෙදා කතාබහ කරන විදිහට දෙබස් ටික කියන්න කියලයි. ඉතින් මම ඒක කළා.
උදුම්බරාගෙන් පස්සේ දිගටම හිරුණිකාව සිනමාවෙන් දකින්න ලැබෙයිද...?
එහෙම කියන්න බැහැ... ඉස්සරහට තියෙන වැඩත් එක්ක තවත් මම කාර්යබහුල වේවී. හිරාන් වුණත් මගෙන් අහපු දෙයක් තමයි “තව ඉස්සරහට ෆිල්ම් ආවොත් ඔයා මොකක්ද කරන්නේ කියලයි. හැබැයි කරනවා නම් මේ විදිහේ චරිත තමයි මම කරන්න ආස වෙන්නේ. මම අම්මා කෙනෙක්. දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ චරිතවලට ගැලපෙන චරිතයක් ලැබුණොත් බොහෝ දුරට මම බාරගනීවි.
පුංචි පුතා එක්ක ගතකරන ජීවිතේ කොහොමද...?
ඒ ජීවිතේ හරිම ෂෝක්... හරිම සුන්දරයි. පුංචි පුතාගේ නම එවින් මේඝව යටඕවිට. පුතාට දැන් වයස අවුරුද්දයි මාස දෙකයි. දැන් තමයි එයාගේ හුරතල්ම කාලය. ඇවිදිනවා කතා කරන්න උත්සහා ගන්නවා. මේ කාලය තමයි ලස්සනම කාලය. ඉතින් පුතා එක්ක ඒ සුන්දර ජීවිතේ වෙලාව ගතවෙනවා දැන් තේරෙන්නේවත් නැහැ.
► Text — Dishani / Pic - Sumudu