ඔන්න කට්ටියක් නූතන තාරුණ්‍යයේ උන්මාදනීය චමත්කාරය දනවන Facebook පාටියක් කරන්න යන්නේ. බුකී පාටී ඕගනයිස් වන එකින් එකට වෙනස් ක්‍රම කිහිපයක් තියනවා. අපි කියන්න යන්නේ ඔයින් එක ක්‍රමයකට ඕගනයිස් වුණු පාටියක ස්ටෝරියක්.
ඒ කාලේ රටේ දකුණේ මුහුදුකරේ හැම තැනම පාන් වාටි ගාණට පාටී. හික්කා, බෙන්ටා, මවුන්ට්ලැවීනියා එහෙම පාටී බහින කොල්ලෝ සෙට් එකකට පාටියක් කරන්න හිතුණා. හිතුවට කරන්න ලේසි නෑ. හොඳ පොට් එකක් ඕනේනම් සෑහෙන්න සල්ලියක් ඕනේ. පොලීසිය ශේප් වෙන්න ඕනේ. කට්ටිය ගෙන්නගන්න ඕනේ. වැඩ ගොඩයි.
අතේ සල්ලියක් තියනවානම් මෙන්න ඉන්වෙස්ට් කරන්න මරු සීන් එකක්. ස්පොන්සර්ස්ලා සල්ලි දාලා පාටියට අත ගහනවා. පස්සේ ලාබේ බෙදා ගන්නවා. ඔන්න ඕක තමා ක්‍රමේ. අතමිට යහමින් තියන සෙට් එකේ පොරවල් ගේම් එකට බැස්සා. තව ටවුමේ ලොකු බිස්නස් එකක දෙකක සපෝට් එක ලැබුණා. ඊළඟට පාටිය කරන පොට් එකක් ඕනේ. ඒක ලේසි නෑ. තරු පන්තියේ හෝටල් නම් කොහොමත් ඔට්ටු නෑ. මුහුද අයිනේ රෙස්ට් එකක් වෙන්නත් ඕනේ. පහසුකම් තියෙන්නත් ඕනේ. ලොකේෂන් එක පට්ට වෙන්නත් ඕනේ. ඔය ඔක්කෝටම වඩා වැදගත් දෙයක් තියනවා තැනක් හොයාගෙන යද්දි. ඒක තමා සේෆ්ටිය. පොලීසියෙන් හරි යුනිට් එකෙන් හරි බැහැලා වැඩේ අල කරොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා පාටිය දාන ප්ලේස් එකේ අයිතිකාරයා තදයෙක් දේශපාලන පොලිස් කන්ටෑක් තියන පොරක්නම් වැඩේ ගොඩ.
තැනයි සල්ලියි කොහොම ගරි හොයාගෙන වැඩේට අත ගැහුවා කියමුකෝ. පාටියට කට්ටිය ගෙන්නගන්න ඕනේ. ඔන්න ඔතනදී තමයි පාටිය Facebook වෙන්නේ. දැන් රටේ ඉවෙන්ට් එක මැනේජ් කරන්න වගේම ඉවෙන්ට් එක ප්‍රමෝට් කරන්නත් ආයතන තියෙනවා. මේවා Facebook එක හරහා තමා ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය සෙට් එකට වැඩේ බාර දුන්නම ඒ අය පාටිය ගැන ප්‍රමෝශන් කැම්පේන් එක සෝශල් මීඩියාවල කරනවා. ටිකට්නම් තියනවා එක එක ගාණට. ඒවා වැඩි හරියක් ඉන්ටර්නෙට් එකෙන් තමා විකිණෙන්නේ. කමිශන් එක ඉවෙන්ට් ප්‍රමෝශන් කරන අයට. පාටියට අතගහපු සෙට් එක්කත් ටිකට් විකුණනවා. හැබැයි ගොඩක් නෙවේ ටිකක්. පාටි බහින සෙට් රට වටේම ඉන්නවා ඒ අය ෆේස්බුක් ප්‍රමෝශන් කැම්පේන් එකෙන් වැඩේ ගැන දැනගන්නවා. දැන් ඒ පැත්තත් බැලන්ස්. ටිකට් ටික උණු කැවුම් වගේ විකිණෙනවා.
තව වැඩ තියනවා කරන්න. මියුසික් තමා පාටියේ වැදගත්ම දේ. පාටි ලයිෆ් ගතකරන අය අතරේ හිට් වෙච්ච DJ Artist ලා ඉන්නවා. ඒ අයව තමා වැඩේට බස්සන්න ඕනෑ. ගාණ සැරයි. ඒත් එක්කෙනෙක් මදී රෑ එළිවෙනකල් වැඩේ යන නිසා දෙතුන් දෙනෙක් සෙට් වෙනවා ආටිස්ලා. සමහර වෙලාවට හතක් වගේ DJ Artist ලා පාටියට බස්සලා පාටිය ෆුල් මාවලස් කරන්න ඕගනයිසස්ලා වගබලා ගන්නවා ඉතින්. තව එකක් පාටියට මොකක් හරි තීම් එක්ක දාගන්නවා. ඒවා ඉතින් වැඩේ ලස්සන වෙන්න කරන දේවල්. තව තව දේවල් තියනවා පාටියට ආතල් එක අරන් එන. සුර ලොව සැප පේන්න පෙති, ෆිල් එහෙම සමහර වෙලාවට පාටියේ ඩීල් කරන්නේ ඕගනයිස් කරපු සෙට් එකම තමා. එතොකට ඒ බඩු ඩීල් කරන ඩයල් එකක් වැඩේට සෙට් කරගන්න වෙනවා. නැත්නම් ඒ පැත්ත අතහැරලා දානවා. ඕන කෙනෙක්ට පාටිය ඇතුළේ වැඩේ කරගන්න දීලා. සැර බීම විකුණන වැඩේ ගොඩක් වෙලාවට රෙස්ට් එකේ අයිතිකාරයාට බාරදෙනවා.
දැන් අපි පාටියට ලෑස්තියි. ටිකට් එහෙම අරගෙන ගේට් එක ළඟ. මෙහෙමයි ටිකට් නැතුව පාටියට යන්න අපිට චාන්ස් එකක් තියනවා. ඒකටනම් ඉතින් ෆොරින් කෙනෙක් හරි සකුමාල සුන්දර ලලනාවක් හරි අපි පාටියට එක්කන් එන්න ඕනා. හැම පාටියේම ඔය චාන්ස් එක නෑ. සමහර ඒවගේ තියනවා. ටිකට් එකට බියර් එකක් වගේ ලැබෙන වෙලාවලුත් තියනවා. පාටිය පටන් අරන් අපි ඇතුළේ. මුලින් ලොකු අවුලක් නෑ. DJ එක නම් වදිනවා බේස් එක පපුවට දැනෙන්න. අපේ ඕගනයිස් ටීම් එක වැඩ. ආ... මතක වුණා. පාටියට අතුළුවෙන කොට අපිට හෑන්ඩ් ටැග් එකක් දැම්මා. ඒවල පාට ටිකට් එකේ ගාණ අනුව වෙනස් වෙනවා.
කට්ටිය කාපූ බීපු දේවල් වැඩ කරන්න ගන්න කොට ඔන්න පාටිය වෙනස් වෙනවා. ඩාන්සින් ෆ්ලෝ එකේ විතරක් නෙවෙයි මුළු පාටිය පුරාම හැමෝම ඩාන්සින්. වෙනම ලෝකයක් දැන් පාටිය. එක පෙත්තක් කෑලිවලට කඩලා යාළුවො අතර බෙදාගන්නවා. නටන ගමන් එකෙක් ඇවිත් මොනවා හරි කටේ ඔබනවා. තව කෙනෙක් ලේන්සුවක සෙන්ට් වර්ගයක් ගහගෙන ඩාන්ස් කරන අතරේ කට්ටියට ඉඹින්න දෙනවා. ෆිල් පෙති දාලා ඉන්න අයට මේක මාර ෆීලින් එකක්. ලේන්සුකාරයට පුදුම සැලකිල්ලක්. ළඟ තියන දෙයක් සමහරු එයාටත් දෙනවා. ෆොරිනස්ලත් ඩාන්ස් කරනවා. දේශීය විදේශීය සුන්දර ලලනාවොත් මේවා පාවිච්චි කරන කට්ටිය අතරේ ඉන්නවා. සල්ලිකාර තරුණයෝ ඒ සමහරුන්ව සල්ලිවලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අර වගේ අයලු.
මේ අතර පෙති ෆිල් කුශ් කුශ් වගේ ඒවා පාටියේ තැන තැන ඩීල් වෙනවා. බොන අයට අවශ්‍ය දේවල් බාර් එකෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය වෙඩින් එක්ක තියන මතට වඩා මේක වෙනස්. කට්ටිය නෝමල්. වලි නෑ. දන්න අඳුන්නේ නැති වුණත් සහෝදරකමින් වැඩ. ලොලි පොප් ගොඩ දෙනෙක්ගේ කටේ. ඒවා ඉතින් නිකන් බෙදන්නේ කට්ටිය බෑග් පිරෙන්න ගෙනැල්ලා. පෙති ෆිල් ගත්ත අයට ඒවා දිව ඔසු වගේ. මේ අතර තවත් සමහර අයට මිතුරන් අතරේ පෙති වගේ දේවල් බෙදාගන්නේ ගාණ අමතක කරලා. දරුණුම මත් ලෝලීන් හෙරොයින්, කොකේන්, අයිස් වගේ දේවල් හොරාට පාවිච්චි කරන වෙලාවල් තියනවා. ඩාන්සින් තමා අංක එක. මේ මත්ද්‍රව්‍ය ගත්තම මියුසික් නැතිව ඉන්න බෑ කියලා තමා මෙයාලා කියන්නේ. කට්ටිය දැන් උපරිමේට ඇවිල්ලා අර මහා ඝෝෂාව එන බෆල් බදාගෙන සමහරු නටනවා.
පාන්දර වෙනකොට කට්ටිය යනවා. සමහරු වාඩි වුණ තැන්වල එහෙම්මම. එළි වෙනකල් DJ Music නම් තියනවා. මදිවුණ කට්ටියත් මේ අතර ඉන්නවා. එයාලට අහල පහළ තව පොඩි රෙස්ට් එක්ක පොඩියට DJ එකක් එක්ක After Party එකක් ඕගනයිස් කරලා. දැන් අපේ පාටිය නම් ඉවරයි.
අවසානයේ අපිට කියන්න තියෙන්නේ Facebook පාටි කියන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන තාරුණ්‍යට අති භයානක වසංගතයක් වුණු දෙයක් කියන එක. දෙමාපියෝ දන්නේ නෑ තරුණ දරුවෝ මේවලට සහභාගී වෙන බව. අපි මේ කතාව කිව්වේ සත්‍ය සිදුවීම් හා තොරතුරු ඇසුරු කරගෙන. කොහොම වුණත් තවත් විවිධ ස්වරූපයේ පාටි හා ඒ හා බැඳුණු උප සංස්කෘතීන් අපේ රටේ තියනවා. ඒක තමා ඇත්තම කතාව.
► Text - Nisal / Pic – Internet