2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මගේ පරිස්සම අම්මා දෙන්නෙකුට බාර දුන්නා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

අනූෂා දමයන්තිව අපි මුලින්ම හඳුනන්නේ සිනමා නිළියක් ලෙසයි. ඊටත් කාලයක් ගිය තැන ඇය නර්තන ශිල්පිනියක් වුණා. වේදිකාවේ ගිනිසිළුවක් ලෙසින් නටනා මේ කලාකාරියගේ ඊළඟ ඉලක්කය දේශපාලන වේදිකාවද.... ව්‍යාපාර ලෝකයද..... පවුල් ජීවිතයද.....

අනූෂා මොකක්ද මේ නටන නැටිල්ල...?

ඔය කියන්නේ මම දෙරණ නාලිකාවේ ඉන්න පෝග්‍රෑම් එක ගැනනේ නේද? නැත්නම් වෙන නැටිල්ලක් ගැන එහෙම නෙමෙයිනේ.

ගිය පාරත් නටල ඔයාලගේ කණ්ඩායම ජයග්‍රහණය කළානේ. මේ පාරත් ආවේ ආයෙත් දිනන්නමද...?

ප්‍රේක්ෂකයින් මගේ නර්තනයට ප්‍රිය කරනවා කියලා දන්නවා. එහෙම නැතිව ඒක ජයග්‍රහණය කරන්නට ඕනේ කියලා කිසිම දේකට තණ්හාවක් මට තිබුණේ නෑ.

ඒකද ගින්දරත් එක්ක සෙල්ලම් කළේ....?

ඔව්... ඒකත් එක හේතුවක් තමයි. ඒක ටිකක් අමාරු නර්තනයක්. මම කොහොම හරි ඒකත් ලස්සනට කළා.

ඇත්ත කියන්න... අනූෂා කවදාද විවාහය වෙන්නේ?

දැන් දැන් අපෙ අම්මලාගෙනුත් ටිකක් කරදර වැඩියි. ඔයා විවාහවෙන්න ඕනේ... දැන් කාලේ හරි කියලා. මේ අවුරුද්දේ මම විවාහවෙන්න බොහෝදුරට ඉඩකඩ තිබෙනවා.

අනූෂා.... ඔයා ගිය අවුරුද්දෙත් කිව්වේ ඔහොමමයි... “මේ අවුරුද්දේ මම විවාහ වෙනවා කියලා...” මොකද මේ අවුරුද්දෙන් අවුරුද්දට පස්සට දාන්නේ....?

අනේ... ඔව්. මම ගිය අවුරුද්දෙත් එහෙම කිව්වා තමයි. ඊට පස්සේ ඉතින් ඒක කල්  යන්න එක එක හේතු බලපෑවා. බලමු.... තව මාස කීපයකින් මම හරියටම කියන්නම් කවද්ද විවාහ වෙන්නේ කියලා.

අනූෂා කියන්නේ හඳහන දැඩිව විශ්වාස කරන කෙනෙක්... එහෙම නේද? තාමත් එහෙමද...?

ඇත්තටම හඳහන කියන දේ මම විශ්වාස කරනවා. මම විතරක් නෙමේ මගේ පවුලේ හැමෝමත් විශ්වාස කරන දෙයක් තමයි ඒක. හැබැයි දවසක මට මේකට වෙන උත්තරයක් දෙන්න වෙයිද කියලත් දන්නෙ නෑ. ඉස්සර මම විවාහ වෙන්න හඳහන් බලපු කෙනෙක්. ඒ නිසා කේන්දර නොගැළපීම නිසා තිබුණු සම්බන්ධයත් මම නතරකරපු කෙනෙක්.

ඒ කියන්නේ දැන් අනූෂා එදා තරම් විශ්වාස කරන්නේ නෑ.... මේ පාර කේන්දර ගළපන්නේ නෑ කියන එකනේ...?

ඔව්... බලමු ඒක... ඒ ගැන අපි වැඩි විස්තර පස්සේ කියමු. 

 තව මාස කීපයකින් මම හරියටම කියන්නම් කවද්ද විවාහ වෙන්නේ කියලා 

අනූෂා.... ඔයාගේ අම්මා ඔයාගේ පස්සෙන්මනේ.... හැම දේකදිම අම්මා ඔයා පස්සෙන් එන්නේ අම්මට ඔයාව විශ්වාස නැද්ද... එහෙම නැත්නම් අම්මට අනිත් මිනිස්සුන්ව විශ්වාස නැද්ද?

අනේ නෑ..... එහෙම කා ගැනවත් අවිශ්වාසයකින් නෙමේ. අම්මට ඕනේ හැමවෙලේම මාව එයාගේ ඇස් මානයෙන් තියාගන්න. තාමත් එයාට එදා වගේම මං එයාගේ චූටි දුවනේ.

හැබැයි මෑතකදී අම්මා නැතිව මුලින්ම පිටරට සංචාරයකට ගියා නේද...?

ඔව්... ළඟකදී මං කුවේට්වලට ෂෝ එකකට ගියා. එදා අම්මට යන්න බැරිවුණා. ඒත්.... ඉතින් මොනවා කරන්නද මම බාරගත්තු වැඩක්නේ. ඉතින් මම ගියා. අම්මා මාව දෙන්නෙක්ට පරිස්සම් කරන්න දුන්නා. ඒ සුරේෂ්ටයි, රාජිතටයි. අම්මා ඒ දෙන්නට ලියුම් දෙකක් ලියලා දුන්නා... ඒකේ තිබ්බේ “අනූෂාව පරිස්සම් කරන්න. මට විශ්වාස පුතාව විතරයි.”කියලා. ගියාට පස්සෙයි ඒ දෙන්නා දැනගත්තේ දෙන්නටම ලියුම් දෙකක් දීලා කියලත්. ඒ ලියුම් දෙකේම තියෙන්නේත් එකම දේ කියලයි.

එදා මොකද හිතුණේ....?

ඇත්තටම ඒ එක දවස මට ලොකු පාළුවක් දැනුණා. එදා මම ගොඩක් අසරණ වුණා... මට කට්ට ගහන්න... මාව අන්දවන්න හැමදේටම ඉන්නේ එයා. ඒ නැති පාළුව තදින්ම දැනුණා.

නටනවා... රඟනවා... වැඩ වැඩියිනේ... විවේකයක් ලැබුණම මොකද කරන්නේ?

විවේකයක් ලැබුණහම මම හැමදේම කරනවා. අපේ ගෙදර අස්පස් කරන්නේ මල් වවන්නේ හැමදේම කරන්නේ මමයි, අම්මයි තමයි. ඉතින්.... ගෙදර ඉඳිද්දී ඔය ඇඳුම් මහනවා. ඒ හැමදේමත් කරනවා. අනික අපි දෙන්නම ඔය එක එක තැන්වල ඇවිදින්නත් යනවා.

 කොස්ස අතේ තියාගෙනත් අපි දෙන්නා නටනවා 

අම්මත් කාලයක් කලාවට සම්බන්ධ වෙලා හිටියනේ. ඉතින් ගෙදර ඉඳිද්දි දෙන්නත් එක්ක රඟපානවත් ඇති නේද....?

ඔව්... ඔව්... ඇත්ත කියන්නද? ගෙදර ඉන්න දවසට අපි හයියෙන් සින්දු දාගෙන තමයි ගේ අස්පස් කරන්නේ. සමහරදාට කොස්ස අතේ තියන් අපි දෙන්නා නටනවා. මගේ අම්මට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින්... ගෙදර ඉඳිද්දී ඒක කලා ලෝකයක්ම තමයි.

අනූෂා ඉදිරියේදි ඡන්දෙත් ඉල්ලයිද?

ම්.... එහෙම අදහසකක් මගේ නෑ. මම මහින්ද  මහත්තයාට සහයෝගය ලබලා දෙන්නේ එහෙම අදහසකින් නෙමේ. ඒත්... මම වටා ඉන්න බොහෝ මිනිස්සුන්ගේ ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒත්... මම නිදහසට බොහෝ කැමැති කෙනෙක්. ඒ නිසා ඡන්දය ඉල්ලන්න තාම මගේ අදහසක් නෑ.

මොකක්ද ඊළඟ ඉලක්කය?

ඇත්තටම මගේ ලොකු ආසාවක් තියෙනවා ව්‍යාපාරයක් පටන්ගන්න. හැබැයි මගේ අම්මනම් මම ව්‍යාපාරයක් පටන් ගන්නවට හරිම අකමැතියි. අම්මා කැමැති මම නර්තන පාසැලක් පටන් ගන්නවා නම් තමයි.

Text — Jayamali  /      Pic- Sumudu - Internet