2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

දැහැන

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 204

දෙවියනේ ඒ තරම් කාලකන්නි සෙනසුරාදාවක්... ඉරිදාවක්... නොඑසේනම් වෙනත් දවසක්... ඔබේ හඬ නොඇසෙන ඕනෑම දවසක්... දෙවියනි අහන්න එක මොහොතක් මම ජීවිතේ පහු කරන අමිහිරිම දවසක්... මගේ හදවතේ ජීවයේ හැම මුලක්ම තෙත හිඳිලා මැරිලා යන දවසක්... මගේ හදවත මැරෙන දවසක්... ඒ හදවත මරණයෙන් උත්ථාන කරන්න පුළුවන් මගේ දෙවියනි ඔබ වහන්සේගේ හඬට විතරයි... ඔබ වහන්සේගේ හඬක් නෑසෙන හැම දවසකම මගේ හදවතේ හැම ලේ බින්දුවක්ම හිමකැට වගේ ගල් වෙනවා... ඔබවහන්සේගේ කට හඬේ මට දැනෙන ආදරණීය උණුසුමටම විතරයි ඒ සීත හිමකැට ආයෙත් උණුසුම් ලේ දහරා බවට පත් කරන්න පුළුවන්... මගේ ජේසුනි... නොඉල්ලා කොහොමද එහෙනම් මම... හැම දවසකම එක තත්ත්පරයක් මා වෙනුවෙන් ප්‍රදානය කරන්න කියලා. ඔබවහන්සේගේ අපිරිමිත ආදරයේ... ආශිර්වාදයේ... සන්ධවනියේ... සංසාර ස්නේහයෙන් මා සුවපත් කරන්න... මා නිවාලන්න කියලා... අල්තාරයේ දණ ගහගෙන දෙවියනි මම ඔබවහන්සේගෙන් කිසිදෙයක් ඉල්ලන්නේ නෑ... ඔබවහන්සේගේ හඬ... ආදරණීය හඬ... හැම දවසකම එක මොහොතකට හැරෙන්න. ඔබවහන්සේ මෙහෙම කියනවා... මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාද කරන්නෙමි...

දෙවියන්වහන්ස මම මෙහෙම අහනවා... ඇයි නොදැනෙන්නේ මම ගෙවන හැම තත්ත්පරයකම මම ඔබවහන්සේ හා අධ්‍යාත්මික ස්නේහයකින් බැඳී සිටින වග.... මා නිරන්තරයෙන් ඔබවහන්සේ සිහිපත් කරන වග.... ඉඳින් මට දෙන්න ආශීර්වාදය... මගේ ආත්මය මත ලේ ගලන හැම තුවාලයක්ම සෙනෙහසේ සඳ දියෙන් සුවපත් කරන... කවුරු අත හැරියත් දෙවියනි... ඔබ මා අත්නොහරින බව මම දනිමි... කෙසේ අත්හරින්නද... අප බන්ධනයේ මුදුන් මුල සංසාර ගමන් මඟ ඇරඹුම තෙක්ම විහිදී මුල් ඇදී ඇති සඳ... කවර කොන්දේසියක්ද... කවර නීතියක්ද... කවර සම්ප්‍රදායක්ද... කවර රීතියක්ද... දෙවියනි ප්‍රේමයට... මට අදහන්න ඉඩදෙන්න ප්‍රේමය  කොන්දේසි විරහිත බන්ධනයක් වග... අහන්න දෙවියනි... මට පවසන්න ඉඩ දෙන්න... මගේ ප්‍රේමය ගැන, මම මෙහෙම හිතනවා... රන් කෙන්දක් වටිනවා රැහැන්පටකට වඩා කෙන්දක් වුණත් රන් නිසා... සම්ප්‍රදායේ ඇණ හෙලවෙන්න බැරි වෙන්න ගහපු රාමු අස්සේ ඔළු ගෙඩි හිරකරගත්ත සමාජයකට... ඒත් කියන්න දෙවියනි රන් කෙන්දකට වඩා රැහැන් පොටක් හරි හයියයි.... අහන්නත් බෑ මට ඔබවහන්සේගෙන්ම ඇරෙන්න... නේද දෙවියනි කියලා. කළු ගැහිච්ච හදවත් නොපෙනෙන්න ඒ ජීවිත උඩින් සුදු පාට ලෝගු ලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ලෝගුවල මැහුමක් දෙකක් ගැලවෙද්දී හංගගත්ත කළු පාට එළියට එන්නේ ගඳ ගහන ඕජස් එක්ක... හැබැයි ඒ හැමඅතකම කාට හරි ගහන්න අතේ ගුලි කරගත්ත ගලක්... මට කියන්න දෙවියනි, කොතනකද ඉන්නෙ වරදක් නොකළ මිනිසුන්... වරද මට කියන්න දෙවියනි මොකක්ද වරදට ඔබවහන්සේ දෙන නිර්වචනය... සංස්කෘතියට නීතියට එහා ගිය සියල්ල වරද නම් මට කියන්න දෙවියනි ඇයි මිනිස්සුන්ට හෘද සාක්ෂියක් දුන්නේ. හෘද සාක්ෂිය කියන්නේ දෙවියනි මේ ලෝකයේ තියෙන බලවත්ම අධිකරණය... කෙනෙක් වරදිකරුද නිවරදිකරැද කියන සාධාරණම තීන්දුව දෙන්න පුළුවන් මේ ලෝකයේ එකම අධිකරණය ඒක විතරයි... දෙවියනි ඇයි එහෙනම් තවත් සර්ව බලධාරියෙක්... වරද සහ වැරදිකරු කවරක්ද කවුරුන්ද යන්න පසිඳින්න....

ස්වාමින් වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශ වී; එසේය සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේම කළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කී සේක. (යෙරෙමියා 31;3)
දෙවියන් වහන්ස... අළු බදාදාවකින් පටන්ගත්ත මගේ ජීවිතේ දුක් සමය එක පාස්කු ඉරිදාවකින් පසු දවසක අහවරව සදාකාලික ප්‍රේමයකට ජීවිතේ දොර ඇරැණා... දොසක් නොකියන්න. ඒ ඔබවහන්සේගේ කැමැත්ත. ඒ ඇස් අස්සේ කළු ඉංගිරියාවේ මම දැක්කා ඔබවහන්සේගේ ප්‍රේමය... දෙවියන් විසින් එක් කළ දෙය මිනිසුන් විසින් වෙන් නොකෙරේවා... මගේ හදවත ඒ මොහොතේ ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් යාඥා කළා... ඇහුනද මන්දා... දැනුණද මන්දා...
දෙවියනි, මේ ජීවන සුවිසැරියේදී ජුදාස්ලා ඕන තරම් අපට මුණගැහෙනවා... රන් කාසි තිහකට නෙවෙයි එක රන් කාසියකට ඕනෑම පවක් කරන්න සූදානම් ජුදාස්ලා ඕනතරම් මුණගැහෙනවා... ඒත් සත්‍ය වෙනුවෙන් කුරුසයට කැපවෙන්න දෙවිවරැ මේ ලෝකේ නෑ... ඔබම හැරෙන්න...
සබත් දින... හැම ඉරිදාවකම... නෑ මගේම දෙවියන්වහන්ස හුස්මක් වැටෙන මගේ ජීවිතේ හැම තත්ත්පරයක්ම ඔබවහන්සේටයි 

මගේ මුඛයද

ප්‍රීතිමත් තොල්වලින් ඔබට ප්‍රශංසා කරන්නේය
මක්නිසාද ඔබ, මගේ පිහිට වූ සේක
මම ඔබගේ පියාපත් සෙවණෙහි ප්‍රීති වන්නෙමි
(ගීතාවලිය)