2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

කථිකාචාර්යවරයෙක් සහ අල ගෙඩියක්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 366

තුමිඳු ඔබ විසින් රචිත විධි විරෝධියා වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ කොහොමද?
විධි විරෝධියා වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත අර මිහිරි ගීත නාදය කියන කෙටි කතා සංග්‍රහයේ එන නොනිදන අවධිය කියන කෙටි කතාව පාදක කරගෙනයි. මීට මාස හයකට විතර කලින් තමයි මම මේ පිටපත ලිව්වේ.

විධි විරෝධියා වේදිකා නාට්‍ය මොන වගේ නාට්‍යයක්ද? ඒ කතාවේ සාරාංශය මොකද්ද?
මේ කෙටි කතාව පාදක වෙන්නේ කථිකාචාර්යවරුන්ගේ ඒකාකාරී දේශන අහගෙන ඉඳලා එපා වෙලා, ඒ දේශනා රටාව වෙනස් කරන්න ඕනැයි කියලා හිතලා කථිකාචාර්යවරයාගේ ගෙදරට පැනලා ගෙදර බඩු මුට්ටු වෙනස් කරන තරුණයෙක් වටායි. ඒ ගෙදර කිරි පිටි වෙනුවට පොල් කිරි පිටි තියලා, සීනි වෙනුවට ලුණු බෝතලේ වෙනස් කරලා කථිකාචාර්යවරයාගේ දවස අවුල් කරන්න හදන තරුණයකුගේ සිදුවීම් මාලාවක් එක්ක තමයි මේ කෙටිකතාව පදනම් වෙලා තිබුණේ. ඒ කෙටි කතාව ඔස්සේ මම විධි විරෝධියා වේදිකා පිටපත ලිව්වා. කථිකාචාර්යවරයාගේ දේශනා වෙනස්කරන්න යන තරුණයාව අවසානයේදී ඔහු හිතන්නේවත් නැති විදිහට ඔහු වටා තියෙන සමස්තයම වෙනස්වෙන්න පටන් ගන්නවා. කථිකාචාර්යවරයා වෙනස් වීමත් එක්ක මේ තරුණයාගේ ජීවිතයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ හරහා අපේ සමස්ත ජාලය එකට බැඳිලා තියෙන අන්දම පිළිබඳව මේ කතාව ඔස්සේ අපි කතා කරන්න උත්සාහ ගන්නවා. උදාහරණයක් විදිහට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් සහ අල ගෙඩියක් අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මන්නාරම ජීවත් වෙන ධීවරයකුයි කොළඹ ජීවත් වෙන වෛද්‍යවරයකුයි අතරත් යම් සම්බන්ධතාවක් තියෙන්න පුළුවන්. සමස්ත සමාජය බැඳුණු ජාලයක් ඇතුළෙයි ඉන්නේ. ඒ නිසා මේ ජාලයේ කොයි හරි තැනක් වෙනස් වුණාම මේක ඒ සමස්ත ජාලයටම බලපානවා. මෙන්න මේ දේ තමයි විධි විරෝධියා පිටපත ලියන්න මූලික කරුණ වුණේ. මේකෙදී විශ්ව විද්‍යාල ජීවිත ගැන, වගේම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිත ගැන රටේ ආර්ථික සමාජ පරිසරය ගැන කතා කරනවා.

විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රඟපාන විධි විරෝධියා පිටපත ලියන්නෙත් විශ්ව විද්‍යාල ගුරුවරයෙක්...
ඔව්. මේ නාට්‍ය රචනා කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අවසාන වසරේ දරුවන්ගේ නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙනුයි. සාමාන්‍යයෙන් මින් පෙර අපි කළේ ලෝකේ හෝ ලංකාවේ හෝ ප්‍රවීණ නාට්‍යකරුවකුගේ පිටපතක් ළමයින්ට නිෂ්පාදනය කිරීමට ලබා දීමයි. පිටපත සාර්ථක වීමෙන් තමයි ළමයින්ට සාර්ථක නිෂ්පාදනයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මීට පෙර විශිෂ්ඨ නාට්‍යවේදියකුගේ නාට්‍ය අපි තෝරගෙන ළමයින් සමඟ නිෂ්පාදනය කළා. මෙතෙක් පරිවර්තන නාට්‍ය නිෂ්පාදන වුණේ. මෙවර මම ස්වතන්ත්‍ර නාට්‍යයක් ඔහු අතින් නිෂ්පාදනය කරන්න මම උත්සාහ කළා. ස්වතන්ත්‍ර නාට්‍යයක් නිෂ්පාදනය කරනකොට නාට්‍ය පිටපතක් ඕන වුණා. මම පිටපත් රචකයෙක් විදිහට වැඩ කරන නිසා සහ මම මේ පිටපත නිර්මාණය කරලා දුන්නා. ඒ පිටපතට හැමෝම කැමති වුණා. ඒ පිටපත අනුව තමයි ඔවුන් මෙවර ඔවුන්ගේ අවසන් වසරේ නාට්‍ය නිෂ්පාදනය ඉදිරිපත් කළේ.

පසුගියදා එය මරදාන ටවර් හෝල් රඟහලේදී වේදිකා ගත වුණා. මංගල දර්ශනයේදී ඔබේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රංගනය පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඔව්. මම සෑහීමකට පත්වෙනවා. ඔවුන් තවම රංගනය ඉගෙනගන්නා අයයි. නමුත් ඉගෙනගන්න අය විදිහට ඔවුන් ඉතාමත් දක්ෂ විදිහට රංගනයේ යෙදුණා. ඔවුන් සතුව පරිණත නළුවන්ගේ, වෘත්තීය නළුවන්ගේ ලක්ෂණ ප්‍රකට කළා. නමුත් ඔවුන්ට තව ඉගෙනගන්න දේවල් තියෙනවා කියලයි මම හිතන්නේ. හැබැයි ඔවුන්ගේ දායකත්වය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම විධි විරෝධියා නරඹන්න පැමිණි ප්‍රේක්ෂකාගාරයත් මෙම නිර්මාණය සහ මේ දරුවන් අගේ කළා. ඔවුන් නැවත නැවතත් දර්ශන සංවිධානය කරන්න කියලා ඉල්ලීම් කළා. විශේෂයෙන් විශ්ව විද්‍යාල දරුවන්ට මෙය පෙන්විය යුතුයි කියලා ඔවුන් මත ඉදිරිපත් කළා. ඉතින් මංගල දර්ශනය ඉතාමත් සාර්ථක දර්ශනයක් වුණා. ඒ තුළින් හොඳ නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කළා. 

විධි විරෝධියා ඊළඟ දර්ශනය ගැන සඳහනක් කළොත්?
අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නාට්‍යයක් වේදිකාගත කිරීමේදී සංවිධානය කිරීමේ ඇති ගැටලුව. බොහෝ නාට්‍යවලට වගේම විධි විරෝධියා නාට්‍යයටත් ඒ ගැටලුව තියෙනවා. යම්කිසි විශ්ව විද්‍යාලයක් හෝ යම්කිසි ආයතනයක් විධි විරෝධියා නාට්‍යය සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවානම් ඉතාම අවම සාධාරණ මිලකට නාට්‍ය ලබාදෙන්න අපි සූදානම්. අපිට මෙයින් ලාභ ඉපයීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ තමන්ගේ නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකාගාරයත් සමඟ බෙදා ගැනීමටයි. මේ නිසා මම යමිකිස් කෙනකුට මේ නාට්‍යය සංවිධානය කරන්න කැමතිනම් ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා.

මෙය අධ්‍යක්ෂණය කළේ දීපාල් සඳරුවන්. අවසන් වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාහත්දෙනෙක් මෙයට සහභාගී වුණා.

Text – Dishani / Pic – Internet