2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

Gossip

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

බිත්තර රොටීවල බිත්තර දාලද?

අපේ පැරැණි රංගන ශිල්පියෙක් ඉන්නවා කොට්ටාව පැත්තෙ. කලින් ෂූටි ඉවරවෙන දවස්වල ගෙදර යන ගමන් ටවුමෙ තියෙන හෝටලේකින් රෑට කන්න මොනවා හරි විශේෂ දෙයක් අරගන්නවා.

ඔහුව ඇරලවන්න යන රියදුරු මහත්තුරුත් මෙයාගෙ ඒ පුරුද්ද ගැන හොඳින් දන්නවා. රියදුරු මහත්තුරුත් බුලත් විටක් එහෙම ගන්න හෝටලේ ළඟ බහිනවලු. ඔහොම බැස්ස දවසක මේ ප්‍රවීණ කලා ශිල්පියා බිත්තර රොටී තුනක් ඕඩර් කළාලු. ඒ එක්කම අහනවලු “බිත්තර රොටීවල බිත්තර තියෙනවා නේද?” කියලා.

වෑන් එකට ගොඩවුණායින් පස්සෙ ඩ්‍රයිවර් ඇහුවලු අර බිත්තර රොටී කතාවෙ තේරුම.

“අයියෝ අපි මතක් කළේ නැත්නම් බිත්තර රොටීවලට බිත්තර දාන්නෙ නැහැ. දැල් දාලා හෙව්වත් බිත්තර කෑල්ලක්වත් නැහැ. හැබැයි මම ඒක ෂේප් එෙක් අහන්නෙ. වැඩිය කෑගහන්න ගියොත් ඒ අය දෙනවා රිටර්න් එක. මගෙ යාළුවෙකුට එහෙම වැඩක් වුණානෙ...”

“ඒ මොකද්ද...?”

“එයා චිකන් ෆ්‍රයිඩ් රයිස් ගත්තම බෙහෙතකටවත් චිකන් කෑල්ලක් හොයාගන්න නැහැල්ලු. පොඩි පොඩි තීරුනෙ දාන්නෙ. ඉතින් මෙයා දවසක් සැරෙන් අහලා ඕගොල්ලො මේවට චිකන් දානවා නේද කියලා. එදා ඉඳලා මෙයා චිකන් ෆ්‍රයිඩ් රයිස් ගත්තම අනිවාර්යයෙන්ම කුකුල් පිහාටු තුන හතරක්ම ඒකෙ අහුවෙනවලු....”

ජෝති විකුණං කෑම

අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් ජීවතුන් අතර සිටියා නම් ඔහු අද දවසේ සිය 81 වැනි උපන් දිනය සමරනවා ඇති. එහෙත් මේ රටේ අභාග්‍යයකට ඔහු අපෙන් වෙන්වෙලා අවුරුදු 30කට ආසන්නයි.

ජෝති ජීවමානව අප අතර නැතිවුණත් මේ රටේ අදටත් ජනප්‍රිය ගායකයා ජෝති බව කවුරුත් පිළිගන්නවා ඇති. ජෝති ඔහුගේ මධුර හඬින් දශක ගණනාවක් මේ රටේ ලක්ෂ ගණනාවකගේ සිත් සතුටු කළා මිසක් ඔහු මුදල් පසුපස හඹා ගියේ නෑ.

ඒත් ජෝති නැතිවෙලා අවුරුදු 30ක් ගතවී තිබියදීත් ජෝතිගේ ගීත විකුණං කන අය කී දෙනෙක් ඉන්නවද? පහුගිය දවසක ජෝති ස්මරණ වැඩසටහනක් අතරතුර ජෝතිගේ ජනප්‍රිය චිත්‍රපට ගීත කීපයක් එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වුණා. ඒ එක්කම වගේ චිත්‍රපට සංරක්ෂකයෙක් ඒ නාලිකාවට කතා කරලා ඒ චිත්‍රපට ගීතවල අයිතිය ඔහුට දැන් හිමි වී තිබෙන නිසා ප්‍රචාරය වන එක ගීතයකට රු.5000/- බැගින් ඉල්ලා හිටියලු. ඒත් ඔහුට අයිති යැයි කියා ගන්නා බොහෝ චිත්‍රපටවලට ඔහුට ලිඛිත නීතිමය අයිතිවාසිකම් නැති බව ක්ෂේත්‍රයේ බොහෝ අය දන්නා රහසක්ලු.

අදාළ නෑනෙ

පහුගිය දවසක ප්‍රධාන මාධ්‍යවලට නොකියූ උත්සවයක් පැවැත්වුණාලු, ලංකාවෙ ශ්‍රේෂ්ඨතම සිනමාවේදියාගේ මුල්ම චිත්‍රපටයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සමරන්නට.

ඒත් උත්සවය සංවිධානය කළ කලාවට සම්බන්ධ ආයතනයේ ප්‍රධානියාගේ කතාව වැඩි හරියක්ම ඔහු කියලා තියෙන්නෙ ඔහුට මේ ආයතනයේ පත්වීම ලැබුණු හැටිලු. කට්ටිය හොල්මන් වෙලා බලං ඉන්නවලු.

බැරිම තැන එතැන හිටපු ඇමැතිවරයෙක් ඔහුට පණිවිඩයක් යවලා කතාව ඉක්මණින් ඉවර කරන්න කිව්වලු. මයික් එකක් අතට ලැබුණොත් ඉතිං ටයිසන්ලා වෙන කට්ටිය ඉන්නවනෙ.

අලුත් කෙල්ල ඇන්ජි

ප්‍රතිභාපූර්න රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ලේඛිකාවක් වන ඇන්ජලා සෙනෙවිරත්න ඇතැම් කාලවලදී ඉන්නෙ ලංකාවෙන් බැහැරව. ඒකට හේතුව තමයි ඇගේ දියණිවරු පිටරට පදිංචි වී සිටීම. දැන් ඇන්ජලා ආච්චි කෙනෙක් කියලත් ආරංචි ඇතිනෙ.

ඔන්න පහුගිය දවසක ඇන්ජලා ටික කලක් දියණියන් සමඟ පිටරට ඉඳලා ලංකාවට ආවා. ඊට පස්සෙ එයා කළේ ඇගේ හිතවත් අධ්‍යක්ෂකවරුන්ට හා ඇතැම් නිර්මාණශීලී අධ්‍යක්ෂකවරුන්ට ඇය දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දන්වන එක. ඇයව සම්බන්ධ කරගන්න හිතාගෙන ඉන්න අයට පහසු කරන්නයි ඇන්ජලා එහෙම කරනවා ඇත්තෙ.

ඔන්න ඔහොම එක්තරා ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකුට කතා කළාම ඔහු පිළිතුරු දුන්නෙ කලබලෙන්ලු. “හා ඇන්ජිද? කවුරු? හා හා කමක් නෑ ඔයාගෙ ළඟදි ගත්ත ෆොටෝ ටිකක් මට වට්ස්අප් නැත්නම් වයිබර් කරන්න.” කියලා ඔහු කිව්වලු. ඇන්ජලාත් පින්තූර ටික යැව්වලු. ඒ මොහොතෙම ඇයට ඒ අධ්‍යක්ෂවරයා කතා කළාලු.

“අනේ ඇන්ජි අක්කා ඔයාද? මම හිතුවෙ අලුත් කෙල්ලෙක් කියලා. මට ඇත්තටම ඇහුණෙ ළාබාල තරැණ කටහඬක්.” කියලා සමාව ගත්තලු.

හොඳම ඩබල එකට සෙට්වෙලා

සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රියම සහාය අධ්‍යක්ෂවරයා කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ ක්ෂේත්‍රයේ ඉන්න සමහරු ඇඹරෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම දෙන්නෙක් ඉන්න නිසා එක්කෙනෙක්ගෙ නම කියන්න අමාරුයිනෙ. එක්කෙනෙක් ඔබ අපි කවුරුත් දන්නා ඩොනල්ඩ් ජයන්ත. අනිත් AD තමයි කවුරුත් හොඳින් දන්නා දමින්ද ඩී. මඩවල. ඒත් සිංහල සිනමාවෙ අලුත්ම වාර්තාවක් පිහිටුවමින් මේ දෙන්නා.... ඒ කියන්නෙ ඩොනල්ඩ් ජයන්තයි දමින්ද මඩවලයි එකම චිත්‍රපටයකට සම්බන්ධවෙලා වැඩ කරනවා.

ආශා එදිරිසිංහ නිෂ්පාදනය කරන සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය “සිහින අභිෂේක” නිර්මාණයට ඩොනල්ඩ් සහාය අධ්‍යක්ෂකවරයා හැටියටත් දමින්ද නිෂ්පාදන කළමනාකරු හැටියටත් සෙට් වෙලාලු වැඩ කරන්නෙ.

රියැලිටි අති විශේෂ

මේ දිනවල පුංචි තිරයේ විකාශය වන රියැලිටි වැඩසටහන්වල අපේ ජනප්‍රිය කලාකරුවො කීප දෙනෙකුත් සහභාගි වෙනවා. ඒ අතර විවිධ දස්කම් පාන අයත් ඉන්නවා. නමුත් මේ වැඩේ නිසා ටෙලිනාට්‍ය ෂූටිංවලට දින දීපු අය හිටු කියලා පොලු තියනවලු. වැඩියෙන් ගතමන් එකක් ලැබෙනකොට ඉතිං එහෙම නොකර බැහැ කියලයි ඒ අය කියන්නෙ. ඒත් ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු පත්වෙලා ඉන්න තත්ත්වය ගැන දුකක් හිතෙනවා.

ඔන්න දැන් රියැලිටිවල ඉන්න ශිල්පීන්ටත් ඒකෙ ඇතුළෙ හිත් රිදෙන වැඩවෙනවා කියලා ඒ ගොල්ලො තැන් තැන්වල කතා වෙනවලු.

මොනතරම් දස්කම් පෙන්නුවත් අර සුවිශේෂී කට්ටියට අති විශේෂ සැලකිලි වගේම අති විශේෂ ලකුණුත් ලැබෙනවලු!

Text – Mithra