2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

සූරාජ් මාපා එක්ක තාරුකාගේ පටලැවිල්ලක්?

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

තාරුකාගේ සම්පූර්ණ නම?

සඳනි තාරුකා වන්නිආරච්චි

එතකොට හැමෝම කිව්වේ තාරුකා කියලද?

නෑ. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ මට කිව්වේ සඳනි කියලා. තවත් සමහරු මට තාරූ කියලත් කිව්වා.

 අපි ආදරේ කළේ එස්.එම්.එස්.වලින් 

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කේ?

පුංචි කාලේ හරිම ආසාවෙන් හිටියේ නර්තන ගුරුවරියක් වෙන්නයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන් නර්තනය තමයි හැදෑරුවේ. ඒත් දෛවය මාව රංගන ශිල්පිනියක් කළා.

පවුලේ ඉන්නේ කවුද?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තයි, මායි, අක්කයි විතරයි. මගේ අක්කට රංගන හැකියාව හොඳටම තිබ්බා. අපි දෙන්නා ඉගෙනගත්තේ සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලයේ. ඉතින් ඒ කාලේ ඉස්කෝලේ ස්ටේජ් එකේ අක්කා රඟපෑවා. මම නැටුවා.

කොහොමද පුංචි කාලේ...? කරපු දඟ වැඩ එහෙම?

පුංචි කාලේ විඳින්න පුළුවන් හැම සතුටක්ම මම වින්දා. අපේ ගේ ළඟ පොල්ගහක් තිබ්බා. ඒ පොල්ගහේ අත්තේ එල්ලිලා ඔන්චිලි පදිනවා. සමහර වෙලාවට වේලිච්ච පොල් අත්ත කඩාගෙන වැටිලා පස්ස බිම ඇනෙනවා. චුංචුරු බත් උයනවා. ඒ කාලේ ආච්චිගේ ගස්වල මල්, කොළ තමයි එළවළුවලට ගන්නේ. කුස්සියෙ තියෙන එළවළු, තුනපහ අරගෙන සෙල්ලම් ගෙවල් දනවා. හැබැයි කවුරුත් මුකුත් කියන්නේ නෑ. සාරි අඳගෙන ගෙදර තියෙන බඩුවලට ගහනවා. බෝනික්කෝ අරගෙන ගෙවිච්චි ඒ ළමා කාලය ඇත්තටම සුන්දරයි.

 ඔන්චිලි පදිද්දි පස්ස බිම අැනුණා 

ඇත්තටම ඔබ නිළියක් වුණේ කොහොමද...?

මම රඟපාන්න, නිළියක් වෙන්න ඕනේ කියන හීනය තිබ්බේ නෑ. හැබැයි මගේ අම්මටයි අක්කටයි ලොකු ආසාවක් තිබ්බා මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න. ඒ ලෙවල් ඉවරවුණු ගමන්ම මගේ අම්මයි, අක්කයි මටත් කියන්නේ නැතිවම ඡවි කල්‍යාණි තරගයකට මාව යොමු කළා. ඒකෙන් මම ජයග්‍රහණය කළා. ඒකෙන් පස්සේ මට මුලින්ම “සුභා” කියන නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා.

තාම ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයයිනේ. මේ කාලය තුළදී ලැබුණු අභියෝග මොනවද?

තියෙන ලොකුම අභියෝගය තමයි ක්ෂේත්‍රය තුළ තමන්ගේ හැකියාවත් පෙන්නගෙන තමන්ගේ තැන තියා ගැනීම.

ප්‍රථම ප්‍රේමය අදටත් හරි සුන්දර මතකයක් වෙන්න ඇති නේද...?

මගේ ප්‍රථම ප්‍රේමය තිබුණේ පාසැල් ගිය කාලයේදීයි. ඒ දවස්වල මට ෆෝන් එකක් තිබුණා. ඉතින් ආදර හසුන් ලිව්වේ නෑ. අපි ආදරේ කළේ එස්.එම්.එස්.වලින්. කාලයකට පස්සේ ඒක නැතිවෙලා නෑ. ඒ කාලේ හරි සුන්දරයි. පළමු ආදරයනේ. හැබැයි ඒක සීමාව ඉක්මවලා ගියෙ නෑ. ටික කාලයකට පස්සේ ඒක අතහැරුණා. අද ඔහු කොහේ ඉන්නවද කියලා මම දන්නේ නෑ.

ඒ කියන්නේ ප්‍රේමය අතහැරුණාම හිතට දැනුණු දුක තාරුකාට දැනිලා තියෙනවා...?

ඔව්... ඒ ප්‍රේමය නැතිවුණාම මානසිකව වැටුණා වගේ දැනුණා. හැබැයි දැන් ඒ ගැන කල්පනා කරද්දී ඇත්තටම අද හිතෙනවා ඒවා කොච්චර බොළඳද කියලා. මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී සිද්ධ වෙච්ච හැම දෙයක්ම සිද්ධ වුණේ මගේ මොකක් හරි හොඳකට තමයි. ඒ නිසා ඒ නොලැබුණු ආදරේ ගැන බලද්දී දැන් මට ඇත්තටම හිනා යනවා.

 කසාද බඳින්න කියලා තීරණයක් කරගත්තු කෙනෙක් තාම මගේ ජීවිතේ නෑ. 

සුරාජ් මාපා එක්ක ප්‍රේමයක් ඇති කරගෙන නේද ඉන්නේ?

එහෙම නෑ. ඒක මේ මෙගා ස්ටාර් තරගය නිසා ඇතිවුණ පුංචි ඕපදූපයක්. අපේ ටීම් එකේ අපි එකට වැඩකරද්දී ඔය කතාවක් මට ඇහෙන්න ලැබුණා. කතා හදන අයට හදන්න දීලා මම මගේ පාඩුවේ ඉන්නවා.

ඒ කියන්නේ තාරුකා මේ වෙනකොට පෙම්වතියක් නෙමේ...?

මේ වෙනකොට පෙම්වතියක් නෙමේ. හැබැයි මා ගැන හොයලා බලන, එස්.එම්.එස්. එවන අය ඉන්නවා. ඒ හැමෝම එක්ක මම කතාබහ කරනවා. ඒ හැර කසාද බඳින්න කියලා තීරණයක් කරගත්තු කෙනෙක් තාම මගේ ජීවිතේ නෑ.

Text - Dishani / Pic-  Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00