ළමයෙක් කියලා කියන්නේ සුන්දර වස්තුවක්. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි ළමයෙක් හම්බවුණු මුල් කාලෙදි තියෙන වැඩ රාජකාරි නම් සුන්දර නැහැ. විශේෂයෙන්ම අම්මාට ඒකෙ බර වැඩියි. මාස නමයක් බඩේ තියාගෙන ඉඳලා බිහිකළාට පස්සෙත් වැඩිම රාජකාරි ටිකක් පැවරෙන්නේ අම්මාටයි. කිරි දීම එතැනදී ප්‍රධානයි. දවසේ වරින් වර පැටියව ඇහැරවලා කිරි දෙන එක අම්මා කෙනෙක්ට ඇත්තටම අමාරු රාජකාරියක්. ඔය ඔක්කොම සිද්ධ වෙනකල් ගොඩක් තාත්තලාට තියෙන්නේ පොඩ්ඩගෙ හුරතල් බලන එක විතරයි.
මේ තත්ත්වය හින්දම ලන්ඩන් විශ්ව විද්‍යාලය හරි අපූරු පර්යේෂණයක් සිදුකරලා. ඒ තමයි තාත්තටත් කිරි දෙන්න පුළුවන් ද කියලා හොයලා බලන එක. පර්යේෂණ කණ්ඩායම කියන විදිහට නම් වැඩේ සාර්ථක වේගෙන යනවලු.
මේ පර්යේෂණයට අනුව අම්මා ගර්භණී කාලෙදි තාත්තා නොකඩවා හෝමෝන ප්‍රතිකාර ගත්තම දරුවා ලැබෙන කාලෙ වෙද්දි තාත්තාටත් කිරි එරෙන්න පටන් ගන්නවා. ඒ වගේම යම් ප්‍රමාණයකට පියයුරුත් වර්ධනය වෙනවා. එහෙම නොවුණත් කෘතිම පියයුරු සවි කරලා දරුවට කිරි දෙන්න පුළුවන්.
මේරි ක්ලෙයාර් කියන ලන්ඩන් සරසවි ශිෂ්‍යාව තමයි මේ පර්යේෂණය කරන්නේ. ඇය කියන්නේ දරුවෙක් හැදීමේ කාර්යයේදී තාත්තා කෙනෙක්ට කරන්න තියෙන වැඩ අඩුවීම නිසා තාත්තා සහ ළමයා අතර තිබෙන බැඳීම අඩුවෙන නිසා එය වර්ධනය කරන්න මේ වැඩෙන් පුළුවන් වෙනවා කියලයි.
මේ කිරි දීමේ හෝමෝන ප්‍රතිකාරය සහ උපකරණ කට්ටලය තවත් අවුරුදු පහකින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න මේරි බලාපොරොත්තු වෙනවා.
“ළමයෙක්ට කිරි දෙනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමේ. ඒක හරිම අමාරු වැඩක්. ඉතින් අම්මා අසීරුතාවන්ට මුහුණ දෙද්දි තාත්තාට උදව් කරන්න අවස්ථාවක් තමයි මම මේකෙන් සලසන්නෙ” ඇය එහෙම කියනවා.
කොහොම වුණත් මේ පර්යේෂණය ගැන අදහස් දක්වන වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ පිරිමින් තුළ කිරි හැදීමේ හැකියාවක් ඇති බව කිසිම පර්යේෂණයකින් තහවුරු කරගෙන නැති බවයි. ඒත් මේරිට තමන් කරන වැඩේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.
මම යොදාගන්නා බෙහෙත් වර්ග දෙකකින් කාන්තාවන්ට තමන්ගේ පියයුරු තුළ කිරි නිපදවීමට දායක වන හෝමෝන පිරිමි තුළත් නිපදවන්න පුළුවන්.
පිරිමින්ට කිරි දීම සඳහා ඇය නිර්මාණය කළ ආධාරක උපකරණ කට්ටලයට මෑතකදී සම්මානයකුත් හිමිව තිබෙනවා. ඒත් මේ උපකරණ කට්ටලය වෙළෙඳපොළට නිකුත් කරන්න කළින් තවත් පර්යේෂණ ගණනාවක්ම සිදුකළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම පිරිමින්ට කිරි හැදිය හැකි නම් ඒ කොච්චර ප්‍රමාණයක් ද වගේම එහෙම හැදෙන කිරි දරුවාට වුවමනා කරන පෝෂණය ලබාදෙනවා ද වගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු හොයන්න මේරිට සිද්ධ වේවි.
Text — Suranga