ඔබ සඳක්මැයි
මට අපූ මතක් වුණා. අපූ මට මුණගැහුණේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය කියන තුන් ඈදුණු නවකතා කියවද්දී. විභූතිභූෂණ බන්දොපාධ්‍යායගේ පාතර් ජංචාලි, අපූර් සංසාර්, හා අපරාජිතයෝ කියන බෙංගාලි නවකතා තමා අරවිදිහට චින්තා ලක්ෂ්මි සිංහආරච්චි සිංහලයට පරිවර්තනය කළේ. පාතර් පංචාලි, අපූර් සංසාර්, අපරාජිතයෝ කියන නවකතා තුන ඇසුරින් සත්‍යජිත් රායි සිනමා කෘති තුනක් නිර්මාණය කළා. අපූ මගේ හදවතට හුඟක් ළංවුණා. අපූ කියන්නේ හුඟක් සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. දරුවෙක් විදිහට අනාදරය පපුවට තුරුලු කරගෙන අසරණකම් හුඟක් වින්ද කෙනෙක්. ඒත් කවදාවත් ජීවිතය අත්නොහැර ජීවිතයට ආදරය කළ ඒ අපූට මම හරි ආදරෙයි...
අපිට අපූලව මුණගැහෙන්නේ පොත් පිටු අතරෙ විතරද? නෑ ජීවිතයේදීත් අපිට අපූලව මුණගැහෙනවා. දුප්පත්කම් දරාගෙන විඳගෙන ජීවිතයේ සාර සුබාවෙන් පිරිච්ච හීන හොයාගෙන යන අපූලා අපට මුණගැහෙනවා. පුංචි කලිසම් කොටයක් ඇඳගෙන ජීවිතේට දවසක් හොයාගන්න, අකුරු ඇහිඳින ගමන් ජීවිතේ සරිකරගන්න, මේ මහපොළොවත් එක්ක හැප්පෙන අපූව කෙනෙක් එක්ක ඔයා මනසින් එයාගේ අතීතයට ඇවිදගෙන යන්න.. ඔයාට මෙච්චරක් කියලා කියන්න බැරි භක්තියකින් ගෞරවයකින් කියවන්න හුඟක් පරිච්ඡේද හමුවෙයි.. ඔයාට මිනිස්සුන්ගේ ආත්ම හයිය ගැන හුඟක් දේවල් ඒ කියවීමේදී කියවන්න ලැබෙයි..
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්... ඔව් මට මීට කාලයකට ඉස්සර දවසක පොත් පිටු අතරෙදි මුණගැහුණු අපූ එක්ක කතා කරන්න හුඟක් දේවල් තියෙනවා.. ඒත් කාලයේ නිම්න දිග ඒ අපූ හුඟක් දුර ගිහින් ඇති.. එදා හරියට බඩ කට පිරෙන්න කන්න බොන්න ටිකවත් නැතුව තිබුණු කෙට්ටු අතපය ලස්සන රන්වන් පැහැයකින් දිලිහෙන අද දවසක් දුක් කඳුළැලි මැද්දෙන් ඒ අපූ ගොඩනගාගෙන ඇති.. මේ අර දිරච්ච පාට අතපය තිබිච්ච අපූද? ඒ අපූව දකිද්දී සමහරවිට අද මට එහෙම හිතෙයි. ස්නේහයෙන් ජීවිතය අතනොහරින හදවත් ඇති මිනිස්සු හැමදාමත් අපරාජිතයි.. ඔයා බලලා තියෙනවද කේ. නාරායන්ගේ මල්ගුඩි දවස... වතුරයි ලුණුයි සියඹලයි එකතු කරලා හදාගන්න සියඹලා හොද්දත් එක්ක කන රොටියක රහ මම මුලින්ම රහ බැලුවෙ මල්ගුඩි දවසෙ කේ. නාරායන් එක්ක.. එන්න මාත් එක්ක මල්ගුඩි දවස් දිගේ ඇවිදින්න.. ජීවිතයේ හැම සරදමක්ම ආදරයෙන් බාරගෙන දරාගෙන විඳගෙන ජීවිතයට ජීවිතයක් හොයන මිනිස්සු දිහා මම හැමදාමත් බලාගෙන හිටියෙ වචනවලට එකතු කරගන්න බැරිතරම් ආදරයකින්... ඒ ආදරය ලස්සනට සරසපු තව හැඟීම් දෙකක් තිබුණා.. ඒ තමයි භක්තිය හා ගෞරවය.. මල්ගුඩි දවසෙ පුංචි පැලවල් ඇතුළෙ ඉදුණේ පොඩි බත් මුට්ටියක්.. සමහරදාට හාල් මුට්ටෙට අතදාලා බලද්දී එක හාල් ඇටයක්වත් ඉතුරැ නෑ කැඳ කෝප්පයකට තරම්වත්... බත් ටිකෙන් නොපිරෙන කුසේ ඉතිරිය පුරවන්නේ එක්කෝ වතුර කෝප්පයක්.. නැත්නම් පොල් නැතුව පිච්චෙන ආටා රොටියක්.. මුරුංගා කොළ එක්ක මුරුංගා ගහේ කරලක්වත් නැති දවසට.. යස ඉසුරු අතින් අරගෙන ඉපදුණු මිනිස්සුන්ට වඩා දහදියේ ලුණු රස රස බලපු මිනිස්සුන්ට බඩගින්නක වේදනාව කඳුළක ගිනියම තේරෙනවා කියලා මට හිතෙනවා අතීතය මරාදාන්න තරම් සැහැසි නොවුණොත් විතරක්.. ඒ අය මහ පොළොවේ කාෂ්ටක හයිය මෙළෙක් බව වැස්සක සීතල අව්වක දාහය හඳුනන මිනිස්සු ජීවිතයත් ලෝකයත් දිනන වීරයන් වෙච්ච දවසක ඒ අය පහුකරගෙන ආපු මාවත දිගේ ස්නේහයෙන් මල්පෙති විසුරුවන්න හිතෙනවා මට අපරාජිත ජීවිත හදවතින්ම කියවද්දී...
මට හිතෙනවා දුප්පත්කමටත් වැඩිය දුප්පත් දුප්පත්කමට හිනාවෙන මිනිස්සුන්ගේ හදවත් අස්සේ තියෙන දුප්පත්කම... දුප්පත්කම හැමදාමත් දුප්පත්කමක් විදිහට තියාගෙන ඉන්න මිනිස්සු මගේ දැක්ම තුළ පරාජිතයෝ.. ඒ දුප්පත්කමට ශාප නොකර ඒ දුප්පත්කම තුළින් ජීවිතය මුදුනතකින් ඔසවා තියන්න පාරක් හොයන මිනිස්සු අපරාජිතයෝ... කරගැට නැඟුණු ඒ අත්වල වාසනාව දිලිහෙන දවසක ඒ අත්දෙකට මලක් තියලා නමස්කාර කරන්න පුළුවන්.. මට හිතෙන්නේ එහෙම.. මිනිස්සුන්ට දණගහලා වඳින්න ඕනැ මිනිස්සුන්ගේ වයස කියන සාධකයට නෙවෙයි.. හදවතේ පොහොසත්කමට.. ජීවිතය දිනන්න වැයකෙරූ දහදිය කඳුළුවලට.. ජීවිතය අත්නොහැර ස්නේහයෙන් වැළඳගත් අප්‍රතිහත ධෛර්යට... අමතක නොකළ අතීතයට..
පිළිගන්න... ඒ හැමදේකටම මගේ නමස්කාරය