2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අවුස්සනවා ඇවිස්සිල්ලක් හිතාගන්න බෑ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

Art එකේ කැරට්ටුව..

Sahan සමඟ Danushka 

මතකද ඒ හිතුවක්කාරයාගෙ සෙල්ලක්කාර ලියවිල්ල... හිතුවක්කාරයා කියලා කිව්වේ ශේහාන්. ඒ පිස්සු හැදෙන ලියවිල්ලට මම ආදරය කරන්න පටන්ගත්තේ කවද්ද කියලා මට මතක නෑ. මම දන්නෙ මම ආදරය කරන්න පටන් ගත්තා කියලා විතරයි. ශේහාන් ගැන මට කිව්වේ දිලීප.. දිලීප කිව්වේ දිලීප අබේසේකරට. මේ අල්ල පනල්ලේ ශේහාන්වයි දිලීපවයි මට මතක්කරලා දුන්නේ සහන්... සහන් කිව්වේ සහන් රන්වලට...

එනවද මාත් එකක් පොතක් පෙරළන්න...
පෙරළන්න කිව්වේ කියවන්න...

පොතේ නම චයිනමන්... සහන් කියනවා සහන්ගෙ පපුවේ හරිමැදටම වැදුන කිහිපයක් නිර්මාණ අතරේ චයිනමන් ඉස්සරහෙන්ම ඉන්නවලු. පොත පෙරළන ගමන් සහන් එක්ක චයිනමන් ගැන පිටුවකට හරියන්න කතාකරන්න හිතුණේ ඒකයි.... 
චයිනමන් නවකතාවේ පිටු පෙරළන්න කලින් සහන්ගේ ඩයිරි එක එහෙන් මෙහෙන් අවුස්සන්න මට හිතුණා... මට දැනගන්න ඕන වුණේ මේ දවස්වල සහන්ගේ කලදවස කොහොමද කියලා...
මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්යබහුලයි.. මොකද කියනවනම් දෙසැම්බර් පළවෙනිදා රන්සලකුණ කියන අවුරුද්දකට එක්වතාවක් අපි පවත්වන සංදර්ශනයට ලෑස්ති වෙනවා. ඉතාලි සංචාරයක් ඇතුළුව පිටරට සංචාර කිහිපයකුත් ඉදිරියේදී යන්න තියෙනවා. ඒවටත් සූදානම් වෙන ගමන් ලබන මාසයේ අපේ රන්වල බළකායේ කුරුණෑගල ශාඛාවේ අලුත් පාඨමාලා ආරම්භ කරන්න ඉන්නෙ... ඒ වැඩ රාජකාරිත් එක්ක සාමාන්‍ය විදියට ජීවිතය ගලාගෙන යනවා ඉතින්.
එහෙම තමයි සහන් කිව්වෙ ජීවිතේ ගැන...

සහන් මෙච්චරම සහන්ගෙ හිතයන්න තරම් චයිනමන් පොතේ තියන විශේෂත්වය?
මේ පොත ඉංග්‍රීසියෙන් රචනා කළේ ශේහාන් කරුණාතිලක. මේ පොතට ලෝක මට්ටමේ සම්මාන කිහිපයක්ම ලැබුණා... මේ පොත සිංහලට අනුවාදනය කළේ ප්‍රවීණ ගීතරචක කරුණාරත්න අබේසේකර මහත්තයාගේ පුතා, දිලීප අබේසේකර. සැලකිය යුතු රටවල් කිහිපයක භාෂා ගණනාවකටම මේ පොත පරිවර්තනය වුණා... අමෙරිකාවේත් මේ පොත මුද්‍රණය කරලා තියෙනවා. හැබැයි ලංකාවේ නම් වැඩි අවධානයකට ලක්වෙච්ච පොතක් නෙමේ මේක...

චයිනමන් පොතට මම ගොඩක් ආසකරන්නේ මේ පොතේ තියෙන කුතුහලය නිසා. මම හොඳටම දන්නවා මේක පොතක් කියලා. ඒ වුණාට මම තාම හිතනවා මේ පොතේ තිබ්බ කරුණු ඇත්තක්ද කියලා. සාමාන්‍යයෙන් පොතක් හරි චිත්‍රපටයක් හරි බලලා ඉවර වුණාට පස්සේ ඒ නිර්මාණයේ තිබූ කුතුහලය ඉවරවෙනවනේ... නිර්මාණවේදියා විසින් නිර්මාණයක කුතුහලය පවත්වාගෙන යන්නේ. ඒ නිර්මාණයේම පාඨකයා නැත්නම් ප්‍රේක්ෂකයා රඳවා ගන්නනේ. ඒත් මේ පොත එහෙම නෑ. මේ පොතේ අවසානයේ මතුකරන කාරණාත් එක්ක මේ සිද්ධිය ඇත්තක්ද බොරුවක්ද කියලා තාම මගේ හිතේ කුකුසක් තියෙනවා. චයිනමන් පොතට මගේ හිතයන්න තවත් හේතුවක් තමයි මම ලියන්න ආසකරන ශෛලියකින් මේ පොත රචනා කර තිබීම.
මේ නවකතාව ගෙතෙන්නේ එක්දහස් නමසිය අසූගණන්වල හිටපු ප්‍රදීප් මැතිව් කියන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා තියෙන කෙනෙක්. ඔහු හදිසියේම අතුරුදන් වෙනවා. ඒ කියන්නෙ කවුරු හරි කිඩ්නැප් කරනවා කියන එක නෙමේ ඔහු ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවිදියට ඔහු පලා යනවා..  මේ නවකතාවේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු සෑහෙන්නෙ ක්‍රිකට්වලට උනන්දුයි. ඒ උනන්දුව නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ දත්ත හොයන්න පුරුදුවෙලා හිටියා... ඔහු දත්ත විශ්ලේෂණය කරද්දි ඔහුට තේරෙනවා ලෝකේ බිහිවුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි මේ ප්‍රදීප් මැතිව් කියන්නෙ කියලා. මොකද ඔහුගේ රෙකෝඩ්ස් එච්චරටම හොඳයි..  ඒත් මේ ප්‍රදීප් මැතිව් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක නිතරම අඬදබර ඇති කරගෙන තිබුණා..  ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියා අයි.සී.සී. එකත් එකක් කතාකරලා ප්‍රදීප් මැතිව්ගේ රෙකෝඩ් පොත්වලින් මකලාදාලා. එච්චරටම ඔහුත් එකක් ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානියාට ප්‍රශ්නයක් තිබුණා. ඇත්තටම අපිට සැකයක් හිතෙන්න පටන් ගන්නවා, මෙහෙම ක්‍රීඩකයෙක් හිටියද කියලා... එච්චර ලස්සනට මේ පොතේ රචකයා මේ කතාව නිර්මාණය කරනවා. මාධ්‍යවේදියා මේ සුවිශේෂී ක්‍රීඩකයාටම මොකද වුණේ කියලා හොයන්න පටන්ගන්නවා... මේ මාධ්‍යවේදියා විස්තර කරන විදියට තමයි පොත රචනා වෙන්නේ. ඒත් පොත ලියන්න පටන් ගන්න මොහොතේම ඔහු ලියනවා ප්‍රදීප් මැතිව් කියන ක්‍රීඩකයාව ජීවිතේටම මට හමුවෙන්නෙ යම්කිසි එක අවස්ථාවකදී විතරයි කියලා. අපිට එකපාරටම හිතෙනවා ඒ කියන්නෙ ප්‍රදීප්ව මොහුට හමුවෙලා නැද්ද කියලා.

මෙයා ගැන හොයනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ පෙම්වතිය එක්ක ඇති කරගත් සම්බන්ධකමක් වැනි ප්‍රශ්න නිසා සහ අනිත් ක්‍රීඩයන් එක්කත් ප්‍රශ්න ඇතිකරගන්න ස්වභාවයක් තිබුණ නිසා ඔහු ඒ වෙනකොට කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවටත් පත්වෙලා හිටියේ නෑ... මේ පොත ලියවෙන්නේ උත්තම පුරුෂ රචනා විලාසයෙන් තමයි. හරිම ගැටලු සහගත තත්ත්වයකට පාඨකයා රැගෙන යන මොහොතක්  තමයි  මේ කතාව ලියන මාධ්‍යවේදියා මේ පොත අවසන් වෙන්න පරිච්ඡේද කිහිපයක් තියෙද්දී මියයෑම. ඊටපස්සේ මේ පොත ලියන්නේ ඔහුගේ බිරිඳ... ටික කාලයක් ගතවෙන කොට මාධ්‍යවේදියාගේ බිරිඳ විවාහ පත්වෙනවා. මාධ්‍යවේදියාගේ සමීපතම මිතුරෙක් සමඟ. ඔහුත් මේ පොතෙන් කොටසක් ලියනවා... පොතේ අවසන් කොටස ලියන්න බාරගන්නේ මැරිච්ච මාධ්‍යවේදියාගේ පුතා... මධ්‍යවේදියාගේ පුතා හෝඩුවාවල් ඔස්සේ ප්‍රදීප් මැතිව් හොයාගෙන යනවා. ඔහුට ආරංචි වෙනවා පිටරටක ප්‍රදීප් ජීවත්වෙනවා කියලා. ඔහු ඒ රටට යනවා. ඔහු හොයාගන්නවා ප්‍රදීප් මැතිව් ජීවත් වෙන්නේ වෙනත් නමකින් කියලා. මේ මධ්‍යවේදියාගේ පුතාට ඕනෙ තාත්තාගෙ හීනෙ හැබෑ කරන්න. ඔහු මාරම උත්සාහයක් ගන්නවා ඒකට. අහඹු ලෙස මාධ්‍යවේදියාගේ පුතා දකිනවා එක ළමයෙක් අමුතු බෝලයක් දාලා කඩුල්ලක් ලබාගන්නවා. පන්දුව දෙපාරක් බම්ප් වෙලා තමයි කඩුල්ලේ වදින්නෙ. ඒ පන්දුවේ නම තමයි චයිනමන්. ඒක ප්‍රදීප් මැතිව්ට ආවේණික පන්දුවක්. ඔහු සැකකරනවා ඒ ළමයා ප්‍රදීප් මැතිව්ගෙන් ඉගෙනගන්න ළමයෙක් කියලා... ඒ සැකය හරියනවා. ඒ ඔස්සේ ගිහින් ප්‍රදීප්ව හොයාගන්න දරන උත්සාහය තමයි මේ පොතේ තියෙන්නෙ. ඒත් මේ කතා කරපු ඒ ප්‍රශ්නය විසඳෙද්දී රචකයා තවත් ප්‍රශ්නයක් පාඨකයාට යොමු කරනවා. කොටින් මම කිව්වනේ මේ පොත ලියලා තියෙන්නේ ශේහාන් කියලා ඔහු අවසානයේ ලියනවා ප්‍රදීප් මැතිව් නමින් පොතක් ගැහුවොත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පොතට නඩුදාලා ඒ පොත විකුණන අයට නීතිමය පියවර අරගනියි කියලා. කවුරුත් මේ පොත විකුණන්න කැමති වෙන්නේ නෑ. ඒක නිසා ඔහු කියනවා මේ ප්‍රදීප් මැතිව් කියන්නෙ අනුවර්ථ නාමයක් කියලා. ඒ වගේම තමයි ඇත්ත නමකින් ලියන්නත් බෑනෙ.. ඒක නිසා අපි ශේහාන් කරුණාතිලක කියලා නමක් දාමු කියලා... මේ පොත අවසන් කරන්නෙ මේ පොත පවා ලියලා තියෙන්නෙ ඇත්ත කෙනෙක්ද බොරු කෙනෙක්ද කියන සැකය පාඨකයා ළඟ ඉතුරු කරලා. 

මේ නවකතාවේ චරිත ගොඩක් ඉන්නවනේ ඔයා වැඩිපුරම ඇළුම් කරන්නේ ඒ අතරින් කාටද?
මේ කතාවේ වැඩිපුර ප්‍රදීප් මැතිව්ව අපිට මුණගැහෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මුණගැහෙන්නෙ අර මධ්‍යවේදියා තමයි. ඔහු සාදු චරිතයක් නෙමේ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් විදියට තමයි මේ කතාවේ ගොඩනගලා තියෙන්නෙ... මම එයාට ගොඩක් කැමතියි.. 

මෙච්චර ලස්සන පොතක් ඔබට හම්බවෙන්නෙ අහම්බෙන් වෙන්න බෑ නේද?
මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නව සමීර කොතලාවල කියලා. එයා මට සාමාන්‍යයෙන් තෑගි  කරන්නෙ පොත්. ටිකක් ලොකු පොතක් වුණත් මට තියන වැඩත් එක්ක සතියක් එකහාමාරක් යද්දී මම මේ පොත කියවලා ඉවර කළා.
සහන් කියවලා ඉවර කරපු පොත මට දැන් පෙරළන්න හිතෙනවා.... ඔයාටත්... එහෙම හිතෙනව නම් කියලා මට හිතෙනවා....

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00