2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ස්ලිම් ෆිට් රහස

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

හැමදෙනා ගැනම හොඳ අවධානයෙන් ඉන්න, හැමදෙනා ගැනම හොයලා බලන එක්තරා ප්‍රවීණ රංගන ශිල්පියෙක් ළඟදී දවසක කාලෙකට පස්සෙ තරුණ නළුවෙක් එක්ක කතාවකට සෙට් වුණාලු.
කොහොමද කොල්ලො.. කාලෙකට පස්සෙ? අපි මේ එකට රඟපාන්නෙ ගොඩක් කාලෙකින් නේද? ප්‍රවීණයා තරුණයාට කිව්වලු.

ඔව්.. කොච්චර කාලෙකින්ද? මම හිතන්නෙ අවුරුදු 3කින් විතර..
ඔයා ටිකක් බර අඩුවෙලා.. මොකද ඒ? අසනීපයක් නැහැනෙ?

අනේ නැහැ. ඒකට වෙන හේතුවක් තියෙනවා..
මොකක්ද ඒ රහස..
ඉස්සර වගේ නෙවෙයි, දැන් මම අඳින්නෙ ස්ලිම් ෆිට් කමිස, ස්ලිම් ෆිට් කලිසම්.. ඉතින් ගොඩාක් අය හිතන්නෙ මම ජිම් ගිහින් ඇඟ හදාගෙන කෙට්ටුවෙලා කියලා, කොල්ලා කිව්වලු.

 

විනිශ්චයටත් කලින් කේක් බඩේලු....

සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් විසින් අවුරුදු පතා සංවිධානය කරන කේක් සෑදීමේ තරගයක් ළඟදී පැවැත්වුණාලු. ආයතනයේ විවිධ අංශවලින් ඉදිරිපත් කළ නිර්මාණශීලී කේක් තරගය විනිශ්චය කරන්නට ජනප්‍රිය නළු නිළියො කිහිපදෙනෙක් ඇවිත් හිටියා.

විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වුණේ සුප්‍රසිද්ධ සූපවේදියෙක්. 
තරගයට අංශ 10කින් කේක් ඉදිරිපත් කරලා තිබුණා. 2 වැනි අංශයේ කේක් එකට ලකුණු 100ම ලැබුණලු. ඔහොම ගිහින් විනිශ්චය මණ්ඩලය අවසාන කේක් නිර්මාණයටත් ලකුණු 100ක් දීලා. ඒත් පළවැනි ස්ථානයට එක නිර්මාණයක් තෝරාගත යුතුව තිබුණු නිසා, 100 ලැබුණු කේක් නිර්මාණ දෙකම ආයෙත් අවධානයට ලක් කරන්න විනිශ්චය මණ්ඩලය තීරණය කරලා.

ඒත් ලකුණු 100ක් ලැබුණු 2 වැනි අංශයේ කේක් ඒ වෙනකොටත් ඒ අංශයේ කට්ටිය කාලත් ඉවරලු.
අපේ නිර්මාණයට 100ක් ලැබුණු සතුට සමරන්න අපි කේක් එක බෙදාගෙන කෑවා. සුපිරි සූපවේදියාට තරු පෙනුණලු.

 

Happy Birthday සිංහලෙන් ලියන්නද?

කාගෙ හරි උපන්දිනයක් ආවොත් එයාට සප්‍රයිස් එකක් දෙන්න කට්ටිය එක එක ක්‍රම හොයනවනෙ.
ඔන්න ඒ වගේ කලා ලෝකෙ තරුණ ශිල්පිනියකගේ උපන්දිනය දවසෙ එයාට පොඩි සප්‍රයිස් එකක් දෙන්න එයාගෙ යාළුවෙක් ප්ලෑන් කළාලු.
ඔන්න කෙල්ල කන්න කැමති කෑම හදන ආයතනයකට කතා කරලා එයාගෙ ප්‍රියතම කෑම වර්ගය කෙල්ලගෙ ගෙදරට යවන්න කටයුතු කළාලු.
ඒ ආයතනයට කතා කරලා කාඩ් එකෙන් සල්ලි ගෙවලා, දැන් කෙල්ලගෙන් කෝල් එකක් එනකම් මඟ බලන් ඉන්නවලු.

ඒත් පැය දෙක තුනක් ගියත් කෝල් එක නැහැල්ලු. කෑම එක ඩිලිවරි කරන්න ගිය සේවකයාගෙ ෆෝන් නොම්මරේ අරන් මේ තරුණයා එයාට කතා කළාලු.
මල්ලි තාම ඒක ඩිලිවරි කළේ නැද්ද?

නෑ මහත්තයා වැස්සට අහුවුණා. දැන් මේ ළඟ ඉන්නෙ..
අනේ මල්ලි මට ලොකු උදව්වක් කරන්න පුළුවන්ද? ඔය පෙට්ටියේ උඩ &Happy Birthday කියලා ලියලා යටින් මගෙ නම ලියන්න පුළුවන්ද?
අනේ සර් මට ඉංග්‍රීසි බැහැ. සිංහලෙන් ලියලා දෙන්නද? ඔහු කිව්වලු

 

සිනමා අර්බුදය දිගටම

පහුගිය මාස කිහිපයක් තිස්සෙම අපේ සිනමාව අර්බුද ගොඩක පැටලිලා තිබුණනෙ.

චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික මණ්ඩලවලින් ඉවත් කරලා ඒ කාර්යභාරය චිත්‍රපට සංස්ථාවට පවරන්නට ගත් තීරණයයි ඒ අර්බුදවලට මූලික වුණේ.
ඉන් පස්සෙ අදාළ පාර්ශ්ව ඒ තීරණයට විරුද්ධව උසාවි ගියා. ඒ නඩුව තාම යනවා, ප්‍රශ්නෙට කිසිම විසඳුමක් ලැබුණෙ නැහැ.

ඔන්න ඒ අතරතුර දැන් ආණ්ඩුවත් වෙනස් කරලා. චිත්‍රපට සම්බන්ධ ඇමැතිවරයත් වෙනස් වෙලා. චිත්‍රපට සංස්ථා සභාපතිත් වෙනස් වෙලා.
ඔන්න දැන් මේ වෙනස් කට්ටිය අනිවාර්යයෙන්ම කලින් කට්ටියට වඩා වෙනස් දෙයක් කරයි.

අපේ සිනමාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා සභාපතිලා, ඇමැතිලා, ආණ්ඩු මාරුවෙන මාරුවෙන ගාණට සිනමා නීතිරීති, ක්‍රමවේද වෙනස් කරනවා. තව අවුරුදු 100ක් ගියත් මේ ක්‍රමයම පැවතුණොත් අපේ සිනමාවෙ අර්බුද ඉතින් දිගටම තියේවි.

 

Text - Mithra