2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ගුවන් යානාවේ තටුවලට තට්ටු දදා සින්දු කීවා

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 203

තාත්තයි පුතයි එකතුවෙලා අලුත් වැඩකට සූදානම් වෙනවා කියලයි ආරංචිය..?
ඔව්.. මේක කාලයක් තිස්සෙ අපි කරන්න සැලසුම් කරගෙන හිටිය වැඩක්. සංගීත දිවියේ ගායකයෙක් හැටියට එකතුවෙලා මට දැන් වසර හතළිහක් සපිරෙනවා. ඉතින්.. මාත් එක්ක මගේ පුතාවත් සම්බන්ධ කරගෙන, එයාගේ ඉදිරි ගමනට රුකුලක් වන ආකාරයට මම මේ ප්‍රසංගය සංවිධානය කෙරුවා.

ප්‍රසංගයේ නමත් ටිකක් සුවිශේෂයි..?
ඔව්.. අපි මේ ප්‍රසංගය තාත්තයි පුතයි කියලා තමයි නම් කළේ. එකම වේදිකාවේ තාත්තයි පුතයි ගී ගයාවි. මගේ ගීත මම ගායනා කරනවා. ගයාන්ගේ ගීත එයා ගයනවා. මගේ ගීතවලට අතරමඟදී ගයාන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මමත් ගයාන්ගේ ගීතවලට සම්බන්ධවෙලා ගායනා කරනවා. අපි දෙන්නම හින්දි ගීතත් ඒ ආකාරයෙන්ම ගායනා කරනවා. ඒ වගේ ටිකක් වෙනස්, දැවැන්ත ප්‍රසංගයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ අපූරු අත්දැකීම විඳින්න ලැබෙන්නෙ කවදද..?
මේ ප්‍රසංගය පැවැත්වෙන්නෙ මහරගම තරුණසේවා යොවුන් රඟහලේදී. දෙසැම්බර් මස නවවැනි ඉරිදා හවස හයයි තිහට තමයි ආරම්භ වෙන්නෙ. මේ ප්‍රසංගය කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ වනවිට මම සිනමාපට ගණනාවකම ගීත ගායනා කරලා තියෙනවා. මට හිතෙන විදිහට සිනමා ගීත පමණක් සියයට අධික ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ප්‍රසංගයේදීත් මගේ සිනමා ගීත ගායනා කරනවා. මේ ප්‍රසංගයේදී ගායකයන් හැටියට සම්බන්ධ වෙන්නෙ මමයි පුතයි විතරයි. නමුත් ආරාධිත ශිල්පිනියන් කිහිපදෙනෙක්ම මෙම ප්‍රසංගයේදී අපිත් සමඟ යුග ගායනා කරනවා. ඒ අනුව උරේෂා රවීහාරි, අමිලා නදීෂානි, කාවින්ද්‍යා අධිකාරි සහ චමිලා තුෂාරි සමඟ අපි යුග ගීත අටක් ගායනා කරනවා. මේ ප්‍රසංගයේ සංගීතය පවා සුවිශේෂීයි. පෙර අපර දෙදිග වාද්‍ය භාණ්ඩ සමඟ තිළිණ තුෂාර ඇතුළු පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේකට සම්බන්ධ වෙනවා.

නුවන්ගේ ළමා කාලය සහ පවුලේ විස්තර ටිකක් කිව්වොත්..?
මම හිතන විදිහට මම ඉපදුණේ සින්දු කියන්නම තමයි. මම ඉගෙනගත්තෙ මහනුවර බුවනෙකබා මහා විද්‍යාලයේ. ඒ පාසල මට මගේ ජීවිතේ ඉතාම සුන්දර තැනක්. අදටත් මට ඒ අතීතය සිහිවෙනකොට හරි සතුටුයි. පන්ති කාමරයෙදී තමයි මුලින්ම මම ගායකයෙක් බවට පත්වුණේ. පන්ති කාමරයෙන් තමයි මම පාසල් වේදිකාවට ගොඩවැදුණේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වීම තමයි පාසල් කාලයෙදී මට තිබුණු එකම හීනය. ඉස්සර පාසලේදී මම ගායනා කළෙත් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීතයි.

මට ගායනය පිළිබඳව හැකියාවක් තියෙනවා කියලා මුලින්ම දැනගත්තෙ මගේ අම්මා. නෑදෑයෝ ගෙදරට ආපු වෙලාවට මගේ අම්මා අපේ නුවන් හරි ගායකයානෙ.. බලන්නකො ගයන හැටි කියලා මම ලවා සින්දු කියවනවා. මගේ පවුලේ මට තව අයියලා දෙන්නයි අක්කයි නංගියි මල්ලියි ඉන්නවා. අපේ පවුලේ දරුවන් හයදෙනයි.

ඔබගේ මුල්ම රැකියාව මොකක්ද..?
මම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ආධුනික ඉංජිනේරුවරයෙකු වශයෙන් ඉගෙන ගත්තා. එතැනදී මෝටර් යාන්ත්‍රික වැඩ, වඩු වැඩ, පේන්ට් වැඩ වගේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ ආරම්භය වුණේ එතැනයි. එතැනදීත් මම හඬනඟා ගී ගැයුවා. එදා ගුවන් යානාවල තටුවලට තට්ටු කරමින් තමයි මම සින්දු කිව්වෙ. ඒ නිසා ලංකා ගුවන් සේවය ඇතුළෙත් මම ගායකයෙක් වුණා. ඉගෙනගන්න එන ආධුනික ගුවන් නියමුවන් පවා මගේ ගීත රසවිඳින්න ආසා කළා. ඉතින්.. හයියෙන් කෑගහලා මම සින්දු කිව්වා. ඒ හැමෝම මගේ කලා ලෝකය දිරිගැන්වූවන් වුණා.

හින්දි භාෂාව පිළිබඳව දැනුමක් ඇතිවුණේ කොහොමද..?
ඔහොම රැකියාව කරමින් ඉන්න අතරතුරේදී පසුකාලීනව මම හින්දි භාෂාව ඉගෙන ගත්තා. ඒ තුළින් හින්දි භාෂාව කතා කරන්න, ලියන්න මට පුළුවන් වුණා. ගුවන් සේවය තුළදී ඉන්දියාවේ ගුවන් සමාගම්වලින් ඉගෙනගැනීමට යන්න අවස්ථා උදාවුණා. ඒ තුළින් මට හින්දි භාෂාව කතා කරන ඉන්දියානුවන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඔවුන් එක්ක ඒ භාෂාව කතා කිරීම නිසා මගේ හින්දි භාෂාව ඔපමට්ටම් වුණා. ඒ තුළින් හින්දි ගී ගායනා කිරීමට මට තවත් හැකියාව ලැබුණා. මම ප්‍රවීණ ගායකයන්ගේ ගීත ගායනා කරනවාට වඩා හින්දි ගී ගායනා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා.

මුලින්ම ප්‍රසංග වේදිකාවක ගීත ගැයුවේ කවදද..?
ඒ සිදුවීමත් වුණේ හරිම අහම්බෙන් වගේ. ගුවන් සේවයේ මම වැඩ කරන කාලේ මාත් එක්ක ඩෙරික් ද සිල්වා කියන මගේ මිත්‍රයත් වැඩ කළා. ඉතින්.. ගුවන් සේවයේ හවස පහෙන් පසුව රාත්‍රී ගුවන් යානා එනතුරු විවේකයෙන් ඉන්න වෙලාවන් තිබුණා. ඒ වෙලාවට අපි හැමෝම එකතුවෙලා සින්දු කිව්වා. ඔහොම ඉන්න අතරවාරේ ඩෙරික් ද සිල්වා මටත් සින්දුවක් කියන්න කිව්වා. එදා මම දෝස්තී චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා. එදා එතැන හිටපු හැමෝම හරිම ආසාවෙන් ඒ ගීතය අහගෙන හිටියා. ගීතය ගායනා කරලා ඉවර වුණු ගමන් ඩෙරික් මගේ ළඟට ඇවිත් කොහේද මනුස්සයො හිටියෙ කියලා ඇහුවා. එදාම රෑ ඩෙරික්ගේ මදුරුවා ස්කූටරයේ නංවගෙන මාව සංගීත සංදර්ශන සංවිධායකවරයෙක් මුණගැහෙන්න එක්කගෙන ගියා. ඔහු රාත්‍රී සමාජශාලාවලට තමයි සංගීත කණ්ඩායම් සපයන්නෙ. මගේ ගීතයක්වත් අහන්නෙ නැතිව ඩෙරික්ගෙ වචනයට මාව විශ්වාස කරලා මැල්කම් ඇන්ඩෘ ඊළඟ සෙනසුරාදා තියෙන සංගීත ප්‍රසංගයකට මාව යොමුකළා. 

හැබැයි ඒ ප්‍රසංගයෙදී මුදල් ගෙවීමක් සිදුවුණේ නැහැ..?
ඔව්.. ඒක මුලදීම ඒ අය කිව්වා. ඒ කාලේ මට රැකියාවෙන් හොඳ වැටුපක් ලැබුණා. ඒ නිසා මුදල මට ගැටලුවක් වුණේ නැහැ. හැබැයි ඒ අය පුවත්පත්වල දැන්වීම් පළකරන නිසා ඒ දැන්වීමට මගේ නමත් දානවා කියලා කිව්වා. ඉතින්.. මට ඒකට හරි සතුටු හිතුණා. නමත් එක්ක පත්තරේ පළවෙනවනෙ. ඒ නිසා මට පහුවදාම මගේ යාළුවෝ හැමෝටම පත්තරේ බලන්න කියලා කිව්වා. හරිම ආසාවෙන් අතට අරගෙන පත්තරේ බැලුවාම මගේ නම ඒ පත්තරේ තිබුණේ නැහැ. ඇත්තටම මට ඒකට හරිම දුක හිතුණා. හැබැයි මම කවදාවත් අධෛර්යමත් වුණේ නැහැ. සෙනසුරාදා මම ෂෝ එකට ගිහින් සවුන්ඩ් පෙට්ටි පවා ඉස්සුවා. එදා මම ෂෝ එකේදී අඳින ඇඳුම් පවා ඇඳගෙනයි ගියේ. සවුන්ඩ් පෙට්ටි උස්සලා ඇඟ පුරාම දහඩිය. රියර්සල් එකකුත් කළාට පස්සෙ අර ඇන්ඩෘ මට ෂෝ එකට ඇඳගෙන එන්න කිව්වට ඇඳගන්න මම තව ඇඳුමක් ගෙනත් තිබුණේ නැහැ. ඒ වෙලාවෙත් ඩෙරික් ඉදිරිපත්වෙලා හරි ලස්සන කොටු කොටු කෝට් එකක් මට ඇන්ඳෙව්වා. මම ගීත දෙකක් එදා ගායනා කළා. ඒ ගීත දෙකම දෝංකාර දුන්නා. මගේ ප්‍රථම සංගීත සැඳෑව මට සුන්දර හීනයක් වුණා. එතැනින් පස්සෙ බොහෝ සමාජශාලාවල මම ගීත ගායනා කළා.

බටහිර පන්නයට ගයපු, හින්දි ගීත ගයපු නුවන් සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද..?
පාසල් කාලේ ඉඳන්ම මම හිතින් සිනමා ගායකයෙක්නෙ. ඒ හීනය මගේ මනස තුළ හැමදාමත් තිබුණා. මුල් කාලයෙදී මම හින්දි ගීතවලටම කොටුවෙලයි හිටියෙ. ඒ කාලේ මම මගේ ගීත හතරක තනු නිර්මාණය කරගත්තා. ඒකෙදී ගීත තුනක් සිංහලෙනුත් එක් ගීතයක් හින්දියෙනුත් ලිව්වා. ශබ්දාගාරයේ පටිගත කරන්න ගිය වෙලාවේ සංගීත අධ්‍යක්ෂකවරයා හින්දි ගීතය බලලා නුවන්.. මේ ගීතය හින්දියෙන් කිව්වොත් එච්චර ජනප්‍රිය වෙන්නෙ නැහැ.. අපි ඒක සිංහලෙන් කියමු කිව්වා. ඒ වෙලාවෙම ඔහුගේ මෝටර් රථයෙම ගිහින් කුලරත්න ආරියවංශ මහත්මයාව එක්කගෙන ආවා. ඒ මොහොතේම ගීතයේ තනුව අහලා පාවී ගියාවේ ළඳේ මා ඔබේ කියන ගීතය ලිව්වා. ඒ ගීතයේ අකුරක්, ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නෙ නැතිව මම ඒ ගීතය ගායනා කළා. ඊටපස්සෙ මම කඳුළින්ම ගැයූ පෙම් ගීතේ* කියන ගීතය ගායනා කළා. ඊටපස්සෙ තමයි මාව සිනමාවට සම්බන්ධ කරගත්තෙ.

අපි දැන් ඔබේ ආදරණීය බිරිය සහ දරුවන් දෙදෙනා ගැනත් කතා කරමු..?
ඔව්.. මගේ බිරිය රමෝනා. ඇය මගේ පාසල් අවදියෙදී තමයි මට මුලින්ම මුණගැහුණේ. මගේ ප්‍රථම සංගීත ප්‍රසංගයෙදීම පාසල් ශිෂ්‍යාවක් විදිහට ස්ටේජ් එකට ඇවිත් රමෝනා මට මුලින්ම මල්මාලාවක් දැම්මා. එතකොට රමෝනාට වයස අවුරුදු දාහතරක් විතර ඇති. (අදද රාමුකළ ඒ ඡායාරෑපය ඔවුන්ගේ නිවෙසේ දකින්න තිබේ) ඒ මගේ ජීවිතේ මගේ ගෙලට වැටුණු ප්‍රථම මල්මාලයයි. ඒ මල්මාලයෙන් පස්සෙ මගේ ජීවිතේ තුළදී ඕනෑතරම් මාල වැටෙන්න ඇති. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදී සල්ලිමාල පවා මට වැටුණා. මම විශ්වාස කරන්නෙ ඒ රමෝනාගේ වාසනාවන්ත දෑත නිසා කියලයි. පසු කාලයේදී රමෝනා පාසලෙන් සමුගත්තට පස්සෙ මට නැවතත් මුණගැහුණා. කාලයක් ගතවුණාට පස්සෙ අපි අතරේ ආදර සම්බන්ධයක් පටන් ගත්තා. රමෝනා කියන්නෙ මගේ හොඳ රසිකාවියක්. අදටත් ඇගේ හොඳම ගායන ශිල්පියා නුවන් ගුණවර්ධනයි. මගේ ගීත මුලින්ම අහන කෙනා තමයි රමෝනා. මම දෙදරු පියෙක්. මගේ මුල්ම දරුවා දුවෙක්. එයාගේ නම දුලාරි කෞෂල්‍යා. දෙවැනියා ගයාන්. මගේ දුවටත් හොඳට සින්දු කියන්න පුළුවන්. තාත්තගේ හැකියාව, තාත්තගේ ජාන සහ තාත්තගේ ලේවලින් එයාටත් ඒක හරියට පිහිටලා තියෙනවා. දැන් දුව විවාහවෙලයි ඉන්නෙ. ඉතින්.. මේ ප්‍රසංගයේ සියලුම සංවිධාන කටයුතු කරන්නෙ මගේ දුවයි. නුවන් ගුණවර්ධන වෙනුවෙන් රමෝනා බොහෝ කැපකිරීම් කළා. අද රමෝනාට පුතාගේ වැඩත් හොයලා බලලා කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ හැමදෙයක්ම එයා කරන්නෙ හරිම ආසාවෙන්. තාත්තටයි පුතාටයි ප්‍රසංගය කරන්න රමෝනාගෙනුත් දුවගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

► Text - Dishani   /   Pic -Sumudu

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00