2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ගී ලොවේ පියාසලන කෙල්ලෝ...

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 158

චානක සේනාධීර අලුත් වැඩකට අතගැහුවනේ... මොකක්ද මේ වැඩේ...?
ලංකාවේ ප්‍රථම වරට ගැහැනු ළමයි දහදෙනෙකුගෙන් සමන්විත Symphony Orchestra එකක් තමයි නිර්මාණය වුණේ. මේ කණ්ඩායමේ ස්ථිරවම ගැහැනු ළමයි දොළොස් දෙනෙක් ඉන්නවා. නමුත් මේ දවස්වල එක ළමයෙකුගේ අම්මා අසනීපවීමත් තවත් ළමයකුගේ පෞද්ගලික කාරණාවක් නිසාත් තාවකාලිකව ඒ දෙන්නා කණ්ඩායමෙන් ඉවත් වුණා. දැනට කණ්ඩායමේ ගැහැනු ළමයි දහදෙනෙක් එකතුවෙලා ඉන්නවා. වයිලින් තුනක් සමඟින් ලංකාවේ ප්‍රථම Symphony Orchestra එක තමයි “CS Female Symphony Orchestra කියන්නේ.

මේ කණ්ඩායමේ කීදෙනකුට ගීත ගැයිමේ හැකියාව තියෙනවාද...?
ඒකත් මේ කණ්ඩායමේ විශේෂත්වයක් වෙනවා. මේ කණ්ඩායමේ නව දෙනෙකුටම ගීත ගැයීමේ හැකියාව තියෙනවා. ඒ අතර වයලින් තුනක් සම්බන්ධ වෙනවා. මෙවැනි කණ්ඩායමක් එකතු කරන අදහස ඇත්තටම ඇති වුණේ මටයි. මම අවුරුදු විසිපහක් මේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. මම ගිටාර් වාදකයෙක්. ලංකාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු යටතේ මම ලීඩ් ගිටාර් වාදනය කරනවා. ඒ වගේම ලංකාවේ ගීත පන්දහකට වඩා මම පටිගත කරලා තියෙනවා. ඒනිසා ලංකාවේ වෙනසක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනසත් එක්ක ගිය වසරේ අගෝස්තුවල මම ප්‍රියා සූරියසේන එක්ක ඕස්ට්‍රේලියාවේ ගියා. ඒ ගිය වෙලාවේදීත් මගේ අදහස තිබුණේ මේ වෙනස මොකක් වෙන්න ඕනෙද කියලයි. ඒ ඇවිත් තමයි ලංකාවේ ප්‍රථම වරට ගැහැනු ළමයින් දොළොස්දෙනෙකුගෙන් සමන්විත වයලින් තුනක් සමඟින් බිහිවන සංගීත කණ්ඩායම මම පටන් ගත්තේ.

මේ ගැහැනු ළමයින් සොයා ගත්තේ කොහොමද...?
2016 අවසානයේදී මම කොළඹ විශාකා විදුහලේ “මියැසි විශාකා ප්‍රසංගයට ගිටාර් පුහුණු කරන්න යන්න අවස්ථාව ලැබුණා. එතනදී තමයි මේ දරුවන්ගේ දක්ෂතාව මට දකින්න ලැබුණේ. එදා තමයි මම මේ වෙනස ගැන මුලින්ම හිතාගන්නේ. ඊට පස්සේ විශාකා විදුහලේත්, නුගේගොඩ අනුලා විදුහලේ දරුවනුත් විශ්වවිද්‍යාල දරුවන් කිහිපදෙනකුත් එකතු කරගෙන මේ කණ්ඩායම හදන්න තීරණය කළේ.

පුහුණු වීම් කටයුතු කරන එකත් ලේසි නැතිව ඇතිනේද...?
ඔව්... ඒකනම් අමාරුයි තමයි. මේ අතරේ උසස් පෙළ දරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ කණ්ඩායම පටන් ගනිද්දී පාසල් යන දරුවන් පස්දෙනෙක් හිටියා. ඒ නිසා පුහුණුවීම් කරන්න අමාරුයි තමයි. බොහෝ වෙලාවට අපි පුහුණුවීම් කරන්නේ රාත්‍රී කාලයේදීයි. සමහරදාට රාත්‍රී හතට පටන් අරගෙන දොළහ, එක වෙනකනුත් පුහුණුවීම් කරනවා. මේ දරුවන් ඒ අයගේ අධ්‍යාපනයට වගේම සංගීතයටත් හරි ආදරෙයි. දරුවන් වගේම ඒ දරුවන්ගේ මව්පියන් ද ලොකු කැපකිරීමක් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැයි දහය වෙනිදා අපි “ස ආනන්ද විදුහලේ රයිනිගේත්, සනුකගේත් ප්‍රසංගයට සංගීතය සැපයුවා. ඒකේදී හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා.

කණ්ඩායම වැඩිපුරම ගයන්නේ සිංහල ගීතද...? බටහිර ගීතද...? හින්දි ගීතද...?
එහෙම නැහැ... අපි සිංහල, බටහිර, හින්දි තුනම ගායනා කරනවා. ලබන වසරේ සිට අපි විවාහ උත්සවවලදීත් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දැනටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒ වගේම ලබන වසරේ ඔක්තෝබර්වල මේ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒක තමයි මේ දරුවන්ගේ මුල්ම විදෙස් ප්‍රසංගය වෙන්නේ.

“ඉගිල්ලෙන්න ගීතය ගැන කතා කළොත්...?
ලංකාවේ ප්‍රථම වරට ගැහැනු ළමයින්ගේ පමණක් බිහිවෙන සංගීත කණ්ඩයමකින් ඔවුන්ගේ ගීතයත් අපි මේ මස විසි වැනිදා එළිදක්වනවා. අපි ඒක නම් කරලා තියෙන්නේ “ඉගිල්ලෙන්න ගීතය නමින්. එහි පද රචනය ෆාදර් සනත් කුමාර. සංගීත අධ්‍යක්ෂණය මගෙයි. ඒකේ කියවෙන්නේ යෞවනයේ නිදහස ගැනයි. ඒකේ රූප රචනය අපි දැන් කරලා අවසානයි. ඉතින් ඒ ගීතය අහලා මේ දරුවන්ගේ වෙනස දකින්නට පුළුවන් වේවී. මෙය ලංකාවේ විශාල වෙනසක් ඇති කරන ගීතයක් වන බවට මම විශ්වාස කරනවා.

අපි දැන් මේ කණ්ඩායමේ සාමාජිකයින් ගැන ටිකක් කියමුද...?
මේ කණ්ඩායමේ වයලින් වාදනයෙන් තුන්දෙනෙක් සහභාගී වෙනවා. ඒ හෂිනි, නිමන්යා, දුලිනි. කී බෝඩ් වාදනයෙන්, ගිටාර් වාදනයෙන් කවීෂා, මංසිලා, මධාරා. බටනළාවෙන් ජයනි. තබ්ලාවෙන් හසිකා, ඩ්‍රම්ස් වාදනයෙන් දුල්නාරා එකතුවෙලා ඉන්නවා. ඒවගේම අපේ ඩ්‍රම්ස් වාදනය කරන දුවට තවම වයස අවුරුදු දාහතයි. එයා ලංකාවේ ප්‍රසිද්ධම ඩ්‍රම්ස් වාදක මහින්ද සිල්වාගේ දුවයි. ඒවගේම හෂිනි කියන්නේ ලංකාවේ ඉන්න හොඳම වයලින් වාදකයෙක් වන ආනන්ද වෑකන්දගේ දුවයි. කණ්ඩායමේ දරුවන් හරිම දක්ෂයි. ඒ දරුවන්ගේ දක්ෂතාවය ඉගිල්ලෙන්න ගීතය තුළින් දැකබලා ගන්නට පුළුවන් වේවී. 
 

► Text - Jayamali  /   Pic - Sumudu