2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අපි හැමෝම එකම පාරක එකම ගමනක් යන අය

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

Art එකේ කැරට්ටුව..

Athula සමඟ Danushka 

ෂැගී ආවා මාත් එකක්...
ස්කුබි ඩූ ෂැගී... 

කළුවර කරද්දී හැම අත වීදි දිගේ, නොදැල්වුණා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද වීදි ලාම්පු...? ළෙන්ගතු හින්දා කළුවරට ඒ තරමටම.. ෂැගී කතා නෑ...
හඳ පිටගම් ගිය දවසක ළාවට දිලිසෙන රිදීපාට තරුවක් නිස්කාංසුවේ හිත් නලවද්දි එළිවැටක් නැති කවි අහුරු අරන් එන හිත ළඟ හිටියානම් කවුරැහරි ජීවිතේ බෙදාගන්න... 
ෂැගී කතා නෑ.....

හැබැයි ෂැගීට නොතේරෙන ජීවිතේ රහ අතුලට නොතේරෙන්න විදියක් නෑ... හඬ කැව්වට රඟපෑවට ඒ වේදිකාවෙන් බැහැලා මාත් එකක් කතාකරන්න ආව අතුලට ජීවිතේ රහ නොදැනෙන්න විදියක් නැහැ. එහෙම හිතලයි අඬ ගැහුවේ මං...
අතුල ජයසිංහ... හරි අපි කතාකරමු.. 

අතුලගේ ජීවිතයේ මේ දවස්වල මොකද වෙන්නෙ කියලා අතුලගෙන්ම අහලා දැනගමු නේද?
මේ දවස්වල මුල්තැන දීලා තියෙන්නේ මගේ ඉගෙනීමේ කටයුතුවලට. මගේ ඩිග්රියේ පළවෙනි අවුරුද්ද ඉවරයි... මම කිසිම ආයතනයක ස්ථිර වශයෙන් රැකියාවක් කරන්නෙ නෑ. මගේම කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකෙ වැඩයි, නිදහස් ශිල්පියෙක් විදියට ආයතන කිහිපයකම හඬකැවීම්වල නිරතවෙලා ඉන්නවා... ඕවත් එක්ක තමයි කාලය ගතවෙන්නෙ...
එහෙම තමයි අතුලගේ වැඩසටහන...
කියමුකො බලන්න රසවින්ද මතක හිටි නිර්මාණයක් ගැන විස්තර ටිකක්... ඒ නිර්මාණය අතුලගේ ප්‍රියතම එකක් නම් මරූ...

හරි එහෙම එකක් තියෙනවා... මම මෙහෙම පටන් ගන්නම්කො ....
අපි හැමෝම අහලා තියෙන දෙයක් තමයි ඕනම කලා නිර්මාණයක් අවසානයේ ආනන්දයෙන් ප්‍රඥාවට යන්න ඕනෙ කියන එක... ඒක හරි සරල දෙයක් කියලා තමයි  බොහෝ දෙනෙකු හිතන්නෙ. ඒකම මම හිතන විදිය තමයි ඕනෑම කලා කෘතියක් ඇතුළේ විනෝදාස්වාදය තියෙන්න ඕනෙ කියන එක... ඒකටනෙ අපි ආනන්දය කියන්නෙ... ඒක තමයි මූලිකවම ඕනෙ වෙන්නෙ. රසවින්දනය කියන එක ප්‍රතිනිෂ්පාදනය කරන්න ඕන. එතකොට ප්‍රඥාව කියන්නෙ නිර්මාණය අවසානයේ ඒ නිර්මාණය ගැන හිතන්න යමක් ඉතුරැ කරන එකට... සරලව කිව්වොත් මිනිසෙකුගේ සිතීම නැත්නම් චින්තනය අවදි කරන්න ඒ නිර්මාණයෙන් ලැබෙන උත්තේජනය. මේ මොහොතේ ලංකාව ඇතුළේ සිනමාව, නවකතාව, කෙටිකතාව, වේදිකා නාට්‍ය ඇතුළු අනිකුත් කලා මාධ්‍ය තුළින් අඩු වැඩි වශයෙන් සිතීමේ උත්තේජනය ලැබී තිබෙනවා. සිනමාව ගැන උනන්දුවක් සහ ඇල්ම තිබෙන කෙනෙක් විදියට මගේ සිතීමේ උත්තේජනය වැඩිකරපු නිර්මාණයක් තමයි ප්‍රසන්න විතානගේ නිර්මාණය කරපු ඉරමැදියම කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටයට මම ගොඩක් ලව් කරනවා... ඒක ප්‍රසන්න විතාන කියන සිනමාවේදියාට තිබෙන ආදරයක් නෙමේ. ඇත්ත වශයෙන්ම මේ කෘතියටයි මම ආදරේ...
මේ චිත්‍රපටය ඇන්ටලොජි කියන කතා ශෛලියට අයිති චිත්‍රපටයක්. මේ වගේ නිර්මාණ ලෝකයේ බොහෝ රටවල නිර්මාණය වෙනවා. ඇන්ටලොජි කතා ශෛලිය කියන්නෙ මුලින් එකිනෙකට වෙනස් කතා කිහිපයක් අවසානයේ එක කතා තේමාවකට ගොඩනගන එකට. කලාව කියන්නෙම ජීවිතය ප්‍රතිනිර්මාණය කරන එකටනෙ... මම දැකපු සුවිශේෂ නිර්මාණයක් තමයි ප්‍රසන්නගේ ඉරමැදියම....

මේ වගේ නිර්මාණ ලෝකයේ තව තියෙද්දී ප්‍රසන්නගේ ඉරමැදියම අතුලට විශේෂ වෙන්නෙ ඇයි?
සිනමාවේදියා කියන්නෙ ආර්ට් කියන විෂය ඇතුළේ සාමාන්‍ය මිනිස්සුන්ට ළඟාවෙන්න බැරි ජනවිඥාන තලයක් ස්පර්ශ කරන කෙනෙක්... ඔහු ඒ ස්පර්ශ කරපු විඥාන තලය  නැවත ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රෙක්ෂකයාගේ චින්තනය අවදිකරන එක තමයි හොඳ කලා නිර්මාණයක් කියන්නෙ. ප්‍රසන්න නිර්මාණය කරපු ඉරමැදියම මට මෙච්චර ළංවෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. මම අනුරාධපුර තඹුත්තේගම නල්අච්චි කියන පුංචි ගමේ ඉපදුණේ අනුරාධපුරය කියන්නෙ යුද්ධයේ අත්දැකීම් ගොඩක් ලබපු ප්‍රදේශයක්. ඒ නිසාම යුද්ධයේ සමහර අත්දැකීම් මම අත්විඳලා තියෙනවා... සමහර ඒවා සියසින්ම දැකලා තියෙනවා. මේ කුරිරු යුද්ධය හේතුවෙන් සමාජ පන්තීන් තුනක මිනිස්සුන් මූණ දෙන්න වෙන ඛේදවාචකය තමයි මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරලා තියෙන්නෙ. යුද්ධය තමයි මේ චිත්‍රපටයේ තීම් එක්... මේ චිත්‍රපටය ඇතුළේ අපිට හම්බවෙනවා මුස්ලිම් පවුලක්. ඒ අයට උන්හිටිතැන් අහිමිවෙලා තමන්ගේ කුඩා දරුවත් එක්ක අසරණවෙලා ඉන්නවා... රෙදි වැරැලි ටිකක් විතරයි ඔවුන්ගේ සන්තකේටම තියෙන්නෙ... මේ චිත්‍රපටයේ තව පැතිකඩ අපිට හම්බවෙනවා අර්ධ නාගරික පරිසරයක ඉතාම සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්. දැඩි ආර්ථික පීඩනයෙන් තමන්ගේ පවුල මිරිකෙද්දී ඒ පීඩනයෙන් ගැලවෙන්න වෙන විකල්පයක් නැති තැනදී හමුදාවට බැඳිලා ක්‍රියාන්විත රාජකාරියේ යෙදිලා නිවාඩුවට ගමේ එන මොහොතේ ගණිකා මඩමකට ගොඩවෙනවා... ඒ වෙලාවෙ තමන්ගේ සහෝදරියව ඒ ගණිකා මඩමෙදි ඔහුට හමුවෙනවා... තමන්ගේ නංගිව මේ වගේ තැනකදි හමුවුණාට පස්සෙ එතැනින් එහාට ඔවුන්ගේ මානව සම්බන්ධතාව නැත්තටම නැතිවීම සහ ඒ තරුණයාගේ ඛේදවාචකය මේ චිත්‍රපටයෙන් කතා කරනවා. මේක අනුරාධපුරයේ බහුලවම තිබ්බ කාරණාවක්. ක්‍රියාන්විත රාජකාරියේ ඉඳලා නිවාඩු එන සොල්දාදුවන්ට ගණිකාවක් සැපයීම. අනුරාධපුරයට අපි කියන්නෙ පූජා නගරය කියලනෙ. ඒ පූජා නගරය ඇතුළේ මතුපිටට නොපෙනෙන දැවැන්ත ඛේදවාචකයක් මේක. තව පැත්තකින් අපිට හමුවෙනවා කොළඹ අගනගරය කේන්ද්‍ර කරගෙන ජීවත්වෙන මාධ්‍යවේදියෙක් මැදිහත්වෙලා සැමියා අතුරුදන් වෙච්ච කාන්තාවකට ඇගේ සැමියාව හොයලා දෙන්න යන්න ජර්නි එකක්... මේ කතාන්දර හැමඑකක් ඇතුළෙම ප්‍රසන්න විතානගේ මිනිස්සුන්ගේ තියෙන මානව හැඟීම් ටික එක තැනකට ගෙනල්ලා තියෙනවා. අන්න ඒකට මම මාරම කැමතියි. මේ විශ්වයේ තියෙන මොන ආර්ට් ඇතුළෙ වුණත් ඔය කියන ආදරය, කරුණාව, වෛරය, ඉවසීම කියන මානව හැඟීම් ටික පොදුයි. අපි හිතනවනම් අපි චිත්‍රපටයක් කරන්න ඕනෙ ලංකාවේ අයට විතරක් කියලා ඒක මහ මෝඩ අදහසක්.  ඒ කාලෙ යුද්ධය සිද්ධවෙච්ච රටක් විදියට සමාජයීය, ආර්ථික, සංස්කෘතිමය, මානව සබඳකම්වල බිඳවැටීම් ආදී සියලුදේ මේ චිත්‍රපටය ඇතුළේ සියුම්ව ලිහන්න උත්සාහ කරනවා. 

හරි අතුල.. මෙච්චරම ආදරය කරන නිර්මාණය ඇතුළේ ඔයා කැමති චරිතය කවුද?
ඒ ප්‍රශ්නය ආහපු ගමන් අතුලගේ මුහුණ හීන් හිනාවක් ආරූඪ වුණා.
ඇත්තටම මට මේ නිර්මාණය ඇතුළේ කැමතිම චරිතය කියලා එකක් කියන්න අමාරැයි. මේ චිත්‍රපටය ඇතුළේ සියලුම චරිත අතිසාර්ථක ලෙස රංගනයෙන් දායකවෙනවා.. ඒකෙන් අපිට පේන්නෙ අධ්‍යක්ෂකවරයාගේ ශූරත්වය තමා.

ඉරමැදිය ඇතුළේ අතුලව සංවේදී කරපු තැනක් මතකද?
ඔව්. ඒ වගේ තැන් කිහිපයක්ම තියෙනවා ඒ අතරින් මම ගොඩක්ම සංවේදී වුණේ.. ගණිකා මඩමේදී අයියාට නංගීව මුණගැහෙන තැන. ඒක මාර ඛේදවාචකයක්.. මටත් නංගි කෙනෙක් ඉන්නවා. මම කොළඹට ඇවිල්ලා දැනට අවුරුදු 18 විතර වෙනවා.. මම කොළඹ ඇවිල්ලා ජීවත්වෙන්න ගත්තට පස්සෙ මට මගේ නංගිගෙ ජීවිතය ගැන බයක් හිතෙනවා. ඒ නිසාම මට පුළුවන් විදියට වියදම් කරලා මම එයාට උගන්වනවා.. එක තැනකදී මට පොඩි විශ්වාසයක් එනවා මගේ නංගිට එහෙම දේකට මුහුණපාන්න සිද්ධවෙන එකක් නෑ කියලා. මං වගේ කෙනෙකුට ඒවගේ සිද්ධියට මුහුණදෙන්න වුණා නම්... මට හිතාගන්නවත් බෑ... එතනින් එහාට මම හිතන්න කැමතිත් නෑ. මගේ ඇඟේ මයිල් කෙළින් වෙච්ච තැනක් තමයි ඒ මොහොත....

මේ චිත්‍රපටය අතුල කීපාරක් බැලුවද... කොහොමද මේක ඔයාට හම්බවෙන්නෙ..?
මේක මම තුන්පාරක් විතර බැලුවා.. මුලින්ම මම මේක බැලුවේ චිත්‍රපට ශාලාවේ..  කොහොමත් මම චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉන්න නිසා අලුත් චිත්‍රපට ගැන උනන්දු. එහෙම උනන්දුවෙන් ඉන්න කාලෙ තමයි මේ චිත්‍රපටය මට මුණගැහෙන්නෙ.

අතුලට මේ චිත්‍රපටයේ එන්ඩ් එකේ මොනවගේ හැඟීමක්ද දැණුනේ..?
මේක මාව වෙන විදියට ඉන්ස්ෆයර් කරපු චිත්‍රපටයක්... හරි මම මෙහෙම කියන්නම් කො..  අපේ සමාජයේ ඉන්න පිළිගත්තෙ කෙනෙක් උදාහරණයක් විදිහට අපි ගුරුවරයෙක් ගමුකො.. සමහර ගුරුවරු දෙයක් උගන්වන්නෙ... මේක මෙහෙම තමයි.. අරක මෙහෙමයි වගේ කියලා.. කවුරු හරි ළමයෙක් වෙනස් දෙයක් ඇහුවොත් එහෙම ඒ ළමයට ටොක්කක් අනිනවා.. නැත්නම් බැණලා එලවනවා. ගුරුවරයාගෙ තග දාලා එයාව නවත්වනවා. ඕක අපේ එඩියුකේෂන් සිස්ටම් එකේ තියෙන අවුලක්. සමහර ඩොක්ටස්ලා ළඟට බෙහෙත් ගන්න ගියාමත් ඔය සිද්ධියමයි. අපිට අපේ ලෙඩේ ගැනවත් අහන්න බෑ. අපිට දැන් වෙලා තියෙන්නෙ අපිට වඩා ටිකක් එහායින් ඉන්න එකෙක් කියන දේ පිළිගන්න එක. අපි ප්‍රශ්න කරන්න යන්නෙත් නෑ. හැබැයි කලාව ඇතුළේ මං විශ්වාස කරන දේ තමයි නිර්මාණවේදියා කිසිම පණිවිඩයක් දෙන්නෙ නෑ.. පණිවිඩ දෙන්න නම් අපි නිර්මාණ කරන්න ඕනෙ නෑ. ලීෆ්ලට් එකක අපිට ඒක ලියලා දෙන්න පුළුවන්නෙ. හැබැයි මම මේ කියන කතාව ගැන වෙන කෙනෙකුට වෙන විචාරයක් තියෙන්න පුළුවන්. ප්‍රසන්න අයියා හරි  පරිස්සම්වෙලා තමයි ඉරමැදිය මේ රූපරාමු නිර්මාණය කරන්නෙ. අන්තිමට අපිට පේනවා එක බස් එකක් යනවා.. ඒ බස් එක ඇතුළේ අර සැමියා හොයන්න ගිය මාධ්‍යවේදියා සහ කාන්තාව ඉන්නවා. ඒ බස් එක ඉස්සරහට යනකොට අර මුස්ලිම් ජාතිකයාත් එයාගේ දරුවත් එකක් බඩු මුට්ටු ටිකත් පොදි බැඳගෙන යනවා. මෙන්න මේ මොහොතෙදි තමයි ප්‍රසන්න විතානගේ කියන අධ්‍යක්ෂවරයාගේ ශූරත්වය අපිට පේන්නෙ.. අපේ තිබුණු මානව සබඳකම් ටික කැඩී බිඳි විසිරී යන්න ප්‍රධාන හේතුව මොකක්ද කියන එක ගැන අපිට නැවත වරක් හිතන්න ඉඩක් ඉතුරුකරලා මේක නවත්වනවා. අපි හැමෝම එකම පාරක එකම ගමනක් යන අය. ඒත් මාධ්‍යවේදියා දන්නෙ නෑ සොල්දාදුවට මොකද වුණේ කියන එක... සොල්දාදුවා දන්නෙ නෑ මුස්ලිම් මනුස්සා මුහුණ දුන්න ප්‍රශ්න ටික මොනවද කියලා... ඉපදුන දා ඉඳන් මැරෙන මොහොත දක්වා අපි නොනවතින ගමනක් යනවා.. මේ ගමන තමන්ගේ ජීවිත අත්දැකීම් ඇතුළේ ලිහාගන්නේ කොහොම ද කියන එක ගැන නැවත හිතාබලන්න ඕනෙ කියන තැනක අපිට එකක් ඉතුරු කරලා ප්‍රසන්න විතානගේ මේ චිත්‍රපටය නවත්වන්නෙ....

 

 

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00