2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ළමයි රංචුවක් පාර මැද එකපාරටම වාහනේ බ්‍රේක් නැතිවුණා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 177

රොහාන්, මුලින්ම විරාජ්ව මුණගැසුණේ කොහොමද?
විරාජ් අයිය මීට කලින් මම මියුසික් වීඩියෝවල දැකලා තිබුණා. ඊට අමතරව විරාජ් අයියා රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයකුත් දැකලා තිබුණා. හැබැයි මම මුලින්ම විරාජ් අයියාව මුණගැහුණේ සංජය නිර්මාල් මහතා අධ්‍යක්ෂණය කරන සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍ය හරහායි.

විරාජ් මොනවගේ කෙනෙක්ද?
විරාජ් අයියා කියන්නේ අනිත් අය ගැන හරියට හිතන කෙනෙක්. ඒ වගේම හරිම සංවේදී පුද්ගලයෙක්. මට දැනෙන විදිහට ඇත්තටම අනිත් අයට වඩා ඒ සංවේදීකම වැඩිද මන්දා. පුංචි දෙයක් ඇති එයාගේ හිත රිදෙන්න.

සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයේ විරාජ්, ධනංජය, රොහාන් කියන්නේ එකටම රඟපාන චරිත තුනක්. රෑගතකිරීම් අතරතුරේදී ලැබෙන විවේක වෙලාවලදී මොනවද කරන්නේ?
අපි තුන්දෙනා එකතුවෙලා සෙල්ලම් කරන වෙලාවලුත් තියෙනවා. තුන්දෙනා එක්ක පැත්තකට වෙලා කයිය ගහන් ඉන්න වෙලාවලුත් තියෙනවා. තුන්දෙනා එක්ක ලොකු වාද විවාද කරන වෙලාවලුත් තියෙනවා. අපි රඟපෑම ගැන කතා කරනවා. ඇත්තටම අපි තුන්දෙනා එකතු වුණාම කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි සමහර වෙලාවට අනිත් අයගෙන් බැණුම් අහන වෙලාවලුත් තියෙනවා. පොඩි එවුන් වගේ වැඩ නොකර ඉඳහල්ලා කියලා ඒ අය කියන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් අපි එකතු වුණාට පස්සේ තොරතෝංචියක් නැතුව කියවනවා. අපිව සමහර වෙලාවට දකින අයට පොඩි එවුන් වගේ පෙනුනට අපි තුන්දෙනා ඒ වැඩේට ගාණට සෙට් වෙනවා.

විරාජ්ට කේන්ති යනවද?
නැහැ. කේන්තිනම් යන්නේ නැහැ. එයා බොහෝ දුරට බොහෝ දේවල් ඉවසන කෙනෙක්. එහෙම ඉවසගෙන ඒ හැමදෙයක්ම එයා තුළම තියාගෙන ඉන්නවා. අන්තිමට ඒ කේන්තිය එළියට දාන්නේනම් ඉතාමත්ම කලාතුරකින්. මම එහෙම කේන්ති යනවා දැකලා නැති තරම්. හැබැයි කේන්ති යන එක එයාම විඳගෙන එයාම ඒ ගැන පසුතැවිලි වෙමින් එයා අතින් මොනවහරි යම් වැරැද්දක් වෙලාද කියලා හිතමින් පසුතැවිලි වෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා අවසානයේදී ඒ කේන්තිය දුකක් බවට පරිවර්තනය කරගන්න අවස්ථානම් මම දැකලා තියෙනවා.

විරාජ්ගේ විලාසිතා ගැන රොහාන් මොකද හිතන්නේ?
එයා විලාසිතාවලට ගොඩක් කැමතියි. එයා යම් දේවල් ටිකක් එයාම හදාගෙන තියෙනවා. එයාගේ විදිහක් තියෙනවා. ඒ විදිහ තුළ තමයි විරාජ් වැඩ කරන්නේ. පාට පාට දේවල් එක්ක වැඩ කරන්න එයා ගොඩක් කැමතියි. එයා ලස්සනට, පිරිසිදුවට ඉන්න හරි කැමතියි. එයාව එකම විදිහට නොදකිනවට එයා හරි කැමතියි. එයා එක එක වෙලාවට එක එක විදිහට දකිනවට හරි ආසයි. ඒ නිසා අපිට හැමවෙලේම විරාජ් අයියාව අලුත් වෙනවා. රූගත කිරීමකදී වුණත් රාමුවෙන් රාමුවට එයා වෙනස් වෙනවා. එයාගේ ආභරණ පවා එයා වෙනස් කරගන්නවා. ඒ හැම දෙයක්ම විරාජ් අයියා ළඟ තියෙනවා. ඒ වගේම එයාගේ පෞද්ගලික ජීවිතෙත් එයා එහෙමයි. දරුවන් දෙන්නට අන්දවන පළඳවන විදිහ වුණත් හරි අපූරුයි. මට වුණත් විරාජ් අයියා කියන්නේ ලස්සනට හිටපන් මල්ලි කියලයි. මම ඇඳුම් ගැන ලොකුවට සැලකිල්ලක් දක්වන කෙනෙක් නෙවෙයි. මම ඔය තියන දෙයක් අඳින කෙනෙක්. මම මොකක්හරි දේකදි ලස්සනට ඇන්දොත් එයා එවෙලේම ඒ... මරු. ඕක ලස්සනයි මල්ලි කියලා කියනවා.

විරාජ් සහ රොහාන්ට අමතක නොවන සිදුවීමක් වෙලා නැද්ද?
අම්මෝ තියෙනවා. ඇත්තටම ඒක විරාජ් අයියාගේ වැරැද්දක් නෙමේ. වාහනයේ වැරැද්දක්. හැබැයි ඉතින් වාහනය පැද්දේ විරාජ් අයියා. ඒ නිසා ඒක අමතක වෙන්නේ නැහැ. විරාජ් අයියා වාහනවලට හරියට ආදරය කරන කෙනෙක්. වාහන ගැන හරියට සැලකිල්ලක් දක්වන කෙනෙක්. ඉතින් ඔන්න සිල්ලර සමනල්ලු පටන්ගත්තු පළවෙනි දවසෙම තමයි මේ අමතක නොවුණ සිදුවීම වුණේ. ඒ දුඹුරු ලමිස්සී වෑන් එක නිසයි. ඒ වෑන් එකේ යද්දි බ්‍රේක් නෑ. යද්දිම විරාජ් අයියා කිව්වා මේකේ බ්‍රේක් අඩුයි කියලත්. ඇත්තටම පැටියා කියන චරිතය මුලින්ම මට දීපු චරිතය. නමුත් මට වාහන එච්චර ෂුවර් නැති නිසා අපි දෙන්නට චරිත දෙක මාරු කරලා දුන්නා. ඔන්න ඉතින් සෑහෙන වේගෙන් දුඹුරු ළමිස්සී වෑන් එක අරගෙන යද්දි ඇත්තටම වාහනයේ බ්‍රේක් නැති වුණා. එතැනදී විරාජ් අයියා කලබල වුණේ නැහැ. පාරේ හැමතැනම ළමයි යනවා. විරාජ් අයියා කියන්නේ ළමයි ගැන හරියට සංවේදී කෙනෙක්. ඒ නිසා පාරේ යන ළමයින්ට අනතුරක් වෙයිදෝ කියන බය විරාජ් අයියට තිබුණා. ඒක බේරගන්න ට්‍රයි කරලා අන්තිමට වාහනය ගිහින් හැප්පුණා. හැබැයි කාටවත් කිසිම කරදරයක් වුණේ නැහැ.

විරාජ්ගේ කම්මුලකට අනතුරක් සිදුවුණ දවසෙ මොකද වුණේ?
ආ... ඒකත් අමතක වෙන්නේ නැහැ. ඒක රූගත කිරීමක් අතරතුරේදී මොකද්දෝ දෙයක් හරිම තදින් විරාජ් අයියාගේ කම්මුලේ වැදුණා. ඒ වෙලාවෙනම් එයාට ගොඩක් රිදුණා. අපි ඉක්මනට එයාව හොස්පිටල් අරන් ගියා. එයා කොච්චර සංවේදී වුණාද කියනවානම් එයා මහත් අමාරුවෙන් මට මොනවහරි වුණොත් මගේ පොඩි කෙල්ලයි කොල්ලයි පව් බන් කියලා කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මටයි, සහය අධ්‍යක්ෂක තරංග අයියටයි ගොඩක් දුක හිතුණා. අමාරුවෙන් ඉඳිද්දි එයා ඇහුවෙත් මතක් කළෙත් ඒ පොඩි එවුන් දෙන්නා ගැනයි. ඒ දෙන්නා ගැන තමයි එයා බය වුණේ.

ඒ  කියන්නේ විරාජ් හොඳම හොඳ තාත්තා කෙනෙක්?
ඔව්.. අනිවාර්යයෙන්ම. විරාජ් අයියා කියන්නේ අදටත් මම ගරු කරන තාත්තා කෙනෙක්. යාළුවෙක්ට වඩා මම හරිම ආස ඒ විරාජ් කියන තාත්තාටයි. හැමදාම එයා වයිෆ් එක්ක වගේම දරුවන් දෙන්නා එක්කත් කතා කරනවා. එයා බබාලා දෙන්නට කතා කරන විදිහක් තියෙනවා. ඒ දෙන්නට කියන්නේ අක්කයි මල්ලියි කියලා. එයාට දෙන්න තියෙන උපරිම දේවල් ඒ දෙන්නට දෙනවා. ඇත්තටම එයා ආඩම්බරකාර තාත්තෙක්. මම ඒ තාත්තාට හෙන ආදරෙයි.

ඒ වගේ තාත්තෙක් යාළුවෙක් විදිහට ඇසුරු කරන්න ලැබීම ගැන රොහාන් මොකද හිතෙන්නේ?
මමත් පොඩි අයට හරි ආදරෙයි. හැබැයි මම විරාජ් අයියාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. සමහර සංවේදී නොවන තැන් විරාජ් අයියට සංවේදී වෙනවා. එයා එයාගේ ජීවිතේ දේවල් අපිට කතාන්දර විදිහට කියලා දෙනවා. ඒ දේවල් එක්ක මට හදාගන්න බොහෝ දේවල් තියෙනවා. මම දකින ඒ සුන්දර තාත්තාට මම හරි ආදරෙයි. දවසක ඒ වගේ තාත්තා කෙනෙක් වෙන්න මමත් හීන දකිනවා. එයාට පොඩි කාලේ අහිමි වෙච්චි සියලු දේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එයාගේ දරුවන් දෙන්නට එයා දෙනවා. එයා පොඩි කාලේ ජෙලි කන්න ආස කරලා තියෙනවා. කොහෙන්දෝ මන්දා විරාජ් අයියට මෑත කාලෙදි ලොකු ජෙලි බෝතලයක් ලැබිලා තියෙනවා. එයා ළමයින්ට දීලා තියෙන්නේ ජෙලි බෝතලේ. නමුත් විරාජ් අයියට ජෙලි කන්න ලැබිලා නැහැ. දරුවන් දෙන්නටත් ජෙලි කිව්වට ඒ දෙන්නා කාලත් නැහැ. හැබැයි ඒ වෙලාවේ විරාජ් අයියා මට කිව්වේ ඒ දෙන්නා කන නොකන එක මට වැඩක් නැහැ මල්ලි. මට ඒ කාලේ කන්න ලැබුණේ නැහැ. ඒ වුණාට ඒ දෙන්නා ඒක අතපත ගාලා විසික් කළත් මට කමක් නෑ. කියලා. විරාජ් අයියාගේ වයිෆ් අහල පහළ දරුවන්ට ඒක බෙදලා දීලා තිබුණා. ඒකෙන් විරාජ් අයියා ලොකු සතුටක් ලැබුවා. ඒ හරිම හොඳ සුන්දර මනුස්සයා මගේ ජීවිතේ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න ලැබීම මගේ වාසනාවක්.

ඔන්න ඉතින් රොහාන් එහෙම විරාජ් ගැන කියපු එකේ... අපි දැන් විරාජ් රොහාන් ගැන කිව්වෙ මොනවද අහලා බලමුද?
විරාජ් ඔයාට රොහාන්ට මුලින්ම මුණගැහුණේ සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයෙන්. ඊට කලින් රොහාන් රඟපාපු ටෙලිනාට්‍ය විරාජ් දැකලා තිබුණද?
ඔව්. නමුත් ඊට කලින් මම රොහාන් ගැන දැනගෙන හිටියා. ඇත්තම කිව්වොත් මම රොහාන්ගේ හොඳ ප්‍රේක්ෂකයෙක්. රොහාන් ඒ වෙද්දි කෝටිපතියෝ නාට්‍යයට සම්බන්ධ වෙලයි හිටියේ. ඒ වෙද්දි රොහාන්ට බොහෝ දෙනා ආදරේ කළා. රොහාන්ව බොහෝ දෙනා දැනගත්තේ කොමඩි කලාකරුවෙක් විදිහට. අපිට කාලෙන් කාලෙට ඒ වගේ කොමඩි චරිත බිහිවුණා. නව පරපුරේ ඉතා දක්ෂ කොමඩි කලාකරැවා විදිහට තමයි මම රොහාන්ව දකින්නේ. ඒ වගේම ඔහු ඉතා දක්ෂ නළුවෙක්.

සිල්ලර සමනල්ලු රඟපාන්න ආවට පස්සේ රොහාන් මොනවගේ යාළුවෙක්ද?
රොහාන් හොඳ යාළුවෙක්. කාලෙන් කාලෙට අපිට එකතුවෙලා යාළු මිත්‍රයෝ වෙනස් වෙනවා. පොඩි කාලේ මුණගැහෙන යාළුවෝ, ඉස්කෝලෙ යාළුවෝ, රැකියාවේ යාළුවෝ වගේ බොහෝ යාළුවෝ අපිට ජීවිතේ මුණගැහෙනවනේ. සිල්ලර සමනල්ලු හරහා මට හොඳ මිත්‍රයෙක් මුණගැහුණා. ඒ වගේම තමයි ධනංජයත්. අපි තුන්දෙනා එකට තමයි මේ නාට්‍යයේ රඟපාන්නේ. මම මීට කලින් ටෙලි නාට්‍ය හතරක වගේ තමයි රඟපාලා තියෙන්නේ. ඉතින් මාව බොහෝදෙනා දන්නේ මියුසික් වීඩියෝ හරහායි. ඒ නිසා එහෙම මියුසික් වීඩියෝවල හිටපු මම කොමඩි චරිතයක් කරන්න බාර දෙද්දි ඒක මට ලොකු අභියෝගයක් වුණා. මේ වෙනකොට කොමඩිවලින් ඉතා ජනප්‍රිය රොහාන් වගේ කෙනෙක් එක්ක රඟපෑමත් මට ලොකු අභියෝගයක් වුණා. ඉතින් රොහාන් එහෙම ජනප්‍රිය කොමඩි චරිතයක් වෙද්දි ධනංජය සිරිවර්ධන ලංකාවේ දක්ෂ නළුවෙක් වෙද්දි මාව නවකයෙක් විදිහට ඔවුන් දෙදෙනා එක්ක එකතු කිරීම ඇත්තටම මට ලොකු චැලේන්ජ් එකක්. ඉතින් මම පැටියා කියන චරිතය හරියට කළේ නැත්නම් මොකද වෙන්නේ? එහෙමනම් මගේ මේ පටන්ගැන්මම ඉවරයි. ඒ නිසා පැටියා හොඳින් කරන්න ධනංජයගෙන් වගේම රොහාන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. රොහාන් කියන්නේ අධ්‍යාපනයක් ඇතිව රංගනයට ආපු කෙනෙක්. ඔහු විශ්ව විද්‍යාල උපාධිධාරියෙක්. රොහාන් ගාව රංගනයට අවශ්‍ය මූලික පදනම තියෙනවා. ඔහුගෙන් මම ඉගෙනගත්තු දේවල් බොහෝයි.

රොහාන්ට කේන්ති යනවද?
රොහාන්ට කේන්ති යනවා. හැබැයි ඔහු හැමෝම ගැනම හිතනවා. කේන්තිය ඉවසලා බැරිම තැනකදී තමයි ඔහු ඒ කේන්තිය පිට කරන්නේ. රොහාන්ට තරුවක් වෙන්න ඕනේ කියන අදහසක් කොහෙත්ම නැහැ. ඇත්තටම රොහාන් ජනප්‍රිය වෙලා ඉවරයි. ජනතාවගේ ආදරය රොහාන්ට තියෙනවා. මේ පාර සුමති සම්මාන උළෙලේදීවත් රොහාන් නිර්දේශ වුණේ නැහැ. ඕක ගැන මම කතා කරද්දී මට දෝෂාරෝපණ ගොඩක් ආවා. ඔය සම්මාන ක්‍රමය ඇත්තටම වැරදියි. හැබැයි ජනතාවගේ සම්මානය රොහාන්ට තියෙනවා. ඒ හොඳටම ඇති.

රූගතකිරීම් නොකරන වෙලාවෙත් රොහාන් විනෝදකාමිද?
ඔව්. අපි දකින විනෝදකාමී චරිතයට වඩා එයා හරි අපූරු චරිතයක්. ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා. ඔහු හොඳ දැනුම් ගබඩාවක් සහ මම මේ හදවතින්මයි කියන්නේ. අපිට මුහුණු තිබුණා. දැන් ඒ මුහුණුවලින් හොඳ චරිත ඉතිරි වෙලා තියෙනවා. මේ මුහුණ මම දකින්නේ ජෝ අබේවික්‍රම මහතාට සමානවයි. ඒ හැඩරුවක් එහෙම වෙනස් කරන්න පුළුවන් දක්ෂ නළුවෙක් විදිහට මම රොහාන්ව දකිනවා. ඇත්තටම රොහාන් කියන්නේ දක්ෂ නළුවෙක් සහ හිත හොඳ මිත්‍රයෙක්. 
 

► Text - Dishani  /  Pic - Sumudu 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00