2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

විසිපහ සමරන්න යායට සඳ පානයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

යායට සඳ පානයි ගී ප්‍රසංගය ගැන අපි මුලින්ම කතා කරමු.
ඔව්. මගේ යායට සඳපානයි ගී ප්‍රසංගය දෙසැම්බර් මාසේ හත්වැනි සිකුරාදා සවස 6.30ට පානදුර පුරහලේදී පවත්වන්න කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. මම සංගීතය ඉගෙන ගන්න ආරම්භ කරලා දැන් අවුරුදු විසි පහක් වෙනවා. ඉතින් අවුරුදු විසි පහක් පිරීම නිමිති කොටගෙන තමයි මේ යායට සඳපානයි ගී ප්‍රසංගය පවත්වන්න තීරණය කළේ.

දිනේෂ් ගමගේ ඔබ සංගීතය ආරම්භ කළේ ළමා කාලයේදිද?
ඔව්.. පුංචි කාලේ ඉඳන් මම සංගීතයට හරි කැමතියි. ඉස්කෝලෙදිත් මම ගීත ගායනා කරලා තියෙනවා. හැබැයි එකදිගට සංගීතය කරන්න පටන්ගත්තේ සාමාන්‍ය පෙළ කරන කාලෙදි තිබුණ සිසු හමුවකදී. සුනිල් ශ්‍රී ලාල් සර්ගේ සිසු හමුවකදී මාත් ගීතයක් ගායනා කළා. එදා මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එදත් මම ඒ ගීතය ගායනා කළේ පානදුර පුරහලේදියි.

පුංචි කාලෙත් දිනේෂ් ආසාවෙන් හිටියේ ගායකයෙක් වෙන්නද?
මම ඉගෙනගත්තේ මොරටුව වේල්ස් කුමර විදුහලෙයි. සාමාන්‍ය පෙළ කරන කාලෙදිම සංගීතය පැත්තට යොමුවුණ නිසා සංගීත පැත්තෙන්ම ඉදිරියට යන්න මම ආස කළා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. හැබැයි ව්‍යාපාරිකයෙක් වෙනවට වඩා මම ගායකයෙක් වෙන්න ඇළුම් කළා.

ගායකයෙක් වෙන්න හීන දැකපු දිනේෂ් ගායකයෙක් වුණේ කොහොමද?
උසස් පෙළ විභාගය අවසන් වුණාට පස්සේ මම මොරටුව NEXT කණ්ඩායමට එකතු වුණා. හැබැයි මුලින්ම සිසු හමුවේ ගායනා කළාට පස්සේ සුනිල් ශ්‍රී ලාල් සර් හරි අපූරු යෝජනාවක් කළා. ඒ තමයි දිනේෂ් ඊළඟ අවුරුද්දේ ඔයාලගේම සංගීත කණ්ඩායමක වාදනය කරනවා දකින්න ආසයි කියලා. ඊට පස්සේ නිශාන්ත ශාන්ත පීරිස්, ශාමේන්ද්‍ර, කුලේන්ද්‍ර, ලසන්ග වගේ යාළුවෝ කට්ටියක් එකතු වෙලා ශාමේන්ද්‍ර විත් පයිලට් කියලා පොඩි සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඊට ටික කාලයකට පස්සේ තමයි මොරටුව NEXT සංගීත කණ්ඩායමට එකතු වුණේ. ඒකෙන් බොහෝ හෝටල් සංගීත ප්‍රසංගවලට ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා.

ඊට පස්සේ ඔබ ගීතයක් නිර්මාණ කළා?
ඔව්... මට සරත් ගුණවර්ධන මහතා මුණගැහුණට පස්සේ අපි තුන්දෙනෙක් එකතු වෙලා ත්‍රිත්ව වාදක කණ්ඩායමක් පටන් ගත්තා. ඒකෙදි තමයි මම මුලින් ගීතය නිර්මාණය වුණේ කවිකාර සිතේ කියන ගීතයයි. ඒක පද රචනා කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. සංගීතය නවරත්න ගමගේයි. ඊට පස්සේ මම කවිකාර සිත කියලා කැසට් පටයක් නිර්මාණය කළා. ඒ කැසට් එකේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ, මහේෂ් රත්සර මද්දුමආරච්චි, ශාන්ත ජයලත් තිසේරා, කැළුම් ශ්‍රීමාල්, සුමුදු වෙත්තසිංහ, සරත් ගුණවර්ධන ගී පද රචනා කළා. සංගීතයෙන් නවරත්න ගමගේ, ශාන්ත ජයලත් තිසේරා, රෝහණ වීරසිංහ, අජිත් ජයවීර, අශෝක කෝවිලගේ ආදි ප්‍රවීණයන්ගේ සහයෝගය ලබා දුන්නා.

යායට සඳ පානයි ගී ප්‍රසංගය කාගේ අදහසක්ද?
මහේෂ් නිශ්ශංක මහතා ජාතික රූපවාහිනියේ කරන සිහිනයකි රැ ප්‍රසංගයට මමත් සහභාගී වෙලා තියෙනවා. මහේෂ් අයියා තමයි මෙවැනි ගී ප්‍රසංගයක් පවත්වන අදහස මගේ හිතට මුලින්ම දැම්මේ. ඇත්තටම මටත් ගොඩක් ආස හිතුණා. මහේෂ් අයියා මට ගොඩක් උදව් කළා. ඒ වගේම මගේ බිරිඳ දර්ශිකා, මගේ දියණියන් දෙදෙනා, මගේ මල්ලිලා දෙන්නා වන රුමේෂ් සහ සුරේෂ් ඇතුළු මගේ යාළුවන් මට ගොඩක් උදව් කරනවා.

දිනේෂ්ගේ දියණියන් මෙම ප්‍රසංගයේ ගීත ගායනා කරනවා නේද?
ඔව්.... මගේ දුව ගොඩක් දක්ෂයි. එයා පාසල් මට්ටමේ ගී තරග බොහෝමයක ජයග්‍රහණ ලබලා තියෙනවා. දුවගේ නම නොසිඳි චතුරංගි. ඉතින් දුවත් මේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා. ඒ වගේම මෙම ප්‍රසංගයේ රජීව් සෙබෙස්තියන්, ශානිකා මධුමාලි, ඉමල්කා තිළිණි, රවි මුදුන්කොටුව, නිශාන් පුෂ්පකුමාර, නිදුෂ් ලක්මාල්, ඉරංග ජයනාත් ගීත ගායනා කරනවා. මෙහි සංගීතය  මෙහෙයවන්නේ චතුර ප්‍රසාද්. යායට සඳපානයි සංගීත ප්‍රසංගයේ රවී සිරිවර්ධන, දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, දයාල් ප්‍රනාත් යන මහත්වරු ආරාධිත දේශන පවත්වනවා.

 

► Text — Dishani  /  Pic – Internet

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00