2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

දැහැන

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

කවදාවත් කිසිවකුගෙන්වත් කිසිවක් බලාපොරොත්තු නොවී සිටින තාක් ඔබට සතුටින් සිටිය හැකියි... සොක්‍රටීස් ඔබ හරි... ජීවිතය අත්හැරලා ජීවත් වෙන්න බෑ... ඒත් හදවත දහසක් වෙලීම්වලින් නිදහස් කරගන්න කරගන්න මම වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හිතුවිල්ලෙන් මිදෙන්න මිදෙන්න සතුට ඇවිත් හිතේ නවාතැන් ගන්නවා... කවුරැත් කාටවත් ආදරය කරන්නෙ නෑ... ඒ නිසා ඔබ ඔබට ආදරය කරන්න... ඔබ ආදරය කරන කෙනෙක් අත්නොහැර බැරි අවසාන මොහොතක් ආවොත් ඒ අවසාන මොහොතේදී ඔබ එයාව අත්හරින්න... ආදරය කරන කෙනෙක්, මට මගේ මුළු ජීවිතයම කියලා හිතන කෙනෙක් අත්හැරලා දාන්න පුළුවන්ද ඒ විදිහට... අත්හැරලා ජීවත් වෙන්න පුළුවන්ද මට? ඔයා මගෙන් එහෙම ඇහුවොත් මගේ උත්තරය ඔව් පුළුවන්... ඔයා එයාව අත්හරින වේගයට වඩා දහස් ගුණයක් වේගයෙන් ඔයා ඔයාව අල්ලගන්න... මුළු ලෝකයම දෙපාමුල කඩාගෙන වැටුණත් ජීවිතය දිහා කෙළින් බලන්න... හැම අතක්ම අත්හැරෙද්දීත් ඔයා ඔයාගෙ අත හයියෙන් අල්ලගන්න. ඔයාගේ අත ඔයාට තරම් ආදරයෙන් අල්ලගන්න මේ ලෝකේ කාටවත් බෑ... ඔයාව ඔයාට තරම් තේරුම්ගන්න... කියවන්න ආදරය කරන්න කාටවත්ම බෑ සහ කවුරුවත්ම නෑ... පපුව පැලෙන්න ආදරෙයි කියන කිසිම පපුවක් වේදනාව වෙනුවෙන් පැලුණත් ආදරේ වෙනුවෙන් පැලෙන්නෙ නෑ... වේදනාව වෙනුවෙන් පැලෙන්නෙත් ඔයාට තියෙන ආදරේට නෙවෙයි, තමන් තමන්ට තියෙන ආදරේට... තමන් වින්ඳ තමන් සුවපත් කළ ප්‍රේමය තමන් හැරගිය දවසක කෙනෙක් අඬන්නේ ඒ රික්තකය... ඒ හිස්තැන දනවන වේදනාව ප්‍රකම්පනය තමන්ව රිදවන නිසා මිසක් අත්හැර ගිය ඔයා වෙනුවෙන් තියෙන ආදරයට නෙවෙයි... බැඳීමට. ඒ බැඳීම අස්සේ ගැඹුර පිරික්සමින් එහි අවසාන නැවතුම ළඟ නැවතෙන්න... පිරික්සන්න... ඒ බැඳීම අස්සේ තියෙන්නේ තමන්ගේ හිතසුව පිණිස ඔබ අනෙකාගෙන් ලබාගත් සාධක පමණයි... ආත්මාර්ථය විතරයි අවසානයේ ආදරයේ නිර්වචනය....

මම කාටද ස්තූති කරන්නේ ඒ ඇත්ත මට හොඳින්ම කියලා දුන්නට... ඔයාට දවසක එහෙම හිතුණොත් ඔයා ඔයාගේ ජීවිතේ මුණගැහුණු හැම කෙනෙකුටම බොහෝමත්ම ස්තූතියි කියන්න... මාව කියවන්න... අනේ මාව අහගෙන ඉන්න... මට කියන්න ඕන හැමදේම කියන්න ඉඩක් දෙන්න... ඔයා කවදාවත් කාගෙන්වත් එහෙම ඉල්ලන්න එපා... තත්ත්පර ජීවිතය වෙනුවෙන් නෙවෙයි මිලක් වෙනුවෙන් වෙන්කරපු ලෝකයකින් ඔයා අනේ මාව අහගෙන ඉන්න මට තත්ත්පරයක් දෙන්න කියන ඉල්ලීම කරන්න එපා... මම දකින ජීවිතය ඔයා දකින ජීවිතයට වඩා වෙනස් ඇති... යහපත් ශක්තිමත් ආර්ථිකයක් අධ්‍යාපනයක් සහ සාර පල කියන අත්තිවාරම උඩ ගොඩනගන විසල් මන්දිරයකට මම ජීවිතය කියන්නෙ. ඒ මන්දිරය සරසන සියලු අලංකරණයන් මම දකින්නේ අධ්‍යාත්මික සාරයන් විදිහට... ඒ මන්දිරයේ සඳලුතලය තමයි ප්‍රේමය... අහස පොළොව අතර සියල්ල විඳින්න ඔයා ඒ සඳලුතලයට එන්න ඕන... තරැ විසුල අහස් යට... අමාවක කළුවර අහස් යට ඔයා ඒ සඳලුතලයට වෙලා ඉන්න ඕනෑ... හැබැයි ඔයා ඔයත් එක්ක ඒ මන්දිරයේ සියල්ල බෙදාගන්න සඳලුතලයට කැඳවන්නේ කවුද කියන එක හදවත නිදිගන්වලා ඔයා ඔයත් එක්කම කතා කර කර තීරණය කරන්න... එහෙම නොවුණොත් නොහිතුව ඇසිල්ලක ඒ මන්දිරයම කඩාගෙන වැටෙන්න පුළුවන්.

මම ලෝකය දකින්නේ ප්‍රකෘතිය මරාදමමින් විකෘතිය මත ගොඩනැගූ අනන්තයක් විදිහට... ගැහැනියක් පිරිමියෙක් රමණයෙන් සිරුරු බෙදාගන්න මොහොතක අපි අපේ සිරැරැවලින් නිරුවත්... ඒත් ප්‍රකෘතිය මරණයෙන් උත්ථාන කරන තුරු අපිට මනසින් සළුපිළි උනා දමා මේ මහපොළොව මත හිටගන්න බෑ... අපි කාගේ හරි වහලෙක්... යටත් වැසියෙක් හිරකාරයෙක්. නියතුඩක ගල්වන පාට බින්ඳේ ඉඳන් සියල්ල කාගෙ හරි වුවමනාවක්... ඉල්ලීමක්... වහල්කමක්... ඔයාට සියල්ල මඟහැරිලා... ඔයාට ඔයත් මඟහැරිලා... අපි ආදරය ඉල්ලන්නේ තමන්ට තමන්වත් මඟහැරුණු විශ්වයකින්. 

ඒ කොහෙවත් ආදරය ප්‍රේමය නෑ... තියෙන්නෙ බැඳීම් විතරයි... බැඳීම් කියන්නේ ආත්මාර්ථයේ උල්පත... ඒ උල්පතින් ආදරයේ නිකැළැල් දිය බුබුළක් හරි උනනවා කියලා ඔයා හිතනවානම් මට හිතෙන්නෙ ඔයාට වැරදිලා... ඔයා වෙනුවෙන් කෙනෙක් ප්‍රදානය කරපු තත්ත්පරය කවදා හරි එයා නිර්වචනය කළොත් කරදරයක් කියන වචනයත් එක්ක එදායින් පස්සෙ ඔයා එයාගෙන් ආදරය ඉල්ලන්න එපා... නොඉල්ලා කිසිවක්ම ආපසු ආදරය කළ හැකිනම් පමණක් එයාට ආදරය කරන්න. අපට කවදාවත් සොබාදහමේ අංශුමාත්‍රයක්වත් වෙන්න බෑ... අසෙනි වැහි වැහැලා වතුර කඳ මහපොළොව පාරද්දී ඔයා ඒ මහ වැස්සට දොස් කියන්න එපා... හීන් හුළං රැලි චණ්ඩ මාරුත වෙද්දී ඔයා ඒ මාරුතයන්ට දොස් කියන්න එපා... අළු පාට වලාකුළු ඇවිත් හඳ හංගද්දී තරු එළි නිවාදමද්දී ඔයා ඒ වලාකුළුවලට දොස් කියන්න එපා... සොබාදහමේ නිදහස ළඟට ගිහින් එහි ගැටෙන මිනිස්සුන්ගේ මිසක් සොබාදහමේ කොතනකවත් කිසිඳු සංසිද්ධියක් අස වැරැද්දක් නෑ... මිනිස්සුන්ගේ පපුව පැලෙන්න ආදරෙයි කියන හදවත් ඇතුළෙ නැති සැබෑ ආදරයක් සොබාදහමේ සුළං රැල්ලකත් තියෙනවා. 
ආදරය හරි අසුන්දරයි...

ඒත් ජීවිතය හුඟක් සුන්දරයි... වරද්දාගන්න ඉස්සර ඒ ඇත්ත තේරුම්ගන්න...

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00