මේ දවස්වල මොනවද කරන්නේ...?
මේ දවස්වල සංදර්ශන නම් ටිකක් අඩුවෙලා තිබුණා. හැබැයි ඉදිරි සතිවලදී සංදර්ශන කිහිපයකටම ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒ අතරේ විවාහ උත්සවවලටත් ආරාධනා ලැබෙනවා. ඒ දේවලුත් එක්ක කාලය ගෙවෙනවා.
ඔබේ ළමා කාලය ගැන මතකය අවදි කළොත්...?
මගේ ගම කිරුළපන... මම බොහෝම දුප්පත් පවුලක තමයි ඉපදුණේ. මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා මුර රැකියාවක් කළේ. අපේ පවුලේ දරුවන් හත් දෙනෙක් හිටියා. ඒ හැමෝම බලාගත්තේ තාත්තාගේ පුංචි රැකියාවෙන් ලැබුණු වැටුපෙන්. ඉතින් බොහෝම අමාරුවෙන් කාලය ගතකළේ.
ඔබ අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද...?
පාසල් දෙකකින්ම මම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම වැල්ලවත්ත ලංකාපුර බාලිකා විද්‍යාලයෙන්. ඊට පස්සේ නුගේගොඩ සමූද්‍රදේවී බාලිකා විදුහලෙන් අවසානය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ මම හැමදේටම හරිම දක්ෂයි. සමස්ත ලංකා තරගවලට සහභාගීවෙලා බොහෝ ජයග්‍රහණ හිමිකර ගත්තා. අපේ පාසලේ විදුහල්පතිතුමිය වුණු ෆොන්සේකා මහත්මිය මට බොහෝ උදව් කළා. මම වැඩිපුරම ජනප්‍රිය වුණේ නර්තනයෙන්.
ළමා කාලයේදී දඟ චරිතයක් ද...?
අපේ පවුලේ අක්කයි අයියයි දඟ දෙන්නෙක් නෙමේ. හැබැයි මම පොඩ්ඩක් දඟයි. අනික් අයගේ වැරදි අම්මට තාත්තාට කියන්නේ මමයි. අපේ තාත්තාට වඩා අපේ අම්මා අපිට ගොඩාක් සැරයි. ඉතින් ඒ නිසා අපි බොහෝම කීකරුව හැදුණා. අපි හැමෝම උදේ පාසලට යද්දී අපේ අම්මා හැමදෙයක්ම බලලා තමයි ඉස්කෝලෙට යැව්වේ. පාසල් ජීවිතේදී පාසල් යාළුවෝ හැමෝම මට හරි ආදරෙයි. මගේ හැමදේටම ඒ අය උදව් කළා. මට ගොඩාක් යාළුවෝ හිටියා. පාසල් කාලෙදී මම බොහෝම ජනප්‍රිය චරිතයක්.
ගුවන්විදුලියට සම්බන්ධ වුණේ කොහොමද...?
මම පොඩි කාලේදීම බලපොකුණ සාදු දහම් පාසලෙන් ඉගෙන ගත්තා. දහම් පාසල් තරගයකින් ජයග්‍රහණය කළා. ඒ තරගයේ ප්‍රධාන අමුත්තා වුණේ කරුණාරත්න අබේසේකර මහත්තයා. ඔහු තමයි මාව ගුවන්විදුලියේ ළමාපිටියට එක්කගෙන ගියේ. එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති.
ඔය කාලේදී ඔබ ජයමංගල ගාථා එහෙමත් ගායනා කරනවා නේද...?
හරියට හරි... ඒ කාලේ හරි සුන්දරයි. අපේ යාළුවෝ කණ්ඩායමක් හිටියා. ඉතින් ගාථාව කියවලා ඉවර වුණු ගමන් අපි හැමෝටම ලියුම් කවරයක් දෙනවානේ. ඒ කාලේදී අපිට ලැබෙන්නේ රුපියල් දෙකයි. හැබැයි ඒ කාලේදී ඒක ලොකු ගාණක්. සමහරදාට අපිට රුපියල් දහයකුත් දෙනවා. හැබැයි ඉතින් ඒ වෙලාවට ඒක මාරයි. එදාට ගෙදර යන්නේ හරිම සතුටින්.
ළමාපිටියේ කොපමණ කාලයක් හිටියද...?
මම අවුරුදු දාසය වෙනකන් ළමාපිටියේ හිටියා. එතනින් සරල ගී පරීක්ෂණයට ඉදිරිපත්වෙලා ඒකෙන් සමත් වුණා. ඒකාලේ ඉඳන් ඉන්ද්‍රාණී විජේබණ්ඩාර, ලතාවල්පොල, සුජාතා අත්තනායක වගේ අයගේ ගීත මම හරියට ගායනා කළා. ඒ අයගේ ගීතවලට මම හරි කැමතියි. ඒ ගීත මට හොඳට කටපාඩම්. මට සංදර්ශන වේදිකාවලට ආරාධනා ලැබුණා. ඒ කාලෙදී ප්‍රසංග වේදිකාවෙන් ලැබුණේ රුපියල් දහයයි. මම හැම ප්‍රසංගයකටම ගියේ අම්මත් එක්කයි. ඔහොම යද්දී බොහෝ ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. සංදර්ශන වේදිකාවේදී අවුරුදු දහසයෙන් සාරිය අඳින්නත් මට සිද්ධ වුණා. මගේ අම්මා ඒකත් කරලා දුන්නා. මට සාරි හැට්ට මහලා දුන්නා.
ඊට පස්සේ මම සංදර්ශන වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් වුණා. ළමා කාලේදී ඉඳන්ම ගීත ගායනයට ඉදිරිපත් වුණු නිසා මට සබකෝලය තිබුණේ නැහැ. ඉදිරිපත් වෙන්න කැමතියි. මගේ ජනප්‍රිය ගීත රාශියක් තියෙනවා. 1969 දී ඉන්දියාවෙන් දීපාලී නාග් කියන මහත්මිය ලංකාවට ආවා. ඇය ලංකාවේ සිටින සියලුම ගායක ගායිකාවන් වර්ග කිරීම් කළා. මම ඒ වර්ගීකරණයෙන් ලංකාවෙන් හත්වෙනි තැනට සමත් වුණා. මම වගේ කලාකාරියකට එවැනි තැනක් ලැබීම ගැන මට හරි සතුටුයි. මම විශිෂ්ට ශ්‍රේණියෙන් ජයග්‍රහණය කළේ. ඒක මගේ ජීවිතයේ සදාතනික මතකයක් වුණා. එදා සිට සංදර්ශන වේදිකාවේ මම ගොඩාක් ජනප්‍රිය වුණා. අදටත් මම සංදර්ශන වේදිකාවේ ගීත ගායනා කරනවා.
සංදර්ශන වේදිකාවේදී ඔබට අනතුරකට පත්වෙලා අදටත් ඒකෙන් විඳවනවා... එහෙම නේද...?
ඔව්... මම 1999දී එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ ගීත ගායනා කළා. සංදර්ශන මම පහක් හයක් විතර බාර අරගෙන තිබුණා. ජාඇළ තිබුණා යූ.එන්.පී. වේදිකාවට මමත් ගොඩවැදුණා. මම සින්දු කියන්න ස්ටේජ් එකට නගිද්දීම බෝම්බයක් පිපිරුණා. ඒකෙන් මගේ කකුලට ලොකු අනතුරක් සිදුවුණා. මගේ කකුලට ඇණ දොළහක් දාන්න සිද්ධ වුණා. අවුරැදු එකාහමාරක් කිහිලිකරැවලින් යන්න සිද්ධ වුණේ. මාස කිහිපයක් ඇදේම ඉන්න සිද්ධ වුණා. ඇත්තටම මට කියන්නත් කනගාටුයි. අපි ප්‍රේමදාස මහතාගෙන් එන කලාකරුවන්. ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ කලාකරුවන්ට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ නිසයි අපි ස්ටේජ් නැග්ගේ. මම අදටත් ඒ අනතුරෙන් දුක් විඳිනවා. මම බොහෝම දුප්පත් කලාකාරියක්. අද දක්වා මට ඒ පක්ෂයේ කිසිම කෙනෙක්ගෙන් සත පහක උදව්වක් ලැබිලා නැහැ. ඇත්තටම ඒ සම්බන්ධව මට හරි දුකයි. දේශපාලනය නිසා මම අද ගොඩාක් අසරණ වෙලා. අදටත් මම ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරලා තමයි ජීවත් වෙන්නේ.
දූ පුතුන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්නේ... දැන් ඒ අය මොකද කරන්නේ...?
ඔව්... මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතා නුවන්, දෙවැනි පුතා අකිල, චූටි පුතා අචින්ත, දැන් එයාලා විවාහකයි. දැන් මම මුණපුරෝ, මිණිපිරියන් ඉන්න ආච්චි කෙනෙක්. ඒ දරුවන්ට මම හරි ආදරෙයි. අද මම ඉන්නේ තනියම. මගේ ලේලිලා ඔක්කොම හරි හොඳයි. ඒත් දරුවන්ට කරදර කරන්න මම කැමති නැහැ. ඒ අයට බරක් වෙන්න මම කැමති නැහැ. ඒ නිසා පුළුවන් තරම් කල් මම මගේ දෙපයින් හිටගෙන මගේ මහන්සියෙන්ම ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ඔබේ සැමියාත් ඔබේ නිර්මාණ කටයුතුවලට බොහෝ සහයෝගය දැක්වූවා නේද...?
ඔව්... හැබැයි... විවාහ වෙන්න කලින් ඔහු මගේ හොඳ රසිකයෙක්. අපි විවාහ වුණේ 1968 දී. ඔහු රසිකයෙක් විදිහට මගේ ගීතවලට හරියට ඇලුම් කළා. එයා තමයි ලක්ෂ්මන් රොද්‍රිගෝ. ඔහුටත් හොඳට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. විවාහ වෙන්න කලින් ඔහුත් තරගවලට ගිහින් ජයග්‍රහණ ලබලා තිබුණා. මම විවාහ වුණාට පස්සේ ඔහු මගේ සරල ගී වැඩසටහන්වලට සහභාගී වුණා. ඔහුත් එක්ක ගැයූ සෑම ගීතයක්ම ජනප්‍රිය වුණා.
ගුවන්විදුලි වැඩසටහන්වලට තවමත් ආරාධනා ලැබෙනවා නේද...?
ඔව්... ගුවන්විදුලිය කියන්නේ මගේ මහගෙදරයි. මම ගුවන්විදුලියෙන් තමයි ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒක මට අමතක නැහැ. අදටත් මම ගුවන්විදුලියට හරි ආදරෙයි. ඒකට මම ගරුකරනවා. ඒ කාලේ ඉඳන් මට ගීත හදන්න මේ රටේ ප්‍රවීණයන් මගෙන් සත පහක්වත් ගත්තේ නැහැ. ගීත රචකයෝ වගේම සංගීතඥයෝ මට උපරිමයෙන්ම සහයෝගය දුන්නා. ඒ අයගේ අතදීම නිසා තමයි රූපා ඉන්දුමතී කියන ගායිකාව බිහිවුණේ. මම චිත්‍රපට බොහෝමයක ගීත ගායනා කරලා තියෙනවා. මම මුලින්ම චිත්‍රපට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙද්දී මට වයස අවුරුදු දහඅටයි.
අද ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද...?
මගේ අද දවස එක්ක ඉදිරි කාලය කොහොම වෙයිද කියන්න බැහැ. මම දැන් ගොඩාක් අසනීපෙන් ඉන්නේ. බෙහෙත්වල බලෙන් ජීවත් වෙනවා. මේ කටහඬට පින්සිද්ධ වෙන්න තාමත් මම ප්‍රසංගවලට සහභාගී වෙනවා. දරුවන් තුන්දෙනාම මට හරි ආදරෙයි. ඒ දරුවන්ට කරදරයක් නොවන අන්දමට තමයි තාමත් මම ජීවත් වෙන්නේ. ඒ අය මම ගැන හොඳටම බලනවා. මගේ අම්මා නැතිවෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. මගේ කලා ජීවිතයට ගොඩාක්ම උදව් කළේ මගේ අම්මා. ඉතින්... අද මම කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවා. කලාකාරිනියක් වීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මට ගොඩාක් රසික රසිකාවියන් ඉන්නවා. ඒ අය මට උදව් කරනවා. ඒ අය මට හරි ආදරෙයි.
► Text - Dishani / Pic - Sumudu