2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

දැහැන

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

දෙසැම්බරය ආදරණීය සීතලක් අරන් ඇවිත්.. සීතල ආදරණීයද.. අහන්න ඔයා මගෙන්.. මට ඔයාට මෙහෙමමයි කියන්න හිතෙන්නේ.. හුඟක් ආදරණීයයි පෙනෙන නොපෙනෙන දුරින් ඉන්නවානම් ඔබ... ඉරණම අහම්බකාරකයක්... මගේම කරලා දුරකින් තියලා මගේ හුස්මත් මගෙන් උදුරලා ඔයාගේ පපුවේ ගැඹුරුම අස්සක හංඟලා.. ඉතින් හුස්ම ගන්නවා නෙවෙයි වැටෙනවා විතරයි මට.. ඔයා මට හරි දුරයි... ඒ තරමටම ඔයා මට හරි ළඟයි.. එහෙමයි ඔයා ගැන මගේ අයිතිය මට දුන්න සන්නසේ රීතිය... මට හිතෙනවා නීතියට වඩා රීතිය බලවත් කියලා ආදරයේදී.. නීතියට පුළුවන් ගැටගහන්න විතරයි.. ඒත් රීතියට පුළුවන් බන්ධනයකින් වෙලන්න.. ඔයා මගේ ජීවිතය අස්සෙ ඉන්නේ එහෙම බැඳුම්කාර රීතියකින්.. මගේ දෙවියන් වහන්ස මේ දෙසැම්බරයේ මට අවසරයි ඔබ සමඟ කතා කරන්න. 

පොරෝනයක් අස්සෙ සීතලට ගුලි ගැහෙන මොන ගෑනු හිත ද ආදරණීයම පිරිමි හිතේ උණුහුම නොඉල්ලන්නේ.. ගෑනු හිතක් හිමි ගැහැනියක පමණක්නම් ඔබ. ජීවිතය ඉල්ලන දේවල් නොදෙනවාමත් නෙවෙයි ඒත් ඉල්ලන විදිහට දෙනවමත් නෙවෙයි. හිතෙන්නේ නැද්ද ඔයාට එහෙම? ජුසේ තුමා ලෝකයට දුන්න පුත් කුමරැන් ගැන අනාවැකි කීව පහන් තාරුකා මම දෙසැම්බර් අහසේ කොහෙද කියලා හොයනවා හැම උදෑසනකම - රාත්‍රියකම. ඒ පහන් තාරකා එක්ක කතා කරන්න මම ආසයි. කතා කරන්න පුළුවන් වචනවලින් විතරද? මම ආසයි වචන නැති දිග සල්ලාපයකට... රාත්‍රිය ගෙවෙනකම් අඳුරැ සීතල අළු පාට දෙසැම්බරයේ තරුවක්  එක්ක කතා කරන්න...

යන්න හිතයි මට ඒ මුහුදු වෙරළට... චිත්‍ර අඳින වලාකුළු දිහා ආයෙමත් බලාගෙන ඉන්න.. රළ නගන මහ සාගරයත් එක්ක කතා කරන්න.. ළා රත්තරන් පාට ජින් ඇබින්දක රොමෑන්ටික් රස සාර විඳින්න.. මට හිතයි වැලි කැටයකින් රිදෙනවාද නොඅසාම ඒ වැලි කැට පාගන්න.. වැලි කැට අස්සෙ මාපට ඇඟිල්ල හංඟාගෙන ඔබේ දෙපතුලේ සුව ඉල්ලන්න... ජීවිතය හරි රහයි ආදරය මහා බර වැහි කැට නොවී වැස්සක් වෙලා වහිනවානම්... හිත හිරිවට්ටගෙන සීතල හුළඟක් වෙලා ඇවිත් දැවටි දැවටි ඉන්නවනම්..ඕෂෝ කීවා පීනන්න එපා පාවෙන්න කියලා.. සොබාදහම ඔබ කොහේ හෝ තැනකට රැගෙන යයි.. ඔබ යන්න එතෙන්ට... මට හිතෙනවා සොබාදහම මට මහා ගහක අතු අග්ගිස්සක් තෑගි නොකර මහා ගහක්ම මට මගේම කරලා තෑගි කළානම් කියලා... මම හැමදාමත් කියන්නේ මහා ගසක් කියලා කියන්නේ බෝධි සත්ත්වවරයෙක් කියලා.. කිසිම දෙයක් ආපිට නොඉල්ලා එයා කොච්චර දේවල් තෑගි කරනවද?

ඒ තමා ප්‍රේමයේ අනන්තය.. දෙවියන් වහන්සේ ළඟ හැරෙන්න කා ළඟද එහෙම ප්‍රේමයක් තියෙන්නේ සොබාදහමේ හැරෙන්න 

මට ආසයි අහසින් එක තරු කැටයක් පොළොවට ඇවිත් නවතිනවානම්... මේ පොළොවේ රත්තරන් පාට තරු පැල කරන්න මම ආසයි. නෙලාගන්න නෙවෙයි කතාකරන්න තරුවක් එක්ක මට ආසයි මගේම වෙච්ච මොහොතක් ඉල්ලන්න. දෙවියන් වහන්සේ ගලවුම්කාරයෙක් වෙලා ආයෙත් මේ ලෝකෙට එනවනම් ආසයි. මම ආසයි හැම දුක් කන්දක්ම පොළොවට සමතලා කරලා සන්තෝෂයේ පිනි ඉහින්න. කවදාවත් මගේ ප්‍රාර්ථනාවන්ට තටු නොලැබෙයි කියලා මම හිතනවා. මගේ හීන මගේම අහසක ඉගිල්ලෙන එකක් නෑ කියලා මට හිතෙනවා අත්තටු හිමි කුරුල්ලන් විදිහට.. ශෝකයේ අළු පාට වලාකුළු ජීවිතේ හැම බිත්තියක් මතම අඳුරු සිත්තම් අඳියි කියලා මට හිතෙනවා. ඔබ අහසින් පොළොවට වඩින දිනක් එළඹෙන තුරු මට එහෙම හිතෙනවා. 

මගේ දෙවියන් වහන්ස මගේ ගැලවුම්කාරයාණන් වී මා සුවපත් කරන තුරු දිනෙක මට එහෙම හිතෙනවා.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00