2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මුල මතකම නෑලු

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

මුල අමතක කිරීම ඕනෑම කෙනකුගේ අභාග්‍යයට හේතු වන බව අපේ කතාවක් තියෙනවනේ. මොන තරම් කතා ඇහුවත් අපි හැදෙන්න අකමැති මිනිස්සු කොටසක්නේ.

පහුගිය දවසක අපූරු සිද්ධියක් ආරංචි වුණු නිසයි ඔය මුල අමතක වන කතාව මතක් වුණේ.

ඔහු තරමක් ප්‍රසිද්ධ නළුවෙක්. අවුරුද්දකට විතර කලින් උත්සවයකදී මුණගැසුණු නිෂ්පාදකවරයකුට ඔහු නවක නිළියක් හඳුන්වා දුන්නා. ඒ නිෂ්පාදකවරයාගේ ඊළඟ ටෙලි නාට්‍යයේ අර නවක නිළියට රඟපාන්න අවස්ථාවක් ලැබුණා ඔය කියන නළුවත් එක්ක. ඊයේ පෙරේදා දවසක අර නිෂ්පාදකවරයත් එක්ක මේ නළුවා සාකච්ඡා කරගෙන හිටියලු ඔහුගේ ඊළඟ අලුත් ටෙලි නිර්මාණය ගැන.
නිෂ්පාදකවරයා අර නවක නිළියට කෝල් එකක් ගත්තලු මේ නිර්මාණයටත් ඇයව සම්බන්ධ කරගන්න.
කවුද මාත් එක්ක රඟපාන නළුවා? ඇය අහනවා.

ඔයාගෙ යාළුවා තමයි. ගිය පාරත් ඔය දෙන්නට හොඳ ප්‍රතිචාර ලැබුණනේ. නිෂ්පාදකවරයා කිව්වලු.
අයියෝ වෙන කොල්ලෙක් දාන්නකො. මම අඳුරන හොඳ ටැලන්ටඩ් කොල්ලෙක් ඉන්නවා. එයාව ගන්නවනම් මගේ ගණත් මම අඩුකරන්නම්කො....

නිෂ්පාදකවරයා ජංගම දුරකථනයේ ස්පීකර් දමා තිබුණ නිසා මේ මුලු කතාබහම අර නළුවා පුදුමයෙන් වගේ අහගෙන හිටියලු.

 

ගාමිණී ෆොන්සේකා නිසා ලොකු අමාරුවක

මේ කතාවත් කුමාර තිරිමාදුරගෙම පොතෙන් උපුටාගත්තු එකක්. කුමාර, ගාමිණි ෆොන්සේකා නම් වූ අසහාය නළුවාගේ රසිකයෙක් වෙලා හිටියේ ඉස්කෝලෙ යන කාලෙදිමලු. අම්මගෙන් කොහොම හරි ගාණක් කොටාගෙන, ගාමිණීගේ චිත්‍රපටයක් බලන එක තමයි කුමාරට ඉස්කෝලෙ යන කාලෙ තිබුණ ලොකුම ආතල් එක. 

ඔන්න ඔය වගේ ෆිල්ම් එකක් බලන්න ගිය දවසක, චිත්‍රපටය ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා තියෙද්දි විදුලිය ඇන හිටලා. ඒ කාලේ හැම හෝල් එකේම ජෙනරේටර් තිබිලත් නැහැනේ. ඉතින් කතාවෙ අන්තිම ටික බලන්න ලයිට් එනකම් ඉන්න වුණා. සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ලයිට් එනකොට හෝල් එකේ භාගයක්ම ගෙදර ගිහින්ලු. ඒත් කුමාර ගියේ නැහැ.

ගෙදර එනකොට රෑ වෙලා. අම්මා පාර ළඟ ඉන්නවලු කුමාර එනකන්. කුමාර අම්මට ලයිට් ගිය කතාව කියලා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ චරිතෙ ගැනත් කියන්න පටන්ගත්තලු.
උඹනම් කවදහරි දවසක ගාමිණී ෆොන්සේකා නිසා ලොකු අමාරුවක වැටෙනවා. කියලා අම්මා කිව්වලු.

 

සූර චෞරයායි දතේ කැක්කුමයි

පසුගිය දවසක අපේ සහෝදර මාධ්‍යවේදියකු ලියපූ අපූරු පොතක් කියවන්නට ලැබුණා.
ඔහු මාධ්‍යවේදියෙක් කිව්වට දැන්නම් සම්මානනීය නළුවෙක්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි, අපි කවුරුත් දන්නා හඳුනන අති දක්ෂ රංගන ශිල්පී කුමාර තිරිමාදුර.

කුමාර ළඟදි මගේ ජීවිතේ කියලා අපූරු පොතක් ලියලා තිබුණා. ඒක ලියලා තිබුණෙ සරල බසින්. ඒ නිසාම ඒ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. පරිච්ඡේද කීපයකට පොත වෙන් කරලා තිබුණා. මම ගොඩක් කැමති වුණේ ඔහු පාසැල් යන කාලෙ පිච්චර පිස්සකු හැටියට කළ අමතක නොවන සිද්ධි ලියලා තිබුණු දේවල්වලට.

ඇත්තෙන්ම අද කලා ලෝකයේ බොහෝ ප්‍රවීණයෝ, පොඩි කාලේ එක්කො සින්දු පිස්සෝ, නැත්නම් පිච්චර් පිස්සෝ.
ඔන්න දවසක් කුමාරටයි ඔහුගේ ඥාති සොයුරෙකු වන උදය අයියටයි සූර චෞරයා බලන්න ඕන වෙලා. ඕක ගෙවල් ළඟ හෝල් එකක පෙන්නන්නේ එදා විතරලු. ඉස්කෝලෙ යන කොල්ලො නිසා අතේ සල්ලිත් නැහැල්ලු.
ඔහොම ඉන්නකොට එක පාරටම උදය කම්මුල තදින් අල්ලාගෙන අඬන්න පටන්ගත්තලු. බැලින්නම් එයාගේ නෑයෙක් එනවා දැකලා එහෙම කරලා තියෙන්නේ.
මොකෝ මල්ලි අඬන්නේ?

අනේ අයියේ දතේ කැක්කුමක්. ඉවසන්න බෑ. අම්මා තාත්තත් ගෙදර නෑ.
අර අයියා උදයට දත ගලවගන්න කියලා සල්ලි දුන්නලු. දෙන්නම 2.30 ෂෝ බලන්න ගිහින්.

ෂෝ එක ඉවර වෙලා එළියට එද්දි 6.30 ෂෝ එකට පුදුම සෙනඟක්ලු. ඒ සෙනඟ අතර හිටියලු අර දත ගලවන්න සල්ලි දීපු අයියා.
ආ මල්ලි දත් දොස්තර හිටියෙ ෆිල්ම් හෝල් එකේද? කියා ඔහු ඇහුවලු.

 

► Text - Mithra