නත්තලත් ළඟ ළඟම එනවා... ඒ නිසාම මේ දවස්වල කාර්යබහුල වෙලා ඇති නේද...?
ඔව්... මේ දවස්වල අපි නත්තලට සූදානම් වෙනවා. ඊට අමතරව අපේ Super Chimes සංගීත කණ්ඩායමට මේ දවස්වල වැඩ රාජකාරී ගොඩාක් තියෙනවා. “Sing A Long* කියන ප්‍රසංග දැන් සෑහෙන්න ජනප්‍රියයි. ඒ ප්‍රසංගයත් සුපුරුදු පරිදි කරගෙන යනවා. සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා ප්‍රසංග බොහෝමයක්ම තියෙනවා. ඒවාට සහභාගී වෙනවා. මෑතකදී අපි ඩුබායි රටේ ප්‍රසංගයකටත් සහභාගී වුණා. ලබන වසර මුල ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකටත් අපිට ආරාධනා කරලා තියෙනවා.
ඔබේ ළමා කාලය ගෙවුණේ කොහේදී ද...?
මගේ ගම රත්නපුරේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, නංගියි විතරයි. අපි රත්නපුරේ වෙරළුපේ කියන ගමේ තමයි පදිංචි වෙලා හිටියේ. හැබැයි මම ඉස්කෝලේ ගියේ මගේ මාමා කෙනෙක්ගේ ගෙදර නැවතිලා මරදාන ශාන්ත ජෝන් විද්‍යාලයට. පුංචි කාලේදී මම දඟ චරිතයක් නොවේ.
ඔබේ මව්පියන්ට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණාද...?
ඔව්... මගේ අම්මාටත් තාත්තටත් දෙන්නටම යම් තරමකට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. මගේ තාත්තා ඒ කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. ඒ ආභාෂය සෑහෙන දුරගමනකට මටත් තිබුණා. තාත්තාගේ කටහඬම මට තියෙනවා කියලත් බොහෝදෙනා කිව්වා. අම්මත් ගීත ගායනා කරන්න වාගේම ගීත රසවිඳින්නත් හරි කැමතියි. ඇත්තටම මගේ අම්මා මගේ හොඳම රසිකාවියක්. පුළුවන් කාලේදී බලන්න එන්න පුළුවන් හැම ප්‍රසංගයක්ම අම්මා බලන්න ආවා.
ළමා කාලේදී ඇනස්ලි කවුරු වෙන්නද හීන දැක්කේ...?
එහෙම ලොකු හීනයක් තිබුණේ නැහැ. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේදී අද කාලේ වගේ කොළඹ ලොකු ප්‍රසංග වේදිකාවල් තිබුණේ නැහැ. ඉතින් එක දවසක් ශාන්ත පීතර පාසල් වේදිකාවේ ප්‍රසංගයක් තිබුණා. මමයි මගේ යාළුවෝ කිහිපදෙනෙකුගේ එකතුවෙලා ඔය ප්‍රසංගය බලන්න ගියා. අපි බැල්කනියට වෙලා හරිම ආසාවෙන් ඒ ප්‍රසංගය බලාගෙන හිටියා. මුලින්ම බටහිර සංගීත කණ්ඩායමක් ගීත ගායනා කළා. ඊට පස්සේ සිංහල සංගීත කණ්ඩායමක් වේදිකාවට ආවා. ඒකෙදී රුක්මණී දේවීත් සින්දු කිව්වා. බටහිර සංගීත කණ්ඩායමට බලාගෙන හිටපු හැමෝම ප්‍රසංග කලාව සිංහල සංගීත කණ්ඩායමට හැමෝම අනවශ්‍ය විදිහට කෑ ගහන්න පටන්ගත්තා. ඒ කෑ ගැහිල්ල අතරේ ඒ සංගීතයේ මොකක්දෝ අපූරු වින්දනයක් මගේ ඔළුවට ගියා. ඒ වෙලාවේ මම මගේ යාළුවාට “පොඩ්ඩක් කෑ ගහන්නේ නැතිව ඉඳලා අහන්න කියලා කිව්වා. එදා තමයි මට හිතුනේ කවදාහරි දවසක මේ වගේ සංගීත කණ්ඩායමකට එකතු වෙනවා. එහෙමත් නැත්නම් ඒ වගේ සංගීත කණ්ඩායමක් හදනවා කියලා.
පාසලේදීත් ඇනස්ලි සංගීතය හැදෑරුවා ද...?
ඔව්... පාසැලේදී සංගීතය හැදෑරුවා. ඉස්සර අපේ ඉස්කෝලේ උදේ සවසට තමයි පටන් ගත්තේ. අවසන් කළේ හවස තුනාහමාරට දවල් ආහාරයට පැය එකාහාමාරක විවේකයක් තිබුණා. ඉතින් ඒ කාලේ අපිට ලෝගනාදන් කියලා මාස්ටර් කෙනෙක් ඉගැන්නුවා. ඒ මාස්ටර් මියුසික්වලට හරි ආසයි. ඒ මාස්ටර් සුමානයකට සැරයක් පාසල් ළමුන්ට මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අවස්ථාව ලබලා දුන්නා. ඉතින් මගේ හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා. අපි තුන්දෙනා අපේ පන්තියේදී සින්දු කියනවා.
ඒ වගේ වෙලාවලදී ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද...?
ගොඩාක් දඬුවම් නම් ඒ නිසා විඳලා තියෙනවා. අපි තුන්දෙනා සින්දු කියන්නෙත් පන්ති කාමරයේ ඉඳලමයි. එක පීරියඩ් එකක් ඉවරවෙච්චි ගමන් අනික් පීරියඩ් එකේ මාස්ටර් එනකන් අපි තුන්දෙනා මියුසික් පුහුණු වුණා. එක දවසක් අපේ පිටිපස්සෙන්ම ඇවිත් හිටපු මාස්ටර් කෙනෙක් “මාලේවන, වනිගසේකර, සිල්වා එළියට යනවා කියලා මහ හයියෙන් අපිට කෑ ගැහුවා. අපිත් ඉතින් පන්ති කාමරෙන් එළියට ගියා. ඒ ගිහිල්ලත් අපි එළියේ ඉඳගෙනත් මහ හයියෙන් සංගීතය පුහුණු කළා. මට තාම මතකයි ඒ වෙලාවේදී ඒ මාස්ටර්ට පුදුම විදිහට කේන්ති ගියා... අපි තුන්දෙනා ළඟට ආපු ඒ මාස්ටර් කේන්තියෙන් වෙව්ලමින් “යනවා ඇතුළට කියලා කෑ ගැහුවා. ඉස්කෝලේ වේදිකාවේ කොච්චර හොඳට සින්දු කිව්වත් අපේ කොල්ලෝ අපි සින්දු කියනවාට වඩා මහ හයියෙන් කෑ ගහනවා. ඒ වුණාට අපි ඒකෙන් සැලුණේ නැහැ. පහුවදාත් අපි හරි අපූරැවට අර විවේක වෙල්වේදී සින්දු කිව්වා. ඒකෙන් වේදිකාවක සින්දු කියන සබකෝලය මගෙන් ඈත්වෙලා ගියා.
සංගීත කණ්ඩායමකට එකතු වුණේ කොයි කාලේදීද...?
ඒ කාලේ ඉස්කෝලවල්වල සාමාන්‍ය පෙළ විභාගය කළාට පස්සේ ප්‍රතිඵල එනකන් අපිට ඉස්කෝලේ එන්න තහනම් කරලායි තිබුණේ. ඒ කාලේ අපි සාමාන්‍ය පෙළ කරද්දී පන්ති තුනක් තිබුණා. මුල්ම පන්තියේ හිටියේ දක්ෂතම ළමයි. දෙවැනි පන්තියේ ඉගෙනීමට සාමාන්‍ය දැනුමක් ඇති ළමයි හිටියා. අවසන් පන්තියේ හිටියේ ටිකක් අප්සට් ළමයි. මම හිටි දෙවැනි පන්තියේයි. ඒ කියන්නේ සාමාන්‍ය මොළකාරයෝන්ගේ පන්තියේයි. හැබැයි හොඳම පන්තිය හිටපු ළමයි O/L කරපු ගමන් උසස් පෙළ පන්තියට යන්න අවස්ථාව දුන්නා. ඒ වගේ ක්‍රීඩා කරන ළමයින්ව ගෙදර ඇරියේ නැහැ.
ඒ කියන්නේ ඇනස්ලින් ක්‍රීඩාවල නිරත වුණාද...?
ඔව්... මම පාසලේදී ටෙනිස් ක්‍රීඩකයන් ඒ වගේම අපේ පන්තිය ක්‍රිකට්වලට, බාස්කට් බෝල්වලට දස්කම් දක්වපු යාළුවෝ පිරිසකුත් හිටියා. ඒ නිසා අපේ පන්තියට “මෝචරිය කියලා තමයි නම දාලා තිබුණේ. ඒ පන්තියට මාස්ටර්ලාත් එන්න බයයි. ඉතින් මමත් ක්‍රීඩා කටයුතුත් නතර කරලා O/L කරලා ඉවර වුණාට පස්සේ ගෙදර ගියා.
ගෙදර ගිහින් මොකද කළේ...?
අපේ ගෙවල් ළඟම මගේ යාළුවෙක් හිටියා. දවසක් එයා ඇවිත් “ඇනස්ලි අයියා ගිටාර් ගහන කෙනෙක් ඉන්නවා. පොඩි ගෘෘප් එකකුත් තියෙනවා. හැබැයි ලස්සනට සින්දු කියන්න කෙනෙක් නැහැ. අපි ගිහින් බලමුද... කියලා මගෙන් ඇහුවා. ඉතින් මමත් ඒ මල්ලිගේ බයිසිකලේ නැගලා “විජේ කියන කෙනා මුණගැහෙන්න ගියා. අපේ ගෙදර ඉඳන් කිලෝ මීටර් තුනක් විතර දුරින් තමයි එයා හිටියේ. ඒ කාලේ එයාව කවුරැත් හැඳින්වූයේ “විජේ කියලයි. ඒ තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන්. ඉතින් ක්ලැරන්ස් ඉස්සරහ මම ගීතයක් ගායනා කළා. පළවෙනි ගීතයෙන්ම ක්ලැරන්ස් ගොඩාක් සතුටු වුණා. එදා හැන්දෑවේම ක්ලැරන්ස් මාවත් එකතු කරගෙන සංඝබෝ කොරයාගේ ගෙදරට ගියා. ඉතින් ඔහු ඉදිරියේදීත් මම ගීතයක් ගායනා කළා. ඒ වෙල්වේදීත් ඔහු මගේ ගායනයට ගොඩාක් පැහැදුණා. ඒ අනුව තමයි සාමාජිකයින් හතර දෙනෙක්ගේ එකතුවෙන් Moohstones සංගීත කණ්ඩායම ඇති වුණේ.
පළවෙනි ප්‍රසංගයත් හරි අපූරුයි නේද...?
ඔව්... ඒක තිබුණෙත් ගුවන් විදුලි සංස්ථාවේ. ඒ අවස්ථාව ලබලා දුන්නෙත් සංඝබෝ මහත්තයායි. ඉතින් දවසක් විජය කොරයා මහත්තමා ලබාදුන් අවස්ථාවෙන් රත්නපුරේ ඉඳන් බස් එකේ ගුවන්විදුලි සංස්ථාවට ආවා. ඒ වැඩසටහනේ නම “Saturday Star” හැබැයි මේ සංගීත ප්‍රසංගය ගැනවත් මම සින්දු කියන බවවත් මමවත් අම්මවත් තාත්තාට කියලා තිබුණේ නැහැ. එදා රත්නපුරේ ඉඳන් මම කොළඹ ආවෙත් ටෙනිස් තරගයක් තියෙනවා කියලයි. ඉතින් ගුවන්විදුලි සංස්ථාවට අපි එදා ගිහින් ගීත හතරක් ගායනා කළා. මුලින්ම දිල්හානී දුවනී ඒ ගීතයෙන් පස්සේ මුහුදු රැල්ල ඔස්සේ, මංගෝ නැන්දා, රුවන් පුරය වගේ ගීත හතරක් මම ගායනා කළා. ඒක රෙකෝඩින් කරලා අපි හතරදෙනා රත්නපුරේ ආවා. ඔන්න ඉතින් ඊළඟ සෙනසුරාදා අපේ වැඩසටහන ගුවන්විදුලි ප්‍රචාරය වෙන්නත් තිබුණා. අපි කාඩ්බෝඩ්වල පොස්ටර් වගේ ලියලා රත්නපුරේ තැනින් තැන ඒවා ඇලෙව්වා. එදා සෙනසුරාදා තාත්තා ගෙදර ආවේ පරක්කු වෙලයි. ඉතින් මට තවත් සතුටුයි. ඔන්න ඉතින් පහුවදා තාත්තා වැඩට ගියාම හැමෝම ළඟට ඇවිත් අතට අත දීලා හරියට සුභ පතලා එදා තාත්තට හරි පුදුමයි. ගෙදර ආවට පස්සේ තමයි අම්මා තාත්තට විස්තරය කිව්වේ. එදා තාත්තා මම ගැන ගොඩාක් සතුටු වුණා. එදායින් පස්සේ මම ටෙනිස් ගැහුවෙත් නැහැ. වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවෙත් නැහැ දිගටම සංගීතයට මුල්තැන දුන්නා.
• ඔය අතරේ ඇනස්ලි රැකියාවකුත් කළා නේද...?
ඔව්... සංගීතය විතරක් කරනවාට මගේ තාත්තා කැමති වුණේ නැහැ. ඒ නිසා මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. එතකොට මගේ වයස අවුරුදු දහනවයක් විතර ඇති. ඒ රැකියාවෙන් මට ලැබුණේ මාසයකට රුපියල් අසූවයි. හැබැයි මම සංගීත කණ්ඩායමෙත් වැඩ කළා. ඒ කාලේ අපිට ප්‍රසංග බොහෝමයකට ආරාධනා ලැබුණා. ඒ නිසා නිවාඩු අරගෙනම රැකියාවෙන් මට මාසේ අන්තිමට අතට ලැබෙන්නේ ඉතා සුළු මුදලක්. ඒ නිසාම මම රැකියාවෙන් ඉවත් වුණා.
ඔය කාලේදීම නේද ඔබට ඔබේ බිරිඳට මුණගැහෙන්නේ...?
ඔව්... ස්වර්ණමාලිව මට මුණගැස්සුවේ ක්ලැරන්ස්මයි. මම රුකියාවක් නැති නිසාම ස්වර්ණමාලිගේ ගෙදරින් මුලින් අකමැත්තක් තිබුණා. ඉතින් ඊට පස්සේ මම තවත් පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා. මගේ යාළුවෙක් තමයි ඒ රැකියාව මට හොයලා දුන්නේ. මුලින්ම මට ලැබුණේ රුපියල් තුන්සිය පනහක වැටුපක්. ඒ කාලේ තුන්සිය පනහක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් පොඩි තැනින් පටන්ගත්තු මම ඉහළ වැටුපක් එක්ක උසස් වීම් ලැබුවා. ඒ කාලේත් මම ක්ලරන්ස්ලා එක්ක සංගීත කණ්ඩායමක් කරගෙන ගියා. හැබැයි රස්සාව නිසාම මම ඒ බෑන්ඩ් එකෙන් අයින්වුණා. අදටත් මම මගේ ආදරණීය මිත්‍රයාට ගරු කරනවා. එයා නිසා තමයි අද මම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මම ගයපු ගීතවලින් සියයට අනූවක්ම ක්ලරන්ස් නිර්මාණ කරපු ගීතයි. ඒක මට කවදාවත් අමතක නැහැ.
ඇනස්ලිගේ උපන් දිනයදා ක්ලැරන්ස් ඔබව පුදුම කළා නේද...?
ඔව්නේ... ඒකත් මට අමතක නැහැ. මගේ උපන් දිනයක හවසක ක්ලැරන්ස් මට කෝල් කරලා මචං... ප්‍රසංගයක් සංවිධානය කරන කෙනෙක් එනවා පොඩ්ඩක් එන්න කියලා මාව එයාලාගේ ගෙදර ගෙන්න ගත්තා. මාත් එහේ ගියා. හැබැයි ආපු සංවිධායකවරයෙක් නැහැ. ටිකකින් ගේ ඇතුළට ගිහින් ක්ලැරන්ස් “අනේ සොරි මචං අද එන්නේ නැහැ. කියලා මට ඇවිත් කිව්වා. ඉතින් මගේ වාහනය අරගෙන අපේ ගෙදර ආවා. ගරාජ් එකෙන් දමද්දී මුළු ගේම කළුවරයි. මට පුදුම කේන්තියි. මම “මොකද මේ කළුවරේ කියාගෙනම ගේ ඇතුළට ගියා. ඒ වෙලාවේ ලයිට් පත්තු කරලා හැමෝම අපේ ගෙදර ඇවිත් හිටියා. මගේ වාහනය පිටිපස්සෙන්ම ක්ලැරන්ස් ඇවිත් හිනා වෙලා මාව බදාගත්තා. ඒ පාටිය සංවිධානය කරලා තිබුණේ ක්ලැරන්ස් මගේ ස්වර්ණමාලි එක්කයි. එයා වගේ හරිම පුදුමාකාර මනුස්සයෙක්. ඒ අතීතය මම කවදාවත් අමතක නැහැ.
ඔබ දරුවන් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්...?
ඔව්... දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතා ඉන්නේ එංගලන්තයේ. එයා එහේ ඉගෙනගෙන එහෙන්ම විවාහයක් කරගත්තා. දැන් මම සීයා කෙනෙක්. පුතාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුව ඉන්නේ අපිත් එක්කයි. පුතාටයි දුවටයි දෙන්නටම ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ අය ඉදිරියට එන්න කැමති නැහැ.
► Text - Dishani / Pic - Sumudu