රවින්ද්‍ර පුෂ්පකුමාර 1996 ලෝක ශූර ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් ක‍්‍රීඩකයෙක්. 90 දශකයේ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම පන්දු යවන්නා වූ පුෂ්පකුමාර වර්තමානයේ ශ්‍රී ලංකා වයස 19න් පහළ ක‍්‍රිකට් පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. පුෂ්පකුමාර විනෝදයට බර ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර ප‍්‍රසිද්ධියක් උසුනවා. Cricket Star පිටුවට එන්න කියලා කරපු අාරාධනාව පිළිගත්ත රවින්ද්‍ර එක්ක අපි කතා කළේ එයාගේ ප්‍රියතම දේවල් ගැන.
ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු හැටියට වඩාත් සංචාරය කරන්න කැමති රට මොකක්ද?
දකුණු අප‍්‍රිකාවේ තමයි මම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු විදියට සංචායර කරන්න වඩාත් කැමති. දකුණු අප‍්‍රිකාවේ හොඳ ක‍්‍රිකට් පරිසරයක් තියෙනවා. අපිට පන්දු යවන්නත් දකුණු අප‍්‍රිකාවේ තණතීරු හොඳයි. ඒ වගේම ජනතාවගේ සහයෝගයත් ගොඩක් හොඳයි. ඔවුන් ක‍්‍රිකට්වලින් ගොඩක් විනෝද වෙනවා.
විශේෂයෙන් කේප් ටවුන් වගේ ක‍්‍රීඩාංගණයක ක‍්‍රීඩා කරන විට පුදුම ලස්සන පරිසරයක් තියෙනවා.
විනෝදය ගත කරන්න කැමති රටක් එහෙම තියෙනවද?
විනෝදයට යන්න නම් මම ගොඩක් කැමති ඉන්දියාවට තමයි. ඉන්දියාව විශාල රටක්නේ. ඒ වගේම පුදුම දේවල් තියෙනවා බලන්න. එංගලන්ත, ඕස්ට්‍රේලියාව, නවසීලන්තෙ ගියාම එක සමානයි. ඒ රටවල කෑමත් එකවගේ, හෝටලුත් එක වගේ නමුත් ඉන්දියාවේ එකින් එකට වෙනස්. ඉන්දියවේ ප‍්‍රාන්තෙන් ප‍්‍රාන්තයටත් වෙනස්. කේරලේට වඩා ගෝවා පැත්ත වෙනස්. බොම්බේ, දිල්ලි වගේ ප‍්‍රදේශ ගොඩක් හොඳයි.
ඔබේ වඩාත් මතකයේ තිබෙන විනෝද චාරිකාවක් ආවර්ජනය කළොත්
මට වඩාත් මතකයේ තියෙන සංචාරය තමයි අපි 96 ලෝක කුසලාන ශූර කණ්ඩායම කෙන්යාවේ සංචාරයකට සහභාගි වුණා. එහෙදි අපි සෆාරි එකක් ගියා පාන්දර සත්තු බලන්න. පාන්දර 3ට විතර ගොඩක් සත්තු ඉන්නවා කියලා තමයි එක්කන් ගියේ. අපි උදේ 10 වෙනකන් ඇවිද්දත් එක සතෙක්වත් දැක්කෙ නෑ. ඒක අපිට මාර අප්සෙට්. පස්සේ අපිට දැනගන්න ලැබුණේ ආරක්‍ෂක හේතු මත අපිව එකම තැන රවුමක් කරකවලා. ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ඔබ කණ්ඩායම සමඟ සංචාරයක් යන විට යන විශේෂ ක‍්‍රීඩකයෙක් හිටියද?
මම අවුරුදු 18 න් තමයි ජාතික කණ්ඩායමට පැමිණියේ. ඇත්තෙන්ම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ළඟින් ගුවන් යානයේ හෝ බස් එකේ හෝ යන්න තමයි මම කැමති. විශේෂයෙන් අර්ජුන, අරවින්ද වගේ කෙනෙක් ළඟ හිටියම කතා කරන දේවල්වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ දෙන්නා ඇත්තටම අපිව හැදුවේ එයාලගේ සහෝදරයෝ වගේ තමයි. රොෂාන් මහානාම ළඟ ඉඳලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඔබ ශ්‍රී ලංකාවේ වඩාත් සංචාරය කරන්න කැමති මොන ප‍්‍රදේශවලද?
මගේ වසර 15ක 20ක විතර ක‍්‍රිකට් ගහන කාලේ අපේ රටේ වැඩිය ඇවිදින්න ලැබුණේ නෑ. මම ක‍්‍රිකට් ආයතනයේ සේවයට ආවට පස්සේ ලංකාවේ හැම දිස්ත‍්‍රික්කයකම ගියා.
වැඩියෙන්ම කැමති පොළොන්නරැව, අනුරාධපුර වගේ ප‍්‍රදේශවලට යන්න. මොකද ඒ පළාත්වලින් අපිට තාම ජාතික මට්ටමේ ක‍්‍රීඩකයෙක් බිහිකරගන්න බැරිවෙලා තියෙනවා. ඒ ආශාව ඉෂ්ඨ කරගන්න තමයි ඒ පළාත්වලට වඩාත් කැමති. මම ඒ පළාත්වල විනෝද චාරිකාවක් ගියත් ක‍්‍රීඩකයෝ ගැන තමයි හොයන්නේ.
දහසක් වැව් බැදි රාජ්‍යය එහෙමත් නැත්නම් පුලතිසිපුර කියලා කතා කරනවා. මේ ප‍්‍රදේශවල ක‍්‍රීඩකයෝ තුන්වේලම බත් කන දැඩි ශක්තියක් තියෙන අය. නමුත් තාම 96 පස්සේ ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයෙක් බිහිකර ගන්න බැරිවෙලා තියෙනවා.
ඔබ බිරිය සහ දරුවන් සමඟ විනෝදය ගතකරන්න වඩාත් කැමති කොහෙද?
එහෙම විශේෂ තැනක් නෑ. මගේ බිරිය ජනනි කෝකිලා. ඒ වගේම මට දුවලා තුන් දෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. අපි ළගදී පවුලේ සියලු දෙනාම නුවරඑළියේ විනෝද චාරිකාවක් ගියා.
මගේ දියණියන් තිදෙනාත් විනෝදෙට බරයි. මගේ පොඩි පුතා තමයි ක‍්‍රිකට් ගහන්නේ. මගේ පුතා චාරිකාවක් ගියත් බැට් එකයි බෝලෙයි අරන් ගිහින් කියනවා බෝල් කරන්න කියලා. ඕක තමයි අපේ විනෝද චාරිකාවෙත් නිරන්තරයෙන් වෙන්නේ.
පවුලේ අය සමඟ ගිය චාරිකාවලදී අමතක නොවන සිද්ධියක් එහෙම තියෙනවාද?
මම පවුලේ සාමාජිකයන් සමඟ මීට වසර කීපයකට පෙර පාකිස්තානයේ චාරිකාවක් ගිය අවස්ථාවක අපි සාප්පු සවාරියේ ගියා. ඒ අය මාව අඳුරගත්තේ නෑ. නමුත් මගේ නම කිව්වට පස්සේ මගෙන් බඩුවලට මුදල් ගත්තේ නෑ. මගේ පවුලේ අය පුදුමයට පත්වුණා.
ලංකාවෙ නම් මාව ගොඩක් අය අඳුරනවා. මම ලංකාවේදී කොහෙ හරි යනවා නම් මම කවදාවත් ක‍්‍රිකට් ටැග් එක ඔළුවෙ ගහගෙන යන්නේ නෑ. සාමාන්‍ය විදියට පොළොවෙ පය තියලා තමයි මම අපේ ජනතාවත් එක්ක හැසිරෙන්නේ.
ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු හැටියට වඩාත් කැමති ක‍්‍රීඩාංගණය මොකක්ද?
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක‍්‍රීඩාංගණයේ තමයි මම වඩාත් කැමති ක‍්‍රීඩාංගණය. ලක්‍ෂයකට අධික ප්‍රේක්ෂකයෝ තරගය නරඹනවා. ඒ වගේ ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් මැද ක‍්‍රීඩා කරනවා කියන්නේ අධික පීඩනයක්. අපි පන්දුවට පහර දෙන විට ඒක පාලනය කිරීම තමයි වඩාත් වටින්නේ.