• ව්‍යවස්ථා යෝජනා ගැන විපක්ෂයේ චාටු කතාවලට නොරැවටෙන්නැයි රනිල් කියයි
• හිස්බුල්ලාගේ මඟුල් ගෙදර මෛත්‍රී මහින්ද ගෝඨා හමුවක්
• එ.ජා.ප. ජනපති අපේක්ෂක රනිල් : සජිත් කරු ගැනත් යෝජනා
• මහින්ද මෛත්‍රී දීගයෙන් චන්ද්‍රිකා පරලවෙයි
• ජ.වි.පෙ.නුත් අපේක්ෂකයෙක් එන බවට ලාල්කාන්තගෙන් ඉඟියක්
• ජාතික එකඟත්වයක් නැති ව්‍යවස්ථා එපා යැයි මල්වතු අස්ගිරි මහ නාහිමිවරු පවසති
මේ සතියේ කාගේත් අවධානය දිනාගත් ප්‍රධානම දේශපාලන මාතෘකාව වූයේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් බවට කරන ලද ප්‍රකාශයයි. පසුගිය මාසයේ සිට සති 5ක පමණ කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගතකළ ගෝඨා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 11 සෙනසුරාදාය. ඊට පසුදා ඔහුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක “වියත් මග” සංවිධානයේ සම්මන්ත්‍රණයක් අමතමින් ගෝඨා තමන් ජනපතිවරණයට සූදානම් යැයි කීය. මෙයට වසර 4 ½ට පමණ පෙර දේශය පුවත්පතින් ආරම්භක කලාපයේ ප්‍රධාන පුවත ලෙස අප ඉදිරිපත් කළේ ගෝඨාභය ක්‍රියාකාරී දේශපාලනයට එන බවයි. ඒ වනවිට ඔහු මෙරට ආරක්ෂක ලේකම්වරයා විය. එදා ගෝඨා කීවේ මහින්ද ජනාධිපතිතුමා කියනවා නම් තමන් දේශපාලනයට එන බවයි. ඉන් වසර 4 ½ක් ඇවෑමෙන් ගෝඨා ප්‍රකාශ කරන්නේ ජනතාව සූදානම් නම් තමන් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම්ය කියායි.
දේශයට වාර්තා වන ආකාරයට ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වී තිබේ. පසුගිය කාලය පුරා ඇතැම් අය සඳහන් කළේ ඔහුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්නට ඇමෙරිකානු රජය අවසර නොදෙන බවයි. එසේම යුද්ධය සම්බන්ධ චෝදනා ඇති අයෙකුට එවැන්නක් කිරීම පහසු නැතැයිද සඳහන් විය. එහෙත් පසුගිය දේශපාලන කුණාටු සමයේ ගෝඨා, දැඩි නිහඬ බවක් අනුගමනය කළේය. ඇතැම් උදවිය ඊට අර්ථකථන දුන්නේ ඔහු දේශපාලනය ගැන කලකිරී නිහඬව සිටිනවා කියමිනි. එහෙත් ඔහු ඒ කුණාටු සමයේ ක්‍රියාකළේ තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නටයි. ඒ බව දැන සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමීපතමයින් කිහිප දෙනෙක් පමණි.
2019 ජනවාරි මස 09 දායින් පසු ඕනෑම මොහොතක වත්මන් ජනපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවීමට පුළුවන්කම ඇති නිසා ඒ වනවිට පුරවැසිකම ඉවත් කර ගැනීමේ සැලැසුම අනුව ඔහු ක්‍රියාකළ බව දැනගන්නට ඇත. කෙසේ හෝ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමට පෙර ගෝඨාභය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී මේ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුව තම තීරණය රටට කීය. සිය කතාවේදී ඔහු අවධාරණය කළේ තමන්ගේ අරමුණ පෞද්ගලිකත්වය ඉක්මවා යමින් ශ්‍රී ලාංකික ජාතිකත්වය පුබුදුවාලන ක්‍රියාදාමයකට යොමුවීම බවය. කෙසේ හෝ මෙම ප්‍රකාශය කිරීමෙන් දිනකට පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණි. ඒ නැගෙනහිර නව ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ දියණියගේ විවාහය නිමිත්තෙන් ෂැංග්‍රිල්ලා හෝටලයේදී ගිය ඉරිදා පැවති මංගල උත්සවයේදීය. එහිදී කලකට පසු සිදුවූ ගෝඨා මෛත්‍රී හමුවේදී මෙරට රාජ්‍ය පාලන ව්‍යුහය ගැන බොහෝදේ කතා කළහ. ස්වාධීන කොමිෂන් සභා ගැන අධිකරණ තීන්දු සම්බන්ධව මෙන්ම රජයේ ඉදිරි කටයුතු ගණනාවක් ගැන ගෝඨා මෛත්‍රී සාකච්ඡා කර තිබිණි. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මංගල උත්සවයට පැමිණි අතර ඔහු සමඟද ජනාධිපතිවරයා ටික වේලාවක් සුහද කතාබහක නිරත විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ සහභාගි වූ ප්‍රධානම කටයුත්තක් වූයේ අරලියගහ මැඳුරේ පැවති තෛපොංගල් උත්සවයයි. එම අග්‍රාමාත්‍ය රනිල් මෛත්‍රී වික්‍රමසිංහ යුවළ, දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන්, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්වූහ. මෙහිදී පැමිණ සිටි සහෝදර දමිළ ජනයා සමඟ සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා තෛපොංගල් දින විශේෂ සංග්‍රහයටද එක්විය. සුහද හමුව අවසානයේ පැමිණ සිටි පිරිස අමතා අගමැතිවරයා කතා කළේය. අගමැතිවරයාගේ කතාව තුළින් ඔහු අදහස් කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන අදහස් උදහස් ඉදිරිපත් කිරීමටයි. ආණ්ඩු බලය ලබාගන්නට නොහැකිව දේශපාලන වශයෙන් බංකොලොත් වූ පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට මැතිසබයට ඉදිරිපත් කළ යෝජනා හිඟන්නාගේ තුවාලයක් බවට පත්කරගෙන ඇතැයි අගමැති රනිල් කීය. නැති ව්‍යවස්ථාවක් ගැන විපක්ෂය බොරු කතා ගොතා සමාජය බියට පත්කර ඇතැයි කී අගමැතිවරයා තමන්ගේ බැරිකම වසාගන්නට ජාතිවාදය වපුරා නැවත වරක් රට බිල්ලට දෙන්නට හදන්නේ යැයි චෝදනා කළේය. නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදන්න හදන බවට විපක්ෂය රට බය කරන්නට හැදුවත් ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකසා නැතැයි හෙතෙම අවධානරණයෙන් පැවසීය.
ඒ අතර මල්වතු අස්ගිරි අනුනාහිමිවරු මුලින්ම මෙම ව්‍යවස්ථාවට අදාළ යෝජනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව පැවසූහ. ඉන් අනතුරුව අස්ගිරි මහ නාහිමියන් ප්‍රකාශ කර තිබුණේ දැන් අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව පළාත් සභා මැතිවරණය කඩිනමින් තැබීම බවය. මල්වතු මහ නාහිමියන් වදාළේ ව්‍යවස්ථාවක් හදනවා නම් ඒ ගැන සියලු පක්ෂ එකතු වී එකඟත්වයෙන් එම කටයුත්ත කළ යුතු වගයි.
මේ සතියේ මහනුවරට ගිය ජාතික සංවිධාන එකමුතුවද මේ ගැන මහානාහිමිවරුන් දැනුවත් කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහ නාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ එ.ජා.ප. රජය කිසිසේත්ම රට බෙදීමට ඉඩ නොතබන බවය. ව්‍යවස්ථා කෙටුම්පතක් තවම සකස්කර නොමැති බව පැවසූ විජයවර්ධන මහතා එ.ජා.ප.ය ඕනෑම මැතිවරණයකට සූදානම් බවද මහ නාහිමිවරුන් හමුවේ පවසා තිබිණි.
ප්‍රධාන පක්ෂ සියල්ලම මේ දිනවල කුමන කටයුතු කළත් ඉදිරියේදී එන මැතිවරණ සම්බන්ධයෙන් ඉව අල්ලමින් සිටී. එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ජෝන් අමරතුංග, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර ආදීන් ප්‍රකාශ කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මේ වසරේ එන ජනාධිපතිවරණ අපේක්ෂකයා බවය. එ.ජා.ප. පසුපෙළ තරුණ මන්ත්‍රීන් කියන්නේ සුදුසු අවස්ථාවේ සුදුස්සා ජනපති සටනට ඉදිරිපත් කරන බවය. ඇතැම් පිරිස් විකල්ප නම් ලෙස සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය මහත්වරුන්ගේ නම්ද ප්‍රකාශ කරනු පෙනේ. කෙසේ වුවත් මේ වසරේත් පක්ෂ නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනපති සටනට ඉදිරිපත් වන ලකුණු වැඩිපුර පෙනෙන්නට තිබේ. මෙම කතා පැතිරෙද්දී ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයෙක් වන ලාල්කාන්ත ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වමේ ප්‍රගතිශීලී සන්ධානයෙන් ද ජනපති අපේක්ෂකයකු එන බවය. මේ හැර ස්වාධීන අපේක්ෂකයකු වන රොහාන් පල්ලේවත්ත ද ජනපති සටනට එන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
පොහොට්ටුව හා ශ්‍රීලනිපය එකතුව හදන සන්ධානයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වන රෝහිත අබේගුණවර්ධන, රොෂාන් රණසිංහ, එස්.එම්. චන්ද්‍රසේන ආදීන් මේ සතියේ පවසා තිබිණි. බැසිල් රාජපක්ෂ මහතා කියා තිබුණේ 2019 අවසන් වනවිට පොහොට්ටුවෙන් මේ රටට ජනාධිපතිවරයකු පත්වන වගයි. එහෙත් වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම ආදීන් ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය දීමට විරුද්ධය. ඉදිරියේදී ඔවුන් කුමක් කරනු ඇත්දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැක.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ආදීන් ප්‍රසිද්ධියේද එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ආදීන් අප්‍රසිද්ධියේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ගෙන ඒමට ක්‍රියාකරමින් සිටින බව වාර්තා වෙයි. මෙයින් එස්.බී. දිසානායක දිවයිනේ විවිධ ප්‍රදේශවලට යමින් ප්‍රකට ජ්‍යොතිර්වේදීන් මුණගැසෙමින් ඉදිරි ජනාධිපතිවරණයට සුදුස්සා කවුද යන්න ගැන නිරීක්ෂණය කරමින් සිටින බවද කියැවේ. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ප්‍රසිද්ධියේම කීවේ පොහොට්ටුවෙන් එන අපේක්ෂකයා සුදුසු මොහොතේ ප්‍රකාශයට පත්කරන වගයි. මේ ගැන චමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යය විමසූ විට ඔහු පවසා තිබුණේ මමත් සූදානම් කියාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය නමින් පෙනී සිටින පොහොට්ටුව සමඟ එක්වීමට අකමැති සංවිධායකයන් 24 දෙනකුගෙන් පමණ සමන්විත සංවිධානය මේ සතියේත් හමුවක් තබමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 2015 දී ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් සමඟ නැවත එක් නොවන ලෙසය. එය ශ්‍රී ල.නි.ප.යට බලවත් අගතියක් බවත් ඔවුහු අවධාරණය කළෝය. මෙම කණ්ඩායමට තිරය පිටුපස සිට නායකත්වය දෙන්නේ ශ්‍රී ල.නි.ප. හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි. එසේම දුමින්ද දිසානායක, ලසන්ත අලගිලයවන්න ඇතුළු පිරිසක්ද වන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කණ්ඩායම වෙනුවෙන් හිටපු ජනපති චන්ද්‍රිකා මේ සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් යොමු කළාය. එම ලිපිය මගින් ඇය අවධාරණය කර තිබුණේ ශ්‍රී ල.නි.ප.යේ සංවිධායකයන් පිරිසක් තමන් හමුවූ බවයි. ඔවුන් අතරමං වී සිටින වග තමාට දැන්වූ වග එම ලිපියෙන් ජනාධිපතිවරයාට ඇය දැන්වූවාය. රටේ බහුතරයක් විසින් බලයෙන් ඉවත් කළ පිරිස් සමඟ එක්වීම තමන් අනුමත නොකරන්නේ යැයි ද එහි සඳහන්ය. එබැවින් 2015 ජනවාරි 08දා බලයට පත්කළ සන්ධානය අනුමත කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කැපවීම කරන්නැයි චන්ද්‍රිකා මෛත්‍රී ජනපතිගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතින් මෙන්ම දන්නා කියන සෑමදෙනාගේම පාහේ උපන්දිනවලට සුබ පතන්නෙකි. පසුගිය ජනවාරි මස 12දා එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 52 වැනි උපන්දිනය යෙදී තිබිණි. එසේම කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ජන්ම දිනයද යෙදුණේ එදිනටමය. හරියටම 12දා උදෑසන 6.00ට මරික්කාර් මන්ත්‍රීවරයා ඇමතූ මහින්ද ඔහුට උපන්දිනයට සුබපැතීය. මාතර දික්වැල්ලෙන් පැමිණ කොළඹ දේශපාලනය කරන මරික්කාර් සමඟ ටික වේලාවක් ආ ගිය තොරතුරු කතා කළ හිටපු ජනපතිවරයා ඉන් අනතුරුව එ.ජා.ප. නියෝජ්‍ය නායකයා ඇමතීය. ඔහු කිසියම් කටයුත්තක් සඳහා බැහැර ගොස් සිටි නමුත් සුළු වේලාවකින් ආරක්ෂක අංශය සජිත් සම්බන්ධ කළේය. ඔහුටත් උපන්දින සුබපැතුම් එක්කළ රාජපක්ෂ මහතා සුභ අනාගතයක් ප්‍රාර්ථනා කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගියේ අඟහරැවාදාය. එරටට වසර 31කට පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙක් පැමිණි මුල් අවස්ථාවයි. මැනිලා නුවර පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයටත්, ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයටත් ජනාධිපතිවරයා නිල කටයුතු සඳහා ගියේය. එසේම පිලිපීන ජනාධිපති රොඩ්රිගෝස් ඩියුට්රේට්ගේ ආරාධනයෙන් ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවකට ද අත්සන් කළ ජනාධිපතිවරයා එහි දින 4ක් ගත කළේය.
මේ සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වුණේ ගිය සඳුදාය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරුණේ දැනට කල්දමා තිබෙන පළාත් සභා ඡන්දය ඉක්මණින් පැවැත්වීම ගැනයි. පළාත් සභා ඡන්දය පැරණි ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පනතක් සම්මත කර තිබිණි. ඒ අනුව ඡන්දය පවත්වමු යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතුය. ඊට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කැබිනට්ටුවේදී එකඟත්වය පළකරන ලදැයි වාර්තා විය. ඊට පෙර මැතිවරණය ඉක්මණින් පැවැත්වීමේ හැකියාව ගැන ජනාධිපතිවරයා නීතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟද සාකච්ඡා කර තිබිණි.
මෙතෙක් රාජ්‍ය ආයතනවලට සභාපතිවරැන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම ගැන ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රශ්න කළේය. තමන් සකස් කළ සුදුසුකම් චක්‍රලේඛයට ගැලපෙන ලෙස යෝජිත නම් ලැයිස්තුව පත් කිරීම් අනුමත කරන මණ්ඩලයට එවන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට හා අමාත්‍යවරුන්ට කීය. ඒ අනුව මේ සතිය තුළ අදාළ ලේඛන ලබාදීමට අගමැතිවරයා එකඟ විය. විදුලිබල අමාත්‍ය රවි කරැණානායක මෙගොවොට් 1000ක් හදිසි විදුලිය ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට අවසර ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ ගැන තීන්දුවක් නොගත් ඇමැතිවරැ ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කල්ගත් බව වාර්තා වෙයි.
තමන්ගේ ලේකම්වරයා පත්කිරීම අමාතය මණ්ඩලය විසින් දිගින් දිගටම කල් දැම්මත් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාරගැනීම තවදුරටත් පමා නොකිරීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කළේය. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සමඟ පැමිණ සිකුරාදා වැඩ භාරගැනීමට ඔහු සැලසුම් කළේ ඉන් අනතුරුවය. චාම් උත්සවයක් පවත්වා වැඩ භාරගැනීමටත් අනතුරුව මාධ්‍ය හමුවක් තබා විශේෂ කරැණු හෙළිදරව්වක් කිරීමටත් සැලැසුම් කැරිණි. අනතුරුව විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක්ද පැවැත්විණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගැනීමට තීන්දු කර ඇත. අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන සියලුම තරාතිරම්වල මහජන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටද යෝජිතය. කලින්ම පැවැත්වෙතැයි කියන පළාත් සභා ඡන්දයට අදාළ කටයුතු ගැන මුල්ම සාකච්ඡාව සිදුකරනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග කියයි. ඒ අතර පොළොන්නරුවේදී මාධ්‍යවේදීන් ඉදිරි ජනපතිවරණය ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළවිට ඔහු ප්‍රකාශ කළේ ඉදිරි ජනපතිවරණයට තම කණ්ඩායම පොහොට්ටුවෙන් තරගයට ඉදිරිපත් වන බවයි. ගෝඨාභය හා චමල් රාජපක්ෂ මහත්වරු ඒ ගැන යම් යම් ප්‍රකාශ කර ඇතත් ජනපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් පක්ෂය නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් රජයේ ගත වූ වසර 4ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ වංචා ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. ඔහු පිලිපීනය බලා පිටත්ව යාමට පෙර විශ්‍රාමික විනිසුරුවරැන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට ඒ සඳහා ඇරැයුම් කර තිබිණි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ලත් ඊවා වනසුන්දර මහත්මියට කොමිසම් සභාපති ධූරය පිරිනැමුව ද කලින් යොදාගත් පෞද්ගලික කටයුතු නිසා ඇය එම තනතුර ප්‍රතික්ෂේප කළ අතර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහි සභාපති ධූරයට පත් කරනු ලැබීය. එහි ප්‍රථම අතුරු වාර්තාව මාස 3කිනුත්, දෙවැනි අතුරු වාර්තාව මාස 6කිනුත් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් නියම කර තිබේ.
පළාත් සභා ඡන්දය ඉක්මණින් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මැතිවරණ කොමිසම හමුවට ගිය බ්‍රහස්පතින්දා පැමිණියහ. එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේ පළාත් සභා ඡන්ද ගැටය ලිහන්නට පුළුවන් මැති සබයට මිස තමන්ට නොවන බවයි. ඒ නිසා ඊට අදාළ පියවර ගන්නැයි ඔහු ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ අතර ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පළාත් සභා ඡන්ද කඩිනමින් පවත්වන්නටනම් ඒ ගැන ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ ගසන පම්පෝරි නැවැත්විය යුතුය කියායි. ජනාධිපතිවරයා මේ ගැන මාධ්‍යයට නොයෙක් දේ කීවත් පළාත් සභා ඡන්දයට බාධාවක් වී ඇත්තේ ආණ්ඩුවම බව විජිත හේරත් කීය. ඊට අවශ්‍ය නීති සකස් නොකර කොතරම් ඡන්ද කතා කීවත් පළක් නැතැයි ඔහු පැවසීය.
පසුගිය දිනවල අර්බුදකාරී කතා ගණනාවක් කියූ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මේ සතියේ කීවේ තම පක්ෂයට එක රැයකින් ආණ්ඩුව වෙනස් කළ හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රජය දෙමළ සන්ධාන සහායෙන් මැති සබයේ බහුතරය පෙන්වූ බව කී හෙතෙම ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාව තමන් සතුව ඇතැයි අවධාරණය කළේය. දෙමළ ජනතාව විශ්වාස කරන බව කියමින් ඔවුන්ට පිහි පෙන්වා බිය වැද්දීම නතර කළ යුතු යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. කෙසේ හෝ ඔහුගේ මේ ආකාරයේ දැඩි ප්‍රකාශ නිසා උතුරේ පේදුරු තුඩුව ජනතාව තමන්ගේ විමුක්ති සටන් නායකයකු ලෙස සුමන්තිරන්ට උපහාර පුද කිරීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබිණි. එහෙත් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ බොහෝ ප්‍රකාශවලට පක්ෂ භේදයෙන් තොරව දකුණේ බහුතර ජනයා අසතුට පළකරන බවද සඳහන් කරනු වටී.
►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර