ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යාවේ රාජ්‍ය චාරිකාවක් සඳහා ගොස් සිටියදී කොළඹින් ලැබුණු ඇමැතුමක් නිසා සිරිසේන ජනාධිපතිවරයා මඳක් කුතුහලයට පත් විය. ඔහු ඇමැතූ ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනකුම සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම තීන්දු කළ බවය. විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටි ජනාධිපතිවරයා මේ ආරංචිය ගැන කලබලයට පත් නොවුණත් තමන් දැනුවත් නොකර මෙම තීරණය ගැනීමට ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කිරීම ගැන කනස්සල්ලට පත්ව සිටියේය. දෙපක්ෂය අතර සාකච්ඡාවක්ද පවත්නා අතර මෙම තීරණය ගැනීමද ඊට හේතු වූ බව කියැවේ.
කෙසේ වෙතත් කෙන්යාවේ තමා නවාතැන් ගත් සුපිරි රැඩිෂන් බ්ලූ හෝටලයේදී සිය නියෝජිත පිරිස සමඟ මේ ගැන වැඩි යමක් කතා නොකළ ජනාධිපතිවරයා කොළඹට පැමිණි දාට පසු දා උදෑසනම ඔහුට සජිත් ප්‍රේමදාස එ.ජා.ප. නියෝජ්‍ය නායකයාගෙන් ඇමැතුමක් ලැබිණි. එම දුරකතන ඇමැතුම මගින් සජිත් පැමිණිලි කර සිටියේ පසුගියදා විපක්ෂය විසින් තමාවද සම්බන්ධ කොට චෝදනා නගන ලද තංගල්ලේ පොලිස් අධිකාරිවරයා හදිසියේ තංගල්ලෙන් පිටතට මාරු කරන්නට යන බවය. පොලිස් අධිකාරිවරයා දේශපාලන හේතු මත තමන්ට හිරිහැර කරන්නට යන බවට චෝදනා කළේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතාය. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මුණගැසී අදාළ චෝදනාව සිදුකර තිබිණි. ඒ අනුව තංගල්ල පොලිස් අධිකාරිවරයා ගැන පරීක්ෂණයක් සිදුකළ බවද දැනගන්නට ඇත. කෙසේ හෝ සජිත් මේ ගැන පැමිණිලි කළ වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා සිය කාර්යාලයේ මෙම විෂය භාරව ක්‍රියා කරන සහකාර ලේකම්වරයකුට නියෝග කළේ වහාම අදාළ මාරුව අවලංගු කරන හැටියටයි. මෙය සාමාන්‍ය සිද්ධියක් බව පිටතට පෙනුණත් මෙහි දේශපාලනමය වැදගත්කමක් තිබෙන්නේ ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපති සිරිසේන මහතාට කතා කොට තිබූ නිසාය. එසේ තිබියදී සජිත්ගේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වීම අමුතු සිදුවීමක් බවට දේශපාලන හා ආරක්ෂක අංශවල කතා පැතිර ගියේය.
කෙසේ හෝ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද සති කිහිපයකින් මුහුණට මුහුණ හමුවී තිබුණේ නැත. එහෙත් කෙන්යානු සංචාරයෙන් පසුව දෙදෙනා ගිය සඳුදා උදෑසන දෙවරක්ම එකට මුණගැසුණි. මේ දෙදෙනාගේම හිතවතකු වන කලාකරැවකුගේ මංගල උත්සවයකදී දෙපක්ෂය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබීමට මෛත්‍රී සහ මහින්ද පැමිණ සිටියහ. එසේම ඉන් පසුව උදෑසන පැවති අල්ලස් දූෂණ මර්දන සමුළුවක ප්‍රධාන ආරාධිතයන් වූයේද මහින්ද සහ මෛත්‍රීය.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව නැතත් එ.ජා.පයෙන්ද ජනාධිපති අපේක්ෂක කතා අපට අසන්නට ලැබේ. මේ සතියේ පැවති උත්සවයකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක නායකයකු වන රවුෆ් හකීම් කීවේ ජනාධිපතිවරයා සහ එ.ජා.පය අතර හොඳ හිත පළුදු වී තිබෙන වගයි. එහෙත් මෙම ඡන්ද සටනට එ.ජා. පෙරමුණ විශිෂ්ට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව රවුෆ් සඳහන් කළේය. එ.ජා.පය කාගේවත් පුළුල් සහයෝගයක් නොමැතිව දැනටත් රජයක් පවත්වාගෙන යන බවත් ඊට පක්ෂ ගණනක් රහසේ සහාය දෙන බවත් හෙතෙම පැවසීය.
ඒ අතර මංගල සමරවීර අමාත්‍යවරයාට හිතවත් වෙබ්අඩවියක් වාර්තා කර තිබුණේ නිත්‍ය වශයෙන්ම එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවය. සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා වනු ඇති බවද එම වෙබ්අඩවියම කීය. සාගල රත්නායක අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු (කැම්පේන් මැනේජර්) වනු ඇති බවත් සඳහන් කර තිබිණි. එහෙත් මේ ගැන එ.ජා.පය තවත් කිසිදු නිල ප්‍රකාශයක් කර නැත.
ඒ අතර එ.ජා.පයෙන් ජනාධිපති අපේක්ෂක ධුරයට යෝජනා වනු ඇතැයි තහවුරැ නොකළ ආරංචි මාර්ග සඳහන් කරන කතානායක කරු ජයසූරිය මහතාට මල්වතු මහා විහාරයෙන් ගරු සම්මානයක් පුද කරනු ලැබීය. ගිය අඟහරුවාදා සවස මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයට රැස්වූ මල්වතු මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් කරු ජයසූරිය මහතාට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි සම්මානය ප්‍රදානය කෙරිණි. මල්වතු අස්ගිරි නාහිමිවරුන් බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ බෞද්ධ රටවල තානාපතිවරු මෙම අවස්ථාව සඳහා එක්වූහ. කරු ජයසූරිය මහතා බුදු සසුන වෙනුවෙන් කළ සේවයත් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා කළ විශේෂ මෙහෙවරත් අගයමින් මල්වතු අස්ගිරි අනු නාහිමිවරු දේශන පැවැත්වූහ. අනතුරුව සම්මාන ප්‍රදානය සිදුවිය.
දේශපාලන කරළිය උණුසුම් වනවිට ජනතා විමුක්ති පෙරමුණද ඉදිරි දේශපාලනය ගැන තීරණාත්මක ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් අමතමින් ජනතාවද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. පසුගියදා කුරුණෑගල පැවති ජන හමුවකදී අනුර දිසානායක ප්‍රකාශ කළේ රනිල්ලා හොරු යැයි කියන රට මහින්දලාට භාරදී හරියන්නේ නැති බවය. අද ක්‍රියාකාරී දේශපාලනය හොරකමට දෙන බලපත්‍රයක් තත්ත්වයට පත්ව ඇතැයිද අනුර දිසානායක පැවසීය. තට්ටු මාරු දේශපාලනය අනුව වරින්වර බලයට ගෙන එන දේශපාලකයන්ට මේ රට තවත් අඟලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකි බවද හෙතෙම කීය. එබැවින් දේශපාලනය මහජන සේවාවක් බවට පත්කළ හැකි එකම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට මේ රට එක් වරක් භාරදී බලන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන්නේ යැයිද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරද මේ සතියේ කරළියේ පුවත් මවන්නට සමත්ව සිටී. ඔහු මැතිසබයේදී විපක්ෂ මන්ත්‍රී නිමල් ලංසා සමඟ ඇතිකරගත් වචන හරඹය දුරදිග ගොස් මෙම ලිපියේ සටහන් කළ නොහැකි සැර වාග් මාලාවකින් කතන්දරය හමාර කරගත් බව ප්‍රසිද්ධ විය. මේ කතාව ඇවිලී ගියේ ලංසාත් දයාසිරිත් මාධ්‍ය හමුවේ කළ කතා දෙකක් ගැන ඇතිවූ මතගැටුමකින් පසුවය. කෙසේ හෝ එදිනම දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු අවන්හලේ දිවා ආහාරය ගෙන ආපසු එළියට එනවිට ඒකාබද්ධයේ මන්ත්‍රීන් දෙතුන් දෙනකු සමඟ මහින්ද රාජපක්ෂ මහතා අවන්හල දෙසට යමින් සිටියේය. එවිට දයාසිරි මහින්ද රාජපක්ෂ මහතා දැක &සර් කොහොමදැයි” ඇසීය. &ආ දයාසිරි හම්බවුණු එක හොඳයි.. ඔයාට මම යමක් කියන්නයි හිටියෙ... ඔයාල කරන සේරම නරකයි කියල මම කියන්නෙ නැහැ. මතක තියාගන්න ඔයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්. හරිද..? මහ ලේකම්ගෙ වගකීම පක්ෂය ශක්තිමත් සංවිධානයක් හැටියට පවත්වාගෙන යෑම. පක්ෂයයි පක්ෂයට හිතවත් අයයි අතර ආරවුල් ඇතිකරන්න හදන්න එපා. අපිට බැණල වැඩ අවුල් කරගන්නත් එපා... එහෙම කරන්න ආවොත් අපටත් කරන්න හුඟක් දේවල් තියෙනව.. අන්න ඒක මතක තියාගන්න” යැයි කියූ මහින්ද දයාසිරිගෙන් සමුගෙන දිවා ආහාරය සඳහා පිටත්ව ගියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීට මේ සතියේ විශේෂ ලිපියක් යොමුකළේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධත්වය පළ කරමිනි. මෙම ලිපිය යොමුකළේ ඒකාබද්ධයේ පක්ෂ නායකයන් අතර පැවති විශේෂ හමුවකින් පසුවය.
ලිපිය ලද ජනාධිපතිවරයා හැරෙන තැපෑලෙන් පිළිතුරක් එවමින් ජිනීවා යෝජනාව ගැන කරුණු පැහැදිලි කරන්නට එදිනම (අඟහරුවාදා) හැන්දෑවේ තම නිල නිවෙසට පැමිණෙන්නැයි ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ට ආරාධනා කළේය. ඒ අනුව දිනේෂ්, වාසු, විමල්, උදය, තිස්ස විතාරණ, ජී.එල්. පීරිස් ආදී පක්ෂ නායකයෝ ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිවෙසට රාත්‍රී 7.00 වනවිට පැමිණ සිටියෝය. මෙහිදී ඒකාබද්ධය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්, වාසු ඇතුළු පිරිස පැහැදිලි කළේ ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට වන වරද නිල නොවන මට්ටමින් භාරගන්නා බවය. එබැවින් සම අනුග්‍රාහකත්වය ඉවත් කරගන්නා ලෙස නැවතත් ඉල්ලා සිටියේය.
එහෙත් පවත්නා ප්‍රායෝගික තත්ත්වය විසින් ප්‍රශ්නය ව්‍යාකූල කර ඇතැයි ජනාධිපතිවරයා ඔවුනට කීය. &ඇත්තටම මේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම වැරදි බවයි මගෙත් අදහස. ඒත් රාජ්‍ය නායකයා හැටියට මම මේක දැනගත්තෙ අන්තිම මොහොතේ ඒකට අත්සන් කළාටත් පස්සෙ. මම ඒ ගැන විදේශ ඇමැති කැඳවල දෝෂාරෝපණය කළා. මගේ නියෝජිතයො යවන්නත් තීන්දු කළා...” යැයි කියන විට ඒකාබද්ධ නියෝජිතයෝ දැන් ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි නැවත ප්‍රශ්න කළෝය. එවිට ජනපති කීවේ &මම මාරපන ඇමැතිතුමාට කීවා ඔයා විදේශ ඇමැති හැටියට මේ සමුළුවට යන්න. ගිහිල්ල කරන කතාවට මගේ අදහසුත් ඇතුළත් කරන්න ඕන... ඒත් කෙටුම්පත් කරන්න ඔබත් එක්ක මගේ නියෝජිතයොත් මම පත් කරනව. ඒ විදියට කතාව හදන්න. දැන් සම අනුග්‍රාහකත්වය ඉවත් කරගතහොත් බටහිර රටවල් අපට දැඩිව විරැද්ධ වේවි. ඒ හින්දයි මම මේ විදියට වැඩ කරන්නෙ...” ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ එම ස්ථාවරය අගය කරමින් ඒකාබද්ධයේ නියෝජිතයෝ ප්‍රශංසා මුඛයෙන් කතා කරද්දී ජනාධිපතිවරයා මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පැරැණි රස කතා ගණනාවක් සඳහන් කරමින් සුහද කතාබහක නිරත විය.
සංවාදය අවසානයේ සිදුවූ වැදගත් සිදුවීමක් වූයේ කලකට පසු තමන් හමුවන්නට ආ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ට ජනාධිපතිවරයා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමයි. එම රාත්‍රී භෝජනයට ඇතුළත්ව තිබුණේ ආප්පය. බිත්තර ආප්ප, ආප්ප, මාළු ඇඹුල් තියල්, කුකුළු මස් හොද්ද සීනි සම්බෝල සමඟ රසවත් ආප්ප සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා මෙම කතාබහ අතරතුර ඉදිරි ජනාධිපතිවරණය හෝ ජනාධිපති අපේක්ෂයා ගැන වචනයක්වත් කතා නොකරන්නට පරෙස්සම් විය.
මේ සියලු කතා අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් පෞද්ගලික හමුවක් ජනාධිපති නිල නිවෙසේදී සිදුවිය. අඟහරැවාදා සැන්දෑවේ සිදුවූ මෙකී හමුව සඳහා සහභාගි වූයේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණි. මෙහිදී සාකච්ඡා වූ කරුණු ගැන කිසිදු තොරතුරක් නිල වශයෙන් වාර්තා වී නැතත් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරුව ඇති බවය. සිය පක්ෂ නායකයන් සමඟ නිල වශයෙන් සාකච්ඡා කොට තමන් ඒකාබද්ධයේ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දෙන බව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිට පැවසූ වග දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සමඟ සුහදතාවක් පවත්වමින් සාකච්ඡා ගෙන යද්දී තම කණ්ඩායම තනිවම තීන්දුවක් ගන්නේ නැතැයිද මහින්ද මෛත්‍රීට කීය. තම පවුලේ සාමාජිකයන් පවුලේ ඥාතියකුගේ උත්සවයකදී මේ ගැන කතා කළ බවත් පවුලේ අයගේ පෞද්ගලික අදහස ගෝඨාභය ඡන්ද සටනට ඉදිරිපත් කිරීම හොඳය යන්න වගත් කියා තිබේ. එහෙත් එය දේශපාලන තීන්දුවක් නොවන බවද ඔහු මෛත්‍රී ජනාධිපතිවරයාට දැන්වීය. ඒ අතර තහවුරු නොකළ වෙබ්අඩවි මාර්ග ගණනාවකම සඳහන් වූයේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද ජනාධිපතිතුමා දුරකතනයෙන් අමතා රාජපක්ෂ පවුලේ රැස්වීම ගැන කරුණු පැහැදිලි කළ බවය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ එ.ජා.පය අතර සුහදතාවක් ගොඩනැංවීමට දේශපාලකයන් මෙන්ම බාහිර පාර්ශ්ව ගණනාවක් සාකච්ඡා කරමින් සිටිති. පසුගියදා මෙම ලියුම්කරු සමඟ අදහස් දැක්වූ එ.ජා. පෙරමුණු සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍යවරයකු කීවේ &ජනාධිපතිතුමා තවදුරටත් අපිත් එක්ක රණ්ඩුවෙන එකක් නැහැ” කියායි. ජනාධිපතිතුමාද පසුගිය දිනවල මලික් සමරවික්‍රම හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමඟ වරින්වර අදහස් හුවමාරු කරගෙන තිබිණි. කළුතර පළාතේ ප්‍රකට හිමි නමක් අත රාජිත සේනාරත්න අමාත්‍යවරයාටද පණිවුඩයක් යවා තිබිණි. එ.ජා.පයද ඉදිරි මාස කිහිපය ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාගේ සුහදතාව අපේක්ෂා කරයි. ජිනීවා සමුළු යෝජනාව ගැන ජනාධිපතිවරයා කල්තබා දැනුවත් නොකිරීම වැනි දේ නිසා ප්‍රශ්න හටගත්තත් අගමැති රනිල්ගේ වුවමනාවට එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෙක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට කැබිනට් අමාත්‍ය මණ්ඩලය පුළුල් කරගන්නට ආණ්ඩුවට තිබෙන අවශ්‍යතාවය පැහැදිලි කළේය. මෙතෙක් ඊට දිගටම හරහට හිටියේ ජනාධිපතිවරයාය. ඔහු ප්‍රසිද්ධියේම ඒ ගැන කීවේ ආණ්ඩුවේ සිටින මුස්ලිම් කොංග්‍රසයේම පිටත සිටින මන්ත්‍රීවරයකු අල්ලාගෙන හදන ජාතික ආණ්ඩුව තමන් කිසිසේත්ම නොපිළිගන්නා බවය. ඒ නිසා මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත වූ ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගන්නට එ.ජා.පයට සිදුවිය. එහෙත් ජනාධිපති අපේක්ෂක ප්‍රශ්නය උද්ගත වීමත් සමඟ ජනාධිපතිවරයාගේ පිළිවෙත වක්‍රාකාර සහ සමාන්තර දේශපාලන ප්‍රතිචාරවලින් යුක්ත විය. අප වෙත වාර්තා වන ජනාධිපති මන්දිර ආරංචි මාර්ග තහවුරැ කරන්නේ ඔහු අගමැති රනිල්ට ජාතික ආණ්ඩුව සඳහා අනුමැතිය ලබාදුන් බවය.
එය තවදුරටත් තහවුරු කෙරෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අගමැතිතුමා විසින් පසුගියදා කැඳවා තිබිණි. එම පක්ෂ නායක හමුවට එ.ජා. පෙරමුණේ රිෂාඩ් බදුයුදීන්, චම්පික රණවක හා රවුෆ් හකීම් එක් නොවූහ. සෙසු පක්ෂ නායකයන් සහ එ.ජා. ජ්‍යෙෂ්ඨයෝ පක්ෂ නායක හමුවට සහභාගි වූහ. එහිදී අගමැති රනිල් කියා තිබුණේ මෝරා ඇති දේශපාලන තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලය පුළුල් කර ගන්නට අවස්ථාව උදා වූ වගයි. ඒ සඳහා ජනාධිපතිතුමාගෙන් මෙවර බාධාවක් සිදු නොවන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙතෙක් ඇමැතිකම් ලබාදීමට නොහැකිව සිටි ශ්‍රී.ල.නි.පයේ කිහිප දෙනකුටද අමාත්‍ය පදවි ලබාදිය හැකි යැයි කී රනිල් විජිතමුණි, රංගේ බණ්ඩාර වැනි අයට තනතුරු ලබාදිය යුතු යැයි කියමින් තවත් නම් ගණනාවක් සඳහන් කළ බව කියැවිණි. ඒ නිසා අමාත්‍ය විෂයයන් ගණනාවක් පවරා තිබෙන ඇමැතිවරුන් ඒ තනතුරුවලින් කිහිපයක් අත්හරින්නට සූදානම් වන්නැයි රනිල් සඳහන් කළේය. එයට සියලු එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් එකඟ වුවද කඳුරට ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් අමාත්‍යවරයා එකඟ වූ බවත් නොපෙනිණ. ඔහු ඒ මොහොතේ අසා තිබුණේ තමන්ට භාර දී තිබෙන අමාත්‍යාංශ කිහිපයේම අලුත් වැඩසටහන් ආරම්භ කර තිබියදී ඇමැතිකම් අතහරින්නේ කෙසේද කියාය. එහෙත් අගමැතිවරයා තමන්ගේ ස්ථාවරයේම රැඳී සිටින විට &අපි ආණ්ඩුවට බැරි අවස්ථාවේ උදව් කළා.” කියමින් තවත් ආඩපාලි කියන්නට විය. නමුත් අගමැතිවරයා මනෝ ගනේෂන්ගේ අදහස පිළිගත් බවක් නොපෙනුණි. කැබිනට්ටුව පුළුල් කිරීමට ඔහු දැන් සියල්ල සූදානම් කරමින් සිටී.
මෙම හමුවෙන් පසු මනෝ ගනේෂන්, පී. දිගම්බරම් හා රාධ ක්‍රිෂ්ණන් යන අමාත්‍යවරැ කැබිනට් විෂයයන් වෙනස් කිරීම සම්බන්ධව වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. එහිදී මෙම ඇමැතින් තිදෙනා දීර්ඝව මේ ගැන කතා කර ඇත. තමන්ගේ ඇමැති විෂයයන් කප්පාදු කරන්නට ආණ්ඩුව උත්සාහ කළොත් ආණ්ඩුවට දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු යැයි ඔවුන් එකඟත්වයකට පත්වූ බව සඳහන්ය. එහෙත් වතුකර දේශපාලනඥයන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට මෙවැනි විරෝධතා දැක්වීම සුලභ කරුණකි. රුපියල් 1000 වැටුප් වතු කම්කරුවන්ට නොදුන්නොත් ආණ්ඩුවෙන් යන බව මොවුහු මීට කලින් තර්ජනාත්මකව පැවසූහ. එහෙත් ඔවුන්ට රුපියල් 1000 ලැබුණේද නැත. ආණ්ඩුවෙන් ගියේද නැත. මෙවර සිදුවනු ඇත්තේද එයමය. ඒ බව හොඳින් දන්නා අගමැතිවරයා තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් සිටී.
ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රබලම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙස සැලකුණු ශිවශංකර් මෙනන් මහතා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දියාවේ මැතිවරණ පරිසරයක් පවතිද්දී මෙරට පැවැත්වූ කලාපීය දේශපාලනයට හා සංහිඳියාව කෙරේ වැදගත් වන සමුළුවක් සඳහා ඔහු පැමිණියේය. එම සමුළුව සංවිධානය කළේ හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාත්ෆයින්ඩර් පදනමයි. මෙනන් මහතා පැමිණි ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවටද ආරාධනා කර තිබුණද ඊට ආණ්ඩුවේ නියෝජිතයන් එක් නොවීම විශේෂත්වයකි.
ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුව කාලයේ එරට ආරක්ෂක අංශයේ ප්‍රධානම තනතුර වන ජාතික ආරක්ෂක ප්‍රධානියා මෙන්ම විදේශ ලේකම්වරයාද වූ මෙනන් මහතා 1997-2001 කාලයේ කොළඹ සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයාය. උතුරේ යුද්ධය හමාර කරන්නට ඉන්දියාව පැත්තෙන් රාජපක්ෂ රජයට උපරිම සහාය දුන් මෙනන් මහතාගේ මෙවර චාරිකාවේදී ඔහු මුලින්ම හමුවූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද සමඟ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මහාචාර්ය ජී.එල්. පීරිස් ද එම හමුවට එක් වූහ. මෙම හමුවේදී කලාපීය දේශපාලන ඉතිහාසය මෙන්ම අනාගතය ගැනද බොහෝ දේ කතා කළහ. ඉන් අනතුරැව මෙනන් මහතා මුණගැසුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා යැයි නිල නොවන මට්ටමින් නම්කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨා සමඟ බැසිල් ද ලලිත් වීරතුංග ද හමුවට එක් වූහ. මෙම හමුව අතීත කතාවලින් මෙන්ම අනාගත දේශපාලන අනාවැකිවලින් සමන්විත දීර්ඝ හමුවක් විය. මෙනන් මහතාට මිලින්ද පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජනයට එක්වූ මේ පිරිස එහිදීද ද්විපාර්ශ්වික සුහදතාව වර්ධනය කර ගත්හ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේදී රැස් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරුණේ ඉදිරි මැයි දිනය පැවැත්වීම ගැනයි. මැයි දිනය පවත්වන්නේ නම් එය කොළඹ ටවුන්හෝල්හි නගර සභා පිටියේදී පවත්වන්නට සුදුසු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක්ම කීහ. ඒ අනුව දිවයිනේ සිව් දිගින්ම පාක්ෂිකයන්ට ආරාධනා කොට ටවුන්හෝල්හිදී මැයි දිනය පවත්වන්නට තීන්දු කෙරිණි. එහි සංවිධාන වගකීම් රවි කරුණානායක අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසකට පැවරුණි.
මෙහිදී අජිත් පෙරේරා සහ ලක්ෂ්මන් විජේමාන්න මහත්වරු අතර ලොකු වාදයක් හටගත්තේ කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙනි. විජේමාන්න මහතාගේ ආසනයේ කටයුතුවලට අජිත් පී. පෙරේරා මැදහත් වන බවට චෝදනා නැගිණි. අජිත් ද ඊට පිළිතුරු සපයද්දී සභාව උණුසුම් විය.
►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර