2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මෛත්‍රී, රනිල්, මංගල, රන්ජිත්, මලික්ගේ නිවෙසේදී හමුවෙති!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 551

  • ජනපති කැබිනට්ටුවේදී මංගලට දැමූ දොස්මුරය
  • එ.ජා.පයේ පසුපෙළින් නැවතත් තනතුරු ඝෝෂාව
  • මහින්ද රාජපක්ෂගේ මුල්ම වැටුප ගැන සුනිල් ආරියරත්න කළ හෙළිදරව්ව
  • වෙල්ගම දිගටම ගෝඨාභයට එරෙහි වෙයි
  • ජාතික ආණ්ඩු කතාව ජනපති ඉරා දමයි
  • ශ්‍රී.ල.නි.ප.යට අයවැයට විරුද්ධ වෙන්න බැරි හේතුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මත්ද්‍රව්‍ය විරෝධී සටන තවදුරටත් මුවහත් කරමින් සිටී. පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කැලණිය ප්‍රදේශයේ පැවති නිල කටයුත්තකට සහභාගි වූ ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන වග සඳහන් කළේය. ඒ සඳහා නාමලේඛන සකසා දින හා වකවානු ද නියම කර ඇතැයි කී ජනාධිපතිවරයා තමන් මෙරටින් මත්උවදුර දුරුකිරීම සඳහා උපරිම කැපවීමෙන් අවශ්‍ය පියවර ගන්නා බවද කීය.

අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා ද මේ සඳහා කොළම පැවති උත්සවයකදී ප්‍රතිඥා දුන් අතර අප්‍රේල් මස 03දා ජාතික මත්විරෝධී ප්‍රතිඥාවක් ලබාදීම ද සිදුකෙරිණි.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මල්වතු විහාරයෙන් ගෞරව සම්මානයක් පිරිනැමීම පසුගිය ඉරිදා මල්වතු විහාර උපෝසථාගාරයේ දී සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් ගණනාවක්ම මේ අවස්ථාවට එක්වූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉතා සමීපව ඇසුරු කරන නිසා ජනාධිපතිවරයා මහනුවර බලා කල්තබාම පිටත් විය. ඔහු පිටත් වීමට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාරට ද ආරාධනා කළේ තමන් සමඟ හෙලිකොප්ටරයෙන් මහනුවර බලා යන්නට එන ලෙසයි. ඒ අනුව ඇමැති රන්ජිත් ද ජනාධිපතිවරයා සමඟ එක්විය. මේ අයගේ ගමනාන්තය වූයේ මහනුවර ජනාධිපති මන්දිරයයි. ජනාධිපති මන්දිරයට පැමිණ ටික වේලාවකින් ජනාධිපතිවරයා සහ ඇමැති රන්ජිත්, මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවෙසට පැමිණියේ මලික් විසින් කරන ලද ආරාධනයක් අනුව බව කියැවිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් ද ඒ වනවිටත් එහි පැමිණ සිටියහ. කලකට පසු එ.ජා.ප. නායකයන් හා ජනාධිපතිවරයා සුහදව අල්ලාප සල්ලාපයේ යෙදෙනු පෙනිණි. ගැඹුරු දේශපාලන කතාබහක් සිදුනොවීය. එහෙත් විපක්ෂයේ දේශපාලනඥයන්ට වාර්තා වී තිබුණේ මෙහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාබහ සිදුවූ බවයි. කෙසේ හෝ එවැන්නක් අප වෙත වාර්තා නොවීය.

කතා පැය භාගයකට පමණ සීමාවූ අතර දිවා භෝජනයට ජනපතිවරයා එක් නොවීය. ඒ අවස්ථාවේ ඔහු මලික් විසින් පිරිනමන ලද පළතුරු යුෂ පානයක් පිළිගත්තේය. සවස 2.00 වනවිට අමුත්තෝ සියලු දෙනාම මල්වතු විහාරයට පැමිණියහ. එහි පැවති චාම් උත්සවයකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට මල්වතු විහාරය විසින් පිරිනමන ලද ගෞරවනාම ප්‍රදානය සිදුවිය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගිය අඟහරුවාදා මෙරට දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රධානීන් මුණගැසුණේය. එම හමුවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල ආදී පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක්ම එක්ව සිටියහ. මෙහි ප්‍රධාන මාතෘකාව වූයේද රජය ළඟදී මැතිසබයට ඉදිරිපත් කරන්නට යන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධ කරුණුය. මෙම පනත තමන් විසින් තරයේම ප්‍රතික්ෂේප කරන බවත්. තම පාලනයක් යටතේ පනත අහෝසි කර දමන බවත් විපක්ෂ නායකවරයා පැමිණි මාධ්‍ය ප්‍රධානීන්ට පැවසීය. ආණ්ඩුව දැන් අණපනත් හදන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම පවසන ආකාරයට යැයි මහාචාර්ය ජී.එල්. පීරිස් කීය.

අනතුරුව විල්පත්තු කැලෑ කැපීමේ සිද්ධිය ගැන රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කෙරිණි. තමන් ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබාදීම ගැන විරුද්ධ නැතත් ඒ සඳහා වෙන්කර නොමැති කැළෑ ඉඩම් කවරකු හෝ කපා දමන්නේ නම් ඊට එරෙහිවන බව කීය. මැතිවරණ ආසන්න වනවිට සමහරු ඉඩම් දීමත්, විරෝධය පෑමත් දෙකම දේශපාලන අරමුණින් කරන්නේ යැයිද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විදුලිබල කප්පාදුව ගැන විපක්ෂ මතය මුලින්ම සංවාදයට ලක් කළේ ඒ මොහොතේ සාකච්ඡාවට එක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය. මෙය ක්‍රමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්දැයි දැන් තමන්ට සැක සිතෙන බව මහින්දානන්ද පවසන විට විපක්ෂ නායකවරයා කීවේ විදුලිබල අර්බුදය හරිහැටි රජය විසින් කළමනාකරණය නොකළ වගය. “සමහරුන්ට හදිසි විදුලිය මිලදී ගැනීම් කරන්න හදිස්සියි. ඒකට කරපු කුමන්ත්‍රණයක් මේක.” මහින්දානන්ද නැවත කීය. මේ විදියට කිසිම ගණනකට නැතුව ජනතාව පීඩාවට පත් කරන්නේ තම රජය යෝජනා කර තිබූ සියලු විදුලිය ව්‍යාපෘති අත්හිටුවා දැමූ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විසින් යැයි මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පෙන්වා දුන්නේය.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ගිය අඟහරැවාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සිංහල අවුරුද්ද සතිඅන්තයට යෙදීම නිසා අප්‍රේල් 11, 12 සහ 15 යන තෙදින රජයේ නිවාඩු ලෙස නම්කළ යුතුය යන යෝජනාව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන කැබිනට්ටුවට ඉදිරිපත් කළේය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය පාඨලී චම්පික හා රාජිත සේනාරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම යෝජනාවට තරයේම විරෝධය පළ කළහ. 16 ලක්ෂයක් වන රජයේ සේවකයන්ට සෑහෙන රජයේ නිවාඩු ප්‍රමාණයක් හිමිව තිබියදී තවදුරටත් මෙලෙස දින ගණනක් රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කොට රට ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

අනතුරුව කැබිනට්ටුව සාකච්ඡාවට ගත්තේ මේ දිනවල උග්‍ර අර්බුදයක් බවට පත්ව තිබෙන විදුලිය කප්පාදුව පිළිබඳ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නය උග්‍රවීමට හේතුව විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම අතර හටගෙන තිබෙන කඹ ඇදිල්ල බව ජනාධිපතිවරයා කීය. මෙයට පෙර කැබිනට්ටුවේදීද මේ ආයතන විසින් ප්‍රශ්නය විසඳාගත යුතු බව පෙන්වා දී තිබියදීත් එය විසඳෙන පාටක් නැතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන් මේ අර්බුදය විසඳාගන්නා තෙක් තමන් කැබිනට්ටුවට එන්නේ නැතැයි කීය. තමන් මේ ආයතනයේ ප්‍රධානියා ගැන තීරණයක් ගන්නැයි මෙයට පෙර දැන්වූ බව ජනාධිපතිවරයා මතක් කළේය. එවිට විෂය භාර අමාත්‍ය මංගල සමරවීර කීවේ තමන් ඒ ගැන සොයා බලා පියවරක් ගන්නා වගය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුමත කරමින් අදහස් දැක්වූ අතර අමාත්‍ය චම්පික රණවක කීවේ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය කප්පාදුවක් කරන්නේ නම් ඒ ගැන කල්තබා ජනතාව දැනුවත් කළ යුතුය කියායි. රවි කරුණානායක අමාත්‍යවරයා අප්‍රේල් 10 වනවිට මේ ප්‍රශ්නය විසඳෙන බව කැබිනට්ටුවට කීය. එවිට ජලසම්පාදන විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේ “දැන් ජලය ද හිඟ වේගෙන යනවා” කියාය. ජලසම්පාදන මණ්ඩලය අයකරන ගාස්තුවට ජලය සැපයීම තවදුරටත් කළ නොහැකි බැවින් ආණ්ඩුව ඒ සඳහා මුදල් ලබාදිය යුතු යැයි අමාත්‍ය හකීම් පෙන්වා දුන්නේය. එලෙස මුදල් නොදෙන්නේ නම් ජල ගාස්තු වැඩිකළ යුතු බව ඔහුගේ අදහස විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මහගමසේකර මාවත ජනාධිපති නිවෙසේදී පැවැත්විණි. පැය දෙකකට අධික වෙලාවක් පැවති හමුවට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා සහ එ.ජා.පයට ගොස් ශ්‍රී.ල.නි.පයට පැමිණි එස්.බී. නාවින්න මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.

රැස්වීම ආරම්භයේදීම ජනාධිපතිවරයා අයවැය සම්බන්ධව ඡන්දය දිය යුතු ආකාරය පැහැදිලි කළේය. ඒ ගැන එ.ජ.නි.ස. සමස්ත මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයාගේද සහභාගීත්වයෙන් කැඳවා තීන්දුවක් ගනිමු යැයි මේ ගැන ප්‍රශ්න කළ දයාසිරි ජයසේකර ශ්‍රී.ල.නි.ප. මහලේකම්වරයා ඇතුළු පිරිසට ජනාධිපතිවරයා කීය. ඒ සඳහා ලබන 4දා රැස්වීමක් කැඳවමු යැයි ද කීය. අනතුරුව ජාතික ආණ්ඩු කතාව ගැන ප්‍රශ්න කළ මන්ත්‍රීන්ට ජනාධිපතිවරයා පැවසුවේ &මොන ජාතික ආණ්ඩු ද? මම නම් යූ.එන්.පිය එක්ක ආයෙම ජාතික ආණ්ඩු කරන්න යන්නෙ නැහැ. කොටින්ම මම ඒකට විරුද්ධයි. පසුගිය දවසක අගමැතිතුමා මට දන්වා සිටියා පක්ෂයේ ඇමැතිකම් අපේක්ෂා කරන අයගෙන් එතුමාට කරදරයි කියල. එයා ඉදිරිපත් කරන නාමලේඛනය අනුව ඇමැතිකම් දෙන්න කියල. ඊටපස්සෙ ඒ සම්බන්ධව නම් ලැයිස්තුවකුත් ඉදිරිපත් කළා... එතකොට මම කිව්වා මට නම් ඔය කිසිම මන්ත්‍රී කෙනෙක් ඇමැතිකම් ඕන කියල දන්වල නැති බව. එහෙම කිව්වම අගමැතිතුමා ඒ ගැන තවත් කතා නොකර යන්න ගියා..” යැයි ජනාධිපතිවරයා පැවසීය. &ඉතින් කවුරු කොහොම ප්‍රචාරය කළත් ආයෙම ජාතික ආණ්ඩු හැදෙන්නෙ නැහැ. මම දන්නව ඕවා කරන්නෙ මොන හේතුවකටද කියලත්. ඒ හින්ද ඔයගොල්ලො කලබල නොවී අපේ පක්ෂයේ වැඩ ටික හරියට සංවිධානය කරගන්න.” ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊට පසුදා සිය කාර්ය මණ්ඩලය කැඳවූ ජනාධිපතිවරයා තමන්ට මේ වසරේ ඉදිරි මාස 6ක කාලය අතිශයින්ම වැදගත් දේශපාලන කාර්යයන් ඉටුකරන්නට ඇති බැවින් කාර්ය මණ්ඩලය ඒ සඳහා කැපවිය යුතු බව ප්‍රකාශ කළේය.

මැති ඇමැති තනතුරු අපේක්ෂා කරන්නන්ගේ ඝෝෂාව එ.ජා.පයේ පසුපෙළින් නැවතත් මතුවන්නට පටන්ගෙන තිබේ. අලුතෙන්ම මේ ගැන කතා කළේ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චිය. ඔහු හලාවත ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී ප්‍රසිද්ධියේම කියා තිබුණේ තමන්ට විෂයයන් පැවරෙන කැබිනට් නොවන අමාත්‍ය පදවියක් හෝ නොලැබු‍ණොත් දැනට දරන තනතුරුවලින්ද ඉල්ලා අස්වන වගයි. ධීවර විෂය නොදන්නා ඇමැතිවරුන් පත්කොට ලේකම්වරුන් කියන කියන ආකාරයට වැඩ කරන්නට තමන් සූදානම් නැතැයි රාජ්‍ය ඇමැති දිලීප් කීය. තමන් ධීවර කර්මාන්තය කරන්නකු නිසා මෙම විෂයයට අදාළ ප්‍රශ්න තමන් හොඳින්ම දන්නා වග හෙතෙම සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට වඩා උනන්දුවක් දක්වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි සංශෝධනය සම්මත කරගන්නටයි. ඒ සඳහා ඔවුහු සියලු ප්‍රධාන පක්ෂ සමඟ කතා කළහ. එහෙත් ව්‍යවස්ථා සංශෝධනය සඳහා දෙපක්ෂයේම නායකත්වයෙන් ඇති එකඟතාව පසුපෙළ මන්ත්‍රීන් තුළ දක්නට නොලැබුණි. එනිසා කතන්දරය ඉලාස්ටික් තත්ත්වයට පත්ව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයන්ගේ සහ විද්වතුන් රැසකගේ ද සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය අඟහරුවාදා විශේෂ උත්සවයක් පැවැත්විණි. ජනාධිපතිවරයා සමඟ ජ^පුර ආදි ශිෂ්‍ය එස්.බී. දිසානායක මහතා පැමිණියේය. මහින්ද රාජපක්ෂ සමඟ ජ^පුර ආදි ශිෂ්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණියේය. මේ අය අසුන්ගෙන සිටියේ ද එකටමය. ඒ නිසා දේශපාලන කතාබහ ද ඇතිවිය. &අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී.ල.නි.පය මහින්දලා සමඟ අයවැයට විපක්ෂව ඡන්දය දෙනවා නේද?” කියා බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයාගෙන් විමසීය. &ඒක ප්‍රශ්නයක්නේ බන්දුල. ඔය අයවැයේ මගේ අමාත්‍යාංශ ගණනකුත් තියෙනව. ඒවට විරුද්ධව අපි ඡන්දෙ දෙන්නෙ කොහොමද? හැබැයි ඉතින් අයවැයේ තියෙන සමහර දේවල්වලට අනුමැතිය දෙන්නත් බැහැ.. ඒ හින්ද අපි හෙමින් බලමු...” යැයි ජනාධිපතිවරයා කී විට මහින්ද බන්දුලට කීවේ &මේක නම් ටිකක් අමුතු වැඩක්...” කියාය.

ඒ වනවිට මෙම උත්සව සභාවේ විශේෂ ආරාධිත දේශනය ආරම්භ වී තිබිණි. එය සිදුකළේ මහචාර්ය සුනිල් ආරියරත්නය. &විද්‍යෝදය පින්බිමක්. එහෙත් හොඳ උගත් විද්වත් පුරවැසි පරපුරක් බිහිවුණා. විද්‍යෝදයට ආපු සමහරැ රටේ රජ පුටුවටත් ගියා.. ඒ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. 1965 දී රුපියල් 201/-ක මාසික වැටුපකට අපේ විශ්වවිද්‍යාලෙ පුස්තකාල සහායක තනතුරට ආපු එතුමා අන්තිමට නැවතුණේ රජගෙදර..” යැයි සුනිල් ආරියරත්නයන් පවසද්දී මහින්ද රාජපක්ෂ මහතා තමන් ළඟ සිටි අයට කීවේ &එදා මට ලැබුණු රුපියල් 201/-ක පඩිය මාසයක් ඇතුළත වියදම් කරන්නෙ කොහොමද කියලයි මම ඒ දවස්වල හිතුවෙ.. ඒක ඒ තරම් ලොකු පඩියක් ඒ කාලෙ හැටියට...” කී මහින්ද &ඒ සුන්දර අපූරු කාලයක්” යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුව සිටින කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කිරීම ගැන ඒකාබද්ධයේ මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ බව දැනගන්නට තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයට කුමාර් වෙල්ගම මහතා පත්කොට ඔහුගේ පුත්‍රයාට කළුතරින් ඡන්දය ඉල්ලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් අවශ්‍ය පියවර ගෙන තිබිණි. බදුල්ලේ මන්ත්‍රීන් දෙතුන් දෙනකු හා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පසුගියදා වෙල්ගම මහතාගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව කියද්දී මහින්ද කීවේ තවත් මඳක් ඉවසා සිටින ලෙසයි. එවිට බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු මහින්දට නැවතත් කීවේ &කුමාර් වෙල්ගම මහතා දේශපාලන කරණමකට සැරසෙන බවට ආරංචි පැතිරෙනවා” කියාය. එවිට මහින්ද විහිළුවෙන් මෙන් සඳහන් කළේ තමන් කරණම්වලට බය කෙනෙක් නොවන වගයි.

2019 අයවැය ලේඛනය සම්මත කර ගැනීම සඳහා අවසන් ඡන්දය පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. ඊට පෙර මේ ගැන දේශපාලන උණුසුමක් තිබුණි. පසුගියදා අයවැය දෙවැනි වර කියැවීමේදී අයවැයට එරෙහිව ඡන්දය ලබා නොදුන් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් මෙවර ඡන්දය දිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම කීය. දෙපක්ෂය ඒකාබද්ධ වීම සඳහා ගෙන යන සාකච්ඡා සාර්ථක වන්නට නම් මේ ඡන්දය ඉතා වැදගත් බව ඒකාබද්ධයෙන් සාකච්ඡාවට යන කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය. කෙසේ හෝ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොදු විපක්ෂ රැස්වීමකදී මේ ගැන අවසන් තීන්දුවක් ගත යුතු යැයි දෙපක්ෂයම එකඟ විය. ඒ අනුව පක්ෂ දෙකේ මන්ත්‍රී කණ්ඩායම් පසුගිය 04දා මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.   

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර