2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

සජිත්ගෙන් ගෝඨාභයට ඇමතුමක්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 970

► හිටපු ජනපති මෛත්‍රී අරලියගහ මැඳුරට ගොස් මහින්ද හමුවෙයි
► පක්ෂ නායකත්වය නැත්නම් මහ ඡන්ද මෙහෙයුම භාරනොගන්නා බව සජිත් කියයි
► ජනපති නාරාහේන්පිට පොළට ගොස් බඩු මිල විමසයි
► ගෝඨාභය චන්ද්‍රිකා ජනපති වූයේ ප්‍රාදේශීය සභාවක හෝ සිට නොවේ යැයි රනිල් පිලෙන් ප්‍රකාශයක්
► ඩග්ලස් දේවානන්දගේ ලොකු ජනාධිපතිතුමා‍
► චම්පික අත්අඩංගුවට ගැනීම ගැන එ.ජා.ප.යෙන් විරෝධය

අලුත් ආණ්ඩුව පිහිටුවා දැන් මාසයක් පමණ ගතවී තිබේ. මේ කාලය තුළ ආණ්ඩුව අංශ ගණනාවකින් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. එහෙත් අභියෝග නැත්තේ ද නොවේ. ස්විස් තානාපති කාර්යාල සේවිකාවක් සුදු වෑන් රථයකින් පැහැර ගත්තා යැයි කියන සිද්ධිය ආණ්ඩුවට විපක්ෂය වේලාසනින්ම දමා ගැසූ චෝදනාවකි. මේ සිද්ධිය ගැන මුලින්ම වාර්තා වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටය. ඔහු එය දැනගත් වහාම පොලිස්පතිට හා බුද්ධි අංශයට නියෝග කළේ මේ ගැන වහා සොයා බලන ලෙසයි. ඒ වන විට ජනාධිපති ගෝඨාභය ඉන්දියාවේ නිල චාරිකාවක නිරත වෙමින් සිටි නිසා මහින්ද අගමැතිවරයා අවශ්‍ය පියවර නොපමාව ගෙන තිබිණි.

අනතුරුව ගෝඨාභය ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ඒ සඳහා නියෝග ලබා දුන්නේය. පරීක්ෂණ ඇරඹිණි. ඒ අතර විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මුණගැසුණු ස්විස් තානාපති හෑන්ස් පීටර් මහතා තම කාර්යාල සේවිකාවක් පැහැරගත් බවත් ඇයට අඩන්තේට්ටම් කර ඇති බවටත් නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙම සිද්ධියෙන් වඩාත් පුදුමයට පත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්නට උත්සාහ කරන ඔහු මේ ගැන දැඩි අවධානය දක්වා පෞද්ගලිකවම මෙකී පරීක්ෂණ අධීක්ෂණය කළේය. සිද්ධිය ගැන තාක්ෂණික සාක්ෂි හා වෙනත් තොරතුරු එක්රැස් කරගත් පොලිසිය අධිකරණය හරහා අවසර ලබාගෙන අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කළේය. ප්‍රශ්න කිරීම්වලදී ක්ලාන්තවීම් ගණනාවක් ද සිදුවූ බව කියැවිණි. අවසානයේ අධිකරණ උපදෙස් මත ඇයට ලිංගික අතවර සිදුව තිබේද කියා විමර්ශනය කෙරිණි. එසේම අංගොඩ මානසික රෝහල් රසායනාගාරයේදී ඇය මානසික වෛද්‍ය පරීක්ෂාවකට ද ලක් කරනු ලැබීය. මේ වන විට පොලිස්පතිවරයා සිද්ධියට අදාළ කරුණු නීතිපතිට වාර්තා කොට උපදෙස් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා පොලිසියට අවසර දුන්නේ මෙම කාන්තාව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එලෙස අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම නාටකයේ අවසන් ජවනිකාව රඟදැක්වුණු ගිය සඳුදා උදෑසන ජනාධිපති කාර්යාලය ඇමතූ ස්විස් තානාපති කාර්යාලය ස්විස් තානාපතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය. ඊට පෙර ඔහු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට අවසර ඉල්ලා තිබුණි. නමුත් මහින්ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට අවශ්‍ය නම් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවන්නැයි ස්විස් තානාපතිවරයාට දැන්වීය. එයින් තරමක් අපහසුතාවට පත් තානාපති හෑන්ස් පීටර් මොක් මහතා සඳුදා ජනාධිපති ගෝඨාභය හමුවන්නට අවසර පැතීය.

සඳුදා දහවල් 11.30ට පමණ ස්විස් තානාපතිවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී මුණගැසුණෝය. මෙම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්විස් තානාපතිවරයාට පැහැදිලිවම කියා සිටියේ පැමිණිල්ල සිදුකළ කාන්තාව කියන ආකාරයේ කිසිදු සිදුවීමක් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය නොවූ බවය. ඒ බව පුද්ගල සාක්ෂි මගින් මෙන්ම තාක්ෂණික සාක්ෂි මගින් ද තහවුරැව ඇතැයි ගෝඨාභය පැවසීය. ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස පොලිසියට කරුණු කී ඇය ගමන් කළ “ඌබර්” කුලී රථ රියැදුරා ද සත්‍ය හෙළිදරව් කර ඇති බවත් සුදු වෑන් කතාව අමූලික බොරුවක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තානාපතිවරයාට කීය.

එහිදී තානාපතිවරයා ජනාධිපතිට කියා ඇත්තේ තම කාර්යාල සේවිකාව සිදුකළ පැමිණිල්ල අනුව තමන් ක්‍රියා කළ බවයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් හෝ වරදක් නැතැයි ජනාධිපති ගෝඨාභය කීය. මෙලෙස ක්‍රියා කිරීම ගැන ස්විස් තානාපතිතුමා හෝ ඔහුගේ කාර්යාලය සමඟ රජයේ කිසිම ප්‍රශ්නයක් නැතැයි කී ගෝඨාභය තානාපති කාර්යාලය මේ ගැන සැක කරන්නේ නැතැයි ද ඉතා සුහදව කීය. තානාපතිවරයා ඒ ගැන ජනාධිපති ගෝඨාභයට ස්තූති කළ අතර දෙරට අතර සුහදතාව තවදුරටත් පවත්නා බවද තහවුරු කළේය.

මේ සිදුවීම ගැන පසුගිය සඳුදා දහවල් ජනාධිපතිවරයා මෙරට මාධ්‍ය ප්‍රධානීන් සමඟ පවත්වන ලද සුහද හමුවේදී කරුණු දැක්වීය. පසුගිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම විපක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගැන වචනයකින් හෝ චෝදනාවක් නොකළ ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රථම වරට ස්විස් තානාපති කාර්යාල සිද්ධිය ගැන සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය වැරදි බව අවධාරණය කළේය.

ගිය අඟහරුවාදා ස්විට්සර්ලන්ත රජය මෙම සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එමගින් ඔවුන් අවධාරණය කර තිබුණේ මෙම පරීක්ෂණය සිදුවන ආකාරය ගැන තම රජය දැඩි අවධානයෙන් බලා සිටින බවය. මෙම නඩුව සම්බන්ධව ක්‍රියා කිරීමේදී නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියා කළ යුතු යැයිද ඔවුහු එමගින් දැනුම් දී තිබිණි. ස්විස් රජය සිය සේවිකාව වෙනුවෙන් නීතිමය මැදිහත් කිරීමක් කළ ද ඇය විසින් මවාපාන ලද රජය අපකීර්තියට පත් කිරීමේ සිදුවීම ගැන රජය විසින් කරගෙන යනු ලබන පරීක්ෂණ හා ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කළ බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය මාසයක පමණ කාලයක් තිස්සේ දේශපාලන කරළියට නොපැමිණ නිහඬව ගත කළේය. එහෙත් ඔහුගේ හිතවාදීහු පක්ෂ නායකත්වයට සජිත් ගෙන ඒම සඳහා දියත් කළ සටන අඛණ්ඩව ගෙන යමින් සිටිති. ඒ අතරතුර එ.ජා.පයේ භික්ෂු පෙරමුණ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් තැබූ එ.ජා.පයේ අනුශාසකවරුන් වන තිනියාවල පාලිත හිමියෝ හා බෝපිටියේ ධම්මිස්සර හිමියෝ සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය තරයේ විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට තැත් කිරීම ප්‍රබල වරද්දා ගැනීමක් යැයි පැවසූහ. තමන්වහන්සේලා ඡන්ද පරාජයෙන් පසු සජිත් හමුවූ බවත් ඔහු ඒ අවස්ථාවේ තමන් දේශපාලනයට අකැමැති බවත් ජංගම දුරකතන විසන්ධි කර ඇත්තේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට ලබාගත් ණය මුදල් පියවීමට මගක් නැති නිසා යැයිද කී බවත් සඳහන් කළෝය. ඒ සමඟ ඔහුගේ ශාරීරික අපහසුතාවක් ගැන ද පැවසූ බව උන්වහන්සේලා පැවසූහ. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කතා කරන පක්ෂයේ ඇතැම් කනිෂ්ඨ මන්ත්‍රීන් රනිල් නායකත්වයෙන් එළවන්නට තැත් කිරීම හාස්‍යයට කරුණක් යැයි මේ හිමිවරු දෙනම වැඩිදුරටත් කීහ. කෙසේ හෝ දැන් එ.ජා.පයේ රනිල් හිතවාදීන් සහ සජිත් හිතවාදීන් මෙලෙස ප්‍රසිද්ධියේ වාද විවාදවලට යාමෙන් පැවති අවුල තවත් සංකීර්ණ තත්ත්වයට පත්ව ඇත.

එ.ජා.පයේ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට යා නොහැකි නම් කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් ඡන්දයට යා යුතු බවයි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් මගින් පැවසුවේ කරු ජයසූරිය රනිල්ගේ අනුප්‍රාප්තිකයා විය යුතු බවය.

සජිත් ප්‍රේමදාස මහතා නිහඬව සිටි කාලයේ වාර කිහිපයක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කර තිබිණි. ඔහු එම අවස්ථාවල කියා තිබුණේ තමන් දේශපාලනයට වඩා වනසත්ව ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමුවීමට කැමැතිය කියායි. ඉතා ඉක්මණින් තමන් වන දිවියන් ගැන පොතක් ලියන වගද සජිත් ගෝඨාභය ජනාධිපතිවරයාට කීය. මේ ආකාරයට සජිත් ගෝඨාභයට කතා කරමින් පසුගිය ආණ්ඩු කාලයේ නොපැවති සුහදතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පොලිටිකල් රහස් තීරයට වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවෙමින් සිටියි. ගිය අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.පයේ යොවුන් පෙරමුණු ක්‍රියාකාරීන් හමුවිය. එහිදී රනිල් ප්‍රකාශ කළේ තමන් හැමදාම පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බවය. පක්ෂයට නව තරුණ නායකත්වයක් ගෙන ඒමට සැලසුම් කරන වගද ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයට එකතැන රැඳී සිටිය නොහැකි බැවින් දැන්ම වැඩ පටන්ගත යුතුව ඇතැයි රනිල් පෙන්වා දුන්නේය. පක්ෂය තුළ තනතුරු ගැන වාද විවාද කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් දේශපාලන වැඩ ඇරුඹීම කාගේත් යුතුකම බව ඔහු අවධාරණයෙන් පැවසීය.

විපක්ෂ නායක ධූරයට නම්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා මසක නිවාඩුවකින් පසු මේ සතියේ පාක්ෂිකයන්ට ස්තූති කිරීමේ ජනහමු මාලාවක් ආරම්භ කළේය. එහි මුල්ම හමුව කොළොන්නාව ආසනයේ සංවිධානය කළේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාය. අනතුරුව කෝට්ටේ සෝලිස් ශාලාවේදී ද එබඳු මහජන හමුවක් සංවිධානය කර තිබූ අතර හර්ෂ ද සිල්වා මහතා එහි සංවිධායක විය. එය ද ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය දුන් ජනතාවට ස්තූති කිරීම සඳහා පැවැත්විණි. මෙම ජනහමු දෙකේදීම සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස මහමැතිවරණයට තරග කරන්නේ නම් ඊට පෙර පක්ෂ නායකත්වය ලැබිය යුතු බවයි. තමන්ට පක්ෂ නායකත්වය නොමැතිව මහමැතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවද සජිත් කීය. ජනාධිපති ධූරයට තරග කරන අවස්ථාවේද තමන්ගේ අපේක්ෂාව වූයේ පක්ෂ නායකත්වය ලබාගෙන ඊට තරග කිරීම වුවත් පාක්ෂිකයන්ගේ බලවත් ඉල්ලීම මත නායකත්වය නොමැතිව ජනපතිවරණයට තරග කළ බව සජිත් කීය. නමුත් මහමැතිවරණයේ දී තත්ත්වය වෙනස් බවත් පක්ෂ නායකත්වය නොමැතිව තමන් ඊට එක් නොවන බවත් සජිත් ප්‍රකාශ කිරීමත් සමඟ අලුත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ. කෙසේවෙතත් එ.ජා.පයේ රනිල් පාර්ශ්වයේ අදහස වන්නේ මැතිවරණයක් ජය ගන්නට පක්ෂ නායකත්වය අවශ්‍ය නොවන බවය. 1994 වසරේ චන්ද්‍රිකා මැතිනියත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාත් රාජ්‍ය නායකත්වයට පත් වූයේ පක්ෂ නායකත්වය තබා ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී ධූරයක් නොදරමින් බව රනිල් පාර්ශ්වය අවධාරණය කරයි. මේ නිසා එ.ජා.පයේ පක්ෂ නායක ආරවුල ගල උඩ සටනක් වන තැනට කරැණු යෙදී තිබේ. කෙසේවෙතත් සුපුරුදු නිහඬ චර්යාව අනුගමනය කරන රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේ වර්ෂ අවසාන නිවාඩුව සඳහා විදේශගත වීමට සැලසුම් කර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සඳුදා උදෑසන මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. කිසිදු දේශපාලන නායකයකුගේ සහාය නොමැතිව තනිව පැමිණ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ගෝඨාභය හා මාධ්‍ය අතර සාකච්ඡාව ඉතා සුහද ස්වභාවයක් ගැනිණි. මෙහිදී රජය ජනතාව උදෙසා ගෙන යන වැඩපිළිවෙළ විස්තර කළ ගෝඨාභය ජනාධිපතිවරයා මාධ්‍යයේ නිදහස තම පාලනය යටතේ නිසි ලෙස තහවුරු කරන බවත් ඕනෑම කෙනකුට රජය විවේචනයට ඉඩ ඇති බවත් කීය. මාධ්‍යයට රජයක් නිවැරදි කරන්නට හැකි නිසා ඒ ආකාරයට රජයට විවේචනාත්මක සහාය ලබා දෙන්නැයි ද ඉල්ලීමක් කළේය. ඒ අතර මාධ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දුන් ගෝඨාභය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය කිසිම සාක්ෂියක් නැති අමූලික බොරුවක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කීය.

රජය ගිය මාසයේ සිටම අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග ගණනාවකට බදු සහන ප්‍රදානය කළ බව ජනාධිපතිවරයා පැවසීය. එහෙත් ඇතැම් ව්‍යාපාර සමාගම් හා ව්‍යාපාරිකයන් ඒ බදු සහන ජනතාවට ලබා දී නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ ගැන මාධ්‍ය ප්‍රශ්න කළ යුතු බව ඔහු අවධාරණයෙන් කීය. ලබන මස සිට වෘත්තීය සුදුසුකම් නැති දිළිඳු පවුල්වල අයට රැකියා ලක්ෂයක් සපයන්නට සැලසුම් කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා හෙළිදරව් කළේය. දිළිඳු ජනයාට සහන මල්ලක් ලබාදීම ද ළඟදීම නිවේදනය කරන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය. අමෙරිකාව දිරිමත් කරන M.C.C. ගිවිසුම අධ්‍යයනය කොට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කරන්නේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

සුදු වෑන් මගින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්නට දීම ගැන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නලා කළ චෝදනාව අමූලික බොරුවක් යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. බොරු කීම දේශපාලන සංස්කෘතියේ අංගයක් බවත් රාජිතලා එම ක්‍රමය අනුගමනය කළත් තමන් හදන්නේ බොරු කියන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට බවත් ජනාධිපතිවරයා කීය. කෙසේ හෝ රාජිතගේ ප්‍රකාශ නිසා තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩි වූ බව තම අදහස යැයි ජනාධිපතිවරයා කීවේ කතුවරයකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. බලය බෙදීම හෝ ෆෙඩරල් ක්‍රම ගැන කතා තම පාලනය යටතේ අවලංගු යැයි සඳහන් කළ ජනාධිපතිවරයා උතුරේ සංවර්ධනය තුළින් සංහිඳියාව ඇති කිරීම තම අදහස බව අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ දැඩි අවධානය යොමු කළේ රජය විසින් ලබාදුන් බදු සහන අනුව වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ පහළ ගොස් ඇති ආකාරය ගැන සෙවීමටයි. සහල්, එළවළු ආදිය මිල ඉහළ ගොස් ඇති බවත් කිරිපිටි ආදියේ හිඟයක් (නව මිලට) ඇති බවත් ඔහුට දැනගන්නට ලැබිණි. ඒ අනුව වහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරට කීය. සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ ප්‍රධානම කරුණ වූයේ ද මෙම බඩු මිල ප්‍රශ්නයයි. ඇමැතිවරුන් මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කළේ වෙළෙඳුන් ජනතාවට බදු සහන නොදේ නම් දැඩි නීතිමය පියවර ගත යුතු බවයි.

අමාත්‍ය මණ්ඩල හමුව හා දවසේ රාජකාරි අවසන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ නිවෙස බලා යන අතරතුර රාත්‍රී 7.00ට පමණ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගියේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය. ස්වකීය ආරක්ෂකයන් සමඟ එතැනට පැමිණි ජනාධිපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයේ සහල් ඇතුළු භාණ්ඩ තොග හා සිල්ලරට අලෙවි කරන වෙළෙඳසල් 15කට පමණ පිවිසුණේය. ඔහු විශේෂයෙන්ම විමසා බැලුවේ සහල් අලෙවිය පාලන මිල ඉක්මවා සිදුවනවාද කියාය. රුපියල් 98/-ට අලෙවි කරන්නේ බෑග්වල ඇසුරුම් කළ සහල් වග වෙළෙඳසල් හිමියෝ කීහ. එසේ නම් බෑග්වල අසුරා නැති සහල් රුපියල් රුපියල් 100ට වඩා වැඩි මිලකට විකුණන්නේ කුමන පදනමින්දැයි ඔහු වෙළෙඳුන්ගෙන් ප්‍රශ්න කර ඇත. එවිට තොග සපයන මිල ගණන් අනුව මේ ආකාරයට හාල් විකුණන්නට සිදුව ඇතැයි වෙළෙඳසල් හිමියෝ කීහ.

වෙළෙඳසල් ගණනාවකින් එකම කතාව දැනගත් පසු ජනාධිපති ගෝඨාභය කළේ මෙරට ප්‍රධාන සහල් තොග වෙළෙන්දකු වන මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාට දුරකතනයෙන් ඇමතීමයි. අනතුරුව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ද දුරකතනයෙන් ඇමතීය. රජයට පොරොන්දු වූ මිලට හාල් අලෙවි නොකිරීම ගැන ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජනතාව පීඩාවට පත් නොකර සාධාරණ මිලකට සහල් අලෙවි කරන ලෙසත් තමන් නැවතත් මිල ගණන් පරීක්ෂා කරන බවත් ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් තමන් වහා ක්‍රියා කරන බව සිරිපාල ගම්ලත් හා ඩඩ්ලි සිරිසේන ජනාධිපතිවරයාට පොරොන්දු වූහ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගිය බදාදා හැන්දෑවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අත්අඩංගුවට ගත්තේ නීතිපතිවරයා රහස් පොලීසියට ලබාදුන් නියෝග මතය. නීතිපති නියමය වී තිබුණේ රිය අනතුරකින් ආබාධයට ලක් කළ තරුණයකුගේ අනතුර සම්බන්ධ සාවද්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර එම වරදින් පැනගිය බව කියන ඇමැති චම්පික ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. කෝට්යේ නිවෙසේ දී අත්අඩංගුවට ගන්නට පොලිසිය ගිය විට චම්පික ප්‍රශ්න කළේ උසාවි වරෙන්තු තිබේද? කතානායක ඒ ගැන දන්නේද? කියාය. එවිට පොලීසිය නීතිපති නියෝගය පෙන්වා ඇත. කතානායක ද දැනුවත් කරන වග පවසා තිබිණි. කෙසේ හෝ අත්අඩංගුවට ගත් චම්පික හිටපු අමාත්‍යවරයා පළමුව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයටත් අනතුරුව රාත්‍රී මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කෙරිණි. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

චම්පික අත්අඩංගුවට ගත් පුවත දැනගත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ චම්පිකගේ නිවෙසට පැමිණියේය. තිනියාවල පාලිත හිමි ද, කරැණාරත්න පරණවිතාන, හර්ෂණ රාජකරුණා, සුජීව සේනසිංහ ආදී මන්ත්‍රීහු ද පැමිණ සිටියහ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැමිණ නොසිටියත් ඔහු සිය මුහුණුපොත මගින් චම්පිකට සහාය පළ කර ප්‍රකාශයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ මෙම අවස්ථාවේදී තමන් චම්පික තනි නොකරන බවය. ආණ්ඩුවේ පළමු බිල්ල චම්පික බවත් ඔහුගේ ජයග්‍රහණයටත් වඩා පරාජයේදී ඔහු සමඟ තමන් සිටින වගත් රාජිත එහි සඳහන් කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර ගණනාවකට පසු අරලියගහ මැඳුරට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණි. සුහද සාකච්ඡාවක් සඳහා මහින්ද හමුවූ හිටපු ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණය ගැනත් රටේ තොටේ දේශපාලන තත්ත්වය ගැනත් රාජපක්ෂ මහතා සමඟ සෑහෙන වේලාවක් සාකච්ඡා කොට පැයකට පමණ පසු පිටත්ව ගියේය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බඩු මිල ඉහළ යාම ස්විස් තානාපති කාර්යාල සිද්ධිය ආදි දේ ගැන කතා කරගෙන යද්දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා උතුරේ පස් හා වැලි ප්‍රවාහනය ගැන කෙරෙන නීති විරෝධී කටයුතු ගැන සඳහන් කරමින් කතා කරන්නට විය. ඒ ගැන අවශ්‍ය පියවර ගන්නට ඇමැතිවරයා රජයේ ප්‍රධානියකුට පැමිණිලි කළේ නැත්දැයි ජනාධිපතිතුමා ඩග්ලස්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔහු දන්නා සිංහලෙන් උත්තර දෙමින් කීවේ “මම මේක ළඟදි ලොකු ජනාධිපතිතුමාට කිව්වා” කියාය. ඩග්ලස්ගේ එම කතාවත් සමඟ කැබිනට්ටුවේ සැමටම හිනා ගියේය. ඔහු තමන්ගේ පැමිණිල්ල හිටපු ජනාධිපති හා වත්වන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බව එයින් අදහස් කළ බව දැනගත් ගෝඨාභය රාජපක්ෂ මහතා “ඔව් ඔව් ඒක අගමැතිතුමා මට කිව්වා” යැයි කියමින් ප්‍රශ්නය සමථයකට පත් කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන යාම ගැන එසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබීම ගැන අත්අඩංගුවට ගනු ඇතැයි කතා පැතිරෙන්නට විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් මේ ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් පැමිණිලි පිට පැමිණිලි ලැබුණත් අදාළ කාරණාවලට විධිමත් සාක්ෂි නොමැති කිසිම පැමිණිල්ලක් ගැන ක්‍රියා නොකරන ලෙස ජනාධිපතිවරයා නීති අංශවලට උපදෙස් දී ඇත. රාජිත සේනාරත්න ගැන පමණක් නොව සජිත් ප්‍රේමදාස රිෂාඩ් බදුර්දීන් ආදී හිටපු අමාත්‍යවරු ගැන රජයට ලැබී තිබුණ පැමිණිලි විමර්ශනය කෙරෙමින් පවත්නා බව දැනගන්නට තිබේ. ඒ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගිය බ්‍රහස්පතින්දා අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තමන්ට අපේක්ෂිත ඇප ඉල්ලා සිටියේය.

එ.ජා.පයේ තිබෙන නායකත්ව අරගලය එසේම තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ අවසානයේ නිවාඩුවක් ගතකිරීමට බෞද්ධ රටක් වන මොංගෝලියාව බලා පිටත්ව යාමට නියමිත බව බ්‍රහස්පතින්දා වාර්තා විය. පක්ෂයේ මන්ත්‍රීන්ගේ ඉල්ලීම අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කළ අතර එහි නිල කාලය මෙම දෙසැම්බර් මස 31 දායින් හමාර වෙයි. රනිල් නිවාඩුව අවසන්කොට මෙරටට පැමිණි පසු නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කිරීමට නියමිතය. එම පත්වීම් සිදුකිරීමේදී කෘත්‍යාධිකාරියේ මුහුණු බොහොමයක් වෙනස් වනු ඇතැයි අප වෙත වාර්තා වෙයි.
► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර