2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

එ.ජා.පයේ මහ ඡන්ද මෙහෙයුම කාටද?

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

► ජනපති රජරට අවතැන් කඳවුරුවල ජනතාවගේ සුවදුක් විමසයි

► තමන්ගේ මිනිස්සු මහ පුටුවලට දමන්නට ගිය ලොක්කෙකුට මහින්දගෙන් දෝස් මුරයක්

► රනිල් උතුරු ඉන්දියාවේ නිවාඩුවක

► කතානායක කාර්යාල මාධ්‍ය නිවේදනය දිනේෂ් ප්‍රතික්ෂේප කරයි

► චම්පිකට ඇප: රාජිත අත්අඩංගුවට

► මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකුවේ මහ පුටුවට ආ හැටි

2019 වර්ෂ අවසාන නිවාඩුව එළැඹ තිබුණත් වෙනත් වර්ෂවලට වඩා මේ නිවාඩු කාලයේදී දේශපාලන කටයුතු සක්‍රීය ලෙසින් සිදුවෙමින් පවතී. රට පුරා විශාල කාලගුණ විපර්යාසයක් සිදුවී ලක්ෂයකට ආසන්න පිරිසක් විපතට පත්ව සිටිති. ඒ නිසා ගංවතුර විපත් බලපෑ දිස්ත්‍රික්ක 13ක දේශපාලනඥයන්ට මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ටද නත්තල් නිවාඩුව තුළ ද කාර්යබහුල තත්ත්වයක් දක්නට ලැබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සඳුදා තමන්ගේ සියලු නිල කටයුතු අවලංගු කර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද සමඟ ගංවතුරින් විපතට පත් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව මුණගැසීම සඳහා එහි ගියේය. අනුරාධපුරය ජනාධිපති මන්දිරයේ ඒ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු පළාත් දේශපාලනඥයන්ට උපදෙස් දුන්නේ වහා අවශ්‍ය සහන සලසා දෙන ලෙසයි. ගංවතුර හෝ වෙනත් කාලගුණ පීඩා නතර කළ නොහැකි බැවින් ගංවතුරින් යටවන ගංගා පහළ නිම්නවල ජනතාවට අනතුරුදායක නොවන රජයේ ඉඩම්වල නිවාස තනා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ට හා දිසාපතිවරයාට නියම කළේය.

මෙම කතාබහෙන් අනතුරුව සහන කඳවුරු ගණනාවක් ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගියේ මේ දිනවල ඉහළ ගොස් ඇති හාල් එළවළු ආදියේ මිල ගැන දැනගන්නටයි. දැන් එහි අලෙවි කරන්නේ ද ආනයනික ආහාර ද්‍රව්‍ය බව දැනගත් ජනාධිපතිවරයා ඒවා සහන මිලට ලබාදීමේ හැකියාව ගැන ප්‍රශ්න කළේය. අනතුරුව අල, ලූනු, මිරිස්, තාක්කාලි ආදිය ශීත ගබඩාවල තැන්පත් කොට පසුකාලයේ ප්‍රයෝජනයට ගන්නට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පෙන්වා දුන්නේය.

මෙහිදී අමුමිරිස් මිල ගැන විශේෂයෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමන් ඒ මොහොතේ දැනගත් පරිදි ගොවීන්ගෙන් රුපියල් 120 මිලට ගන්නා අමුමිරිස් කිලෝව රුපියල් 240කට එම වෙළෙඳපොළේම අලෙවි කරන්නේ ඇයිදැයි විමසීය. මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සීයට සීයක් ලාභ තබාගෙන විකිණීම වරදක් බව පෙන්වා දුන්නේය. පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් වන ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්, එල්.ඒ. මිත්‍රපාල ආදීන් මුණගැසුණු ජනාධිපතිවරයා සහල් මිල ගණන් ඉහළ නැගීම ගැන ප්‍රශ්න කොට ඒ සඳහා දිගුකාලීන විසඳුමක් ලබාදිය යුතු බව අවධාරණය කළේය. ඊට වහාම තමන් මැදිහත් වන වග ද කීය. 

අනුරාධපුර හා පොළොන්නරු චාරිකාවලින් පසුව රජයේ ජීවන වියදම් කමිටුව ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා භාණ්ඩ මිල ගණන් පාලනය ගැන තීරණ ගණනාවක්ම ගත් අතර වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් නිතිපතා වැටලීමටද උපදෙස් දුන්නේය.

සතියක පමණ කාලයක් අත්අඩංගුවේ පසුවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මේ සතියේ ඇප හිමිවිය. ඔහුට ඇප ලබාගැනීමෙන් පසු එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් මෙන්ම රණවක හිටපු අමාත්‍යවරයා ද පැමිණ සිටි හිතවතුන් අමතමින් කීවේ ආණ්ඩුව කරගෙන යන දේශපාලන මර්දනයට එරෙහිව දිගටම සටන් කරන බවය. අධිකරණය තමන්ට සාධාරණය ඉටු කරනු ඇතැයිද හෙතෙම පැවසීය.

හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා රාජගිරියේ රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පසු එ.ජා.පයේ මැති ඇමැතිවරුන් චම්පිකගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත යන්නට පටන්ගෙන ඇත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම කතානායක කරු ජයසූරිය මහතා ද චම්පික රණවක බලන්නට බන්ධනාගාරයට ගියෝය. සිරගත කරන ලද මන්ත්‍රීවරයකුගේ සුවදුක් විමසීමට කතානායකවරයා සහභාගි වූයේ ප්‍රථම වතාවට බව දේශපාලන ආරංචි මාර්ග කියයි. හිටපු අගමැති රනිල් චම්පිකගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ පැයක පමණ කාලයක් රනිල් හා චම්පික අදහස් හුවමාරු කර ගත්තෝය. එහිදී චම්පික රනිල්ට කියා ඇත්තේ මෙම සිදුවීම තමන් පමණක් ඉලක්ක කර ගත්තක් නොවන බවය. අනාගතයේදී තවත් එ.ජා.ප. මන්ත්‍රීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන මහමැතිවරණයේ දී ආණ්ඩුව 2/3ක පාර්ලිමේන්තු බලයක් අත්පත් කර ගන්නට තැත් කිරීම බරපතළ අනතුරක් යැයි චම්පික රනිල්ට පෙන්වා දුන් බව දේශපාලන ආරංචි මාර්ග කියයි. කෙසේ හෝ චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධිය ගැන මේ සතියේත් (24දා) අධිකරණයේදී නඩුව කැඳවනු ලැබීය. චම්පිකගේ නීතිඥයන් ඔහුට ඇප ලබාගන්නට ගත් උත්සාහය එදින සාර්ථක විය.

චම්පික රණවක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු මේ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතින් පිරිසක් ජනාධිපති ගෝඨාභයගෙන් ඒ ගැන කරැණු විමසා සිටියේ පසුගියදා විජේරාම නිවෙසේ පැවති සුහද හමුවකදීය. ජනාධිපති ගෝඨාභය ඒ සියලු දෙනාට පැහැදිලිවම කීවේ දේශපාලනඥයකු නොව වෙනත් කිසිදු සාමාන්‍ය පුද්ගලයකුවත් සාක්ෂි නොමැතිව කිසිදු කරුණකට අත්අඩංගුවට නොගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට තරයේම උපදෙස් දී ඇති බවය.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ද සුදු වෑන් මාධ්‍ය හමුවක් තැබීම සම්බන්ධයෙන් දැනට චෝදනා ලබා ඇත. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ විදේශ ගමන්ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. රාජිත ප්‍රථම වරට අධිකරණය වෙත ගොස් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළේය. නමුත් එය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව තවත් අපේක්ෂිත ඇප අයැදුම්පත් දෙකක් වාර දෙකකදී රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒවා ලබන 30දා සලකා බලන වග මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනුම් දී ඇත. එහෙත් ගිය අඟහරුවාදා නීතිපතිගේ උපදෙස් මත රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව පොලීසිය ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ වී ඇත. ඒ අතර රාජිත හා චම්පික රණවක හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තව තවත් පැමිණිලි පොලිස් මූලස්ථානයට ඉදිරිපත් වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මේවාද ඉදිරියේදී විමර්ශනය කරනු ලැබීමට නියමිතය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක හමුවක් ගිය සඳුදා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබීය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරැණේ ලබන මස 03දා පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයා මැතිසබය ඇමතීම සම්බන්ධවය. එදින ජනාධිපතිවරයා මැතිසබය අමතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ පසු දහවල් නැවතත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ජනවාරි මාසයේ ඉදිරි දිනවල මැතිසබා රැස්වීම්වලට අදාළ න්‍යාය පත්‍ර සාකච්ඡා කෙරේ. එදින රත්නපුර දිස්ත්‍රික්කයේ නව මන්ත්‍රීවරයකු ලෙස වරුණ ලියනගේ මහතා දිව්රුම් දීමට නියමිතය. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායක ලෙස කතානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇතැයි කතානායකවරයා පක්ෂ නායකයන්ට දැන්වීය. මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගත් විපක්ෂනායක අසුන එදින සිට සජිත්ට වෙන්කෙරෙන අතර රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගත් අගමැති අසුන මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කෙරේ. එදිනට ආණ්ඩු පක්ෂයෙන් නව සභා නායකවරයකු, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා නියෝජ්‍ය සංවිධායකද පත්කෙරෙන වග සාකච්ඡා විය.

පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන ද එහිදී සාකච්ඡා කෙරිණි. මේ ගැන පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා කරුණු විමසා අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන බව කතානායකවරයා පක්ෂ නායකයන්ට දැන්වීය. පොලිස් කොමිෂන් සභාව ද ඒ ගැන දැනුවත් කරන්නට පියවර ගන්නා වග කතානායකවරයා කීය. චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය වූ බව පක්ෂ නායකයන් පිළිගත් බව පසුව ඒ ගැන කතානායකවරයා නිකුත් කළ නිවේදනයක දැක්විණ.

මෙවර පක්ෂ නායක හමුවට විපක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි. ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක, රවුෆ් හකීම්, අජිත් පී පෙරේරා ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක්ද ඊට පැමිණ සිටි අතර ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ද එක්ව සිටියහ.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සුන්දර සංචාරක පුරවරයක් වන ඌටිහි නිවාඩුව ගත කරමින් සිටී. ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත් මාධ්‍ය ජාලයේ අධිපති එන්, රාම් මහතාගේ සුඛෝපභෝගී නිවාඩු බංගලාවක රනිල් නිවාඩුව ගත කරන බව දැනගන්නට ඇත. මෙම සති අන්තය වන විට නිවාඩුව හමාරකොට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අනතුරැව රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සාමාජිකාවන් පත් කරනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. සෑම වසරකම දෙසැම්බර් 31 වන විට එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ කාලය අවසන් වෙයි. ඒ අනුව මෙවරද නව පත්කිරීම් සිදු කරනු ඇත. ඒ අතර සජිත් ප්‍රේමදාස හිතවාදීන් කල්පනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහමැතිවරණය තෙක් පක්ෂ නායකත්වය අතනොහරිනු ඇති බවය. නත්තලට පෙරදා කොළඹදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් පිරිස් මුණගැසුණු නිල නොවන හමුවකදී මේ බව අවධාරණය කෙරිණි. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය නොමැතිව මහමැතිවරණය මෙහෙයවන්නේ නැත යන ස්ථාවරය දරන නිසා රනිල් වික්‍රමසිංහ මහතාටම මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇතැයි මෙම මන්ත්‍රී පිරිස අවධාරණය කර ඇත. හරින් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් මෙම කතාබහට එක්ව සිටි බව දැනගන්නට ඇත.

එහෙත් රනිල් පාර්ශ්වයේ අදහස එ.ජා.පයට නායකත්ව මණ්ඩලයක් පත්කොට මහමැතිවරණය මෙහෙයවීමයි. එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කරන්නේ නම් කරු ජයසූරිය මහතාට පැවරෙනු ඇතැයි සඳහන්ය. මෙම මතයට රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග ආදී ජ්‍යෙෂ්ඨයන් සහාය පළ කර ඇතැයි දැනගන්නට තිබේ. මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීම ලබන ජනවාරි මස මුල් සතියේදී සිදු කිරීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ නව ගමනක් පිළිබඳ සාකච්ඡාවක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය කාලය පුරා පක්ෂයේ ඡන්ද පදනම අඩාලවීම නිසා ජ.වි.පෙ. මෙම සාකච්ඡාවට අවතීර්ණව සිටී. ගිය වසරේ පැවති පළාත් පාලන ඡන්දයේදී ජ.වි.පෙට ලැබුණු ඡන්ද ප්‍රමාණය 2019 වන විට ලක්ෂ තුනකින් පමණ අඩුවී පක්ෂයේ අපේක්ෂකයාට ඇපයත් අහිමිවීම නිසා පක්ෂ තුළ ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුය යන කතාබහ ඇතිවී තිබේ. මෙහි ප්‍රධානත්වය ගෙන ඇත්තේ ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයන් වන ටිල්වින් සිල්වා සහ ලාල් කාන්ත ඇතුළු පිරිසක් බව දැනගන්නට ඇත. නව පක්ෂ නායකත්වයක් ගැන ද සාකච්ඡාවක් ඇරුඹී ඇති බව සඳහන් වේ. මෙහිදී ටිල්වින් සිල්වා මහතා පක්ෂ නායකත්වයට සුදුසු යැයි යෝජනා වූ බවද නිල නොවන ආරංචි මාර්ග කියයි. එහෙත් එය ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයෝ විවෘතව පිළිනොගනිති.

ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීම තවදුරටත් සිදුවෙමින් පවතී. රජයේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයකු පත් කිරීම රජය මුහුණදුන් ප්‍රධානම අභියෝගයකි. මේ උසස් තනතුර සඳහා විවිධ පාර්ශ්ව ගණනාවකින් නාමයෝජනා ඉදිරිපත් විය. ඇතැමුන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම ඉදිරිපත් කළ අතර තවත් සමහරු මහ බැංකුවෙන් විශ්‍රාමලත් හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් සහ තවත් උසස් නිලධාරීන් ගණනාවකගේ නම් යෝජනා කළහ. පසුගිය කාලයේ ආර්ථික මෙන්ම දේශපාලන කුණාටුවලටද මුහුණදුන් මහ බැංකුවට එහි කීර්තිනාමය ඉදිරියට ගෙන යා හැකි විද්වතකු පත් කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් මහින්ද රාජපක්ෂ මහතාගේත් අදහස විය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන සියලු දෙනාගේ ඒකමතික අනුමැතිය ලැබුණු කොළඹ සරසවියේ හිටපු උප කුලපති හා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් තෝරාගත් අතර වහාම එම පත් කිරීම සිදුකරන ලෙස ජනාධිපතිවරයා සිය ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට නියම කළේය.

මේ හැර තවත් රාජ්‍ය ආයතන ගණනාවක් සඳහා රාජ්‍ය සේවයේ ප්‍රවීණ පළපුරුදු නිලධාරීන්, පෞද්ගලික අංශයේ ප්‍රබල ව්‍යාපාරිකයන් හා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පත් කිරීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව දැනට අශෝක පතිරගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයටද, සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩලයට ද පත්කර ඇත. ආචාර්ය ජගත් වැල්ලවත්ත රක්ෂණ සංස්ථාවටද, ප්‍රකට ගණකාධිකාරිවරයකු වන සුජීව රාජපක්ෂ මහජන බැංකුවටද, නීතිඥ කාංචන රත්වත්ත ලංකා බැංකුවටද, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ලේක් හවුසියටද, පරිපාලන සේවයේ ප්‍රවීණයන් වන ජගත් විජේවීර ජාතික ඉතිරි කිරීමේ බැංකුවටද, වෛද්‍ය නිහාල් ජයතිලක රෑපවාහිනී සංස්ථාවටද පත් කර තිබේ. හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වසන්ති මංචනායක උකස් ආයෝජන බැංකුවට පත් කළ අතර වරාය අධිකාරියට ජනරාල් දයා රත්නායක ද, ගුවන් තොටුපොළ සමාගමට මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිද, මේජර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ද සොයිසා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ද පත් කර ඇත. මෙම ආයතනවලට අමතරව තවත් රාජ්‍ය ආයතන ගණනාවකට ප්‍රධානීන් පත් කිරීමට නියමිතය. රජයේ ප්‍රධාන නිලධාරීන් රැසක්ම වර්ෂ අවසාන නිවාඩුව ලබාගෙන ඇති බැවින් ඒවා පිරවීම තවත් දින කිහිපයක් ප්‍රමාද වනු ඇති බව දැනගන්නට තිබේ. රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන් තෝරා පත්කර ගන්නට පත් කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිලධරයකු තමන්ට අභිමත පරිදි නිලධාරීන් පත් කිරීමට තැත්කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වෙයි.

අධිකරණ වරෙන්තු නිකුත් කර දින දෙක තුනක් ගත වන‍ තෙක් හිටපු ඇමැති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත. රාජිත සොයා  ඔහු තවමත් පදිංචි බෞද්ධාලෝක මාවතේ නිවෙසටත් රාජිතට අයත් කළුතර නිවාස දෙකකටත් රහස් පොලිස් නිලධාරීන් ගිය ද ඒ කොතැනකවත් රාජිත සිටියේ නැත. රාජිතගේ පවුලේ සාමාජිකයන් පොලීසියට පවසා තිබුණේ ඔහු නිවෙසට නොපැමිණි බවය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප ලැබීමෙන් පසු දළදා මැඳුරට ගොස් පුදපූජා කර දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් කීවේ තමන් අතින් සිදුවූ බරපතළම වරද 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීම බවය. එසේම මෙබඳු නීති ප්‍රශ්නවලදී තමන් අධිකරණය කෙරේ විශ්වාසය තබන බව පැවසූ හිටපු අමාත්‍යවරයා හිටපු අමාත්‍ය රාජිත ද අධිකරණයට හා නීතියට ගරු කරමින් සුදුසු වේලාවේදී උසාවියට භාරවනු ඇතැයි සඳහන් කළේය.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද පක්ෂ නායක රැස්වීමට අදාළ මාධ්‍ය ප්‍රකාශය අසත්‍ය බව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනයක් බවට පක්ෂ නායකයන් පිළිගත්තේ යැයි කියන කියමන සහමුලින් අසත්‍ය බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද දිනේෂ්ගේ ප්‍රකාශයේ දැක්විණි. එහි පදනම් විරහිත කරුණු ඇතුළත් යැයි ප්‍රකාශ කර තිබෙන දිනේෂ් ගුණවර්ධන මහතා එම නිවේදනය ජනතාව නොමග යවන සුළු යැයි ද කීය. පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා ඒ ගැන විමසීමක් කරන්නේ යැයි කතානායකවරයා පක්ෂ නායකයන්ට දැන්වූ බවත් ඒ ගැන පසුව පක්ෂ නායකයන් දැනුවත් කරන වග ප්‍රකාශ කළ බවත් දිනේෂ්ගේ නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය කැඳවන දා මෙතෙක් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔවුන් සමඟ අසුන්ගත් මන්ත්‍රී කුමාර් වෙල්ගම විපක්ෂයේ අසුන්ගන්නා බව ප්‍රකාශ කර තිබේ. එසේම එ.ජා.ප.ය සමඟ මෙතෙක් අසුන්ගත් අතුරලියේ රතන හිමි හා වසන්ත සේනානායක මහතා ආණ්ඩු පක්ෂයේ අසුන්ගන්නා බව කියා තිබේ.

පසුගිය සතිය පුරාම දේශපාලන ක්ෂේත්‍රයේ පුවත් මැවූ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සී.අයි.ඩී. භාරයට පත්ව සිටී. ඔහු ගිය බ්‍රහස්පතින්දා සවස 7.30ට පමණ කැප් තොප්පියක් හා අව් කණ්නාඩියක් දමාගෙන කොළඹ නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත්වීම සඳහා එකවරම පැමිණියේ සිය බිරිඳ ද සමඟය. අකිල විරාජ් සහ  ආශු මාරසිංහ මහත්වරු ද රාජිත සමඟ ආහ. තමන්ට හදවත් රෝගයක් ඇති බව පවසා රෝහල් ගතවූ රාජිත එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. වෛද්‍ය එම්.ආර්. මුබාරක් රාජිතගේ ප්‍රතිකාර භාරව සිටී. 

ගිය අඟහරුවාද රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කිරීමෙන් පසු රාජිත සේනාරත්න මහතා හිටි අඩියේම අතුරුදන් විය. එ.ජා.පයේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම වික්‍රමබාහු කරුණාරත්න, චන්ද්‍රගුප්ත තේනුවර ආදීන් ද රාජිතගේ නිවෙසට පැමිණ ඔහු ගැන විමසා තිබිණි. ඒ සමඟ සී.අයි.ඩිය ද ස්ථාන ගණනාවක කළ විමර්ශනවලින් රාජිත හමුනොවූ බව මුලින්ද අපි සඳහන් කළෙමු. ගිය බ්‍රහස්පතින්දා වන විට පොලීසිය විශේෂ කාර්ය බළකාය ද යොදවා රාජිත ගැන කළ විමර්ශන ඉතා පුළුල් ලෙස ස්ථාන ගණනාවක සිදු කිරීමට සැලසුම් කළේ ඔහු ගැන ලැබුණු ඔත්තු ගණනාවක් අනුවය. ඒ අනුව රාජිතගේ නිවෙස පොලිස් විශේෂ කාර්ය බළකාය පරීක්ෂා කරද්දී සැබෑවටම රාජිත අත්අඩංගුවට ගැනීමට නියමිත සී.අයි.ඩී. පිරිස තමන්ට ඔත්තුව ලැබුණු වෙනත් ස්ථාන දෙකක් සම්බන්ධයෙන් වූ තොරතුර බොහෝදුරට නිවැරදි යැයි අනුමාන කරමින් සොයා බලන්නට වූහ. එයට අදාළ මෙහෙයුම බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ දියත් කිරීමට යද්දී හදිසියේම රාජිත සේනාරත්න මහතා රෝහල් ගතවූ පුවත වාර්තා විය. ඒ සමඟ රෝහලට ගිය සී.අයි.ඩීය රාජිතගේ කාමරය වටා මුරකාවල් යෙදීය.ඉන් පසු දා සවස අධිකරණ නියෝගය පරිදි රාජිත අත්අඩංගුවට ගනු ලැබීය.

රාජිත සේනාරත්න මහතා සම්බන්ධ සිද්ධිය ගැන සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්විණි. එය පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි. එහිදී අකිල විරාජ් සඳහන් කළේ සුදු වෑන් මාධ්‍ය හමුව රාජිත විසින් සංවිධානය කළේ සමාජයේ පොදු යහපත පිණිස බවය. ඒ නිසා සුදු වෑන් කිඹුල් කතා ගැන නොසොයා රාජිත ගැන විමර්ශනය කිරීම ඔහුගේ නිදහසට හානියක් යැයි අකිල මහලේකම්වරයා කීය. මෙම මාධ්‍ය හමුවේදී දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා ද අදහස් දක්වා තිබිණි. ඔහු කීවේද රාජිත ගැන නොව සුදු වෑන් ගැන සෙවීම ආණ්ඩුවේ වගකීම බවයි. සුදු වෑන් භීෂණය ගැන වසර 10ක පමණ තිස්සේ රටේ කතාබහක් ඇතිවී තිබෙන නිසා ඒ ගැන රජය විමර්ශනය කළ යුතු යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ නියෝගය අනුව පොලීසියට භාර නොවී දින ගණනාවක් සැඟව සිටි රාජිත සේනාරත්න මහතා සැඟව සිටි ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානී අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය හමුවේ හෙළිදරව් කරන ලදී. අනුර දිසානායක ප්‍රකාශ කළ ආකාරයට රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේය. මහින්දගේ නිවෙසේ සිටි නිසා සී.අයි.ඩියට රාජිත සොයාගන්නට නොහැකි වූ බවද ජ.වි.පෙ. නායකයා පැවසීය. මෙහිදී සී.අයි.ඩිය සම්බන්ධයෙන්ද විවේචනාත්මක අදහස් දැක්වූ හෙතෙම වරෙන්තුකාර මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට නොහැකි තරමට සී.අයි.ඩිය කඩා වැටී ඇතැයි සඳහන් කළේය. ආණ්ඩුව රාජිත රකින ගමන් සී.අයි.ඩිය රස්තියාදු කරවන බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.

කෙසේ හෝ රාජිත රෝහල් ගතවීමත් සමඟ රාජිතගේ පුවත් මැවීම හමාර වූ අතර අත්අඩංගුවට ගානීමෙන් පසු ඉතා ඉක්මනින් ඔහු සම්බන්ධව නඩු කටයුතු අධිකරණයේදී ආරම්භ කෙරෙන බව පොලීසිය කියයි.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර