2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

කැබිනට් රහස්

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

  • ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුර අලකලංචිය
  • විදේශ ඉල්ලූ ජී.එල්.ට අධ්‍යාපනය ලැබෙයි
  • කාදිනල්තුමා හමුවට ලලිත් වීරතුංග යයි
  • විජයදාස රාජපක්ෂගෙන් ජනපතිට ඇමතුමක්
  • සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අවුල
  • අලි සබ්රිට අධිකරණය දුන්නට පිරිසකගේ විරෝධය
  • මහින්ද යාපාගෙන් කතානායක නිල ඇඳුම ගැන විමසුමක්

රහස් සපිරි දේශපාලන සතියක් ගෙවී ගියේය. අභිනව ආණ්ඩුවේ මැති ඇමති දිවුරුම්දීම ද සිදුවිය. ඇමතිකම් ලද්දෝ සතුටු වූහ. නොලද්දෝ දුක් වූහ. ඇතැමුන්ට ලැබූ ඇමැතිකම් මදි විය. කෙසේ නමුත් අවසානයේ සියල්ල ජනපතිට අගමැතිට ඕනෑ පරිදි සිදුවිය. කැබිනට්ටුව පත්කිරීමට පෙරම ඒ ඒ ඇමැතිකම් පිළිබඳ විවිධ කටකතා ආරංචි පැතිර යන්නට විය. ආණ්ඩුවේ ප්‍රබලයන් විවිධ තනතුරුද බලාපොරොත්තු වූ බව පෙනී ගියේය. පොහොට්ටුව පිබිදවීමට දරදිය ඇදි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍යාංශය තමන්ට ලැබෙනු ඇතැයි තදින්ම සිතා සිටියේය. නමුත් දිනේෂ් ගුණවර්ධන මහතාටම එම අමාත්‍යංශය ලබාදීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර තිබුණේ මීට මාසයකට පමණ පෙරය. ජීල්.එල්. පීරිස් මහතා ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවට සිය අවනඩුව ගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ &ඔබතුමාට අපි දෙන්න යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඔබතුමා ඒ ගැන විශේෂඥයෙක්. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ අමාත්‍යාංශය ඔබතුමා හරියට කරයි කියලා යනුවෙනි. ජනාධිපතිද සිටියේ මේ තීරණයේය. ජී.එල්. පීරිස් මහතා හිටපු උප කුලපතිවරයෙකුද වන නිසා අධ්‍යාපන ප්‍රතිපත්ති විෂය මාලා වෙනස්කම් පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කළේය. කෙසේ නමුත් ජී.එල්. පීරිස් මහතාගේ ලැදියාව විදේශ අමාත්‍යාංශයටම වූ අතර අවසානයේ බැසිල් රාජපක්ෂ හමුවේද සිය අවශ්‍යතාව ඔහු විස්තර කළේය. බැසිල් රාජපක්ෂ කීවේ වෙනස්ම කතාවකි. &මහාචාර්යතුමා ඔබතුමා බොහොම ගෞරවණීය කෙනෙක්. අපේ පක්ෂයේ සභාපති. ඔබතුමා. විදේශ ඇමැතිවෙලා රට යන්න පටන් ගත්තම අපේ පක්ෂය කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ යනුවෙනි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක්ද ලොබ බැඳ සිටියේය. ඔහු කොළඹ වැඩසිටින එක්තරා නිකායක මහානායක හිමිනමක් ලවා ජනාධිපතිට දුරකථනයෙන් අමතා අධ්‍යාපන අමාත්‍ය ධූරයට සුදුස්සා තමා බව ඒත්තු ගැන්වීය. නාහිමියන්ට ජනපති බොහොම ගෞරවයෙන් කියා සිටියේ විෂය වෙනස් කිරීම නම් දැන් සිදුකළ නොහැකි බවයි. නමුත් මෙම චරිතය වෙනුවෙන්ද හොඳ අමාත්‍යංශයක් වෙන්කර ඇති බව ජනපති නාහිමියන්ට කියා සිටියේය.

සමගි ජනබලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධව අර්බුදයකට මැදි වූයේ මේ අතරය. ඔවුන්ට ලැබී තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර හතක් පමණි. කල් ඇතිවම පක්ෂ මහලේකම් ඇතුළු ප්‍රබලයන් පිරිසක් ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබිණි. ඒ අනුව ඔවුහු ලැයිස්තු මන්ත්‍රීධූර නවයක් පමණ බලාපොරොත්තුවෙන් සිටියහ. උත්ගත වූ තත්ත්වය මත පළමුව තමන්ට සාධාරණයක් විය යුතු යැයි කියා ඉදිරියට පැමිණියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ මනෝ ගනේෂන් මහතාය. ඔහු ආරම්භය ගත්තේ තරමක් තර්ජනාත්මක ස්වරයකිනි. ඒ සමඟ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන අය ද සිය පක්ෂවලට මන්ත්‍රීධූර ඉල්ලා සිටියහ. මේ අතර හිරැණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙක් ද ලැයිස්තුව පිළිබඳව සිහින මවමින් සුළු බලපෑම් කරන්නට වූහ. 

මනෝ ගනේෂන්ට ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලැබේ නම් මුස්ලිම් පක්ෂ දෙක ද මන්ත්‍රීධූරයක් ඉල්ලා සිටියහ. සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.  හරීන් ප්‍රනාන්දු කීවේ කාගේ මන්ත්‍රීකම ස්ථිර නැතත් තමන්ගේ මන්ත්‍රීධූරය ස්ථිර බවයි. ඒ අතර විපක්ෂයේ සිටින නිසාවෙන් සංවිධාන ශක්තිය ඇති ප්‍රබලයන් ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස පෙන්වා දුන්හ. අවසානයේ ප්‍රශ්නයට මුල වූ මනෝ ගනේෂන් මහතා අඩියක් පස්සට ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාටම ලැයිස්තුව තීරණය කිරීමට ඉඩ දීමට අකමැත්තෙන් නමුත් ඔහු එකඟ විය.

අවසානයේ අගෝස්තු 13 වැනි බ්‍රහස්පතින්දා දින සමගි ජනබලවේගය සිය ලැයිස්තුව මැතිවරණ කොමිසමට භාරදෙනු ලැබීය. සුළු පක්ෂවලට එහි ඉඩකඩ වෙන් වී නොතිබුණි. ඒ අනුව අවසානයේ රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක, මයන්ත දිසානායක, එරාන් වික්‍රමරත්න, ඩයනා ගමගේ යන අයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීධූර හිමි විය. 

ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාගේ පත්වීම ආරම්භයේ පටන්ම ආණ්ඩුවට මතුකළේ ගැටලුය. ජනාධිපති නීතිඥයකු ලෙස මෙරට විශාලතම ආදායමක් ලබන නීති විශාරදයකු වන අලි සබ්‍රි මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීමෙන් මූල්‍ය අතින් නම් යහපත් තත්ත්වයක් නැත. එහෙත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ ආරාධනයෙන් ඔහු ජාතිකවාදී මතයක් දරන චරිතයක් ලෙස දේශපාලනයට අවතීර්ණ වූයේය. අමාත්‍ය ධූරය භාරදීමට පෙරම ඔහුට ජනපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් 19 සංශෝධනය සම්බන්ධව සිදුවියයුතු වෙනස්කම් අධ්‍යයනයට බාරදී තිබුණි. ඒ නිසාම සබ්‍රි මහතා අදාළ කෙටුම්පත් ආදිය සකසමින් සිටියේය. කෙසේ වෙතත් අධිකරණ ඇමති ධූරය අලි සබ්රි මහතාට ලබාදීමට යන බව මහා නාහිමිවරුන්ට සහ කාදිනල්තුමන්ට ආරංචි වීමත් සමඟ ඇතිවූයේ බරපතළ අර්බුදයකි. කාදිනල්තුමන් මේ සම්බන්ධව ජනපති කාර්යාලය ඇමතුවේය. එතුමා කියා සිටියේ පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණවලට මෙම පත්වීම හරහා බලපෑමක් විය හැකි බවයි. කාදිනල්තුමන් මේ සම්බන්ධව කොතරම් දැඩිව කතා කළේද යත් මං ආයේ ඔබතුමාලට කතා කරන්නේ නෑ කියා දුරකතනයද විසන්ධි කර දැමුවේය. පසුව දුරකථනය ක්‍රියාවිරහිත කර ඓතිහාසික තලවිල පල්ලියට ගියේය.

මෙම ගැටලු නිරාකරණය කරගැනීමට ජනපති සහ අගමැති දෙපළම කාදිනල්තුමන්ව ඇමතූහ. අවසානයේ මෙවන් ගැටලුවලදී නිරන්තරයෙන් සාම නියෝජිතයා වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම ගැටලුවට මැදිහත් විය. වීරතුංග මහතා කාදිනල්තුමන් හමුවී කරුණු පැහැදිලි කරන්නට විය. ජනපතිද කරුණු පැහැදිලි කළේය. ජනාධිපති කීවේ අධිකරණ අමාත්‍යවරයාට පාස්කු ප්‍රහාර සම්බන්ධව පරීක්ෂණ කොමිසමට මැදිහත් විය නොහැකි බව සහ එය තමා පත්කළ කොමිසමක් බවයි. එසේම අලි සබ්‍රි මහතා ජාතිකවාදී චරිතයක් බවත් ත්‍රස්තවාදයට සහයෝගය නොදෙන අයෙක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළේය. දීර්ඝ කරුණු පැහැදිලි කිරීම්වලින් අනතුරුව කාදිනල්තුමාගේ සිත නොරිදෙන පරිදි මෙම තීරණය ගැනීමට ආණ්ඩුව සමත් විය. මෙම පත්වීමට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලාගෙන් පැමිණි විරෝධය කළමනාකරණය කරගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. මද්‍රසා පාසල් තහනම් කිරීම සහ නීති ක්ෂේත්‍රයේ යම් වෙනස්කම් කරගැනීමට නාහිමිවරැන්ට බලාපොරොත්තු තිබීම මෙම විරෝධයට ප්‍රධානතම හේතුව විය. අග්‍රාමාත්‍යවරයා ලෙස තමන්ගේ සහ ජනපතිගේ නිරන්තර අධීක්ෂණයට නීති ක්ෂේත්‍රයට යොමුවන බව රාජපක්ෂ මහතා ස්වාමීන්වහන්සේලාට පැහැදිලි කළේය.

මැති ඇමැතිකම් වෙනුවෙන් බොහෝදෙනා ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා මෙන්ම විවිධ ජනනායකයින් ලවා ජනපති, අගමැති අමතා ඉල්ලීම් කරන්නට වූහ. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන ආණ්ඩුවේ ප්‍රධානීහු එම බලපෑම්වලට අවනත නොවූහ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසුගිය අගෝස්තු නමවන ඉරිදා රැස්විය. පොහොට්ටුවේ එකඟතාව පරිදි කැබිනට් අමාත්‍ය ධූර දෙකක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර තුනක් ශ්‍රීලනිපයට හිමිවිය. ඊට අදාළ නම් නම් ලබාදීමට නියම වූයේ ශ්‍රීලනිපයටම ය. ඒ අනුව පළමුව මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා කැබිනට් අමාත්‍ය ධූර සඳහාත් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍ය ධූර සඳහාත් නම් කරමින් ලිපියක් යැවීය. නමුත් අවසානයේ මෙම තීරණය තරමක් වෙනස් විය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ලබාදෙන ඇමතිධූරය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මතුවූයේ ගැටලුවකි. සංස්කෘතික සහ ජාතික උරැමයන් පිළිබඳ අමාත්‍ය ධූරය පළමුව යෝජනා විය. කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ පිරිසක් මෛත්‍රී සිරිසේන මහතාට කථානායක ධූරය හිමිවේ යැයි අපේක්ෂා කළහ. එහෙත් පොහොට්ටුවේ පිරිස එවැන්නක් පිළිබඳ සිතා තිබුණේද නැත. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සංස්කෘතික සහ ජාතික උරැමයන් පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීමට යන බව හිතවත් මහා නාහිමිවරැන් කිහිපනමකට කීවේය. එවිට මෙරට ප්‍රධානතම මහානායක හිමිනමක් පෙරළා මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ ඔබතුමා බුද්ධශාසන අමාත්‍යාංශය ලබාදෙන්නේ කාටද? කියාය. ඒක මගේ ළඟ තියෙන්නේ. බුද්ධශාසනේ රකින්නේ මම මහින්ද මහතා කීවේය.  ඒ අනුව බහුතර නාහිමිවරුන් කියා සිටියේ බුද්ධශාසන අමාත්‍යාංශය සහ සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ එකට තිබිය යුතු බවයි. එසේ නොවුණහොත් අමාත්‍යාංශ පත්වාගෙන යාමේදී ගැටලු මතුවිය හැකි බවයි. ඔය දෙක වෙන්කරන්න එපා! මහත්තයම තියාගන්න අවසානයේ නාහිමිවරු පැවසූහ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අමාත්‍යාංශ අහිමි විය. පරිසර අමාත්‍යාංශය ලබාදීම පිළිබඳ මීළඟට අවධානය යොමුවිය.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් ලද අනපේක්ෂිත දැවැන්ත පරාජය හමුවේ අර්බුද රුසක පැටළුණි. තමන් වෙත ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබා දෙන්නේ කා හටද යන්න ඉන් ප්‍රමුඛ ගැටලුව විය. ඒ වෙනුවෙන් බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටියහ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කලේ නායකත්වය සඳහා නම් හතරක් යෝජනා කරමිනි. රනිල් වික්‍රමසිංහ මහතාට හදිසියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණි. ජනපති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය. ඔබතුමා ඔය මන්ත්‍රීධූරය බාරගන්න. ඔබතුමා වගේ පරිණත අත්දැකීම් තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒක රටට වැදගත්. ජනාධිපතිවරයා කීවේ අනපේක්ෂිත කතාවකි. එහෙත් සීරැමාරැවට පිළිතුරැ දුන් වික්‍රමසිංහ මහතා ජනපතිට ස්තූති කර පරාජිත අපේක්ෂකයන්ට ලැයිස්තු මන්ත්‍රීධූරය ලබා නොදීමට පක්ෂය කල් ඇතිවම තීරණය කළ බව කීවේය.

මේ අතර එජාප නායකත්ව අර්බුදය තවදුරටත් දික් ඇදෙමින් තිබේ. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් රවී කරැණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රැවන් විජයවර්ධන, පාලිත රංගේ බණ්ඩාර යන සියල්ලෝම එජාප නායකත්ව පොරපිටියට අවතීර්ණ වී සිටියහ. එහෙත් සති අග වන විට කරෑ ජයසූරිය මහතා දෙසට නායකත්ව අවධානය යොමුවෙමින් තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරෑ ජයසූරිය මහතා සඳහන් කර ඇති බවද කියවුණි. ඒ අනුව පක්ෂය විසින් ඒකමතිකව තමන්ට නායකත්වය ලබා දිය යුතු යැයි හෙතෙම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇතැයිද කියවුණි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අත්නොහැරීමේ තීරණයක් පිළිබඳව ද රාවයක් දේශපාලන කරළියේ පැතිර ගියේය.
රටේ තුන්වැනි බලවත් තනතුර වන කථානායක ධූරය කාහට හිමිවේද යන්න සතිය මුලදී කාටත් ගැටලුවක් විය. පොහොට්ටුවේ කාගේත් බලාපොරොත්තුව වූයේ පළපුරැදු සාධාරණ කථානායකවරයෙක් ලෙස ප්‍රකටව සිටි චමල් රාජපක්ෂ මහතා එම තනතුරට පත්කිරීමයි. නමුත් චමල් රාජපක්ෂ මහතා දිගින් දිගටම ඊට විරැද්ධ වූයේය. මහින්ද, මම මේ පාර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පහළට ගියේ ඔය ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ කථානායකකම කරපු නිසා. මට දිස්ත්‍රික්කයේ මිනිසුන්ට වැඩකරන්න ඕනෑ.* චමල් රාජපක්ෂ කීවේය. මහින්ද, බැසිල්, ගෝඨාභය යන බාල සහෝදරයන්ට අවසානයේ ලොකු අයියාගේ තීරණයට එකඟවීමට සිදුවිය. චමල් රාජපක්ෂ මහතා තවත් ඉල්ලීමක් කළේය. ඒ සිය පුතු ශෂීන්ද්‍ර රාජපක්ෂ පිළිබඳවයි. %ඔහු මහ ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති නිසා යම් සාධාරණ තනතුරක් ඔහුට දෙන්න^ යැයි හෙතම කියා සිටියේය. එම ඉල්ලීමද අවසානයේ සඵල විය.

කථානායක ධූරය චමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවිටම ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර මහින්ද යාපාට එය ලබාදිය යුතු බව තීරණය කළේය. 1983 දී හක්මණින් පාර්ලිමේන්තු ආ මහින්ද යාපා මහතාද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මෙන්ම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් විය. ඔහුට ද්විභාෂා හැකියාව මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ මනා අවබෝධයක් සහ මහ ඇමැතිවරයකුගේ අත්දැකීම්ද තිබීම ජනපතිගේ මෙම තීරණයට හේතුවිය. නමුත් යාපා මහතා ද මෙම තනතුර භාරගැනීමට දැක්වූයේ මැලිකමකි. නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් කීවේ කතානායක තනතුරට විශ්වාසවන්තභාවය අවැසි නිසා ඔහුව මෙම තනතුර භාරගත යුතු බවයි. ආණ්ඩුවේ ඕනෑම ඇමතිවරයකු ලවා කථානායකවරයාට වැඩ කරවාගත හැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. අවසානයේ මහින්ද යාපා මහතා තනතුර භාරගැනීමට එකඟ විය.

ඒ අනුව පසුගිය සතිය මැද මහින්ද යාපා මහතා සහ ඔහුගේ පුත් වෛද්‍ය චමීර යාපා පාර්ලිමේන්තු මහ ලේකම් හමුවට ගියහ. එය සුහද හමුවක් වූ අතර තමන්හට කථානායක ධූරය ලැබීමට ඉඩ ඇති බව මහින්ද යාපා මහතා මහ ලේකම්වරයාට කීවේය. මේ සංවාද අතරේ අපූරැ පැනයක් මතුවිය. ඒ කතානායක නිල ඇඳුම පිළිබඳවයි. මහින්ද යාපා මහතා කීවේ මට ඔය ඇඳුම අඳින්න පුළුවන් වෙයිද දන්නේ නෑ කියාය. කෙසේ නමුත් අලුතින් එවැනි ඇඳුමක් මැසීම වියදම් අධික කටයුත්තක් නිසා පරණ කතානායකවරුන්ගේ ඇඳුමක් ඇඳීම සුදුසු බව ඔහු කීවේය. ඒ අනුව නිල ඇඳුම් කිහිපයක් ගෙන්වා මහින්දයාපා මහතා ඇඳ බැලූ අතර අවසානයේ සුදුසු ඇඳුමක් ඒ අතර විය. එය තෝරා තබන ලෙස මහ ලේකම්වරයාට කී යාපා මහතා පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.

කැබිනට් ඇමති ධූර තේරීමේදී තවත් රසබර සිදුවීම් රැසක් සිදුවිය. උදය ගම්මන්පිල මහතාට හොඳ ඇමතිකමක් දියයුතු බව ජනපති දිගින් දිගටම කියා සිටියේය. රට ජාතිය පිළිබඳ හැඟීමක් ඇති පුද්ගලයකු ලෙස ජනපති ඔහු කෙරෙහි සිටියේ ප්‍රසාදයකිනි. ඒ අතර නාමල් රාජපක්ෂ මහතාට මෙවරත් කැබිනට් ඇමතිකමක් නොලැබී යන තත්ත්වයක් උදාවී තිබුණි. වසර දහයක් පාර්ලිමේන්තුවේ සිටියත් රාජපක්ෂ නාමය නිසා ඔහුහට මෙම අභාග්‍යය උදාවෙමින් තිබුණි. ඒ අනුව නාමල් මෙසේ කියා තිබුණි. මට දෙනවා නම් කැබිනට් ඇමතිකමක් දෙන්න. රාජ්‍ය ඇමතිකම් නම් එපා! මං අවුරැදු දහයක් පාර්ලිමේන්තු හිටියා. පසුව නාමල් වෙනුවෙන් කැබිනට් ඇමතිකමක් තීන්දු විය. නමුත් ඒ කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. ඒ අනුව බැසිල් රාජපක්ෂ බාප්පා හමුවට ගිය නාමල් තමන්ට ලැබෙන ඇමතිකම කුමක්දැයි විමසුවේය. බැසිල් දුන්නේ අපූරැ පිළිතුරකි. &ඔයා ගිහින් ඔයාගේ වැඩක් බලාගන්න. හොඳ එකක් හම්බවෙයි ඒක හරියට කරන්න.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත වූ අගෝස්තු 12 බදාදා දිනට පෙරදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මහනුවරට ගියෝය. නායකයන් දෙපළ සමඟ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් සිටියේ කතාබහකය. රාත්‍රී එකොළහට පමණ ලලිත් වීරතුංග මහතාට ලැබුණේ විශේෂ දුරකථන ඇමතුමකි. ඇමතුම විජේදාස රාජපක්ෂ මහතාගෙනි. තමා සිටින්නේ කනගාටුවෙන් බවත් ඊට හේතුව තමන්හට රාජ්‍ය ඇමතිකමක් ලැබීම බවත් ඔහු කීවේය. ඉන් නොනැවතුණු ඔහු තමන්ගේ නීතීඥ වෘත්තියේ ගෝලයකු වන අලි සබ්රිහට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදී ඇති බව කීවේය. එනිසාවෙන් තමාට ලබාදී ඇති රාජ්‍ය ඇමති ධූරය භාරගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. විජේදාස රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිතව තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

විජේදාස රාජපක්ෂ මහතාට කලබල නොවෙන්නැයි කී ලලිත් වීරතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනය ලබාදුන්නේය. ජනපති එම අමාත්‍යාංශයේ වටිනාකම ඔහුට පැහැදිලි කරන්නට විය. මෙය විප්ලවීය අමාත්‍යාංශයක් බවත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මෙන් ඉතිහාස ගතවිය හැකි බවත් කී ජනපති මේ අමාත්‍යාංශ භාරදෙනු ලබන්නේ විශේෂ බලාපොරොත්තුවක් සහිතව බවද කීවේය. විජේදාස රාජපක්ෂ මහතා විවිධ තර්ක ගෙන එන්නට විය. අලි සබ්රි පිළිබඳවත් කියන්නට විය. එවිට ජනපති කීවේ අලි සබ්රිට දෙන්න එපා කියන අය මෙන්ම, ඔබතුමාට ඇමතිකමක් දෙන්න එපා කියන අයද තම කඳවුරේ සිටින බවයි. ඒ නිසා මෙම ඇමතිකම භාරදෙන්නේ අභියෝගයක් ලෙස බවත් ඉදිරියේ තවත් යමක් ගැන සිතා බැලිය හැකි බවද ජනපති පැවසීය. එවිට විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධූරය භාරගැනීමට එකඟ විය. එහෙත් මෙම කතාබහට අනතුරුව පැය එකහමාරකට පමණ පසුව විජේදාස රාජපක්ෂ නැවතත් ලලිත් වීරතුංග මහතාට දුරකථන ඇමතුමක් ගෙන රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගැනීමට තමන්‍ට සිත් නොදෙන බව කීවේය. නාහිමිවරැන්ද තමන්ට මෙය භාර නොගන්නා ලෙස පවසන බවද කීවේය. අවසානයේ විජේදාස රාජපක්ෂ මහතා අලුත් ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධූරය භාර ගත්තේ නැත.

බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලත් ජාතික ජනබලවේගයේ පිරිස අතර ද ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ විවිධ සාකච්ඡා නිර්මාණය විය. සුනිල් හඳුන්නෙත්ති පරාජය පිළිබඳ විවිධ මත මෙම බලවේගය වටා කඳවුරැ බැඳි ජවිපෙන් පරිබාහිර විකල්ප කණ්ඩායම් අතර කතාබහට ලක් විය. පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය කරන බිමල් රත්නායකට ලැයිස්තුවේ  අවස්ථාව ලබා දීමට අවධානය යොමු වී තිබුණි. නමුත් වඩාත් ඵලදායී වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඍජු දේශපාලන සබැඳියාවක් නැති වෘත්තිකයෙක් වෙත එම අවස්ථාව ලබාදීම බවට යෝජනාවක් මතු විය. අවසානයේ එම මන්ත්‍රීධූරය ආචාර්ය හරිනි අමරසූරිය හට ලබා දීමට ඔවුහු තීරණය කළහ. 

මේ අතර කොඩිය ලකුණින් තරග කළ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධව විශාල උණුසුමක්  නිර්මාණය වූ අතර, අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස හඳුන්වන වෙදිනිගම විමලතිස්ස හිමි විසින් මන්ත්‍රීධූරය ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් ද යවා තිබුණි. මේ අතර ඥානසාර හිමියන් ද ඒ සඳහා නම් කරනු ලැබ තිබුණි. මේ අතර රතන හිමියන් පැවසුවේ අපේ ජනබල පක්ෂය, නීත්‍යානුකූල ගිවිසුම් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වෙත පවරාදී ඇති බවය. මැතිවරණ කොමිසමට ද මෙම පක්ෂයේ තීරණය හිසරදයක් වී ඇති බව පෙනී ගියේය. කෙසේ නමුත් බලකාමී මෙම සංඝ ගැටලුව දෙස බොහෝ දෙනකු පිළිකුලෙන් යුතුව බලන බව පෙනෙන්නට තිබුණි. 

බදාදා මහනුවර මඟුල් මඩුවේදී නව අමාත්‍ය ඇතැම් අයට මණ්ඩලය දිවුරුම් දුන්නේය. ශ්‍රීලනිපයේ මෙන්ම අවසාන කාලයේ පොහොට්ටුවට එකතු වූ ප්‍රබලයන් රුසකට මෙවර අමාත්‍ය ධූර අහිමි විය. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, ඩිලාන් පෙරේරා ආදී පිරිස මින් කැපී පෙනුණි. එහෙත් පළමු පාර්ලිමේන්තු ගමනින්ම අමාත්‍ය ධූර හිමිවූ කිහිපදෙනෙක් වූහ. ඒ අතරින් වඩාත්ම වාසනාවන්ත වූයේ ජීවන් තොණ්ඩමන්ය. නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි යන පිරිසයි

බදාදා දිවුරැම් දීමෙන් අනතුරැව ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිරයේදී අමාත්‍ය මණ්ඩලයට සහ රාජ්‍ය නිලධාරීන්ට දිවා භෝජනයක් සූදානම් කර තිබුණි. මෙම දිවා භෝජනයට නව අමාත්‍ය මණ්ඩලයේ දෙදෙනකු සහභාගී වූයේ නැත. ඒ විමලවීර දිසානායක මහතා සහ ලොහාන් රත්වත්තේ මහතායි. විමලවීර දිසානායක මහතා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වූ අතර ලොහාන් රත්වත්තේ තමන්ට ලැබුණු විෂය පිළිබඳ සතුටුවූයේ නැත. ඔවුන් සිටියේ ලැබුණු ඇමති ධූර පිළිබඳ නොසතුටිනි. මෙසේ හිත් අමනාප කරගත් කිහිප දෙනෙක් වූ අතර ජනපති පසුව ඔවුන්ට දුරකතනයෙන් ඇමතුවේය. විමලවීර, ලොහාන්, දයාසිරි ඇතුළු මෙම පිරිසට සිය අමාත්‍යංශයේ වටිනාකම ජනපති පැහැදිලි කර දුන්නේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා මහනුවරින් අනුරපුරය බලා පිටත්වූයේ ජයසිරි මහා බෝධිය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමටයි. එදින රාත්‍රිය අනුරාධපුරයේ නවාතැන් ගැනීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය. එම රාත්‍රියේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විශේෂ අමුත්තියක් පැමිණියාය. ඒ ගීතා කුමාරසිංහ මහත්මියයි. අගමැතිවරයා සිටියේ නින්දට යාමය සූදානමිනි. ගීතාගේ පැමිණීම කාහටත් පුදුමයක් විය. අවසානයේ කෙසේ හෝ අගමැති හමුවූ ඇය තමන්ට තනතුරක් නොලැබීම ගැන දුක් ගැනවිලි කීවේය. කුමක් හෝ තනතුරක් ඉල්ලා සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා කීවේ ලබාදීමට තරම් තනතුරු තවත් නම් ඉතිරිව නැති බවයි.

 චමිඳු නිසල්

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00