ශ්‍රී ලාංකික භූමියේ දේශපාලන මෙන්ම සයුරෙන් එතෙර දේශපාලනයද ලාංකිකයන් කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ සතියක් ගෙවී ගියේය. ජීනීවා සාකච්ඡා, පාකිස්ථාන් අගමැතිගේ සංචාරය, ශ්‍රීලනිප ඇතුළු පක්ෂවල අභ්‍යන්තර අර්බුදය මේ අතරින් ප්‍රමුඛ විය. කෝවිඩ් එන්නතද කතා මැවූ අතර සතිය විවිධාකාරයේ දේශපාලන මාතෘකාවලින් පිරී ඉතිරී ගියේය.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් 2021 වසරේ සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉකුත් අඟහරුවාදා මෙරට පැමිණියේය. පස්වරු හතරයි තිහට පමණ පාකිස්තාන් අගමැතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරට ගොඩ බැස්සේය. ඒ තවත් අමුත්තන් 30ක් සමඟය. පකිස්තාන විදේශ ඇමැති, සංචාරක ඇමැති, වෙළෙඳ ඇමැති අතුළු පිරිසක් මේ අතර වූහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පාකිස්තාන් අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගත්හ. අනතුරුව කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලය පැමිණි මෙම පිරිස එහි නවාතැන් ගත්හ.
සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ පාකිස්ථාන් අගමැතිවරයා සහ ශ්‍රී ලංකා අගමැතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත නොයෙක් ප්‍රශ්න යොමු කළේය. ඒ අනුව සාකච්ඡා කලාපීය දේශපාලන, සංචාරක ව්‍යාපාරය, අත්සන් කර ඇති ගිවිසුම් ආදීය මාතෘකා ඔස්සේ ගලා ගියේය. මේ අතර පාකිස්තාන අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුවේය. ඔබතුමා කිව්ව විදිහට මුස්ලිම් ජනතාවගේ භූමදානේ වැඩේ හරි නේද* යනුවෙන් ඔහු අසන විට මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු බැන්දේ &අපි කියලා තියෙන්නේ අවශ්‍ය කරන විදිහට කරන්න කියලා සෞඛ්‍ය අංශ අදාළ රෙගුලාසි හදන්න ඕනෑ යැයි පවසමිනි.
අනතුරුව ඉම්රාන් ඛාන් රුස්ව සිටි සෙසු පිරිස අමතා කෙටි කතාවක් කළේය. තමන් තරම් ලංකාව ගැන හොඳට දන්නා කෙනෙක් පාකිස්තානයේ සිට පැමිණි පිරිස අතර නැති බව ඔහු කීය. තමන් හැත්තෑව දශකයේ පාකිස්තාන විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සමඟ ලංකාවට පැමිණි බවත් ඔහු සිහි කළේය. එ වන විටත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනය පටන්ගෙන තිබූ බවත් කලාපයේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සිහි කළේය. මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ටද ඉගෙන ගැනීමට දෑ ඇති බව හෙතම පැවසීය. අපි මුස්ලිම් රටක් වුණාට බෞද්ධ උරුමය ආරක්ෂා කරලා තියෙනවා. උතුරු පාකිස්තානයේ තමයි ගන්ධාර බෞද්ධ සම්ප්‍රදායයන් ඇතිවුණේ. දැනටත් ලෝකයේ ලොකුම සැතපෙන බුදුපිළිම අපි ආරක්ෂා කරලා තිබෙනවා. ඒක බලන්න එන්න ඔබතුමා. අපි බලාපොරොත්තු වෙනවා ලෝකේ අනෙක් බෞද්ධ රටවලින් සංචාරකයන් ගේන්න* යනුවෙන්ද පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පිරිස අමතමින් පැවසීය.
එදින රාත්‍රී භෝජනය කොළඹ හිල්ටන් හෝටලයෙන් සපයා තිබුණි. ඉම්රාන් ඛාන් සුරාවෙන් වැළකුණු අයෙක් වීම නිසා රාත්‍රියේ භෝජන සංග්‍රහයට කිසිදු මත්පැන් වර්ගයක් ඇතුළු නොවුණි. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා ඇතුළු සමකාලීන ක්‍රීඩකයන් රුසක්ද රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටියහ. ක්‍රීඩකයන් අතරට ගිය ඉම්රාන් ඛාන් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. පැමිණි සිටි සියලුදෙනා හමුවට ගොස් සුහදව කතාබහ කිරීමට පාකිස්තාන අගමැතිවරයා කටයුතු කළේය. මේ අතර නාමල් රාජපක්ෂ මහතා ඇමති ප්‍රසන්න රණතුංගව අගමැති ඉම්රාන් ඛාන්ට හඳුන්වා දුන්නේය. එවිට ප්‍රසන්නගේ මුහුණ දැක්කාම අර්ජුනව මතක් වෙන බව ඉම්රාන් ඛාන් කීවේය.
මේ අතර ඉම්රාන් ඛාන්ව ක්‍රීඩකයෙක් ලෙස ඇගයීමේ අරමුණින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බදාදා (24) විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් රුසක් සහභාගී වූහ. මෙහිදී පිරිස ඇමතූ පකිස්තාන් අගමැතිවරයා දේශපාලනයේ වසර 14ක් පරාජය වෙමින් සිටි පාකිස්තානයේ ප්‍රබල පක්ෂයක් අවසානයේ ජයග්‍රහණය කිරීමට ක්‍රීඩකයකු ලෙසින් තමන් ලද අත්දැකීම් හේතු වූ බව කීවේය. එය තම මිතුරු අර්ජුන රණතුංගටද විශේෂ පණිවිඩයක් බව ඔහු සඳහන් කළේය.
බදාදා පස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණි. දෙරට අතර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනුම හුවමාරු කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡා කළෝය. අපනයන ආයෝජන අවස්ථා සම්බන්ධව මෙන්ම කෝවිඩ් මර්දනය පිළිබඳවද සාකච්ඡා විය. චීනය පිළිබඳවත් මෙම සාකච්ඡාවලදී යම් අවධානයක් යොමුවිය. ආහාර මිල අඩුකර ගැනීමට චීනය භාවිත කර ඇති උපක්‍රම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ පැහැදිලි කිරීම අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමුවූ අතර එම තාක්ෂණය තමාද ලබාගන්නා බව ඔහු පසුව පැවසීය. පසුව අයෝජන සම්බන්ධව සම්මන්ත්‍රණයකට සහභාගී වූ පාකිස්තාන අගමැතිවරයා ලංකා ගමන ගැන ඉතා ප්‍රසාදයෙන් කතා කළේය. පෙරදා රාත්‍රිය තමන් කලකට පසුව රසවිඳි අපූරු රාත්‍රියක් බවත් තමන් රසවත් ආහාර වේලක් ලද බවත් සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමටද හැකිවූ බවත් ඔහු කියා සිටියේය.
මේ අතර සතියේ තීරණාත්මක ජිනීවා සිදුවීම් පෙළද දිගහැරෙමින් තිබිණි. ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙත අඟහරුවාදා (23) විශේෂ ප්‍රකාශයක් කළේ අන්තර්ජාල ඔස්සේය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රටවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇති බව ඔහු කීවේය.
2015දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවූ විරෑ ආකාරයකින් අපගේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකයන් වශයෙන් සම්බන්ධ විය. ඉටු නොකළ හැකි මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැඳීම් රාශියක් ඊට අන්තර්ගත විය. මෙය ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිස එසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙන එමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට තුඩු දුන්නේය. යනුවෙන් කියා සිටි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් වුව ප්‍රතික්ෂේප කරමින් අපට සහය ලබාදෙන ලෙස කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ගෙන එන යෝජනා දේශපාලනික ක්‍රෝධය සහිත යෝජනා බවත් ඔහු කීය.
ඒ අතර බදාදා (24) වැනිදා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රුබ් අනාවරණය කළේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කළ අයට එරෙහිව නඩු පැවරිය යුතු යැයි දක්වමින් බ්‍රිතාන්‍ය රජය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නව යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. යෝජනාවට කරුණු 12ක් ඇතුළත්ය. අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකිරීම මෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව යුද අපරාධ චෝදනාද මෙහි අන්තර්ගත වේ. රටවල් 47ක් මේ යෝජනාවට අදාළව ඡන්ද විමසීමට සහභාගි වන බව දැනගන්නට ලැබේ. රුසියාව, චීනය, කියුබාව, නේපාලය, වෙනිසියුලාව, බොලිවියාව ඇතුළු රටවල් 21ක් මෙම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. සෙසු රටවලින් සහයෝගය ලබාගැනීම තානාපති අංශ සමඟ සාකච්ඡා විදේශ අමාත්‍යවරයා සාකච්ඡා අරඹා ඇතත් දේශපාලන ආරංචි අනුව මෙම ඡන්දය ජයගැනීම ශ්‍රී ලංකාවට පහසු නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බදාදා (24) පස්වරුවේ පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රුස්වීය. එය සතියේ බරපතළ දේශපාලන සංවාදයක් වූයේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනුකිරීම හරහා මේ සංවාද දුරදිග ගියේය. කිසියම් දේශපාලන හස්තයක මැදිහත්වීම මත එය සිදුවූ බවට මෙහිදී සාකච්ජාවට බඳුන් විය. ඒ අනුව අනාගත මැතිවරණ සඳහා සන්ධානය ලෙස තරග වැදීමේ තත්ත්වයක් උදාවන්නේ නම්, එම අවස්ථාවේදී වෙනත් පක්ෂයක මූලිකත්වය යටතේ තම පක්ෂය සන්ධානගත වීම වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නා ඒ වටා නිර්මාණය වන සන්ධානයක් බිහි කිරීමට පක්ෂය පෙරමුණ ගත යුතු බව මෙහිදී තීරණය විය. එසේම නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමඟ සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතු බවද මෙහිදී තීරණය කරන ලදී.
මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දේශපාලන විග්‍රහය සහ යෝජනා රට හමුවේ අනාවරණය විය. පොදුජන පෙරමුණ ශ්‍රීලනිපට එරෙහිව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධවද මෙහි කරුණු සහිතව සඳහන් වී ඇත. මහ මැතිවරණයේ පොරොන්දු කැඩීම ඇතුළු වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් මෙහි අන්තර්ගත වෙයි. එසේම වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳවද මෙහි දැඩි විවේචනාත්මක ප්‍රකාශ අනතර්ගත විය. සහෝදරයා පක්ෂ මත, ආණ්ඩුවේ පරිසර විනාශය, අක්‍රමවත් කෝවිඩ් මර්දනය, ඉඩම් කොල්ලය, නිදහස් වෙළඳ ගිවිසුම් ආදිය පිළිබඳ මෙහිදී දැඩි විවේචන එල්ල වී ඇත. එසේම ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ බැසීම සම්බන්ධව විශාල වශයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ අතර පක්ෂ නායකත්වයට සිහින දකින අයකු පිළිබඳවත් විවේචන මධ්‍යම කාරක සභාව තුළ වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම පක්ෂයේ නායකත්වය සහ තවත් පිරිසක් එකිනෙකාව ආරක්ෂාව කරගනිමින් සිටින බවත් ඔවුන් පක්ෂයේ උන්නතියට වැඩ නොකරන බවත් ඇතැම් අය කියා ඇති බව දැනගන්නට ලැබුණි. මීට අමතර පක්ෂයට නොදන්වා ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධවද ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේක මහතාට චෝදනාවක් එල්ල වී ඇති බව දැන ගන්නට ලැබේ. එසේම තවත් ඉහළ පෙළේ තනතුරු දරන මහජන නියෝජිතයන් පොහොට්ටුව සමඟ රහස් සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයකු වන විමල් වීරවංශ පොහොට්ටුවේ පක්ෂ නායක රුස්වීමට මෙන්ම මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමටද සහභාගී නොවීය. ඊට හේතු මෙන්ම විමල්ගේ ගමනද පැහැදිලි නැත.
මේ අතර බ්‍රහස්පතින්දා (25) කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිදුකළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණි. &ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් මර්දන රුස්වීම වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු රුස්වීමේදී ගන්නා තීරණ වෙනස් කරනවා. හිටපු ගමන් රූට කතාකරලා කියනවා හෙට එන්නත්කරණය කරන්න ලෑස්ති කරන්න කියලා. එහෙම කිව්ව ගමන් කරන්න බැහැ.* මෙම ප්‍රකාශ හරහා නිලධාරීන්ටද චෝදනා එල්ල විය. එන්නත්කරණය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට උපදේශන මාලාවක් නිකුත් කරන්න ඕන. මේ දක්වා එහෙම උපදේශන මාලාවක් නිකුත් කරලා නැහැ. එන්නත්කරණය සිදුකරන ප්‍රදේශ හෝ ග්‍රාම නිලධාරී වසම්වල සිටින සෞඛ්‍ය බලධාරීන්ට ඒ ගැන දැනුවත් කරලා ඔවුන්ව ඊට සුදානම් සිදුකරන්න ඕන. ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම් දෙන්න අවශ්‍යයි එන්නත ලබාගන්න එන්න කියලා. ස්ථාන වෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එන්නත ලබාදුන්නාට පස්සේ ඔවුන්ට සංකුලතා ඇති වනවාද කියා සොයා බලන්න අවශ්‍යයි.* රාජ්‍ය අමාත්‍යවරිය කියා තිබිණි.
දේශපාලන පළිගැනීම් සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් සම්බන්ධයෙන් සාමූහිකව ඊට මුහුණ දීමට විපක්ෂයේ සියලු පාර්ශ්ව එකට එකතු කිරීමේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේද මහන්සි විය. එහෙත් දේශපාලන ආරංචි අනුව විපක්ෂ නායකවරයාගේ වැඩපිළිවෙළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කොට තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටද දේශපාලන පළිගැනීම පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ චෝදනා එල්ල වී තිබෙන නිසාවෙන් එම ඉල්ලීම ජවිපෙය ප්‍රතික්ෂේප කළ බව කියැවේ.
මේ අතර රජයේ ඉහළම නායකත්වයක් මුණගැසීමට සමගි ජනබලවේගයේ සාමාජිකයන් වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ කම්කරු ජනතා එකමුතුවේ නායක පලනි දිගම්බරම් යන සුදානම් වන බවටද කතාවක් පසුගිය සතියේ පැතිර ගියේය. මේ අතර එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය සන්ධාන ගතවීම සිදුනොවනු ඇතැයි සමගි ජනබලවේගය ඉහළ පෙලේ නයකයකු පවසා තිබුණි. කෙසේ නමුත් එජාපයෙන් සමගියට මාරුවන්නට යන පිරිසක් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව කියැවේ.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ නවක මන්ත්‍රීවරුන් 40 දෙනෙක් බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේ අරමුණ ආණ්ඩුව ඇතුළේ සිටින කැරලිකරුවන් පිළිබඳ බැසිල්ට කරුණු දැක්වීම විය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්ව මේ වන විට ආණ්ඩු විරෝධී ප්‍රකාශ කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් එම නවක මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී වීරවංශ අර්බුදය පිළිබඳව ද සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බ්‍රහස්පතින්දා (25) ඉන්දියාව කටයුතු කළේය. මෙය තවත් බලාපොරොත්තු නොවූ අර්බුදයකට මුලක් බව පෙනී ගියේය. ජිනීවාහි ඉන්දීය රජයේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මෙහිදී අදහස් දක්වා තිබුණි. ඒ අනුව ඉන්දියාව එහිදී සඳහන් කොට ඇත්තේ ලංකාව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට පියවර ගත යුතු බවකි. ඒ හරහා සංහිඳියාව ඇති කිරීමට රජය පියවර ගත යුතු බවද ඉන්දියාව සදහන් කර ඇත. ශ්‍රී ලංකාව ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද ප්‍රතිචාරය එතරම් යහපත් නොමැති බව පෙනී යයි. දමිළ ජාතිකයන්ට යුක්තිය සහ සමානාත්මතාව ලබාදීම වෙනුවෙන් ඔවුන් අඛණ්ඩව පෙනී සිටින බව අවධාරණය කර තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රකාශයට පූර්වයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ද යොමුකර ඇත. එවන් පසුබිමක ඉන්දියාවේ ප්‍රතිචාර යහපත් නොවීම් හරහා ඉන්දු ශ්‍රී ලංකා අර්බුදය තවදුරටත් ඉදිරියට යන බව ගෙවුණු සතියේ තහවුරු විය.
සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් වීම ද ගෙවුණු සතියේ සුවිශේෂී සිදුවීමක් විය. කොළඹ මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය. වසර 04කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දව ලබා දුන්නේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.
මේ අතර සහල් මෝල්හිමියන් සමඟ තරග කිරීමට ඇමැති මහින්දානන්ද මහතා උත්සාහ කරමින් සිටියේය. මෝල්හිමියන්ගේ ඒකාධිකාරය බිඳ දැමීමේ අරමුණින් වී තොග මිලදී ගැනීමට ඔහු සැලසුම් කළේය. මීට එරෙහිව ලංකාවේ ප්‍රධාන පෙළේ සහල් මෝල්හිමියන් එක්ව විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව දැනගන්නට ලැබුණි. ඒ අතර දැන් සිටින ඇතැම් ඇමැතිවරුන්ට පිස්සු හැදී ඇති බව ලංකාවේ අංක එකේ සහල් ව්‍යාපාරිකයා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාද වන ඩඩ්ලි සිරිසේන මහතා අන්තර්ජාල සාකච්ඡාවක දී පැවසීය. "ඉස්සර ආණ්ඩුව වී අතිරික්ත තොග එකතු කළේ කන්න තුනකටම ටොන් ලක්ෂ දෙකක් විතර. මේ සැරේ එක කන්නයකින් ටොන් ලක්ෂ 3ක් විතර එකතු කරගන්න බලනවා. දැන් ඉන්න ඇමැතිවරුන්ට පිස්සු. මිනිස්සුන්ට බලහත්කාරකම් කරලා කවර දීලා වී එකතු කරනවා. මහින්දානන්ද ඇමැතිතුමා තමයි මේක කරන්නේ. එයා අපිත් එක්ක කතා කරනවා. එයා අපේ යාළුවා. ඒත් එතුමාට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා මේක කරන්න."
සතියේ දිගින් දිගටම පුවත් මැවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව 25 වැනිදා රුස්විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති වීමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු විය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කළේය. එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පත් කිරීමත්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත් කිරීමටත් විධායක කාරක සභාව පියවර ගත්තේය.
කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු කොමිසමෙන් බරපතළ චෝදනා ගොනු නොවිණි. එහෙත් සුළු චෝදනා ඔහු වෙත ගොනුකර තිබුණි. ඒ අතර ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට පාස්කු කොමිසම සිය අවසන් වාර්තාවෙන් තමාට එල්ල කර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. "පැරිසියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම පොලීසියට උපදෙස් දුන්නා ආගම මුල්කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදය සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවන්න. වෙනම කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා. දෙවනුව නව ප්‍රතිත්‍රස්ත පනතක් සකස් කිරීමට කටයුතු කරමින් සිටියේ. මේ සඳහා එක්සත් රාජධානියෙන් අපිට සහාය ලැබුණා. තෙවනුව මේ ප්‍රශ්නය ආරක්ෂක අංශ විශේෂයෙන් පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කළ විට මම උපදෙස් දුන්නා තදින් නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක වන ලෙසට. මම එලෙස උපදෙස් ගන්න ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී මුහුණපෑමට වෙන ගැටලු මඟහරවා ගැනීමට.”
මේ අතර සා/පෙළ සමත් අසමත් මන්ත්‍රීවරු පිළිබඳ විවාද තවදුරටත් දික් ඇදුණි. පාස්කු වාර්තා අධීක්ෂණට පත් කළ කමිටුවේ සාමාජිකයන්ගේ සුදුසුකම් පිළිබඳ වූ පාර්ලිමේන්තු සංවාදයක දී මෙම ගැටලු පැන නැගුණි. නිමල් ලංසා රාජ්‍ය ඇමැතිවරයා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙලෙස ගැටුණි. අවසානයේ සිය සා/පෙළ ප්‍රතිඵල වෙනුවට උසස් පෙළ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කිරීමට හරීන් ප්‍රනාන්දු කටයුතු කළේය. කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මහතා ලංසා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිඵල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නැත.
ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නායකයන් කිහිප දෙනකු සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර හමුවක් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. ඒ සඳහා පක්ෂ 10ක නායකයන් සහභාගී වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම හමුවෙන් අනතුරුව ඇමැති විමල් වීරවංශ සුපුරුදු කතාවම කීවේය. ඒ ජනාධිපතිට දේශපාලන තනතුරක් අවැසි බවය. මේ අතර නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තරමක් සැර කතාවක් කර තිබුණි. ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණු එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව උන්වහන්සේ කීහ. මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. කෙසේ නමුත් එවන් ආණ්ඩු පිළිබඳ එසේ ඇසීමට සිදුවීම පිළිබඳව කනගාටු වන බවද ආනන්ද හිමියෝ කීහ. එසේම මහින්ද රාජපක්ෂ මහතා බස් එකෙන් බැස ඇති බව ඇතැමුන් කියන බවත් මහින්ද මහතාව බස් එකේ නංවාගෙන ගමනක් යා යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමට තීරණය වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නව ගැසට් පත්‍රයක් 25 වැනිදා නිකුත් කළාය. කෙසේ වෙතත් භූමදානය ක්‍රමවේදය පිළිබඳ මාර්ගෝපදේශ මෙතෙක් නිකුත් වී නැත. ගැසට් හරහා පෙර නියෝගවල වචන කිහිපයක් භූමදානයට අවසර ලැබෙන පරිදි වෙනස් කොට තිබේ. ආරංචි මාර්ග අනුව තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.
චමිඳු නිසල්