2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ඩයනාගෙන් සජිත්ට සැර ලියුමක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 458

  • චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට කියූ දේ
  • අගමැති මහින්ද සූම් ඔස්සේ කැබිනට් රැස්වීමේ
  • හිටපු ජනපති මාතලේදී රටටම දුන් පණිවුඩය
  • කැබිනට් රැස්වීමේ ඇමැතිවරු අතර මත ගැටුමක්
  • රවීට ඇප ලැබෙයි
  • ආණ්ඩුවේ පක්ෂ 11 වෙනම රැස්වෙයි 

බක්මහේ දේශපාලන සැණකෙළිය ආරම්භ වූයේය. තර්ක විතර්ක මෙන්ම  ආරෝවන්ද සුලභ වන ලකුණු පහළ වූයේය. ජනතාව අවුරුදු බඩු මිල ගැන දේශපාලනඥයන් කෙරෙහි නෝක්කාඩු බැලුම් හෙළන්නට වූහ. දේශපාලන කරළියේ තිරය පිටුපස රුඟුම් පාන්නෝ අලුත් තාල කිහිපයක් සොයා ගෙන තිබුණි.

ගෙවුණු සතියේ කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණියේය. මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවූයෙන් සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීම මෙහෙය වන්නට විය. ප්‍රමුඛ සංවාද ඇතිවූයේ කොවිඩ් එන්නත් සහ පළාත් සභා මැතිවරණ පිළිබඳවයි. පළාත් සභා කතාව අතරතුර ජනාධිපති කාර්ය මණ්ඩලයේ අයෙක් පැමිණ ජනපතිට පණිවුඩයක් ලබාදුන්නේය. කැබිනට් රැස්වීම අතරතුර ඉන් ඉවත්වීම සම්ප්‍රදාය නොවුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙදින රැස්වීමෙන් නැගිට ගියේය. සූම් තාක්ෂණයෙන් රැස්වීම හා සම්බන්ධව වී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කැබිනට් හමුව මෙහෙයවීම භාරවිය.

ජනාධිපතිවරයා නැවත පැමිණියේ මිනිත්තු පහළොවකට විස්සකට පසුවයි. තමා කැබිනට් හමුවෙන් නැගිට යෑමට හේතුව හෙතෙම පැහැදිලි කරන්නට විය. මම මේ කැබිනට් එකෙන් නැගිටලා ගියේ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්මයා මට කතා කළා දුරකථනයෙන්. ඒකට උත්තර දෙන්න මම ගියේ. යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළේය. චීන ජනාධිපතිවරයා සහ තමා අතර වූ සංවාද පිළිබඳවත් ජනපති පිරිසට කරුණු කීවේය. ඉතා හොඳ සාකච්ඡාවක් සිද්ධවුණා. එතුමාගෙන් අපිට ප්‍රතිඥා දෙක තුනක් ලැබුණා. ජාත්‍යන්තර වශයෙන් ලංකාවට විරුද්ධව එන සියලුම කරුණුවලදී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ඒ ගොල්ලෝ පොරොන්දු වුණා. ඒ වගේම චීනේ නිෂ්පාදනය වන සයිනොෆාම් එන්නත් ලක්ෂ හයක් ප්‍රදානයක් විදිහට අපිට ලැබෙන බව සඳහන් කළා. යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම දුරකථන සංවාදයේදී ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙන්ම අඛණ්ඩව සබඳතා පවත්වා ගැනීම සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡා වී තිබේ. එසේම චීන ජනාධිපති ෂී ජින් පින් විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන සංචාරයක් සඳහාද ආරාධනා කර ඇතැයි දැනගන්නට ලැබිණි. චීන කතා අවසානයේ කැබිනට්ටුවේ අවධානය නැවත සම්පූර්ණයෙන් පළාත් සභා ක්‍රමය වෙත යොමුවිය. පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේය. බොහෝදෙනකුගේ කැමැත්ත වූයේ පරණ ක්‍රමයට මැතිවරණ පැවැත්වීමටයි. නමුත් අලුත් ක්‍රමය හොඳ බව කියන පිරිසක්ද වූහ. එහිදී කියවුණේ අලුත් ක්‍රමය හොඳ නමුත් මන්ත්‍රීවරු පත්වන අනුපාතය වෙනස් විය යුතු බවයි.

මනාප ක්‍රමයට මන්ත්‍රී ධූර සියයට හැත්තෑවකුත් ප්‍රසාද මන්ත්‍රී ධූර සියයට තිහකුත් ලෙස බෙදී යා යුතු බව සාකච්ඡා විය. එසේම දිස්ත්‍රික්කයට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙක බැගින් ලැබිය යුතු බවද කියැවුණි. බහුතරයගේ අදහස වූයේ මේ හරහා ස්ථාවර පළාත් සභා නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇති බවයි. ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල ආදී කැබිනට් ඇමතිවරු මීට පක්ෂව කතා කළහ. එහිදී එකම මන්ත්‍රී කොට්ඨාසයකට එක පක්ෂයකින් මන්ත්‍රීවරු තිදෙනෙක් ඉදිරිපත් කිරීමට වූ යෝජනාව නිසා යම් ගැටලුවක් කැබිනට්ටුව තුළ පැනනැගුණි. එම යෝජනාවට ඩලස් අලහප්පෙරුම, වසුදේව නානායක්කාර, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන ආදී පිරිස අකමැති වූහ. එහෙත් රෝහිත අබේගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ආදී පිරිස මීට පක්ෂව කතා කළෝය.

එක්කෙනෙකුට අපේක්ෂකත්වය නොදී කිහිප දෙනෙකුට දුන්නම පක්ෂය ඇතුළේ තිබෙන ප්‍රශ්නය විසඳෙනවා. නාමයෝජනාවලට එන ප්‍රශ්නත් විසඳෙනවා. ඔක්කොම එකතුවෙලා පක්ෂ දිනවනවා. යනුවෙන් යෝජනාවට පක්ෂ වූ පිරිස කියන්නට වූහ. මෙම විවාද දික්ඇදුණි. විමල් වීරවංශ මහතා ඊට එක්විය. ඔහු කීවේ මෙතැන කම්කරු කොංග්‍රසය, සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂ නෑ. ඒ නිසා අපි මේක මෙතැන තීරණය කරන එක වැරදියි. මේක අපි තීරණය කරන්න ඕනෑ පක්ෂනායක රැස්වීමේදී යනුවෙන් කීවේය.

මේ අතර පසුගිය අඟහරුවාදා (30) වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයෝ මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගන්නට ගියහ. මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ද බැහැදැකීමට කටයුතු කළහ. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙහිදීය. “පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13 දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වටා එකතුවෙන්න කියලා. ජනතාවට ආරාධනා කරනවා.

ඒ අනුව මාර්තු 30 වැනිදා ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි නඟා සිටුවීමේ දීපව්‍යාප්ත මෙහෙයුමයි. අනතුරුව පසුගිය සතියේ ශ්‍රීලනිප නිලධාරීන් වෙනුවෙන් දෙදින වැඩමුළුවක් පවත්වා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයන් ඇතුළු පක්ෂය සමස්ත නිලධාරි මණ්ඩලය සඳහා මාතලේ ග්‍රෑන්ඩ් හිල් හොටලයේ මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම වැඩමුළුව පැවති සමස්ත කාලය පුරාම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගී වී සිටි බව කියැවුණි. ඔහු දේශකයන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටද සහභාගී වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳන් කළේය. මෙම වැඩමුළුව අවසානයේ සිරිසේන මහතා සැර කතාවක් කළ බවද දැනගන්නට ලැබුණි. මුක්කු ගහලා දේශපාලනය කරන්න ඕනෑ නම් පක්ෂය වහලා දාලා කැමති අය වෙන පක්ෂවල සාමාජිකත්වය ගන්න. මට ඕනෙ 2025දී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න.

සමගි ජනබලවේගය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අතර වූ ලිපි ගනුදෙනුවක්ද දේශපාලන කරළිය උණුසුම් කළේය. සජබය මන්ත්‍රී ඩයනා එරෙහිව විනය පියවර ගන්නා බව කියා මාර්තු 10 වැනිදා යවූ ලිපියකට මාර්තු 25 වැනිදා ඩයනා ගමගේ යැවූ පිළිතුරු ලිපියක් හරහා මෙම අන්දෝලනය ඇතිවිය. පළමුව ලිපිය යොමුකර තිබුණේ සමගි ජනබලවේගයේ විනය කමිටුව විසිනි. පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට පක්ෂය විසින් නිකුත් කළ ත්‍රීත්ව ඉරි නිවේදනයක් නොසලකා හැරීම පිළිබඳ විනය චෝදනා එම ලිපියක් අනතර්ගත විය. මෙය චෝදනා පත්‍රයක් හා සමන්විත වූ අතර විනය කමිටු සභාපති නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය වෙත අදාළ ලිපිය යොමුකර තිබුණි.

ඩයනා ගමගේ සිය පිළිතුරු ලිපිය ලීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටයි. කරුණු හයක් ඔස්සේ ලියැවුණු මෙම දීර්ඝ ලිපියේ වූ බරපතළ ප්‍රකාශ රුසකි. තමන් වෙත අනිසි බලපෑම් කිරීමට උත්සාහ කළහොත්, තම සැමියා වන සේනක ද සිල්වා විසින් ලබාදුන් පක්ෂය සම්බන්ධව ප්‍රසිද්ධියේ හෙළිකිරීමට නොහැකි නීතිමය හා වෙනත් රහස්‍ය කරුණු රට හමුවේ හෙළිකිරීමටත්, පක්ෂයේ අයිතිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් සිදුවන බව මන්ත්‍රීනිය කියා තිබුණි. එවැනි පියවරකදී ඔබතුමා උසුලන විපක්ෂනායක ධුරය පමණක් නොව සජබ පක්ෂය පවා අහිමිවිය හැකි බව ඩයනා ගමගේ සිය ලිපිය මගින් සජිත් ප්‍රේමදාස වෙත දන්වනු ලැබීය. මෙය දේශපාලන උභතෝකෝටිකය ආරම්භ වූ බව ගෙවුණු සතියේ අග අවබෝධ කරගත හැකිවිය.

බැඳුම්කර චෝදනාවට හිරේ ගිය රවී කරුණානායකට පසුගිය සතියේ ඇප ලැබුණි. බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු මෙලෙස ඇප මත මුදාහරින ලෙස නියෝග කළේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළේය. නඩු විභාගයට පෙනී සිටීම මඟහරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන බවද කියා තිබුණි. 

ගෙවුණු සතියේ ද විමල් වීරවංශගේ අන්දෝලනාත්මක ප්‍රකාශයක් ජනගත විය. Made in Sri Lanka ශ්‍රී ලංකා සන්නාමය ප්‍රදානය කිරීමේ දෙවැනි අදියරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය. 1970-1977 සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියගේ සමගි රජය බිඳ වට්ටවා විපක්ෂයේ වසර 17ක් සිටීමට මඟ සැලසූ එම රජයේ සිටි ප්‍රබල අමාත්‍යවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පිළිබඳව මතක් කිරීමක් කරමින් වත්මන් ආණ්ඩුවේද එවැන්නකු සිටින බව වීරවංශ මහතා කීවේය. එසේම පොදුජන පෙරමුණු රජයේ ඇතැමුන්ගේ ක්‍රියා පිළිවෙත් මත අනාගතයේදීද එවන් තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද අනතුරු හැඟෙව්වේය.

මේ අතර විමල් ප්‍රමුඛ පක්ෂ එකොළහේ කණ්ඩායම් වෙනම රැස්වී විශේෂ සාකච්ඡාවක් කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. සඳුදා කැබිනට්ටුවේ සිදුවූ දේවල් සේම පළාත් සභා මැතිවරණය ඇතුළු වර්තමාන දේශපාලන වටපිටාව පිළිබඳවද මෙම පිරිස දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව කියැවේ. මීට අමතරව මැයි දිනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව ඔවුන් වෙනම මැයි රුලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියැවේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයන් බ්‍රහස්පතින්දා (01) පස්වරුවේ එක්වී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි කියැවේ.

පුවත්පත් සාකච්ඡාව පදනම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණු හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා කරළියේ රඟදෙන චරිතයක් විය. ඔහු තම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට පිඹුරුපත් සකසමින් සිටියේය. ඒ අනුව වසර දෙකක පමණ සිට ක්‍රමයෙන් ඉස්මතු වූ උවිඳු විජේවීර චරිතය ගෙවුණු සතියේ නව පරිච්ඡේදයක් කරා පියමැන්නේය. ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීන් ඔහුව විවේචනය කිරීම නිසා සමාජ මාධ්‍යයේ ඔහුට අනුගාමිකයන් පිරිසක් ද නිර්මාණය විය. එම නිසාම උවිඳු පිටුපස සිටිනේ කවුද, උවිඳු කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ දේශපාලන කරළියේ තිරය පිටුපස සාකච්ඡාවට මාතෘකා විය.

මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග ද ගෙවුණු සතියේ නැගී ආ චරිත වූහ. දහම් සිරිසේන පොළොන්නරුව නගරාන්තර දුම්රිය මේ වන විට අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි කියා මුහුණුපොතේ සටහනක් තැබුවේය. එහිදී වැඩිදුරටත් ඔහු කියා කියා තිබුණේ මේ පිළිබඳව තමන් පෞද්ගලිකව සොයා බලන බවයි. එසේම දුම්රිය පොළොන්නරුව ජනතාව වෙනුවෙන් ලබාගැනීමට උපරිමව කැපවී කටයුතු කරන බවත් ඔහු කියා තිබුණි. මෙම සටහන සමඟ ශ්‍රීලනිප නැගීම, පළාත් සභා ඡන්දය ආදිය ද එකිනෙක මුසුකර විවිධ කතා දේශපාලන කරළියේ පැතිර ගියේය.

දෙසතියක පමණ සිට මෙරට මාධ්‍යයේ අවධානය යොමුවුණු විමුක්ති කුමාරණතුංග ද මුහුණුපොතේ සටහනක් හරහා කරළියට ආවේය. තම පියාගේ මරණය පිළිබඳ ජාතික පුවත්පතක පළවූ සටහනක් ඔහු සිය මුහුණුපොතට එක්කර තිබුණි. එය එතරම් දෙයක් නොවුණ ද මෙරට මාධ්‍ය එය වාර්තා කළේය. කෙසේ නමුත් විමුක්ති සාමාන්‍යයෙන් එවන් දෑ මුහුණුපොතේ පළ නොකිරීමත් පසුගිය කාලේ ඔහු පිළිබඳව මෙරට තුළ නිර්මාණය වූ සංවාදයත් නිසා මෙම සිදුවීම සමහරු දේශපාලන ප්‍රහේළිකාවක් කර ගත්හ.

මේ අතර ගාල්ලේ දේශපාලන පොරයක් වාර්තා විය. එකල සිට දිස්ත්‍රික්කය තුළ එකිනෙකා සමඟ ගැටුණු වජිර අබේවර්ධන සහ මනූෂ නානායක්කාර ගැටුම තීරණාත්මක තැනකට පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර දැඩි ප්‍රහාරයක් වජිර අබේවර්ධන අරභයා දියත් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ඩීල් ගැන මුළු ගාල්ල දිස්ත්‍රික්කයේම ජනතාව දන්නා බව ඔහු කීවේය. වජිර දැනටත් පොදුජන පෙරමුණු ආණ්ඩුවත් සමඟ තිබෙන ඩීල් ගැනත් 2010 දී ඔහු පරාජය වූවාට පසු එවකට තිබූ මහින්ද රාජපක්ෂ රජයත් සමඟ දැමූ ඩීල් ගැනත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන බව මනූෂ කීවේය. බොහෝ කලක පටන් එක්සත් ජාතික පක්ෂ රජයක අගමැති වීමේ සිහිනයකින් වජිර අබේවර්ධන මහතා පෙළෙන බවද ඔහු සඳහන් කර තිබුණි.

කලකට පසුව මංගල සමරවීර මහතා ද ගෙවුණු සතියේ දේශපාලන කරළියේ රුඟුම් අතරට එක්විය. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ චෝදනා පදනම් කරගෙන මංගල මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වේය. එහිදී ඔහු පළ කළ විශේෂ අදහස් කාගෙත් අවධානයට යොමුවිය. යහපාලන ආණ්ඩුවේ ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටි බව ඔහු කීවේය. "හදන හදන හැමවෙලේම වචනයක් වෙනස් වුණත්, ඇලපිල්ලක් වෙනස් වුණත්, මම නිව් යෝර්ක්වල  ජනාධිපතිතුමත් එක්ක ඉන්න වෙලේ මට කෝල් කර කර කිව්වම, මම ජනාධිපතිතුමාගේ කාමරයට ගිහිල්ලා පැයෙන් පැයට, පැය බාගෙන් බාගෙට කියනවා මෙන්න ජනාධිපතිතුමා මේක මෙන්න මෙහෙම පොඩි වෙනසක් වුණා. මේක කොහොමද ලියන්නේ කියලා. අවසානයේ දී මම පැහැදිලිවම කියනවා. පසුව එසේ නොවෙයි කිව්වත් ජනාධිපති සිරිසේන 30/1 යෝජනාවේ හැම වචනයක්ම දැක්කා සහ අනුමත කළා." යනුවෙන් ඔහු කීවේය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබුණි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00