2022 ජනවාරි 01 වන සෙනසුරාදා

විමල්-උදය- වාසු යවයිද? නොයවයිද?

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 342

  • සංගීත ශිල්පීන්ට ජනපති දුන් අවසරය
  • ජවිපෙන් විමල්ලාට කොන්දේසි
  • මාධ්‍යයේ පුවත් මැවූ සරත්-සරත් හමුව
  • සජිත්ගේ විරෝධය දකුණෙන් අරඹයි
  • මුලින් එපා කී ජනපති ලේකම් පුටුව ගාමිණීට ලැබුණ හැටි
  • හාල් පෝලිම් ගැන ඇමැති බන්දුලට පැමිණිල්ලක්

2021 වර්ෂයේ අවසාන සතිය ගෙවී ගියේය. 2022 නව වසර ආරම්භ වනුයේ බලාපොරොත්තු දහසක් සමඟය. එහෙත් අතීතයේ බලපෑමෙන් මිදීමට කිසිවකුට නොහැක. ගෙවුණු වසර සේම ගෙවුණු සතියද විනිවිද දැකීමට අප සැරසෙමු. පසුගිය සතියේ දේශපාලන තරමක් විවේකී වූයේ දේශපාලනඥයන් බහුතරය නිවාඩු ලබා සිටි නිසාවෙනි.

ගෙවුණු සතියේ දේශපාලන නිස්කලංක බව බිඳීයාමට හේතු වූ සුවිශේෂී සිදුවීම වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය සඳුදා (27) ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශයකි. දේශපාලන උණුසුම තරමක් සිඳීගිය වර්ෂාවසාන සතියේ ජනපති පුවත් කතුවරුන් ජනපති මැඳුරට කැඳවූයේ කාලීන ආර්ථික සාමාජීය තොරතුරු පිළිබඳ සාකච්ඡා කිරීමේ අදහසෙනි. බොහෝ දේශපාලන ආර්ථික කරුණු මෙහිදී සාකච්ඡා වූ නමුත් මෙහිදී කතුවරුන් පාර්ශ්වයෙන් නැගුණු එක පැනයක් රටේම අවධානයට ලක්වුණු පුවත නිර්මාණය කළේය.

ආණ්ඩුවට විරුද්ධ කැබිනට් ඇමතිවරු තුන් දෙනෙක් නඩුදාල තියෙනවා. මේ සම්බන්ධ ආණ්ඩුව හෝ ජනාධිපතිතුමා ගන්න පියවර මොකක්ද? මෙහිදී නැගුණේ මෙවන් පැනයකි. ජනපති සිනාසී ඊට පිළිතුරු ලබා දුන්නේය. එය මෙවන් පිළිතුරක් විය. මේ ඇමතිවරු පැහැදිලිවම වරදක් කරලා තියෙනවා. කැබිනට් එකේ ඉඳගෙන නඩු දාන එක වැරදියි.  ඒ ගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනෑනම් කැබිනට් එකෙන් ඉවත් වෙලා නඩුදාන එක නම්බුකාරයි.

එය සාමාන්‍යයෙන් ජනාධිපති ප්‍රකාශය කරතැයි අපේක්ෂා නොකරන සෘජු ප්‍රකාශයක් විය. එම නිසාම පුවත්පත් කතුවරුන්ගේ පාර්ශ්වයෙන් ප්‍රශ්න ඊළඟ අදියරට රුගෙන ගියේය. එම ඇමතිවරුන් ඉවත් කිරීමට හැකිදැයි ඔවුහු විමසූහ. අස්කිරීමට හැකි බවත් අවබෝධයෙන් ක්‍රියාකිරීම වඩාත් උචිත බවත් එවර ජනාධිපති කීවේය. අනතුරුව ජනාධිපතිවරයා තවත් පැහැදිලි කිරීමක් සිදුකළේ ඒ පෙර ඇමතිවරුන් කැබිනට් වගකීම කඩකළ අවස්ථා පිළිබඳවයි.

ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා ඇතුළු පිරිස රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය රුගෙන ආ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කැබිනට් සාමූහික වගකීම පිළිබඳ ලබාදුන් තීන්දුව ජනාධිපති සිහි කළේය. ජනාධිපතිවරයා කියා සිටියේ දෝෂාභියෝගය විරුද්ධ ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කළ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර සහ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරුන් සාමූහික වගකීම කඩකළ බවත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර පවා අහෝසි කළ හැකි බවත් එදා අධිකරණය කියා සිටි බවයි. කෙසේ නමුත් ඇමතිවරුන් ඉවත් කරන්නේදැයි පිරිස දිගින් දිගට ප්‍රශ්න කළ අතර සිනාසී ජනපති ඊට පිළිතුරු ලබාදීම මඟහැර සිටියේය.

මෙම සිදුවීම පිළිබඳ මාධ්‍ය විශාල අවධානයකින් වාර්තාකරණයේ නිරත විය. ඒ අතර මෙම ඇමැතිවරු තිදෙනා ඉවත් කිරීමට යන බවටද වෙබ් අඩවි වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් සිදුවීමට පසු උදය ගම්මන්පිල අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් සිදුකරමින් තමා ඇතුළු පිරිස සාමූහික වගකීම කඩ නොකළ බව කියා සිටියේය. නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙහි සාකච්ඡා නොවුණු බවට අධිකරණය ඉදිරියේ සඳහන් කළේ සත්‍යය පමණක් යැයි බලශත්කි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීවේය. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ තමා ඇතුළු පිරිස වරදක් කර නොමැති අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්විය යුත්තේ, වරදක් කර ඇත්නම් පමණක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

“යම් හෙයකින් අධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කිරීම වරදක්යැයි සිතනවා නම් තමා ඇතුළු පිරිස අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම පිළිබඳව අපට කිසිම ප්‍රශ්නයක් නෑ.

ආණ්ඩුවේ මැති ඇමතිවරු නිවාඩුගත් පසුබිමක සමගි ජනබලවේගය වර්ෂාවසාන සතියේ ජනතාව අතර යෑමට උත්සාහ කළේය. ඔවුන් ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව නමින් වැඩසටහනක් දියත් කළේය. එය හම්බන්තොටින් ආරම්භ විය. මෙම වැඩසටහනේ දෙවැනි අදියර අම්බලන්තොට නගරයේ ක්‍රියාත්මක වූ අතර අපූරු සිදුවීමක් සිදුවිය. එය සමාජ මාධ්‍යයේ විශේෂ අවධනයට ලක්වූ අතර ඇතැමුන් මෙම සිදුවීම හේතුවෙන් මෙම වැඩසටන සජිත් සුළඟ ලෙස හැඳින්වූහ.
සඳුදා (27) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අම්බලන්තොට නගරයේ ජනතාව හමුවී අත් පත්‍රිකා බෙදාදීමින්  ජනතාවගේ ගැටලු සාකච්ඡා කරමින් සිටියේය. එහිදී එක්තරා පුද්ගලයකු සමඟ සංවාදක් ඇති වූයේය.

සජිත් ප්‍රේමදාස - කොහොමද බිස්නස් එහෙම?

බිස්නස් නම් අන්තිමයි. මේ දවස්වල කරන්න බෑ ඉතින්. කස්ටර්මස්ලා හුඟාක් අඩුයි.

සජිත් ප්‍රේමදාස - මොකෝ තත්ත්වේ?

පාන් කියාගන්න බෑ. බුදු සර් එන්න... ඇවිත් මේක කරන්න...

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද විරෝධතා මාලාවක් සංවිධානය කරමින් කාලීන දේශපාලන තුළ සිය බලය ප්‍රදර්ශනය කරමින් සිටියේය. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශයක් කාගේත් අවධානය දිනා ගත්තේය. විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමඟ ඉදිරියේදී එක් වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක්විය හැකි බව ඔහු කීවේය. එහෙත් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට ඔවුන් එකඟ වියයුතු බව ඔහු කියා සිටියේය.

මේ අතර එල්.එන්.ජී. බලාගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව නලින් ද ජයතිස්ස මහතා පවසා තිබුණි. ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කිරීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශය සුවිශේෂී වීමට තව හේතුවක් තිබුණි. ඊට හේතුව වූයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ඇතැම් පිරිස් පසුගිය දිනවලදී සිදුකර තිබූ ප්‍රකාශයි. ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු සමඟ එක් නොවිය යුතුව ඔවුන් කියා තිබුණි. ටිල්වින් සිල්වා සහ විජිත් හේරත් යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද ශ්‍රීලනිපය සමඟ හෝ වෙනත් දේශපාලන පක්ෂ සමඟ ජනතා විමුක්ති පෙරමුණ එක් නොවන බව කී බව මාධ්‍ය වාර්තා කළේය.

කැබිනට් සංශෝධනක් පිළිබඳ කතිකාවද ගෙවුණු නැවත නැවත ඉස්මතු වෙමින් තිබුණි. ජනවාරි අවසානයේ විමල්, උදය, වාසුදේව යන අමාත්‍යවරුන්ගේ විෂය සංශෝධනය කිරීමට ඉඩ ඇතැයිද දේශපාලන ආරංචි ලැබුණි. කෙසේ වෙතත් රාජ්‍ය ආයත ප්‍රධානීන් හතළිස් දෙදෙනෙක් පත් කිරීමට යන බවට වූ ආරංචි තහවුරු විය. ඒ අනුව දැනටමත් අදාළ නම් ලැයිස්තු ගතකොට පත්වීම් සූදානම් කොට තිබේ. රාජ්‍ය මාධ්‍ය ආයතන පහකටද නව ප්‍රධානීන් පත්වනු ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ විශ්‍රාම යෑමද ජනවාරි අවසානයේ සිදුවන බව ස්ථිර වශයෙන්ම දැනගැනීමට ගෙවුණු සතිය තුළදී හැකිවිය. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයට පත් වූයේ 2019 ජනාධිපතිවරණන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීම සමඟයි. කෙසේ නමුත් එම තනතුර සඳහා එදා පළමුව යෝජනා වී තිබුණේ වර්තමාන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නමයි. ජනාධිපතිද ඔහු පත්කිරීමේ අභිලාෂයෙන් පසුවූයේය.

එහිදී එම තනතුර භාර ගැනීමට ගාමිණී සෙනරත් මහතා මැලිවිය. ඔහු කීවේ  මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් ධූරය දැරෑ ලලිත් වීරතුංග මහතා ජ්‍යෙෂ්ඨත්ව සහ අත්දැකීම් මත ඒ සඳහා සුදුස්සා බවයි. එහෙත් වීරතුංග මහතා සම්බන්ධ අධිකරණ කටයුත්තක් ඒ වනවිටත් සිදුවෙමින් තිබුණි. එබැවින් එය අවසන් වනතුරු පී.බී. ජයසුන්දර මහතා එම තනතුරට යෝජනා කළේද ගාමිණී සෙනරත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් විසිනි. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත බැසිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ද ජයසුන්දර මහතා නිර්දේශ කොට තිබුණි.

ආරම්භයේ අදාළ පත්කිරීම සම්බන්ධ කිසිදු විරෝධතාවක් නොවුණි. එහෙත් පසුගිය සමයේ පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධ ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේනය කළේය. එය ක්‍රමයෙන් බරපතළ ගැටලුවක් බවට පත්විය. මේ අතර තමා ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ කිසිවෙක් ඉදිරිපත් නොවීම සම්බන්ධවද පී.බී. ජයසුන්දර මහතා කලකිරී සිටියේය. අවසානයේ දෙසැම්බරයේ 23 වැනිදා ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් යොමුකොට තිබුණි. ඒ ඔස්සේ ජනවාරි අවසානයේ තමා විශ්‍රාම යාමට සූදානමින් පසුවන බව ඔහු ජනපතිට නිල වශයෙන් දැනුම් දුන්නේය. අනතුරුව ඔහු වර්ෂාවසානයේ නිවාඩුවක් ලබා ගත්තේය. දැනට පවතින තොරතුරු අනුව ජනවාරි 4 වැනිදා නිවාඩුව අවසන් කොට ජයසුන්දර මහතා නැවත පැමිණීමට නියමිත අතර ජනවාරි අවසානයේ විශ්‍රාම යනු ඇත.

මේ අතර කාලයේ නව ජනාධිපති ලේකම්වරයා තෝරා ගැනීම පිළිබඳවද කටයුතු සිදුවෙමින් තිබුණි. පිරිසක් පැමිණි කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්ත මහතා ජනාධිපති ලේකම් ධූරයට සුදුසු නව ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ කීහ. එහෙත් අමාත්‍යාංශය ලේකම් ධූරයක්වත් හොබවා නැති අයෙක් ජනාධිපති ලේකම් ධූරයට පත්වීම ගැටලුවක් බව තවත් පිරිසක් කියා සිටියේය. ඒ අතර වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාගේ නමද අදාළ තනතුරට යෝජනා විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුර දිසානායක මහතා අමතා ඔහුගේ කැමත්තද විමසා සිටියේය. ඒ සම්බන්ධ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් විමසා ඔහුගේ අනුමැතිය ලැබේ නම් තනතුර භාරගැනීමට තමන්ගේ අකැමැත්තක් නැතැයි ඔහු ජනාධිපතිට පවසා තිබුණි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මහින්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කියා සිටියේ පළමු ජනාධිපති ලේකම් ධූරය ප්‍රතික්ෂේප කළ ගමිණී සෙනරත් මහතා ඊට සුදුසු බවයි. ඔහු පිළිබඳ රාජ්‍ය සේවය තුළද ප්‍රසාදයක් වූයේය. මහා නාහිමි අනුනායක හිමිවරුන් අතර මෙරට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලාද ජනපති අමතා ගාමිණී සෙනරත් මහතා ලේකම් ධූරයට පත්කිරීම සුදුසු බව කියා සිටියේය. ඒ අනුව ජනාධිපති ලේකම් ධූරය භාරගන්නා ලෙස ගමිණී සෙනරත් මහතාට ඇරයුම් ලැබුණි. එහෙත් ඔහුගේ පවුලේ සාමාජිකයන් එම තනතුර ඔහු භාරගැනීම නුසුදුසු බව කියා සිටියේය. ඒ හරහා සිය පවුලට මතු යම් දිනක කරදර සිදුවෙතැයි ඔවුහු කියා සිටියහ. ඒ අනුව ගාමිණී සෙනරත් මහතා ආරම්භයේදී තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපතිගේ මැදිහත්වීම මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දෙතුන් විටක් නැවත නැවත ගාමිණී සෙනරත් මහතාට එම ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. මේ අතර එක්තරා අවස්ථාවක් ජනාධිපතිගේ පාර්ශ්වයෙන් විශේෂ යමක් කියැවුණි.ජනාධිපතිවරණ සමයේ ආරථික කටයුතු ඇතුළු බොහෝ දෑ කළමනාකරණය කරමින් විශාල සේවාවක් කළ ගාමිණී සෙනරත් මහතාට මේ මොහොතේ ජනාධිපති ලේකම් ධූරය භාරගැනීමට යුතුකමක් ඇති බව ජනාධිපති පාර්ශ්වයෙන් කියැවුණි. රාජ්‍ය නායකයාගේ මෙවන් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ගාමිණී සෙනරත් මහතාට තවදුරටත් නොහැකි විය. අවසානයේ පසුගිය සතියේ ඔහු තනතුර භාර ගැනීමට කැමැත්ත පල කළේය.

මේ සියල්ල අතරේ සෙනරත් මහතාව පී.බී. ජයසුන්දර මහතා ඇමතුවේය. ගාමිණී ඔයා මේක භාරගන්න. මේක ඔයාට කරන්න පුළුවන්. එළියේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මං කරන්නම්. මම ඇතුළට නම් එන්නේ නෑ. යනුවෙන් පී.බී. ජයසුන්දර මහතා සඳහන් කොට තිබුණි. කෙසේ හෝ මේ වනවිට ආණ්ඩුවේ ආරංචි මාර්ග අනුව ජනවාරි 31 වැනිදා ජයසුන්දර මහතා විශ්‍රාම යෑමට සිදුවන අතර පෙබරවාරි 01 වැනිදා ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සිදුවනු ඇත.

මෑතකාලීන දැඩි දේශපාලන සතුරන් දෙදෙනකු එකිනෙකා හමුවූ අවස්ථාවක් සම්බන්ධවද ගෙවුණු සතියේ වාර්තා විය. මෙසේ හමුවී තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ අවමංගල පූජෝත්සවයේ දී මෙම හමුව සිදුවී තිබුණි. එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු බුද්ධංගල හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වූහ. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බුද්ධංගල හිමියන්ගේ සහෝදරයාය.

පසුගිය නත්තල් දා මාරවිල ක්ලබ් ෆාම් බේ හෝටලයේ විශේෂ සාදයක් සංවිධාන විය. සාදය සංවිධාන කළේ ආණ්ඩු පක්ෂයේ කතෝලික මැති ඇමතිවරු එකතුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් ලැබී තිබුණි. මෙම සාදයේදී විශේෂ සිදුවීමක් සිදුවිය. සාදය අතරතුරදී දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයෙකු ජනපති හමුවට පැමිණියේය. ඔහු ජනපති සමඟ කතා කිරීමට සුළු වේලාවක් ඉල්ලා සිටියේය. ඔහු ජනාධිපතිට මේ වනවිට සංගීත ශිල්පීන් මුහුණ දී ඇති තත්ත්වය පැහැදිලි කරන්නට විය.

අවුරුදු දෙකක් විතර අපිට මුකුත් නෑ සර්. ලංකාවේ සංගීත ශිල්පීන් හාර පන්දහක් ඉන්නවා. දැන් එළිමහන් ප්‍රසංගත් නෑ. ගෘහස්ථ ප්‍රසංගත් නෑ. අපිට දරුවන්ව පාසල් යවාගන්න විදිහක් නෑ. ආදී වශයෙන් ජනාධිපති හමුවේ ඔහු විශාල පැහැදිලි කිරීමක් සිදුකළේය. කලා සංගම් සහ ජනපති ශිල්පීන් මේ වනවිටත් ජනපතිගෙන් මේ හා සම්බන්ධ ඉල්ලීම් සිදුකොට තිබුණි. දරුවන් සම්බන්ධ කරුණ මෙහිදී ජනපතිව සංවේදී කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකථන ඇමතුමක් ගත්තේය. තත්ත්වය පැහැදිලි කොට සිදුකළ හැක්කේ කුමක්ද යන්න විමසුවේය. සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ප්‍රසංග පැවත්වීමට අවසර ලබාදිය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
ඒ අනුව අඟහරුවාදා (28) වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසරපත් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නේය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සංවිධානය කළ යුතු මෙම සංගීත ප්‍රසංග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාද, ඉරිදා දිනයේ රාත්‍රී 12.30 දක්වාද, පැවැත්වීමට අවසර හිමිවිය.

සහල් හිඟයක් පිළිබඳවද පසුගිය සතියේ කතාවක් පැතිර ගියේය. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මේ පිළිබඳ දැනගැනීමට ලැබුණේ දුරකථන ඇමතුමකිනි. අමාත්‍ය රමේෂ් පතිරණ බදාදා උදේම ඇමති බන්දුලට ගුණවර්ධන මහතාට එම දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.

ඇමතිතුමා, මේ පැත්තෙ හාල් පෝලිමක් තියෙනවා. ඇහුවාම කට්ටිය කියන්නෙ හාල් හිඟයක් එනවා කියලයි. එක්කෙනෙකුට කිලෝ 3ක් විතරයි දෙන්නෙ. මේ හිඟයක් එන කතාවෙ ඇත්තක් තියෙනවද?

යනුවෙන් අමාත්‍ය රමේෂ් පතිරණ විමසන විට  දැනට එවන් කිසිම ගැටලුවක් නැති බව ගුණවර්ධන මහතා කීවේය. එහෙත් ඒ සම්බන්ධ සොයා බැලීමට ඔහු පොරොන්දු විය. ඒ අනුව ක්‍රියාත්මක වුණ ඇමති බන්දුල ගුණවර්ධන පිටකොටුව තොග හුවමාරු මධ්‍යස්ථානයට ගියේය. පිටකොටුවෙ හැම හාල් කඩයකටම පාහේ ගිය අමාත්‍යවරයා හැම වෙළෙන්ඳෙක් සමඟම කතා කළේය. සහල් නම් ඕනෙ තරම් තියෙනවා. වෙළෙඳුන් බහුතරයකගේ පිළිතුර එය විය. ඇමැතිවරයාගේ පෞද්ගලික නිරීක්ෂණයෙන්ද එය තහවුරු විය.

මේ අතරතුර බන්දුල ඇමැතිවරයාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ගෙන හාල් හිඟයේ ඇත්ත නැත්ත විමසුවේය.

අගමැතිතුමා, ඇත්තටම කිසිම හාල් හිඟයක් නෑ. මම දැන් මේ පිටකොටුවේ හාල් කඩ ටික බලලා අපේ ව්‍යාපාරික පිරිස එක්ක කතා කරන ගමන්. මෙයාලත් කියනවා එහෙම හාල් හිඟවෙන්න හේතුවක් නෑ කියලා. නමුත් මෙතන මොකක් හරි කූට උපක්‍රමයක් තිබෙන බව පේනවා. මිනිස්සුන්ගෙ අසරණකම්වලින් ප්‍රයෝජන අරගෙන හාල් මිල වැඩි කරන්න කට්ටියක් ලෑස්ති වෙන බව තමයි පේන්න තියෙන්නෙ. ඇමැති බන්දුල කීය.

 චමිදු නිසල්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00