2017 මැයි 13 වන සෙනසුරාදා

ජනපතිගෙන් රවීට සැර අවවාදයක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 936

වෙසක් සතිය උදාවුවත් දේශපාලනයේ හැලහැප්පීම් සහ ගාලගෝට්ටි නිමාවක් නැත. වෙසක් උත්සවය ජාත්‍යන්තර මට්ටමින් සැමරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර වෙසක් උළෙල කොළඹදී පැවැත්විණි. එහි අවසන් උත්සවය සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බන්ධාරී මහත්මිය සහභාගි වූවාය. වෙසක් පෝදාට පසුදා සන්ධ්‍යාවේ කටුනායකින් කොළඹට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අනතුරුව ඉන්දීය අගමැති සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා රථ පෙරහරින් කෙළින්ම පැමිණියේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටයි. එහිදී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ගංගාරාම වෙසක් කලාපය ඉන්දීය අගමැති අතින් විවෘත වීම ඓතිහාසික සිදුවීමකි.

හම්බන්තොට වරාය වැඩේ ජනපති අතට ගනී

ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර හා ආචාර්ය කිරින්දේ අස්සජී හිමිවරු ඉන්දීය අගමැතිවරයාට ආගමික ආශිර්වාද කළහ. අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, සාගල රත්නායක, මංගල සමරවීර, රුවන් විජයවර්ධන යන මහත්වරු ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වූහ. ගංගාරාම වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අගමැතිවරයා කෙටි උත්සවයකට සහභාගි වී ඔහු නවාතැන් ගත් ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් රාත්‍රී 8.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වන ලද පෞද්ගලික භෝජන සංග්‍රහයට සහභාගි වීමට ජනපති මැඳුරට ගියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද විදේශ අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රවී කරුණානායක, උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට ඇරුයුම් ලබා සිටියහ. ඉතා සරල ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආහාරවලින් භෝජන සංග්‍රහය සමන්විත විය. ඉන්දීය අගමැතිවරයා අනුභව කළේ නිර්මාංශ ආහාර පමණි.
මෙම භෝජන සංග්‍රහය අවසන රාත්‍රී 10.00ට පමණ තවත් විශේෂ හමුවක් යෙදී තිබිණි. ඒ හමුව පැවතියේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාගේ නිල නිවසේය. රාත්‍රී 10.10 පමණ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් හමුවට සහභාගි වීමට පැමිණියහ. ඉන්දීය අගමැති සමඟ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් ජයශංකර්, මහ කොමසාරිස් සන්දු ද වූහ. මහින්ද සාකච්ඡා කාමරයට ඇතුළු වූයේ ඔබතුමා අද උදේ ඉඳල ගොඩක් වැඩ කළා දැන් හොඳටම රෑ වෙලා මහන්සිත් ඇති... කියමිනි. සිනාසෙමින් ඊට පිළිතුරු දුන් අගමැති මෝදි කීවේ ඔබ දැක්කම මගේ මහන්සිය ගියා... කියාය. කවදද ඉන්දියාවට එන්නෙ, අපි බලන් ඉන්නව එනතුරු නැවතත් මෝදි අගමැති කීය. ළඟදි එනවා. අපේ රටට ආර්ථික වශයෙන් නැඟිටින්න ඔබතුමා උදවු කරන්න. මම නැතත් ඉන්දීය ආයෝජකයන්ට මේ රටට එන්න කියන්න. මහින්ද රාජපක්ෂ මහතා කීය. මිස්ට රාජපක්ෂ, රටේ නොයෙක් මත ඇති... ඒත් මම කවදාවත් ලංකාවට නරක දෙයක් කරන්නෙ නැහැ. මම සංවර්ධනයට උදවු දෙන්න ඉතා කැමැත්තෙන් ආවෙ...* මෝදි අගමැති කීය. අනතුරුව සෑහෙන වේලා සුහද අල්ලාප සල්ලාපයේ යෙදුණු මහින්ද සහ ගෝඨා පිටව ගියේ මැදියම් රැය ආසන්නයේය.

පසුදා ජාත්‍යන්තර වෙසක් උළෙල කොළඹ දී ඇමතූ ඉන්දීය නායකයා ෆෝර්වුඩ් හිදී ජන රැළියකට සහභාගි විය. ශ්‍රී දළදා හිමි වැදපුදාගෙන මහනුවර ජනපති මැඳුරේදී දිවා භෝජනය ගෙන විශේෂ ඉන්දීය හෙලිකොප්ටරයකින් හවස කටුනායකට පැමිණි ඉන්දීය අගමැතිවරයා සිය දෙදින සංචාරය නිමා කරමින් දිල්ලිය බලා පිටත්ව ගියේය.
ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්ව දෙක වන ශ්‍රීල.නි.ප.ය සහ එ.ජා.ප.ය අතර තිබෙන මත ගැටුම් වර්ධනය වන බව පෙනේ. පසුගිය සතියේ අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ගැන ශ්‍රීල.නි.ප. අමාත්‍යවරු ජනාධිපතිවරයාට විරෝධය පළකිරීමට තීරණය කළෝය. මෙයට ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා විවෘතව පිළිතුරු දුන් අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාජිත එතෙර ගොස් සිටි බැවින් ඔහු පසුගිය සතියේ දින ගණනක් කොළඹ සිටියේ නැත.

මහින්ද ගෝඨා මහ රූ මෝදි හමුෙවති

ඉන්පසුව මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසට එක්රැස්වූ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරු මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළෝය. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, අනුර යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ආදී අමාත්‍යවරු රාජිත කරන ප්‍රකාශ නිසා රජයත් ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයනුත් අපහසුතාවට පත්වන බැවින් ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට ඉදිරි පියවරක් ගත යුතු යැයි තීන්දු කළෝය. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ධුරය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමටද මෙහිදී යෝජනාවක් ඉදිරිපත් විය. ප්‍රශ්නය නොවිසඳෙන්නේ නම් ජනාධිපතිවරයාටද දන්වා ඊටත් වඩා දැඩි පියවරක් වුවද ගතයුතු යැයිද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැ සාකච්ඡා කළෝය.
මේ ගැන සාකච්ඡා කර ගැනීමට ජනාධිපතිගෙන් හමුවීමක් ලබාගන්නට ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් කල්පනා කළේ ඉන් පසුවය. ඒ අනුව පසුගිය අඟහරුවාදා රාත්‍රී 7.00ට පමණ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින්ම තෝරාගත් ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇරැයුම් කෙරිණි. මෙම ඇරැයුම අනුව නිමල් සිරිපාල, අනුර යාපා, දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රීල.නි.ප. ඇමැති පිරිසක් ජනපති නිවසට රැස්වූහ.

රැස්වීම ආරම්භයේදීම ජෝන් සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාගේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනුණි. ජෝන් අමාත්‍යවරයා ඒ ගැන පැහැදිලි කළ පසු ජනාධිපතිවරයා කීවේ රාජිත අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි බව තමන්ද පිළිගන්නා වගය. ඒක ඉතාම අසාධාරණ කතාවක්. ඒ නිසා මම කැබිනට් එකේදී මින් ඉදිරියට මේ වගේ කතා කරන්න එපා කියල රාජිතට කියනව. ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරමින් කීය. ජෝන් සෙනෙවිරත්න මහතා ඊළඟට සඳහන් කළේ තමන් ක්‍රියා කරන්නේ ශ්‍රීල.නි.ප.යේ සමගියට බැවින් ඊට තමන්ට ඇති අයිතියට බාධා කරන්නට කිසිවකුට ඉඩ නැති වගය. එවිට සෙසු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුද කීවේ අපි කවුරුවත් රාජිතගෙ කතාවට කැමැති නැහැ. ඒ නිසා අපි එක්වී ඒ ගැන යමක් කරමු කියාය. මේ ප්‍රශ්නය ඇමැති මණ්ඩලයේදී මතු කරන්නට සූදානම් යැයිද ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක් සඳහන් කළහ.

පළාත් පාලන ඡන්ද සංවිධානයට රනිල්ගෙන් කමිටු තුනක්

අනතුරුව මහනුවර ශ්‍රීල.නි.ප. මැයි රැලිය ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වීය. මම පස්සෙ මැයි රුලියෙ වීඩියෝ පටිය ගෙන්වල බැලුව. ඒකෙ විශාල සෙනගක් හිටිය. ලැබුණ වාර්තාවල තිබුණ අපෙන් බස් දෙදාස් ගණනක සෙනඟ ආවය කියලත්. ඉතින් ඒ විදියට සෙනග ගෙනා කාටත් ස්තූති කරනව. ඒ වගේම ඉදිරි පළාත් ඡන්දවලට හොඳ ආසන සංවිධායකයන් දාල සංවිධානය කරන්න ඕන. ජනාධිපතිවරයා ශ්‍රීල.නි.ප. ප්‍රධානීන්ට තවදුරටත් උපදෙස් දුන්නේය.
අනතුරුව දිගින් දිගටම ඇදී යන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන කතාබහ කළේය. ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් කියා සිටියේ වහාම ඇමැති මණ්ඩලය සංශෝධනය කළ යුතුය කියායි. එය රටට පොරොන්දු වී සිටින රට ඉල්ලා සිටින දෙයක් යැයිද ඔවුහු කීහ. එවිට ජනාධිපතිවරයා සිනාසී ඒක මේ මාසෙ වෙයි කියා ඉඟි කළා මිස ඇමැති සංශෝධනය සිදුවන දින වකවානු ගැන කිසිවක් කියන්නට ගියේ නැත. රාත්‍රී 10.15 පමණ වන තෙක් මෙම සාකච්ඡාව ඇදී ගියේය. එය අවසන් වනවිට ජනාධිපතිවරයා විසින් තම දේශපාලන සගයන් වෙනුවෙන් රාත්‍රී භෝජනය සූදානම් කරවා තිබිණි. ඉන්දියානු ක්‍රමයට සකස් කළ නාන් රොටී, වඩේ සහ තෝසේ ඇතුළු රසවත් ඉන්දීය ආහාරවලින් සප්පායම් වන ලෙස ඇමැතිවරුන්ට ඇරුයුම් කැරිණි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පසුගිය සඳුදා සවස සිරිකොත මූලස්ථානයේදී පැවැත්විණි. බොහෝ දෙනා අපේක්ෂා කළේ එදින එ.ජා.ප.යේ නව උපනායක තනතුරු සඳහා සුදුස්සන් පත්කරනු ඇති බවය. විශේෂයෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පක්ෂ උපනායක ධුරයක් ලබාදීම ගැන බොහෝ දෙනා අවධානයෙන් පසුවූහ. විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා දැඩි ලෙස ඊට විරුද්ධ වූ අතර ඔහු කීවේ ෆොන්සේකා පත්කළොත් තමන් එ.ජා.ප.යෙන් ඉවත්ව යන බවය. කෙසේ හෝ මෙම පත්වීම් කිසිවක් එදින සිදු නොවීය.

අගමැති හා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී සාමාජිකයන්ට දන්වා සිටියේ ළඟදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ලෙසය. පක්ෂයේ ඉදිරි ප්‍රචාරක කටයුතු හා දේශපාලන කාර්යයන් සංවිධානයට අනුකමිටු තුනක් පත් කළේය. මෙම කමිටු තුනේ ප්‍රධානීන් ලෙස අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් පත් කැරිණි. කාලීනව පක්ෂ ප්‍රචාරක හා සංවිධාන කටයුතු සිදුකිරීමට තීන්දු කළ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙබ් අඩවි ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ ප්‍රචාරක කටයුතුවලට වැඩි බරක් යෙදවීමට තීන්දු කළේය.

මහින්දගේ අඩුකළ ආරක්ෂකයන් නැවත ඔහුටම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගතකළේ ඌව පළාතේය. බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කරන්නට විශේෂ සාකච්ඡාවක්ද සංවිධානය කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කරන්නට ජනතාව තීන්දු කළේ ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුමක් ලබාගැනීමට අපේක්ෂාවෙන් බවත් ඒ අනුව යහපාලන රජය රට ශක්තිමත් කරන්නට හදද්දී තවත් පිරිසක් රට අවුල් කරන්නට හදන බවත් කීය. රටට ණය කන්දක් උරුමකර ගිය රාජපක්ෂ රෙජීමය මේවා පිටුපස සිටින්නේ යැයිද අගමැතිවරයා පැවසීය. වැඩවර්ජන මගින් රට ආරාජික කිරීමට ඇතැමුන් උත්සාහ කළත් තමන් ඇතුළු යහපාලන ආණ්ඩුව ඊට ඉඩ නොදෙන්නේ යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක භටයන් අඩු කිරීම පසුගිය දින ගණනාවක් තිස්සේ ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් විය. මෙයට දින 10කට පමණ පෙර ආරක්ෂකයන් 42ක් ඉවත් කළ පසු රජය කීවේ එය සිදුකළේ විධිමත් ආරක්ෂක තක්සේරුවකින් බවය. එහෙත් ඉන් දින ගණනාවකට පසු මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු ගණනාවකට ගොස් සිටියදී ඔහුගේ ආරක්ෂක අංශයට පොලිස් මූලස්ථානයෙන් ලද පණිවුඩයක සඳහන් වුණේ තවත් ආරක්ෂක භටයන් 50ක් ඉවත් කරන්නට තීන්දු කර තිබෙන වගයි. ඒ අනුව එදින කුරුණෑගල මහින්ද වෙනුවෙන් ආරක්ෂක රාජකාරිකරන භටයන්ද ඇතුළුව 50 දෙනෙක් ඉවත් කළ යුතු බැවින් එදින රාත්‍රි 9.00ට ඔවුන් සිය මූලස්ථානයට වාර්තා කළ යුතු යැයි ලැබුණු විශේෂ පණිවුඩයේ සඳහන් විය. එදින රාත්‍රිය කුරුණෑගල ගතකිරීමට ඒ වනවිටත් හිටපු ජනපතිවරයා සැලසුම්කර තිබුණත් ඔහු ඒ සියලු වැඩසටහන් අවලංගු කර වහාම කොළඹ එන්නට තීන්දු කළේ ආරක්ෂක නිලධරයන් නොමැතිව එහි ජනහමු සිදුකළ නොහැකි නිසාය. මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දිනෙන් දින අඩු කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සෙසු සමාජ නායකයන්ද දැඩි අවධානයක් දක්වා තිබිණි. බොහෝ වේදිකාවලද මේ ගැන කතාබහ ඇතිවිය. දේශයට වර්තාවන ආකාරයට මහනුවර ප්‍රදේශයේ ප්‍රධානතම නායක හිමිනමක් ජනාධිපතිවරයාට දුරකතනයෙන් අමතා මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කප්පාදු කිරීම ගැන ප්‍රශ්න කර මෙය සිදු නොවිය යුතු දෙයක් බව අවධාරණය කර තිබිණි. මෙබඳු දේශපාලනයක් ආණ්ඩුව සිදුකළ යුතු නැතැයිද උන්වහන්සේ වදාරා තිබිණි. කෙසේ හෝ ඒවනවිටත් මහින්දගේ ආරක්ෂකයන් සිය මූලස්ථානයට නැවත වාර්තා කර තිබිණි.
ඒ සිද්ධියට පසුදා කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතාගේ දියණියගේ විවාහය පැවැත්විණි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එහි සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ. අනතුරුව පැමිණ සිටි දේශපාලන නායකයන් හා සෙසු මැති ඇමැතින් සිටි මේසයේදී මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම ගැන සංවාදයක් හටගැනිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සඳහන් කළේ තමන්ට කොටින්ගෙන් බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල වූ බවත් බෝම්බ කෑලි තවමත් ශරීරයේ ඇති වගත්ය. එසේ වුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ආරක්ෂාව අඩු කළේ යැයි ඇය කීවාය. අනතුරුව එහි සිටි සෙසු ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින්ට ඇඟිල්ල දිගු කළ හිටපු ජනාධිපතිවරිය ඔයාලට මහින්ද රාජපක්ෂ ගැන තියෙන කැක්කුම මම ගැන නැතැයිද සඳහන් කළාය. ඒ කාලයේ පිටරට මහ කොමසාරිස් කාර්යාලයකින් තමන්ට වාහනයක් ලබාගන්නවත් අවසර නොතිබුණේ යැයිද චන්ද්‍රිකා මැතිනිය කීවාය. තමන්ට හිටපු ජනාධිපතිනිය ලෙස වි‍ඳින්නට සිදුවූ දුක් ගැහැට ගැන ඉන්දියාවේ හිටපු අගමැතිවරයාට කී විට ඔහු පුදුමයෙන් පුදුමයට පත් වු බවද ඇය සිහිපත් කළාය.

එ.ජා.ප. විරෝධයෙන් ඇමැති සංශෝධනය මගහිටී

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරිය වූ ගාන්ධිනී රාජපක්ෂ මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ඇයගේ දේහයට අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ මිරිහාන මහවත්ත පාරේ නිවසේය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සෑම දෙනාම පාහේ එම නිවසට රැස්ව සිටියේ රාජපක්ෂ මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට විශාල වශයෙන් ජනතාව පැමිණි බැවිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශෝකය පළකරමින් විශේෂ මල්වඩමක් එවා තිබූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ අමතා කනගාටුව ප්‍රකාශ කර තිබිණි. ඒ හැර ශ්‍රීලනිප, එජාප සහ තවත් පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ එහි පැමිණ සිටියහ. මංගල සමරවීර, මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, අර්ජුන රණතුංග, ගයන්ත කරුණාතිලක ආදී මැති ඇමැතින් බොහෝ පිරිසක් මිරිහානේ නිවසට පැමිණ අවසන් ගෞරව දක්වනවා පෙනුණි. රාජපක්ෂ සහෝදරවරැන් සියලු දෙනාම පාහේ මේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සුහදව පිළිගෙන කෘතවේදිත්වය පළ කළෝය.

අපේක්ෂා කළ පරිදි වෙසක් පොහෝ දිනට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවූයේ නැත. මේ ගැන තිරය පිටුපස පැතිර ගිය කතාවලින් කියැවුණේ අගමැතිවරයා සහ එ.ජා.පය යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට එකඟ නොවන බවයි. වෙසක් පෝ දිනයට ඉන්දීය අගමැතිවරයා පැමිණෙන බැවිනුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරැව චීනය බලා නිල ගමනක් යා යුතු බැවිනුත් ඊට පෙර අමාත්‍ය විෂයෙහි වෙනස් කිරීමක් බොහෝ ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින් දැන්ම අමාත්‍ය සංශෝධනය සිදුකළ නොහැකි බව එ.ජා.ප.ය දන්වා තිබිණි. ඒ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් දෙ‍දෙනෙක් වන අමාත්‍ය මලික් සමරවික්‍රම හා අමාත්‍ය කබීර් හෂීම් කැඳවා දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් ප්‍රකාශ කර තිබුණේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් තොරව රජය ඉදිරියට පවත්වාගත නොහැකි බවයි. මේ ගැන අගමැතිවරයාටද දන්වා වහා තීන්දුවක් ගත යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය.
කෙසේ හෝ වෙසක් පෝයට පෙර අමාත්‍ය සංශෝධනය සිදුනොවීම නිසා මාධ්‍ය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ කැබිනට් සංශෝධනයක් සිදුනොවන බවයි. ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක ඇමැති සංශෝධනයක් ගැන නිශ්චිතව ප්‍රකාශකර නැතැයිද රාජිත ඇමැතිවරයා පැවසීය. එය මාධ්‍යය මගින් මතු කළ පුවතක් බවද ඔහු කීය. එහෙත් එජනිස මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා එදිනම කියා තිබුණේ ඇමැති සංශෝධනය ඕනෑම මොහොතක සිදුවන්නට ඉඩ ඇති බවය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ ගැන එකඟත්වයක් ඇති වී තිබෙන්නේ යැයිද අමරවීර මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ඇමැති සංශෝධනය ගැන ආණ්ඩුවේ ලොකු ලොක්කන් කියන පරස්පර කතා නිසා ජනතාව අන්දමන්දව සිටිති.

ගිය අඟහරුවාදා පැවැති සතියේ අමාත්‍ය මණ්ඩල හමුව බෙහෙවින් උණුසුම් විය. සමහර මැති ඇමැතින් මෙන්ම ජනාධිපතිවරයාද දැඩි මත ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. ඇමැති හමුව ආරම්භ වූයේ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාට දැඩි ලෙස දොස් කියමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැයි දිනයේ කළ කතාවට ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් විරෝධය පළ කරමිනි. එහිදී කතාවට මැදිහත් වූ ජනාධිපතිවරයා කීවේ මේ නිසා අද දින සිට ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන් කැබිනට්ටුවට නොපැමිණ ඇමැති මණ්ඩලය වර්ජනය කරන්නට පවා සැරසෙන බවය. තමන් ඒ ගැන ඔවුනට කරුණු දන්වා දැනට ප්‍රශ්නය සමතයකට පත්කරගත් බවද ඔහු කීය. එසේම රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිවරයා ඔහුට කීවේ කැබිනට් සගයන් ගැන මෙයට පසු මේ ආකාරයට කතා නොකරන ලෙසය. එවිට රාජිත කීවේ තමන් හැදුවේ ආණ්ඩුව ශක්තිමත් කරන්නට බවය. මහින්ද අමරවීර හා ජෝන් සෙනවිරත්න මහත්වරුන් කීවේ මෙවැනි කතා නිසා රජය ශක්තිමත් වෙනවා නොව දුර්වල වන බවයි. අමාත්‍ය චම්පික රණවක අදහස් දක්වමින් ඇමැතිවරුන්ට ට්‍රේඩ් යුනියන් කාරයන් ලෙස හැසිරෙන්නට ඉඩ නැතැයි පෙන්වා දුන්නේය. එවිට ජෝන් සෙනෙවිරත්න ද කීවේ තමන්ටත් මේ ආකාරයට රාජිතට බණින්නට පුළුවන් වුවත් තමන් ඒ මට්ටමට නොයන බවයි. අවසානයේ පක්ෂ ප්‍රධානීන්ගේ මැදිහත් වීමෙන් රාජිත - ජෝන් දෙදෙනා සමථයකට පත්වූහ. අනතුරුව ජනාධිපතිවරයා යෝජනා කළේ ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් සම කැබිනට් ප්‍රධානියකු පත් කළ යුතු වගයි. ඒ සඳහා අනුමැතිය හිමි වූ අමරවීර සහ දුමින්ද දිසානායක අමාත්‍යවරුන්ට සුදුසු නමක් යෝජනා කරන්නැයි පැවසීය.

වැරදි පෙන්වා දෙන අයගේ කට වහන්න යාම ගැන දයාසිරි කලකිරිලා

ඇමැතිහමුව රත්වූයේ ඉන් අනතුරැවය. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කතාකරමින් තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප සගයන් රජයට එක්වූයේ ආරාධනාවක් අනුව යැයි පැවසීය. එහෙත් පොදුවේ වරදක් පෙන්වා දුන් විට තම කැබිනට් සගයන්ට බණිමින් කටවහන්න හදන බවත් මේ ක්‍රමය බොහෝම නරක තත්ත්වයක් බවත් ඔහු කීය. ඊට පිළිතුරු දෙන්නට ගිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය. ඔහු සැරෙන් කීවේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේ තම පක්ෂය බවය. ඊට පසුව රජයට පැමිණි අය දැන් රට පාලනය කරන්න හදනවා යැයි කී රවී කට්ටියක් බලය ගත්තත් තවත් කට්ටියක් රට පාලනය කරන්නත් යාම ගැන දොස් කියන්නට විය. රවීගේ මේ කතාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතාමත් තදින් කේන්ති ගියේය. මුදල් ඇමැතිතුමා ඔය ජාතියේ කතා මෙතෙන කරන්න ලෑස්තිවෙන්න එපා. පසුගිය මහ මැතිවරණයෙන් කාටවත් පැහැදිලි ජන වරමක් ලැබුණේ නැහැ... ඒත් තියෙන තත්ත්වය පාලනය කරලා අපි මේ අමාරුවෙන් ආණ්ඩුව ගෙනියන්න හදනවා. ඔය විදිහෙ කතාවලින් ආණ්ඩුවට හොඳක් වෙන්නේ නැහැ යැයි ජනාධිපතිවරයා සැරෙන් කියාගෙන යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව පක්ෂ දෙකක් ආණ්ඩුව ගෙනියන විට ප්‍රශ්න ඇතිවන බවත් ඒවා නායකයන් සමඟ කතාකර විසඳාගත යුතු බවත් පෙන්වා දුන්නේය. අනතුරැව රවී කරුණානායක නිහඬවිය. ඊළඟට හම්බන්තොට වරාය ගිවිසුම ගැන කතාබහ ඇති විය. ඒ ගැන තමන් හරි විස්තර නොදන්නා බව ජනාධිපතිවරයා කී විට ගිවිසුම අධ්‍යයනය කොට අවසන් තීන්දුවක් ගත යුතු යැයි අර්ජුන රණතුංග ඇමැතිවරයාද කීය. ඒ අනුව හම්බන්තොට ගිවිසුම ගැන අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයාට භාර කෙරිණි. 

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
  සේයාරුව - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00