2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ඇමැති කංචන සභාපති ජනක ගැටුම උග්‍රවෙයි

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 328

මැතිවරණයක සේයා දේශපාලන කරළියේ ඇඳුණු සතියක් ගෙවී ගියේය. ඒ නිසාම ඇතිවීමට නියමිත දේශපාලන සංග්‍රාමයක් පිළිබඳ ඉඟි පළවුණි. සතුරු පෙරමුණ දුර්වල කිරීමටත්, තම බල සේනා සටන උදෙසා ශක්තිමත් කිරීමටත් පක්ෂ නායකයෝ උත්සාහ  කළෝය. 

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ සීමා නිර්ණය කොමිසම සහ පිළිගත් දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡා කිහිපයක් ඉකුත් සතියේ පැවැත්වුණි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණු මෙම රැස්වීම පැවතියේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදීය.

දේශපාලන පක්ෂ නියෝජිතයන් සියලු දෙනාම එකම මොහොතක සම්බන්ධ කර ගැනීමට ප්‍රමාණවත් ඉඩකඩක් එහි නොවූයෙන් රැස්වීම අදියර තුනක් යටතේ පැවැත්විණි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය මෙම රැස්වීමට නොපැමිණීම කැපී පෙනුණි. එහෙත් ආණ්ඩුවට සහ විපක්ෂයට සම්බන්ධ සෙසු දේශපාලන පක්ෂ බොහොමයක් මෙම රැස්වීම් සඳහා සහභාගි විය.

දේශපාලන ආරංචි අනුව කියැවුණේ කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රධාන පක්ෂ දෙකේ නොපැමිණීම මහින්ද දේශප්‍රිය මහතාගේ කනස්සල්ලට හේතු වූ බවකි. ඒ අනුව මෙම හමුව මගහැරුණු අනෙක් දේශපාලන පක්ෂ සඳහා දෙසැම්බර් 27 වැනිදා නැවත අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කළේය.

මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ආදී කරුණු  සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි කියැවේ. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැමිණි පාලිත රංගේ බණ්ඩාර මහතා පළ කර ඇත්තේ මෙවන් අදහසකි.

“මේ ජන්දය කල් දාන්න ඕනෑ. මේක මැතිවරණයක් තියන්න සුදුසු වෙලාවක් නෙවෙයි. සීමා නිර්ණයත් අවසන් වෙන්න ඕනෑ."

මෙහි පැමිණි ද්‍රවිඩ සහ මුස්ලිම් සුළු පක්ෂ බහුතරය සීමා නිර්ණය සම්බන්ධව විරෝධය පෑ බව කියැවේ.

“සීමා නිර්ණය සම්බන්ධ ප්‍රාදේශීය කමිටුවල මුස්ලිම් දෙමළ සුළු ජන වර්ග ප්‍රමාණවත් පරිදි නියෝජනය වෙන්නෙ නෑ. අනෙක් කාරණාව පළාත්  නියෝජිතයන් සංඛ්‍යාව  8900 ඉඳලා 4000 ට අඩු කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය බාල වෙනවා."
මේ අතර වතුකරයේ බොහෝ පක්ෂ ඉක්මනින්ම මැතිවරණය පැවැත්විය යුතු බව අවධාරණය කර තිබුණි. මෙම රැස්වීම් සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ආරාධනා කීරීමට මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේය. ඒ අනුව සංවිධාන කිහිපයක නියෝජිතයෝ මෙහි පැමිණ සිටියහ.

හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය ඉකුත් සතියේ විශාල ප්‍රභූ  පිරිසක‍ගේ සහභාගිත්වයක් සහිතව පැවැත්විණි. රත්නපුර ප්‍රදේශයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වන තිස්ස ආනන්ද මහතාගේ දියණිය සමඟ ගාමිණී සෙනරත් මහතාගේ පුත්‍රයා අතිනත ගත්තේය.

පසුගිය සඳුදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම සාදයේ කැපීපෙනෙන සිදුවීම වූයේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකම මේසයක වාඩි වී සිටීමයි. මෙම ප්‍රධාන මේසයේ දී රටේ වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව සහ පළාත් පාලන ඡන්දය පිළිබඳව අදහස් හුවමාරු වී ඇතැයි කියැවේ.

“පළාත් පාලන මැතිවරණය තියෙනවා නම් තියන්නේ කොහොමද? මොනවද මේ මැතිවරණය තියන්න තියෙන බාධා." යන්න ගැන මෙහිදී කතාබහ වී ඇත.

ජනාධිපතිවරුන්ට අමතරව පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද මෙම ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සාදය සඳහා රටේ ඉහළ පෙළේ දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූවරු 750ක් පමණ පැමිණ සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රොෂාන් රණසිංහ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,  තලතා අතුකෝරල, පවිත්‍රා වන්නිආරච්චි ආදී පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාල පිරිසක් මෙහි පැමිණ සිටියහ. එසේම නීතිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ නිලධාරීන් ද විදෙස් තානාපතිවරුන් ද මෙම සාදයට සහභාගි වී ඇතැයි කියැවේ.

කොතරම් දේශපාලන ප්‍රභූන් සහභාගී වුවද විවාහ ලියාපදිංචිය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තබා තිබුණේ යුවළගේ පියවරුන්ය. මැදියම් රැය වන තුරු පැවැති සාදයේදී රාත්‍රී 12ට ගාමිණී සෙනරත් මහතාගේ උපන් දිනය සැමරීම ද විශේෂත්වයක් වූ බව කියැවේ.

සමගි ජන බලවේගයේ සංවත්සර සැමරුමෙන් පසුව ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන කතිකාව තවත් උණුසුම් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හේතුවෙන්ම විවිධ කට කතා, ආරංචි දේශපාලන කරළියේ පැතිර යන්නට පටන්ගෙන ඇත.

ඉකුත් දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පක්ෂය තුළ දරන සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පුවතක් පැතිර ගියේ එබැවිනි. සංවත්සරයේ දී කතාවක් නොලැබීම හේතුවෙන් හේෂා විතානගේ මෙලෙස ඉල්ලා අස්වූ බව කියැවිණි. 

එහෙත් සමගි ජන ජන බලවේගයේ මාධ්‍ය අංශය සේම හේෂා විතානගේ ද තහවුරු කර තිබුණේ මෙම පුවත සත්‍යයෙන් තොර බවයි. ඔහු මුහුණු පොතේ ද සටහනක් තබා තිබුණි.

“මෙම පැතිර යන ඉල්ලා අස්වීම වැරදි ප්‍රචාරයක් වන අතර මා කිසිදු අවස්ථාවක මෙවැනි ඉල්ලා අස්වීමක් පක්ෂ නායකතුමාට හෝ මහ ලේකම්තුමාට දැනුම් දී නොමැත."

කෙසේ නමුත් කිනම් හෝ කරුණක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රුසක් මෙම පුවත වාර්තා කර තිබුණි.

පසුගියදා පැවති සමගි ජන බලවේගයේ සංවත්සර සැමරුමේ දී "කිසිවකු නැතත්, අවට අසා සිටින අයට ඇසෙන නිසා කතා කරනවා." යනුවෙන් කියමින් සිය කතාව කළ සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය සතියේ සුවිශේෂී හෙළිදරව්වක් කළේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව සමගි ජන බලවේගයේ ජාතික සමුළුවේ දී සජිත් ප්‍රේමදාස මහතා කලින් කතා කොට සමුළුව විසුරුවා හැරීම නිසා සමුළුව ඇමතීමට නොහැකි වූ පිරිසේ නම් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධ කර තිබුණි 
ඒ අනුව කබීර් හෂීම්, තලතා අතුකෝරාල, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ වැනි අයට සමුළුවේ දී කැපිල්ලක් සිදු වූ බවත්, එය කථික ලැයිස්තුව සකස් කිරීමේ දී කළ වරදක් බවත්, කුහක වැඩක් බවත් ෆොන්සේකා මහතා කියා ඇත.
පසුගිය සතියේ ධීවර අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවැති අපූරු රැස්වීමක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වේ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපළකට ද ආරාධනා කර තිබුණි. 

සමගි ජන බලවේගයේ දිලිප් වෙදඅාරච්චි, ජාතික ජන බලවේගයේ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙලෙස ආරාධනා ලැබී ඇත. ටින් මාළු කර්මාන්ත ගැටලු පිළිබඳ සාකච්ඡා කළ අමාත්‍යංශ රැස්වීමකට මෙලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීම සුවිශේෂී තත්ත්වයක් බව පෙනී ගියේය.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දී ධීවරයන් වෙනුවෙන් අරගල කළ දිලිප් වෙදඅාරච්චි මහතා මෙහි පැමිණ සිටියේය. ඔහු ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් සමග කුළුපග වන අයුරු දැකගත හැකිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වෙදාරච්චි මහතා මීට පෙර අවස්ථාවකදී ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණි.

මෙම රැස්වීම අවසන් වන විට ටින් මාළු කර්මාන්තය නියෝජනය කරන ප්‍රසිද්ධ සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා ද මෙහි පැමිණ තිබේ. ඔහු පැමිණෙන විට අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ කමල් අද්දරආරච්චි අතර සංවාදයක් ඇතිවිය.
“මචං මතකද, අපි එකට රගපෑවා." 

පියල් නිශාන්ත මහතා එලෙස විමසන විට කමල් අද්දරආරච්චි මහතාට ඔහු හා රඟ පෑ අවස්ථාව සිහිව ඇත. 

“ඔව් ඔව් මතකයි"

දෙදෙනා එලෙස පැරණි මතක අලුත් කර ගන්නා අතරේ මෙම සංවාදය බලා සිටී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සංවාදයට මැදිහත් වී තිබේ.

“ඔව් ඔව් දෙන්නම හොඳ නළුවො තමා"

ගෙවී ගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව ද තරමක් මවිත කරන සුළු දේශපාලන ආරංචියක් ගලා ආවේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව ඒ අනුව කියැවිණි. ජවිපෙ නව නායකත්වය බිමල් රත්නායක හට ලබා දී අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායකත්වය පමණක් දරනු ඇතැයි මෙම දේශපාලන ආරංචියට අනුව කියැවිණි.

කෙසේ වෙතත් මෙම කතාව එම පක්ෂය විසින් තහවුරු කරන ලද්දක් නොවේ. එහෙත් දේශපාලන කරළියේ පැතිර ගිය එම ආරංචියට අනුව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම ධුරයෙන් ඉවත්ව එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පත් කරනු ඇති බවද කියැවේ. කෙසේ වෙතත් මෙම වෙනස්කම් සිදුවීමට වසර දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවද ඒ හා සම්බන්ධ තොරතුරු වාර්තාවල සඳහන් වේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ යුරෝපා සංචාරය ඉකුත් සතියේ ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. අනුර කුමාර දිසානායක මහතා ජර්මනිය, ප්‍රංශය වැනි රටවල සංචාරයේ නිරත වූ අතර බිමල් රත්නායක ඇතුළු පිරිසක් ග්‍රීසියේ සංචාරයේ නිරත වන අයුරු දැකගත හැකි විය. එම රටවල ප්‍රධාන නගරවලදී ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයෝ කටයුතු කළහ.

පසුගිය සතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවාඩුවක් ගත කිරීම සඳහා ඩුබායි බලා පිටත් වූ බව දැනගැනීමට ලැබුණි. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සිය පවුලේ පිරිසක් සමඟ යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වූ බවට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර පසුගිය සතියේ මහජන උපයෝගිතා ‌කොමිසමේ සභාපති ජනක රත්නායක සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර වූ මත ගැටුම තවත් උග්‍ර විය.

“ජනවාරි 2 වැනිදා වන විට විදුලි බිල වැඩි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපි කැබිනට් මණ්ඩලයට ලබා දෙනවා. කෙසේ හෝ ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය වීමක් සිදු වෙනවා."

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිය පෞද්ගලික මතය අනුව වැඩ කරන බවට චෝදනා කරමින් ඔහුගේ දේශපාලන සම්බන්ධතා ද හෙළි කරමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එවන් ප්‍රකාශයක් සිදු කළේය.
එහෙත් නීතියට පිටින් ගොස් කිසිවකුටත් විදුලි බිල වැඩි කළ නොහැකි බව මහජන උපයෝගිතා ‌කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉකුත් දා නැවතත් අවධාරණය කළේය.

“ලබන මාසේ විදුලි ගාස්තු සංශෝධනයක් ඕනේ නම් ඒ යෝජනාව අපිට කරන්න ඕනෑ. දෙසැම්බර් 22 වෙනකම් තවම එහෙම යෝජනාවක් අපිට ලැබිලා නෑ." 

තමා සඳහන් කරන්නේ පෞද්ගලික මතයක් නොව කොමිසමේ අදහස බවත්, කොමිසමේ අනුමැතියකින් තොරව විදුලි ගාස්තු අඩු වැඩි කිරීමට උත්සාහ කළහොත් නීතිමය පියවර ගන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
පුංචි ඡන්ද කතිකාව සමඟ සන්ධාන සම්බන්ධ කතිකාව ද ඉකුත් සතියේ දේශපාලන කරළියේ දැකගත හැකි විය. 

“පොහොට්ටුව පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ සෙසු පක්ෂ එකතු කර ගනිමින් ඡන්දය සඳහා සූදානම් වෙන්න කියලා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. නාමයෝජනා ලබාදීම සඳහා අදාළ ආකෘති පත්‍ර බෙදලා නාමයෝජනා ලබා දෙන්න දිවයින පුරාම කටයුතු සූදානම් කරල තියෙන්නෙ."

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් මෙලෙස පැවසීය. 

ඒ අනුව නිසැක වශයෙන්ම පොහොට්ටුව සහ එජාපය පළාත් පාලන මැතිවරණයේදී සන්ධාන ගතවන බව තහවුරු කර ගැනීමට හැකි වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම සම්බන්ධව එම පක්ෂ දෙක අතර මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස් ජනතා සභාව පුංචි ඡන්දය වෙනුවෙන් සන්ධානගත වීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ද දැනගන්නට ලැබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ යටතේ මෙම පිරිස තරග කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“මැතිවරණයට ඉදිරිපත් වන විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය ඇති කිරීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙනවා."

එලෙස පවසා තිබුණේ උත්තර ලංකා සභාගයේ උදය ගම්මන්පිල මහතාය. මේ අතර මෙම සන්ධානයට අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ කණ්ඩායම සහ පාඨලී චම්පික රණවකගේ කණ්ඩායම ද එකතු කර ගැනීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි. ඩලස් අලහප්පෙරුම මහතාගේ නිදහස් ජනතා සභාව මේ සම්බන්ධ සාකච්ඡාවල නිරතව සිටින බව කියැවේ.

මේ අතර සමගි ජන බලවේගය ද ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන ආකාරය පිළිබඳ සාකච්ඡා අරඹා ඇතැයි පසුගියදා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබුණි. තනිව මැතිවරණය සඳහා තරග කරනවාද, සෙසු හවුල්කාර පක්ෂ එකතු කර ගනිමින් දේශපාලන සන්ධානයක් ලෙස තරග කරනවාද, යන්න පිළිබඳව එම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා නිර්මාණය වී ඇතැයි දැනගැනීමට ලැබේ.

I චමිඳු නිසල් ද සිල්වා 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00