පාර්ලිමේන්තු ජරමර දේශපාලන ගාලගෝට්ටි නොඅඩුව දක්නට ලැබුණු තවත් සතියක් ගෙවී ගියේය. කැබිනට් ඇමැති පැතුම සේම පොලිස්පති පැතුමද ඵල දරන දිනයක් ගැන කිසිවෙක් නොදත්තේය. ගුවනින් ගිය ඇත්තු පිළිබඳව සේම ආගමික උපහාස අපහාස නඩු හබ පිළිබඳවද සමාජ කතිකාවක් නිර්මාණය වී තිබුණි.
පොලිස්පති පත් කිරීමට බලපා තිබෙන බාලගිරි දෝෂය පසුගිය සතියේද සමනය වන බවක් පෙනී නොගියේය. පොලිස්පති ධුරය හිස්වී දින දහයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබුණි. මේ පිළිබඳ පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර බොහෝ කතාබහ සිදුවිය.
''ජනාධිපතිතුමනි, ඉක්මනින් පොලිස්පති ධුරයට සුදුසු කෙනෙක් පත් කරන්න.''
විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ද පසුගියදා ජනපති වෙත එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.
ජනාධිපතිවරයා වඩාත් උනන්දුවක් දක්වන්නේ හිටපු පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමට බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයිද වාර්තා වාර්තා විය. පොලිස්පති පත්කිරීම සම්බන්ධව නීතිපති උපදෙස් පැතීමක් පසුගිය සතියේ සිදුවූ බවද දේශපාලන ආරංචි අතර අසන්නට ලැබුණි. කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ නාම යෝජනාවට, ජනපතිට හිතවත් පාර්ශ්ව මෙන්ම විවිධ ආගමික දේශපාලන කණ්ඩායම්ද විරෝධය පාමින් සිටින බව පෙනී ගියේය.
''එක්කෝ, ඔබතුමා හිටපු පොලිස්පතිතුමාට සේවා දිගුවක් ලබා දෙන්න. නැත්නම් ව්‍යවස්ථාදායක සභාවට නම් තුනක් යවලා පැත්තකට වෙන්න. චෝදනා තියන අයට නම් දෙන්න යන්න එපා.''
පොලිස්පති පත්කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට මෙවන් උපදෙසක් ඔහුගේ සමීපතමයන් වෙතින් ලැබී ඇතැයිද පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පලවී
තිබුණි.
මේ අතර සිකුරාදා පොලිස්පති හබයෙන් පාර්ලිමේන්තුවද කැළඹී ගියේය.
පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීමේ පමාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. පොලිස්පතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් අපරාධ වැඩි වී ඇති බවද ඔහු සඳහන් කළේය.
''මම ඉල්ලීමක් කරනවා ඉදිරි පැය 48 ඇතුලත ජනාධිපතිතුමා නම එවන කල් ඉන්නැතුව, මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසා හෝ තීන්දුවක් ගන්න කියලා.''
එම විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු බැන්දේය.
''ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව එතුමා නම් කරාවි. ඒක ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ කිසිම කලබලයක් නෑ.''
ඒ අනුව ඉදිරි පැය 48ක් තුළ පොලිස්පතිධුරය සම්බන්ධ ජනපති තීන්දුවක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ගද පවසා සිටියේය.
ගෙවී ගිය සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙතද දේශපාලන කරළියේ සැලකිය යුතු අවධානයක් යොමු වුයේ, සිදුවීම් කිහිපයක් හේතු කර ගනිමිනි. මීට මසකට පමණ ඉහතදී රත්තරන් පොලු සමඟ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් වූ අලි සබ්රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳ කතානායකවරයා රේගුවෙන් විශේෂ විමසීමක් සිදුකර තිබුණි.
ඒ අනුව පසුගිය සතියේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කතානායකවරයා වෙත අදාළ සිදුවීම සම්බන්ධව පැහැදිලි කිරීමක් එවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. දැන ගැනීමට ලැබුණු පරිදි එම වාර්තාවට අනුව මෙම මන්ත්‍රීවරයාගේ ගමන් බිමන් පිළිබඳව කාලයක සිට රේගුව පරීක්ෂාවෙන් සිට තිබේ. ඒ අනුව සැකයක් මතුවූ අවස්ථාවක සිදුකළ පරීක්ෂාවකට අනුව ඔහු අත්අඩංගුවට පත්ව ඇත.
රේගුව කතානායක කතානායකවරයාට ඒ පිළිබඳ තොරතුරු දන්වා ඇත. මන්ත්‍රීවරයා සතුව තිබුණු බඩු බඩුබාහිරාදිය සහ ඔහුගේ නමින් වෙන්කර තිබූ ගමන් මලුවල තිබූ දෑ පිළිබඳවද සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලංකා රේගුව විසින් කතානායකවරයා වෙත සපයා ඇතැයි දැනගැනීමට ලැබෙයි.
''වී.අයි.පී. පහසුකම මන්ත්‍රීවරයා අවභාවිත කළා. ඒ නිසා තමයි අපි නීතිය ක්‍රියාත්මක කළේ.''
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය වාර්තාවේ අවසානයේ සඳහන් කර ඇත්තේ එවැනි අදහසක් බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
පසුගිය සතියේ මැතිවරණ කොමිසම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය. කොමිසමේ සාමාජිකයන් පිළිබඳව මෙලෙස දේශපාලන කරළියේ විශේෂ අවධානය යොමුව තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක පගියදා සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් ලෙස පත් කෙරුණු හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා සහ නීතීඥ අමීර් මොහොමඩ් ෆායිස් යන අයද රාජකාරී ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණි.
එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රමේෂ් රාමසාමි, හිටපු නීති කෙටුම්පත් සම්පාදක නීතීඥ දීපානී කුමාරජීව යන දෙපළ මැතිවරණ කොමිසම් සාමාජිකත්වයෙන් ඉවත් වීමට ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට ලැබුණි. මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව කටයුතු කරන විට වෙනත් වෘත්තියක නිරත වීමට නොහැකි වීම හේතුකොටගෙන මෙම දෙපල ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමි තම වෘත්තීන්වලින් මිදී මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දැරීමට සිදුවීම හේතුවෙන් මෙම දෙදෙනා මෙම තීරණයට එළැඹ ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. මෙම ඉවත්වීම ප්‍රකාශයට පත්වීමත් සමඟ බදාදා රුස්වූ ව්‍යවස්ථා දායක සභාවේදී මැතිවරණ කොමිසම සඳහා නව පත්වීම් දෙකක් සිදු කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එදින ව්‍යවස්ථාදායක සභාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කිරීමට සුදුස්සන් කවුරුද යන්න කවුරුද යන්න තෝරා ගැනීමට අපහසු වී ඇත. ඉදිරියේදී බලධාරීන් මේ සම්බන්ධ නිශ්චිත තීරණයකට එළඹෙනු ඇතැයි කියැවේ.
මෙදින ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පති පත්කිරීම පිළිබඳ කාදිනල්තුමන් විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ ලිපිය පිළිබඳවද සාකච්ඡාවක් නිර්මාණය වී ඇත.
''මේක වැරදි ආදර්ශයක්. මීටපස්සෙ මහානායක හිමිවරු, කුරුක්කල්තුමන්ලා, මවුලවිතුමන්ලා ඔක්කොම මෙතනට ලියුම් එවන්න පටන් ගනී. අරම මෙහෙම කරන්න කියලා, අරයව මෙයාව පත්කරන්න කියලා කියයි. මේක සම්ප්‍රදායක් විදියට හොඳ නෑ.''
කතානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ දෙනකු එම ලිපිය සම්බන්ධව මෙහිදී පළකර ඇත්තේ එවන් අදහසකි.
මේ අතර පොලිස්පති පත්කිරීම සම්බන්ධව කාදිනල්තුමන් යොමුකළ ලිපිය සම්බන්ධව දේශපාලන කරළියේ තිරයේ පිටුපස විවේචන බොහෝ විය. කතානායකවරයාද කාදිනල්තුමන්ගේ මෙම ක්‍රියාව නුසුදුසු ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇතැයි මාධ්‍ය වාර්තා වාර්තා කළේය. ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අංශ ද මේ ලිපිය සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි. කාදිනල් හිමියන්ගේ මැදිහත්වීම දේශපාලනික අර්ථයෙන් ගතයුතු නැති බව රදගුරු සම්මේලන ඒ අනුව සඳහන් කර ඇත තිබුණි.
මෙය අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධ විශේෂ ආරංචියක් ලැබුණි. ඒ අනුව කියන්නේ ජූලි 9 සිදුවූ සිදුවීම සම්බන්ධය ඔහුද පොතක් ලියමින් සිටින බවකි. මේ වනවිටත් මේ සිදුවීම සම්බන්ධව විමල් වීරවංශ මහතා විසින් රචිත කෘතිය දේශපාලන කරළියේ විශාල ආන්දෝලනයක් නිර්මාණය කර තිබේ. එම නිසාම ''වජිර ලියන්නේ මොනවද?'' යන පැනය දේශපාලන කරළියේ ඇසෙන්නට පටන්ගෙන ඇත.
අප ආරංචි මාර්ග සඳහන් කර පරිදි උදය ගම්මන්පිල මහතා සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද මෙම සිදුවීම් පෙළ සම්බන්ධව පොත් ලියමින් සිටිති. කෙසේ වෙතත් බොහෝ දෙනා බලා සිටින්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙම සිදුවීම පිළිබඳ යමක් සඳහන් කරන තුරුය. පොතක් ලියනවා තබා හිටපු ජනපතිවරයා මෙම සිදුවීම පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් හෝ සිදු කර නොමැත.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයක් සම්බන්ධව ද දේශපාලන කරළියේ තිරය පිටුපස කතාබහක් නිර්මාණය විය. මෙදින ''උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු'' පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවතියේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුවය. මෙම විවාදය සම්බන්ධ යෝජනාව පක්ෂ නායක රුස්වීමේදී සාගර කාරියවසම් විසින් රුගෙන ආ අවස්ථාවේදී එම යෝජනාවට සහාය දැක්වීමට සහ ස්ථිර කිරීමට සමගි ජන බලවේගය එකඟවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් දින දෙකට පසුව ඔවුන් එම අදහස වෙනස් කර ඇතැයි කියවේ.
''සමගි ජන බලවේගයට මේ යෝජනාව ස්ථිර කරන්න බෑ. මේක පිටිපස්සෙ වෙන වෙන හේතු තියෙනවා.''
මෙවන් අදහසක් මතු කරමින් සජබ මෙම යෝජනා ස්ථරය කිරීමේ කටයුත්තෙන් බැහැර වී තිබේ. කෙසේ වෙතත් පසුව මෙම යෝජනාව ස්ථිර කිරීමට ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයකුට බාර වූ නමුත්, ඔහුද එය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර දේශපාලන කරළියේ ප්‍රශ්නගත වූයේ මෙම යෝජනාවට විරෝධය පෑම පිටුපස යම් බලපෑමක් පවතීද යන්න පිළිබඳවයි. කල්තැබීමේ විවාදය නැරඹීමට විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තු ගැලරියට පැමිණ සිටීමද සුවිශේෂී තත්ත්වයක් වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. අධිකරණ සේවා කොමිසමේ ඉහළ නිලධාරියකු සමඟ විනිශ්චයකාරවරුන් කිහිපදෙනකු මෙලෙස පැමිණ ඇතැයි දැන ගැනීමට ලැබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තත්ත්වයකි. කෙසේ හෝ මෙම විවාදය සම්බන්ධව සාගර කාරියවසම් විසින් ගෙනා යෝජනාව අවසානයේ මධුර විතානගේ මන්ත්‍රීවරයා විසින් ස්ථිර කෙරුණි.
ගෙවී ගිය සතිය සමගි ජන බලවේගයට ද තීරණාත්මක සතියක් විය. ඊට හේතුව වූයේ ජනපති සමගි ජන බලවේගයට සිදු කළ විශේෂ ඇරයුමකි.
“සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සම්පූර්ණ විපක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා දැන් හරි අපිත් එකතුවෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ක්‍රියා කරමු කියලා. ඊටපස්සේ තමන්ට කියන්න පුළුවන්නෙ ජනාධිපතිකමට, අපිත් උදව් කළා කියලා. අපි ඉල්ලන්නෙ දැන් මෙතැනට එන්න. අපි ඔක්කොම එකතු වෙමු. ආණ්ඩු පක්ෂයෙ හිටියත් විපක්ෂයෙ හිටියත් කමක් නෑ. බොරු තර්ක කියලා වැඩක් නෑ. අපිට පුළුවන් කතානායකතුමා එක්ක කතා කරලා තවත් වගකීම් ඒ අයට පාර්ලිමේන්තු තුළ දෙන්න."
ජනාධිපතිවරයා නැවත නැවත සිදු කරමින් සිටින මෙම ඇරයුම පිළිබඳ සමගි ජන බලවේගය තුළ විශාල කතාබහක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේක අපිව අපහසුතාවයට පත් කරන්න කරන වැඩක්."
“මහ මැතිවරණයක් තියන්න කියලා කියමු. ඊටපස්සේ පුළුවන් උදව් කරන එක ගැන බලන්න."
වාර්තා වන පරිදි ජනපතිගේ ඇරයුම සම්බන්ධ මෙවැනි කතාබහ සජබ මන්ත්‍රී කණ්ඩායම තුළ සිදුව තිබුණි. කෙසේ හෝ අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාම ජනපතිගේ කතාවට ප්‍රතිචාර දැක්වීය.
“ජනාධිපතිවරයා කියනවා ජාතික අවශ්‍යතාව වෙනුවෙන් එකතු වෙන්න කියලා. මම අහන්න කැමැතියි එකතු වෙන්න කියන්නෙ හොරු අල්ලන්නද? හොරු බේරන්නද? එකතු වෙන්න කියන්නෙ ජනතාව ජීවත් කරන්නද? ජන ජීවිත විනාශ කරන්නද?”
ජනපති හම්බන්තොට දී කළ කතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තුවේදීය. ජනාධිපති ලබා දෙන බව කී උපකාරක පිළිබඳව ද ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.
“මටත් ජනාධිපති වෙන්න උදව් කරනවලු. මගේ විපක්ෂ නායකකම රුකල දෙනවලු. 2019 දී ජනාධිපති වෙන්න ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා උදව් කරපු ආකාරය මම හොඳින් දන්නවා. ඒ නිසා මට ඒ උදව් අවශ්‍ය නෑ. අපි කොතනටද යන්නෙ කියන කාරණාව තීරණය කරන්නේ දේශපාලන ඩීල්වලින් නෙවෙයි.
කෙසේවෙතත් පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයට හිමි කාලය වැඩිපුර භාවිත කිරීම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් කලකිරීමට පත්ව සිටි බවට පාර්ලිමේන්තු අරංචි මාර්ග සඳහන් කළේය.
“උදේම මොකක් හරි ප්‍රශ්නයක පැටලිලා එයාම කතා කරනවා. ආයේ හවස් වෙනකොටත් කතා කරනවා. අන්තිමට අපේ කතාවලට වෙලාවක් නෑ."
සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවෙන් විපක්ෂයට ගිය මන්ත්‍රීන් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ මෙවන් සංවාදයක් ඇතිව ඇතැයි වාර්තා පළ වේ.
“ගෙදරක අම්මා කෑම ගන්නෙ දරුවන්ට කන්න දීලා. මේක දරුවන්ට නොදී අම්මා ඔක්කොම ටික කනවා වගේ වැඩක්."
එම එක් වාර්තාවකට අනුව විපක්ෂයට ගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබලයකු මෙලෙස ද පවසා ඇතැයි කියැවේ.
පසුගිය සතියේ ජාතික ජන බලවේගය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනු දැකගත හැකිවිය. ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් මංකොල්ලය, බැංකු අවදානමේ දැමීම්, ජාතික සම්පත් වෙන්දේසිය ආදී මාතෘකා යටතේ මෙම සම්මන්ත්‍රණ ක්‍රියාත්මක විය.
මේ අතර ඔස්ට්‍රේලියාවට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා නැවත ලංකාවට පැමිණ දේශපාලන වශයෙන් සක්‍රීය වනු දැකගත හැකිවිය. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වංචා දූෂණ සම්බන්ධයෙන් නැවතත් විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. හොරු ඇල්ලීමට පවතින නීති ප්‍රමාණවත් බවත්, දේශපාලන ප්‍රශ්න හේතුවෙන් හොරු බේරෙන බවත් ඔහු පැවසීය.
“කාලයක් මුළුල්ලේ අපේ රට, මේ ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුකොටගෙන ව්‍යසනයට පත්වූ රාජ්‍යයක්. හැබැයි අදත් ආර්ථික අපරාධකරුවන් ඉතාමත් සතුටින්, නිදැල්ලේ සමාජය හමුවේ පෙනී සිටිනවා. සමහරු ප්‍රභූවරු, සර්ලා, හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමැතිවරු, උසස් රජයේ නිලධාරීන්. මේ රටේ විශාල අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබෙනවා, මේ ව්‍යසනයට ඇද දමන ලද මේ ආර්ථික අපරාධකරුවන් නීතියේ රුහැනට කොටුකර ගැනීම සඳහා.
මෙතන තිබෙන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්. අපරාධකරුවන් ආරක්ෂා කරන, ඔවුන් නිදැල්ලේ ඉන්න, අපරාධකරුවන් නීති හදන පාර්ලිමේන්තුවක් අප හමුවේ තිබෙනවා. රත්රන් ගේනකොට ගුවන් තොටුපළේදි අහුවෙලා, පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් අත උස්සන්න තරම් නිවට නියාලු මිනිස්සු ඇතිවෙලා තිබෙනවා."
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද යම් දේශපාලන අර්බුදයකට මැදි වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා මැතිවරණ කොමිසම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස දැනුම්දීම සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇතැයි කියැවේ.
ඒ අනුව දැනගන්නට ලැබෙන්නේ 2022 දී ශ්‍රීලනිප මහරගම සම්මේලනයේදී නව ව්‍යවස්ථාව මෙලෙස ප්‍රශ්නගත වී ඇති බවයි. මෙම නව ව්‍යවස්ථාව සම්මත කෙරුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් ශ්‍රීලනිප තීන්දුව නොසලකා ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමත් සමඟ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ අරමුණ පෙරදැරිවය.
කෙසේවෙතත් මෙම පිරිස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට යන බවට දේශපාලන ආරංචි ඉකුත් සමයේ ලැබෙන්නට විය. ඒ අනුව පවතින තත්ත්වය ද හේතුකොටගෙන ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන 15 වැනිදා ශ්‍රීලනිපයේ සමස්ත ලංකා කාරක සභාව හා මධ්‍යම කාරක සභාව කැඳවීමට කටයුතු කර ඇතැයි කියැවේ. කෙසේවෙතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිතෛෂී කණ්ඩායමක් මෙම අවස්ථාව සඳහා යම් දේශපාලන උපායක් සැලසුම් කරමින් සිටින බවටද දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබේ.
මේ අතර පසුගිය හෙලිකොප්ටර සන්ධානයේ පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිවාසයකට රුස්වී දීර්ඝ වශයෙන් සිය දේශපාලන අනාගතය පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද වාර්තා විය. එහි සාදයක් පැවති බවද කියැවෙයි. කෙසේවෙතත් මෙම පිරිස අතර මතවාදී බෙදීම පිළිබිඹු වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටි එක් කණ්ඩායමක් සිය දේශපාලන පක්ෂ භාවිත කරමින් සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට සූදානම් වන බවට ද දේශපාලන කරළියේ කතා පැතිර ගොස් තිබේ.
පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් වෙත ලැබුණු තනතුරක් පිළිබඳවද දේශපාලන ආරෝවක් ඇතිවිය. රටේ මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර තිබුණි.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රුස්වූ අවස්ථාවේ කතානායකවරයා මේ පිළිබඳව දැනුම් දුන්නේය. කෙසේවෙතත් විපක්ෂයෙන් මීට ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.
“රට බංකොලොත් වුණේ කොහොමද හොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කරන එක පිළිගන්න බෑ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්."
මෙලෙස පැවසූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ලයි.
මෙම කතාවට අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ද එක්විය.
“මම කනගාටු වෙනවා මේ වගේ පරිණත දේශපාලනඥයෙක් මේ වගේ ගොන් කතාවක් කිව්ව එක ගැන. මේ හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ බංකොලොත්භාවයට. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි."
කෙසේවෙතත් මෙලෙස හටගත් වාද විවාද මැද වුවද කතානායකවරයා සිය ස්ථාවරය වෙනස් නොකළේය. රටේ මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීමේ කමිටුවේ සභාපතිත්වය සාගර කාරියවසම් වෙත යොමු විය.
I චමිඳු නිසල් ද සිල්වා