නොගෙවූ ලයිට් බිල්, වැඩිවූ වතුර බිල්, නියඟයෙන් සිඳීගිය වැව්, දේශපාලන පිනුම් කරනම් අතරේ ගෙවී ගියේ තරමක් අමුතු දේශපාලන සතියකි. පක්ෂ විපක්ෂ දේශපාලකයන් තමන්ගේ සරම් කලිසම්වල හිල් වසා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනී ගියේය.
පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රුස් කිරීමට කටයුතු කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ගෙවීගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූයෙන් කල් ඇතිවම එම වැඩකටයුතු සැලසුම් කිරීම පිරිසේ අවශ්‍යතාව විය. ජනපතිට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සභාවේ ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියහ. මන්ත්‍රීවරුන් 70 ක් පමණද රැස්වීමට පැමිණ සිටියහ.
දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිදි රැස්වීමේ පළමු අදියරේදී සතියේ පාර්ලිමේන්තු කටයුතු සැලසුම් කිරීම සිදුව තිබේ. නාටකීය ජවනිකා වේදිකාගත වූයේ අනතුරුවය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබඳ මෙහිදී පළමුව සාකච්ඡා වී තිබේ.
''කෙහෙළියගේ විශ්වාසභංග යෝජනාව මේ සතියේදී විවාදයට ගන්න ආණ්ඩු පක්ෂය සූදානම් වුණා. නමුත් සමගි ජනබලවේගය තමා මේක දිගින් දිගටම කල් දාන්නේ. ලබන සතියෙ බෑ. ඊළඟ සතියෙත් බෑ. ක්‍රිකට් ගැන විවාදයක් කරන්න තියෙනවා කියලා එයාලා මේක මගහරිනවා. ඒ ගොල්ලෝ මේක කල් අරිනවා. ඒ දිනාගන්න බැරි නිසා. ඒත් කොහොම හරි මේක අරගෙන ඉවර කරන්න ඕනෑ.''
ආරංචි මාර්ග අනුව කෙහෙළියහේ විශ්වාසභංගය පිළිබඳ මතුව ඇත්තේ මෙවන් අදහසකි.
ජල හිඟය පිළිබඳ කතාබහ පටන් ගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක යන මන්ත්‍රීවරුන්ය.
''ගොවිතැන්වලට වතුර ඕනෑ. මේක මෙහෙම කරන්න බෑ.''
මෙවැනි අදහස් මතුවෙත්ම බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊට පිළිතුරු බැඳ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
''මේ පිළිබඳව කැබිනට් එකේ කතා කළා. මේ ප්රශ්නය අපි ඉතා ඉක්මනින් විසඳනවා.'' කැබිනට් සාකච්ඡාව නිමකොට පැමිණ සිටි ඔහු වැඩිදුරටත් තත්ත්වය පැහැදිලි කළේය.
''ජලය නිදහස් කරන්න අපි කැබිනට් එකෙන් උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු සිදුවෙයි.'' ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද තත්ත්වය පැහැදිලි කර ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සම්බන්ධව ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක විසිනි.
''අම්පාරේ වී මිලදී ගන්න දීලා තියෙන්නේ මිලියන 50යි. සුදු දිග වී ගන්නෙ බොහෝම අඩු මුදලකට. ගොවි ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේකට සාධාරණ මිලක් නියම කරන්න.''
මෙම ප්රශ්නය මතුව ඇත්තේ වී වර්ගයක් පදනම් කර ගනිමිනි. මෙම සාකච්ඡාවට වීරසුමන වීරසිංහ, ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද එක්ව ඇත. අවසානයේ කෘෂිකර්ම අමාත්‍යවරයා මීට පිළිතුරු බැඳ තිබේ.
''අම්පාර දිස්ත්‍රිකයේ දැන් ගෙවන ගානට වඩා වැඩි මුදලකට ඔය වී වර්ගය මිලදී ගන්න මම උපදෙස් ලබා දෙන්නම්.''
මේ අතර විපක්ෂ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂද ප්‍රශ්නයක් මතු කළේය.
''බහු කාර්ය සාධන බළකාය කියලා එකක් තියනවා. එතන වයස අවුරුදු 40ට වඩා අය ඉන්නවා. ඒ අයව ස්ථිර කරන්නෙ නෑ...'' ජනපති මෙම ගැටලුවටද මැදිහත් විය.
''කලින් බඳවා ගත්තා නම් ඒ අය ස්ථිර කරන්න ඕනෑ. අවුරුදු 40 කියන්නේ විශ්‍රාම ගන්න වයසක් නෙවෙයි. එහෙම කරන්න බැහැ. මම ඒ ගැන බලන්නම්.''
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියද සභාවට අලුත් ප්‍රශ්නයක් රැගෙනවිත් තිබුණි.
''ගාලු කොටුවෙ සංචාරක ප්‍රසංගවලට ඉඩදෙන්නෙ නෑ. ගාලු කොටුව බොහොම ඓතිහාසික තැනක් සංචාරකයෝ ගොඩක් කැමති තැනක්. ඉස්සර නම් ඉඩ දුන්නා. දැන් දෙන්නෙ නෑ.'' මේ පිළිබඳවද යමක් කළයුතු බව ජනපති පවසා තිබේ. කෙසේ වෙතත් ස්ථිරසාර විසඳුමක් මෙම ගැටලුවට ලැබී නොමැත.
ජල ප්රශ්නය විසඳමින් ඉදිරිපත් වූ දකුණට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධවද මෙහිදී අලුත් ප්‍රශ්නයක් මතු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
''දකුණට විදුලිය දෙන්න යනකොට තේ වත්තක ප්‍රශ්නයක් මතුවෙනවා නේද?''
''ඔව්, තේ වත්තක් මැදින් සම්ප්‍රේෂණ සිදුකරන්න වෙනවා. තේ වත්තේ කට්ටිය විරුද්ධයි. විශාල වන්දියක් ඉල්ලනවා. ආණ්ඩුවට ඒක කරන්න බෑ.''
''කාගෙද මේ තේවත්ත?'' දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සංවාදය අතරතුර දී මතුව ඇත්තේ එවන් පැනයකි. එවරද තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්නට ඉදිරිපත්ව ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාය. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ඔහු පවසා ඇත්තේ මෙවන් කතාවකි.
''ආසියානු සංවර්ධන බැංකුව තමා මේකට උදව් කරන්නෙ. මේ වත්ත අයිති කණ්ඩායමේ කෙනෙක් ඉන්නවා ලෝක බැංකුවේ. ඒ නිසා ඒගොල්ලන්ට ලොකු බලයක් තියෙනවා මේකට බලපෑම් කරන්න.''
තොරතුරු කියැවුණු පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ ලෝක බැංකුවේ රාජකාරි කරන නෝනා කෙනකු මෙම සිදුවීමට සම්බන්ධය. තියෙන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දියයුතු බව සාකච්ඡා වී නමුත්, එම සාකච්ඡාවද විසඳුමකින් තොර නිමාවී තිබේ.
''ඕගොල්ලන්ට පුංචි වීඩියෝ එකක් පෙන්නන්න ඕනෑ...''
සභාවේ අවධානය වෙනස් කරමින් ජනපති අලුත් වැඩකට අත ගසා තිබේ. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි එක්තරා රෑපවාහිනී ආයතන ප්‍රධානියකුගේ වීඩියෝවක් මෙසේ ජනපති පිරිසට පෙන්වා ඇත. මෙම වීඩියෝ පටය තුළ දී අදාළ පුද්ගලයා ජල ගැටලුව පිළිබඳ සඳහන් කරමින් ''ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ'' එවැනි අදහසක් ප්‍රකාශ කරනු දැකගත හැකිව තිබේ.
''තමුන්නාන්සේලා කියන්නේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙහෙම කතාකරන්න, ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්ද? මෙහෙම කතා කරලා තමයි මේ ගොල්ලෝ මගේ ගෙදර ගිනි තැබුවෙත්. මාධ්‍ය ආයතනවල වගකීම වාර්තාකරණය. එහෙම නැතුව එයාලාගේ අදහස් ඉදිරිපත් කරලා රට ගිනි තැබීම නෙවෙයි.''
ඒ අනුව ජනපති සඳහන් කර සිටියේ මේ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර අවසානාත්මක තීරණයකට එළඹිය යුතු බවයි.
මේ අතර ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. නඩු සම්බන්ධවද එහිදී කතාබහක් නිර්මාණය වී තිබේ. පාර්ලිමේන්තු බලය අධිකරණය විසින් ඉක්මවා යාමක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් ඇතිව තිබේ.
''අපි අවධාරණය කරන්න ඕනෑ පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් පාලනය කිරීමේ බලය තියෙන්නේ. ඒ බලය වෙන කිසි කෙනෙක්ට යටපත් කරන්නත් බෑ. යටපත් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. එක්දහස් නවසීය හැට ගණන්වල ඔය විදියේ සිද්ධියක් වුණා ලංකාවේ. පාර්ලිමේන්තුව නියෝග කරලා 62 කුමන්ත්‍රණය සම්බන්ධව විමර්ශනය කරන්න අධිකරණමය කොමිසමක් පත්කළා. නමුත් ඒක පත්කරලා දුන්න තීන්දුව එංගලන්තෙ ප්රිවී කවුන්සිල් එක විසින් ප්‍රතික්ෂේප කළා. ඒ කාලේ මහ රුජිනගේ අධිකරණය තමා ලංකාවෙ තිබුණෙ. 70 වේ බලයට පත්වෙච්ච ආණ්ඩුව ඒ බලය අහෝසි කර ලංකාව ජනරජයක් බවට පත් කළේ ඒ නිසා.''
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සඳහන් කරමින් අවධාරණය කළේ පාර්ලිමේන්තුව සතු බලය වෙනත් කිසිදු ආයතනයකට ලබාගත නොහැකි බවය.
''ඒ කාලේ පාර්ලිමේන්තුව හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි. මං එතුමා එක්කත් කිව්වා මේ ගැන...''
''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ සිදුකළ ගනුදෙනුවකින් පස්සේ අපි සම්මත කළ පනතක් අනුව මේ දේවල් සිදුවෙන්නේ. මේ වගේ දේවල් මේක නවත්තන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න ඕනෑ.''
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සිදුකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන කර ඇති සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
පසුගිය සතියේ සමගි ජනබලවේගයේ මහරගම පැවැති රැස්වීමේදීද සුවිශේෂී සිදුවීමක් සිදු විය. සජබ මහරගම සම සංවිධායක රංගන ශිල්පී රොඩ්නි ප්‍රෙෂර් පක්ෂයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ විවේනය කළේය.
''මට පොඩි කනගාටුවක් ඇතිවුණා මහරගම හංදියට එද්දි බෝඩ් එක දැක්කම. ඔය බෝඩ් එකේ අපෙත් ෆොටෝ එකක් පොඩ්ඩක් හරි තියෙන්නෙ තිබුණා කියලා මට හිතුණා. මං වැරදි නම් සමාවෙන්න.''
මෙම රැස්වීමට තමන්ට ආරාධනා කළ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් දැක්වූ රොඩ්නි ප්‍රෙෂර් වර්තමානයේ බොහෝ දෙනකු පක්ෂයෙන් ඈත් වී ගොස් ඇත්තේ මෙවන් දෑ හේතුවෙන් බවද පැහැදිලි කළේය.
එසේම තමන්ගේ සේවය පක්ෂයට අවශ්‍ය නොවේ නම් තමන්ද පක්ෂයෙන් ඉවත් කරන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඔහු ඉල්ලා සිටියේය. තවද සමගි ජනබලවේගයේ සාමාජිකයකු ලෙස මෙය තම අවසාන කතාව විය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර හමුවක් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වුණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයන් විසින් මුහුණදෙන මූල්‍යමය ගැටලු විසඳීමේ අරමුණ සහිතව මෙම සාකච්ඡාව සංවිධානය වී තිබුණි. මීට පෙරද මෙවැනි සාකච්ඡාවක් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ විපක්ෂ නායකවරයා සිදුකළ බව වාර්තා විය.
''මේ ව්‍යාපාරිකයන්ට සෘජුව ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගනුදෙනු කර සිය ප්‍රශ්න විසඳාගන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.'' යන අදහසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙලෙස මුණගැසී තිබුණි.
නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පොහොට්ටුවට හිසරදයක් වී ඇති බව පසුගිය සතියේ ආරංචි මාර්ග සඳහන් කළේය.
''ලබන මාසේ ඔය සංධානයේ අය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් සංවිධානය කරන්න යනවා.''
පොහොට්ටුවේ ප්‍රධානීන් වන බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට මෙම ආරංචි ලැබීමත් සමඟ ඔවුන් විපක්ෂයට එක්වූ ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙත පොදුවේ යෝජනාවක් යවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
''අපි එකතුවෙලා වැඩකරමු. මෙහෙම වෙන්වෙලා සන්ධාන හදාගෙන කටයුතු කරලා කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.'' ප්‍රියංකර ජයරත්න වැනි ඇතැම් මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව මෙම යෝජනාව ලැබී ඇතැයි කතා පැතිර යමින් තිබේ.
මේ අතර හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට ගෙන්වා සාකච්ඡා කිරීමටද බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා කටයුතු කර ඇතැයි දැනගැනීමට ලැබේ. එම අවස්ථාවට පසුගිය සමයේ බැසිල් රාජපක්ෂ සමඟ වාග් සංග්‍රාමයක පැටලුනු මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ද පැමිණ සිටි බව කියැවේ.
මෙම සති අන්තයේ නුවරඑළිය ගවනර්ස් හවුස් හී දී විශේෂ වැඩමුළුවක් සංවිධානය කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇත. පොහොට්ටුවේ නායකයන් මන්ත්‍රීවරුන් සියලුදෙනාටම මේ සඳහා ඇරයුම් ලැබී තිබේ. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් මෙම වැඩමුළුවට සමගාමී ක්‍රිකට් තරග සහ තවත් විනෝදාත්මක ඉසව්වද නුවරඑළියේ සංවිධානය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ලංසා පාර්ශ්වයේ නව සන්ධානය කියා සිටින්නේ දිනෙන් දින තමන් හා විවිධ පාර්ශ්ව එකතුවීමත් සමඟ පොහොට්ටුවේ පිරිස් එම කටයුතු කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණ කරන බවකි. ඒ අතර ජනපති රනිල් වික්‍රමසිංහ සහ නිමල් ලංසා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද කියැවේ. නව සන්ධාන මන්ත්‍රී පිරිස කොළඹ හෝටලයකදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව කතාබහ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු සහ ප්‍රියංකර ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර පසුගිය සතියේ වාර්තා වූයේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස විශාල ෙමහෙයක් සිදුකළ කළ මිලින්ද මොරගොඩ මහතා සිය වසර 2ක නිල කාලය අවසන් කොට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බවයි. එළඹෙන ඔක්තෝබර් පළවෙනිදා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව රජයට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති කාලයේ තීරණාත්මක ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික දේශපාලන සබඳතා වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ මොරගොඩ මහතා අවස්ථා කිහිපයකදීම ධූරයෙන් ඉවත්වීමේ සූදානමකින් පසු වූ බව කියැවේ.
කෙසේ වෙතත් අර්බුද සමයේ ඩොලර් බිලියන ගණනක ආධාර සහ සහන ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත් වූ මොරගොඩ මහතාගේ ඉවත්වීම ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ඉල්ලීම මත පමාවී ඇත. එහෙත් සිය පත්වීමට අනුව වසර දෙකක සේවා කාලය සැප්තැම්බර් 30 වැනිදාන් අවසන් කොට මෙවර ඔහු නැවත ශ්‍රී ලංකාව පැමිණෙන බව බව බලධාරීන්ට දන්වා තිබේ.
පසුගිය සතියේදී ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණි.
“ආණ්ඩුව විසින් අධික ලෙස බදු පැනවීම හරහා භාණ්ඩ හා සේවා මිල ඉතා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ආර්ථිකය කඩා වැටීම හේතුකොට ගෙන ලක්ෂ ගණනක් දෙනා විරුකියාවට පත්ව සිටිනවා. තෙල්, විදුලිය හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමේදී ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් වන ‘ජලය’ සඳහා අයකරන ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමෙන් ජනතාව කබලෙන් ළිපට ඇද වැටුණු තත්වයකට පත්ව තිබෙනවා.''
ඒ අනුව ඉදිරි සතිය කිහිපය තුළදී ජල ගාස්තු වැඩි කිරීමට එරෙහිව ජාතික ජනබලවේගය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනු ඇතැයි කියැවේ.
I චමිඳු නිසල් ද සිල්වා